IMG-LOGO

2025 ජනවාරි මස 13 වන සඳුදා


දහම් පාසලේ බංකුව යටින් ජනපති පුටුවට

හිටපු ජනාධිපති අභාවප්‍රාප්ත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වැනි ගුණ සමරුව මැයි මස 1 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
 
ඒ දහම් පාසලේ නම ‘හේවාවිතාරණ ඉරිදා දහම් පාසල‘ය. එහි ප්‍රධානාචාර්ය ධුරය දැරුවේ පලන්සූරිය එම්.පී. පියදාස මහතාය. මේ පාසලේ ඉගෙන ගත් අට හැවිරිදි දරුවකු වූයේ ආර්. ප්‍රේමදාස ශිෂ්‍යයා ය. ඒ 1932 වසර ය. දහම් පාසලේ සිසුහු පන්සියයක් පමණ ඉගෙනීම ලැබූහ. දහම් පාසලේ කථිකෝදය නමින් ළමා සමිතියක් විය. සෑම සමිති වාරයකම ශිෂ්‍යයකුට කතාවක් කිරීමට ප්‍රධානාචාර්යතුමා නියම කොට තිබුණි. එදා තිබුණේ කුඩා ප්‍රේමදාසගේ වාරය යි. 
 
“මීළඟ කතාව ආර්. ප්‍රේමදාස.” 
 
කථිකෝදය නමින් යුත් ළමා සමිතියේ අනුශාසක පලන්සූරිය මහතා දෙවන වරටත් ඒ නම නිවේදනය කළේය. 
මේ අවස්ථාව කලාකීර්ති විමල් අභයසුන්දරයන් විසින් ලියන ලද “ප්‍රබුද්ධ ශක්තිය” කෘතියේ දක්වා ඇත්තේ මෙසේය. 
 
“කථිකයා (ප්‍රේමදාස) පැමිණියේ නැත. ඔහු බංකුවක් යට වැතුරුණු ගමන් පසු වෙයි. කථිකයා කොයිදැයි පලන්සූරිය මහතා ප්‍රශ්න කළේය. 
 
“සනීප නැතිව ගෙදර ගොහින් වගෙයි” ළමයින් කියා සිටියේ තතනමිනි. එය මිමිණීමකට වඩා හඬක් නොනැගීය. කලින් සකස් කර ගත් එම මතය පතුරුවා හරින ලද්දේ කථිකයාගේම මිත්‍රයෙකි. ළමයි ඔහු කී දෑම කීවෝය. කථිකයා තවමත් බංකුව යටය. රැස්වීම අවසන් විය. සභාව විසිර ගියා ය.
 
