මුලතිව්හි පිහිටි ගුරුකන්ද විහාරය පසුගිය දිනවල රටේ කතාබහට ලක්වූයේ එම විහාරභූමිය තුළ බලහත්කාරයෙන් කෝවිලක් ඉදිකිරීමට දැරූ වෑයම හේතුවෙනි. විහාරභූමිය සහ ගොඩනැගිලි සම්බන්ධව ඉන් පසුව පාර්ශ්ව ගණනාවකින් අදහස් දැක්වූ අතර එහි ඉදිකිරීම් සහ පිළිසකර කටයුතු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ඇදී ගියේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. අධිකරණයේදී මුලින්ම තහවුරු කර ගැනීමට තිබුණේ ගුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානය පුරාවිද්‍යා පනත යටතේ නියාමනය වන ස්ථානයක් ද යන්නයි. ඊට අදාළ කරුණු පසුගියදා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශයට පත් විය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පී.බී. මණ්ඩාවල මහතා අධිකරණයේදී දැනුම් දී තිබුණේ මුලතිව්, නයාරු, ගුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානය පුරාවිද්‍යා පනත මගින් නියාමනය වන පුරාවිද්‍යා ස්ථානයක් බවය. එහි ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් උතුරු නැගෙනහිර පළාත්වල ගැසට් කර ඇති පුරාවිද්‍යා ස්මාරක, පැරැණි බෞද්ධ සංඝාරාම සංකීර්ණ බව ද ඔහු සඳහන් කර තිබිණි. හින්දු කෝවිලක් ඉදිකිරීම සඳහා මුල්ගලක් තැබීමට කිසිදු පිරිසක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසරයක් ඉල්ලා නොමැති බව ද එය අනවසර කැණීමක් බව ද අනුමැතිය ලබා දී ඇත්තේ විහාරාධිපති හිමියන් ඉල්ලා තිබෙන ඉදිකිරීම් සඳහා පමණක් බව ද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශ කර තිබිණි.

ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ මේ අලකලංචිය ඇතිවූයේ පසුගිය ජනවාරි මාසයේ 14 වැනිදා තෛපොංගල් සැමරීමට පැමිණි බව අඟවමින් පැමිණි පිරිසක් හින්දු කෝවිලක් සඳහා එහි මුල්ගලක් තැබීමට උත්සාහ දරමින් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙනි. උතුරේ වේවා, දකුණේ වේවා මේ ආකාරයේ සිදුවීමකට මැදිහත් වන පිරිසේ දේශපාලනඥයන් සිටීම ගැන පුදුම විය යුතු නැත. මේ සිද්ධියට ද සම්බන්ධ වී සිටියේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයන් ද සමඟ ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසකි. ඒ අවස්ථාවේදී ඇතිවූ නොසන්සුන් තත්ත්වය පාලනය කළ මුලතිව් පොලීසිය අදාළ නඩුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන ගියේය. එසේ නොවන්නට එතැන සිදුවීමට ඉඩ තිබුණේ මහා ගාලගෝට්ටියක් බව බැලූ බැල්මටම පෙනී යයි. මීළඟට සිදුවිය යුත්තේ ඉදිරි කාලයේදී ද එවැනි නොසන්සුන් වාතාවරණයක් ඇතිවීම වළක්වාගෙන කටයුතු කිරීමය.

කුමන තරාතිරමක දේශපාලනඥයකුට වුවද පුරාවිද්‍යා පනතට එරෙහිව කටයුතු කිරීමට අයිතියක් නැත. එය පොදු මහජනතාවට ද අදාළය. එහෙත් ඇතැම්විට දේශපාලනඥයන්ට ලකුණු දමාගැනීමට අවස්ථාවක් ලැබෙන විට සියලු අණ පනත් අමතකව යයි. නීතිය පිළිබඳව තිබෙන බිය සැක ද නැතිව යයි. එවිට ඕනෑම ජඩ වැඩක් කිරීමටත් තමන් නියෝජනය කරන ජනතාවගේ වීරයකු බවට පත්වීමටත් නැති හයියක් ඇතිකර ගැනීමට ඔවුහු පෙළඹෙති. ආධාරකරුවෝ ද ඔවුන් පසුපසම යති. අවසාන විය හැක්කේ මහා ඛේදවාචකයකිනි. එහෙත් තමුන්ට ඡන්ද ටික ලැබෙනවා නම් තමන් කරන අමන වැඩ ගැන දේශපාලනඥයන්ට ලජ්ජාවක් දැනෙන්නේ නැත. මෙවැනි සිල්ලර වැඩවලට මූලික වශයෙන් හේතු වන්නේ ජනතාව ඇවිස්සීමෙන් හෝ තමන්ගේ බලය වැඩිකර ගැනීමේ දුර්දාන්ත අදහස් දරණ දේශපාලනඥයන්ගේ මැදිහත් වීමය. මෙය දකුණේ වුවත්, උතුරේ වුවත් වැළැක්වීම අවශ්‍යය.