ආපසු නිවෙස්වලට යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර සනීප නැතිව කලින් යන්නට ඇතැයි සඳහන් කැරුණු කථිකයා ද ගමන් කරනු පලන්සූරිය මහතාගේ තියුණු නෙතට හසු විය. කථිකයා තමන් වෙතට කැඳ වූ පලන්සූරිය මහතා ගෙදර ගොහින් ආවේ දැන් දැයි ඇසීය. කථිකයාට කථා බැරි විය. ඔහු ගොළු විය. තම මිත්‍රයා දෙසත් පලන්සූරිය මහතා දෙසත් සැසිලි සැසිලි බැලුම් හෙලූ ඔහු නොදොඩාම සිටියේ ය. වේදිකාවක් මත නැඟී කතාවක් පැවැත්වීමට ඇති සබකෝළය නිසා තම මිත්‍රයාගේ උපදෙස් පිට බංකුව යටට රිංගා සැඟ වී සිටි බව හෙළි විය. කථිකයා කෙරෙහි  මනා වැටහීමකින් පසු වූ පලන්සූරිය මහතා කථිකයාත් ඔහුගේ මිත්‍රයාත් කැඳවාගෙන නැවතත් රැස්වීම් ශාලාවට ගියේ ය. ගමනේ ප්‍රතිඵලය වූයේ කථිකෝදය සමිතියේ ඊළඟ රැස්වීම් වාරයේ ප්‍රේමදාස ශිෂ්‍යයා ප්‍රබෝධමත් කරමින් නියමිත කථාව පැවැත්වීමයි. ඔහු ලවා කථාව කරවීම සඳහා පලන්සූරිය මහතා අනුගමනය කළේ ඉතාම සරල ප්‍රතිඵලදායි ක්‍රමයකි. බංකුව යට රිංගා ගෙන සිටි කථිකයාත් ඔහුගේ මිත්‍රයාත් කැඳවාගෙන ආපසු රැස්වීම් ශාලාවට ගිය පලන්සූරිය මහතා කඩදාසි කැබැල්ලක යම් කිසිවක් ලියා, මිත්‍රයා අතට දී සභාවක් ඉදිරියේ කියවන ආකාරයෙන් එය කියවන්නට කීයේ ය. ඔහුගේ කියැවීම අවසානයේ දෙවැනි වර එලෙසම කියවන මෙන් සැඟ වී සිටි කථිකයාට අණ කළේය. ශිෂ්‍යයා ගුරුතුමාගේ අණ එසේම පිළිපැද්දේය. එයින් දිරිමත් වූ ඔහු ඊළඟට සභා වාරයේදී සිය කතාව පැවැත්වූයේ කිසිවකුත් බලාපොරොත්තු නුවූ විරූ පරිද්දෙන් සභාව පුබුදු කරවමිනි. 
 
එදා පුංචි ප්‍රේමදාසට අනාගත වාක්‍යයක් කීමට පලන්සූරිය මහතා අමතක කොට නැත. 
 
“ප්‍රේමදාස ලංකාවේ හොඳම කථිකයා වෙනවා. ඒ නිසා විශ්වාසය අනුව එඩිතරව, සැක නැතිව ඉදිරියට යන්න. අනාගතේ සර් ඩී.බී. ජයතිලක මහත්තයා වගෙ වෙන්න. ප්‍රේමදාස මේ රටේ අගමැති වුණත් මම පුදුම වෙන්නේ නෑ. එදාට මම ජීවතුන් අතර ඉඳීවිදැයි කියන්න බැහැ.”
 
ප්‍රේමදාස මහතා අගමැති වන විට පලන්සූරිය මහතා ජීවතුන් අතර සිටියත්, ජනාධිපති වන විට ඔහු ජීවතුන් අතර නොසිටියේය. 
පියදාස පලන්සූරිය මහතා කවියකි. ලේඛකයෙකි. සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ “සිරිබෝ අයියා” චිත්‍රපටයට පසුබිම් වූයේ පලන්සූරිය මහතා ලියූ සත්‍ය කතාවකි. “සිරිබෝ අයියා” චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට පැමිණි අගමැති ප්‍රේමදාස මහතා පලන්සූරිය මහතාට සමීපව කී කතාවක් මට මතකයි. 
 
“සර් සිරිබෝ අයියාට (ජෝ අබේවික්‍රම) නම් සම්මානයක් ලැබෙනවා සහතිකයි.”
 
අගමැතිතුමාගේ අනාවැකිය සැබෑ කරමින් ජෝට ජනාධිපති සම්මානයද, හොඳම චිත්‍රපට නිෂ්පාදනයට ධර්මප්‍රිය හා රංජිත් පලන්සූරියට (පලන්සූරිය මහතාගේ පුතු) ද, අධ්‍යක්ෂ ලෙස සුනිල් ආරියරත්නටද ජනාධිපති සම්මාන හිමි විය. 
 