ගුරුකන්ද රජමහා විහාරස්ථානාධිපති කොළඹ මේධාලංකාර හිමියන් මේ සිද්ධිය ඇතිවූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබුණේ විහාරස්ථාන භූමිය තුළ කිසිදු භේදයකින් තොරව පළාතේ සියලු ජනකොටස් එක්ව කටයුතු කරන බවය. තෛපොංගල් සැමරීමට පැමිණි පිරිසට විහාරස්ථාන භූමිය තුළට පිවිසීමට කිසිදු බාධාවක් නොතිබී ඇත්තේ ද ඒ නිසා විය යුතුය. එහෙත් හින්දු කෝවිලකට මුල්ගල් තැබීමක් සිදුකිරීමට යන බව දැනගත් මොහොතේ එය වැළැක්වීමට කටයුතු කළ බව ද සඳහන් විය. එවැනි අවස්ථාවක සාමය කඩවීමට ඇත්තේ විශාල ඉඩකඩකි. තරමක් හෝ ඉවසීමකින් කටයුතු නොකළා නම් අද අපට මෙහි සටහන් කිරීමට සිදුවන්නේ වෙනම කතාවකි. එය එසේ නොසිදුවීම ගැන සියලු දෙනාටම සතුටු විය හැකිය. හින්දු කෝවිලක් ප්‍රදේශයේ ඉදිකිරීමට අවශ්‍ය නම් එය ඉටුකර ගැනීමට පුරාවිද්‍යා පනතින් ආවරණය වන පන්සල් භූමියක් යොදාගැනීම අවශ්‍ය නොවේ. ඊට අදාළ ක්‍රියා පිළිවෙළ අනුව යමින් අවශ්‍යතාව ඉටුකර ගැනීමට ඕනෑම ආගමික සංවිධානයකට හැකියාව තිබේ. දේශපාලනඥයන් සිටින්නේ එවැනි යහපත් දෙයකට නායකත්වය දීමට මිස අනවශ්‍ය ආගමික කලබල ඇතිකිරීමට නොවන බව තේරුම් ගැනීම අවශ්‍යය.

ගුරුකන්ද විහාරස්ථානය පිහිටි මුලතිව්-කෝකිලායි මාර්ගය දෙපස මැනුම්ගත කර ඇති භූමි ප්‍රදේශය පුරාවිද්‍යා ස්මාරක සහිත ප්‍රදේශයක් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශයේ සඳහන් වී තිබිණි. එසේ නම් ඒ බව ප්‍රදේශයේ දේශපාලනඥයන් නොදැන සිටීමට හේතුවක් නැත. ඒ බව නොදැන සිටී නම් ඔවුන් පළාතේ දේශපාලනය කිරීමට පවා සුදුස්සෝ නොවෙති. අපට පෙනෙන්නේ මෙය තවත් අවස්ථාවාදී දේශපාලන රංගනයක් බවය. එහෙත් මෙවැනි ක්‍රියාවල අවසානය පළාතේ පවතින සාමය බිඳ දැමීම බව එම දේශපාලනඥයන් ඇතුළු පිරිසට අවබෝධ නොවීම අවාසනාවකි. ඉදිරියේදී හෝ සැබෑ තත්ත්වය පිළිබඳව යථාවබෝධයකින් යුතුව කටයුතු කිරීමට ඔවුන්ට නුවණැස පහළ වේවායි අපි ප්‍රාර්ථනා කරමු.