ප්‍රේමදාස නම් පුංචි කථිකයාට නියත විවරණ දුන් පලන්සූරිය මහතා කවුද? 
එදා කවියකු, ලේඛකයකු, කෙටි කතාකරුවෙකු, සමාජ සේවකයෙකු, ව්‍යපාරිකයකු වූ පියදාස පලන්සූරිය මහතා ලියූ පොත් අතර චරිතාපදාන “සාගර කවියා”, “පාන් බාස්”, “අපේ වෙද හාමුදුරුවෝ” ද, කාව්‍ය නිර්මාණ අතර “ඔබත් මිනිසෙකි”, “රන් කෙන්ඩිය”, “කැලෙත් ගිනි”, “මම අපි” පොත් විශේෂය. ලංකා බ්ලොක්ස් බේකර්ස් ආයතනයේ අධිපතිව සිටි ඒ මහතා ප්‍රකට කවියකු හා හිටපු හොරණ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර පලන්සූරිය (කේයස්) ගේ වැඩිමහල් සොහොයුරාය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතාගේ ලොකු තාත්තාය. සම්පත් බැංකුවේ සභාපති චන්න පලන්සූරියගේ සීයාය. 
 
පලන්සූරිය මහතා සංස්කරණය කළ අතිරස සඟරාවේ ප්‍රකාශකයා වූයේ මාගේ පියා වූ ඒ.ඩී. එඞ්මන් ය. මාගේ පොඩි බාප්පා වූ ඒ.ඩී.ජේ. මාතුපාලත්, ප්‍රේමදාස මහතාත් අඹ යහළුවෝය. කොළඹ අලුත්කඬේ සැන් සෙබස්තියන් පටුමගේ (අද සුචරිත මාවත) සැනසුම ප්‍රේමදාස මහතාගේ නිවසට යාබද නිවස අපේ මහ ගෙදර පිහිටා තිබුනේලු_. බාප්පාද, ප්‍රේමදාස මහතාද සාහිත්‍යට, කවියට, සඟරා සංස්කරණයට, ලේඛන කලාවට යොමුව ඇත්තේ එකටය. බාප්පා සංස්කරණය කළ ළමා හඬ (1942) සඟරාවේ සහාය සංස්කාරක වූයේ ප්‍රේමදාස මහතාය. මේ සඟරාවට ප්‍රසිද්ධ ලේඛකයින්ගේ ලිපි හා කවි එකතු කිරීමට මේ දෙදෙනා බයිසිකලයක ඩබල් දමා ගියහ.
 
වරක් “ළමා හඬ” වෙසක් කලාපයේ මුල් පිටුවට ටිබෙට් ජාතික මහින්ද හිමියන්ගෙන් කවි පෙළක් ලබා ගැනීමට මේ දෙදෙනා ගිය ගමනක් ප්‍රේමදාස මහතා මෙන්ම මාගේ පියාද පවසා තිබුණි. 1942 වෙසක් කලාපයේ මුල් පිටුවට මේ කවි පෙළ තෝරාගෙන තිබිණ. සඟරාව මුද්‍රණය කළ මුද්‍රණාලයේ කළමනාකරුව සිටි මාගේ තාත්තා සෝදුපත් බලන අවස්ථාවේ සුබ වෙසක් මඟු_ල් නම් මේ කවි පන්තියෙන් එවකට තිබූ ඉංග්‍රීසි ආණ්ඩුවට සමච්චල් කර තිබූ වචනයක් හමුවී ඇත. 
 
“මේ කවිය මෙහෙමම දැම්මොත් මම හිරේ ගිහිල්ලයි නතර වෙන්නේ” තාත්තා ප්‍රේමදාස මහතාටත්, බාප්පාටත් කියා ඇත. 
 
“අනේ එඞ්මන් අයියේ, මහින්ද හමුදුරුවෝ අපිට කවි පන්තිය දුන්නේ එක අකුරක්වත් කපන්න එපා කියලා. මේක වෙනස් කළොත් අපිට දෙමටගොඩ පන්සල පැත්තටවත් යන්න ලැබෙන්නේ නැහැ.” ප්‍රේමදාස මහතා කී වදන බාප්පාද අනුමත කර ඇත. 
 
සුළු මොහොතකින් බොරැලස්ගමුවේ ජී.එච්. පෙරේරා කවියා මුද්‍රණාලයට පැමිණ ඇති අතර තාත්තා මෙයට විසඳුමක් ඔහුගෙන් අසා තිබුණි. මහින්ද හිමියන් කවි පන්තියේ මුල් කවිය ආරම්භ කොට තිබුණේ මෙසේය. 
 
බිරිතැනි ජපන් ජර්මන් වල යොදා උගුල්
මිරිකති ලොවම සුන්කොට සාමයේ අගුල්
දිරිමෙත් ගඟේ පැද වෙන සත් දහම් අගුල්
සිරිලක අදත් පතුරයි සුබ වෙසක් මඟුල්
 
කවිය කියවා බැලූ ජී.එච්. කවියා “ඕක සුළු වැඩක්. අපි බිරිතැනි කියන වචනය කිරිපැණි කියා වෙනස් කරමු. කවුද මේක වෙනස් කළේ කියලා හාමුදුරුවෝ ඇහුවොත් කියන්න මමයි වෙනස් කළේ කියලා. ”
 
ජී.එච්. කවියාට මහින්ද හිමියන් දක්වා ඇත්තේ ලොකු ගෞරවයකි. කෙසේ හෝ “ළමා හඬ” කවි පන්තිය මෙසේ කිරිපැණි වී මුද්‍රණය වුවත් ප්‍රේමදාස හා මාතුපාල යන යාළුවන් දෙදෙනා වෙසක් කලාපයේ පිටපතක් පිළිගන්වා ඇත්තේ විශාල බයකිනි. තම කවි පන්තියේ මුල අකුරම වෙනස් වී ඇති බව දුටු හිමියෝ කිසිවක් කියා නැත. එය ජී.එච්. ගේ වැඩක් බව හිමියෝ දැන සිටියහ. 
 
1946 වසරේ ප්‍රේමදාස මහතා ස්වදේශය (ඔයැ ීඅ්ාැි්හ්) නමින් සඟරාවක් තනිවම සංස්කරණය කළ අතර එය වැඩිහිටියන්ගේ රසඥතාවය දියුණු කිරීමට මුල් තැනක් දුන් සඟරාවක් ලෙස කැපී පෙනී ඇත. එහි අරමුණ සංස්කාරක මෙසේ පැහැදිලි කර තිබුණි. 
“ස්වදේශාභිමානය - ස්වජාත්‍යනුරාගය - සමය මාමකත්වය” ඇති කරවමින් ශාස්ත්‍ර ඥානය ද වීමංසන බුද්ධිය ද, භාෂා පටුත්වය ද ස්වජාතිකයන් තුළ ඇති කිරීමේ පරම පවිත්‍ර පරමාර්ථයෙන් යුතුව පැවැත්වෙන “ස්වදේශය” මාසික සඟරාව නොකඩවා කියවීම සෑම ස්වදේශ ප්‍රේමියෙකුගේම බලවත් යුතුකමකි. 
 
ප්‍රේමදාස මහතා “ස්වදේශය” සඟරාව කොළඹ වේල්ල වීදියේ විද්‍යාදර්ශි යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවා ඇත. පිට කවරය නිර්මාණය කර තිබුණේ ජී.එස්. ප්‍රනාන්දු විසිනි. “ස්වදේශය” සඟරාවේ එක් කතුවැකියක් මැය වූයේ “සිංහලයාට සතුරුව සිටින කළු ඉංග්‍රීසිකාරයෝ”ය. එහි කොටසකි මේ. 
 
“සිංහල බසින් පාලනය වෙමින් පැවැති මේ රට අල්ලා ගත් පැයේ සිටම ඉංග්‍රීසීන් ආණ්ඩු කිරීමට බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට පුළුවන් වුණානම් රටේ පොදු ජනයාගේ භාෂාවෙන් ආණ්ඩු කිරීමට තවත් අවුරුදු 10 ක් වත් තබා මොහොතක්වත් බලා සිටීමට කිසිදු යුතුකමක් නැති බැව් අපේ ඊනියා ජනහිතකාමීන්ට අවබෝධ නොවන්නේ ඔවුනුන් පළමුවැනි පෙළේ කලු_ ඉංග්‍රීසිකාරයන් නිසා මිස වෙන කුමක් නිසාද?” 
“ස්වදේශය” සඟරාවට නාරද හිමියන් “හොඳ මඟ” නමින් ළමයින් සඳහා ලිපි පෙළක් ලියා තිබුණි. “අපේ ඇත්තන්ගේ විත්ති” මැයෙන් සාගර පලන්සූරිය (කේයස්) විසින් ලියන ලද විශේෂාංග මාලාවෙන් හීනටියන ධම්මාලෝක, වල්පොල රාහුල යන හිමිවරුන් ගැන ද, ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, පී. ද ඇස්. කුලරත්න, ඇන්.ඇම්. පෙරේරා, ශ්‍රී නිශ්ශංක, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, ගුණපාල මළලසේකර, පී.බී. අල්විස් පෙරේරා, ඩබ්ලිව්. දහනායක, මංජු ශ්‍රී ආදීන් ගැනත් ලියවී ඇත. යූ.ඒ.ඇස්. පෙරේරා, ටී.ජී.ඩබ්ලිව්. ද සිල්වා, ජස්ටින් විජයවර්ධන, ඩී.වී. සෙනෙවිරත්න, කපිල සෙනෙවිරත්න, ජෝන් රාජදාස, රංජිත් සිරිවර්ධන, හතාගොඩ අභයවර්ධන මීට අමතරව කවි හා ලිපි ලියා තිබුණ. කේයස් විසින් “බුදුන් වහන්සේ” නමින් ලියා තිබූ (1946) පද්‍ය රචනය විවාද සම්පන්නය. එහි එක් කවියක් මෙසේය.
 
අසරණයන්ගේ වතුපිටි බැඳගෙන ණය
ඒවා අයිති කරගත් බැස නඩු මඟ ට 
නායක වහන්සේලා ඇද බල නිව
පිළිලකි, පිළිකුලකි අද මේ මුළු රට
 
සමාජ සේවයට, කලාවට, සාහිත්‍යයට කවියට පෙම් බැඳි ප්‍රේමදාසයන් දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු ලෙස ප්‍රයිස් පාක් ක්‍රීඩා පිටියේ දස්කම් පෑ බව මගේ පියා වැඩිහිටියන් සමඟ කියන කතා මා ආසාවෙන් අසා තිබුණි. සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට තරුණ ප්‍රේමදාස පාපන්දු ක්‍රීඩා කරන විට එම කණ්ඩායමේ ඔහුගේ සමකාලීන ක්‍රීඩකයන් වූයේ වින්සන්ට් (ගෝල් රකින්නා) අජිස් හා කේ.ඒ. ප්‍රේමදාස ය. සෝන්ඩර්ස් පාපන්දු කණ්ඩායමේ වැඩිමහළු ක්‍රීඩකයකු වූ මගේ පියා විශේෂයෙන් කේ.ඒ. ප්‍රේමදාස ගැන කතා කළේ ඔහු සෝන්ඩර්ස් කණ්ඩායමේ පමණක් නොව සමස්ත ලංකා පාපන්දු කණ්ඩායමේද මැදපෙළ ප්‍රබල ක්‍රීඩකයකු ලෙස හැට දසකය තෙක්ම ක්‍රීඩා කළ නිසාය. පිටකොටුවේ එළවළු මාර්කට් එකේ ව්‍යාපාර කටයුතුවල සිටි ඒ. ප්‍රේමදාස මෙන්ම ආර්. ප්‍රේමදාසද ගජ මිතුරෝය. කැලෑවට වල් අලි දැකීමට හා පින්තූර ගැනීම අභයභූමිවලට යාම විනෝදාංශය කරගත් ආර්. ප්‍රේමදාසයන්ගේ තනියට ගියේ අර ෆුට්බෝල් ප්‍රේමදාසය. 
 
අද වැනි දිනක (මැයි මස 01 වැනිදා) මියගිය හිටපු ජනපති ප්‍රේමදාස මහතාගේ දේශපාලන ජීවිතයෙන් පරිබාහිරව එතුමා කලාවට, පත්‍ර හා සඟරා සංස්කරණයට, කවියට හා ක්‍රීඩාවට දැක්වූ කුසලතාවන්ගෙන් බිඳකි මේ ලිපියට පසුබිම් වූයේ. ප්‍රේමදාස මහතා “කානිවල්” නම් වේදිකා නාට්‍යයක (1942) අන්මුගම් නම් දමිළ චරිතයක් රඟ පෑ තොරතුරු ගිය වසරේ මැයි 01 වැනිදා ලංකාදීප පත්‍රයට මම ලිව්වෙමි. ප්‍රේමදාස කවියා ලියූ මේ කවියෙන් මෙම ලිපිය අවසන් කරමි. 
 
මහජන තුති බැති මල් පිළි ගන්නේ
පිළිගත් පසු නැහැ අහක බලන්නේ 
මහජනයා නම් දොස් පවසන්නේ
ඒ හඬටයි මගෙ සිරස නැවෙන්නේ
 
ඒ.ඩී. රන්ජිත් කුමාර
 
ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (0)

දහම් පාසලේ බංකුව යටින් ජනපති පුටුවට

ඔබේ අදහස් එවන්න

 

 

කොලම

එක රැයේ තීන්දුවෙන් අසරණවීම
2025 ජනවාරි මස 10 629 10

ආණ්ඩුව රටට දැනෙන යමක් කිරීමේ දැඩි අවශ්‍යතාවකින් පෙළෙන බව පෙනේ. ඒ, සාමාන්‍යයෙන් අලු‍තින් පත් වූ ඕනෑම ආණ්ඩුවක ස්වභාවයයි. විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව පත් වූ


ආර්ථික අභියෝග ජය මාර්ග
2025 ජනවාරි මස 06 204 0

2024 වර්ෂය ආර්ථික ජයග්‍රහණ ගණනාවක් අත්කරගත් වසරක් ලෙස සැලකිය හැකි වේ. ඒ මන්ද යත් ඊට වසර දෙකකට මත්තෙන් ලාංකික ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හ


සත්‍යය වටා ඒකරාශිවීමේ අවශ්‍යතාව
2025 ජනවාරි මස 03 375 2

මෙවර මා ලියන්නේ නව වසරේ පළමු කිවිදා දැක්මය. 2024 වර්ෂය රටේ පාලනයේ බරපතළ වෙනසක් සිදු වූ වසරකි. රටේ පාලන බලය රැක ගැනීමට එවකට බලයේ සිටි SLPP + UNP ආණ්ඩුවට හැකියාවක්


ආර්ථික නවෝදයකට පළාත් සභා
2024 දෙසැම්බර් මස 30 295 0

ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා පළාත් මටට්මින් ලබා දෙන දායකත්වය අනුව බස්නාහිර පළාත ඉදිරියෙන් සිටී. පළාත් සංවර්ධනය තුළ විසමතා පවතී. අනෙක් පළාත් නිපදවන


ජනපති ඉන්දීය නිලගමනේ ප්‍රතිඵල
2024 දෙසැම්බර් මස 20 895 0

රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි


ජනපතිගේ ඉන්දීය ගමනේ අභියෝග
2024 දෙසැම්බර් මස 16 983 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිය පළමු නිල සංචාරය වශයෙන් ඉන්දියාව තෝරා ගෙන තිබේ. ශ්‍රී ලංකා ඉන්දියා සබඳතා නවතම පැතිකඩකට යොමු කරන අවස්ථාවක් වනු ඇතැ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 160 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 538 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 283 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site