ශිෂ්ට සම්පන්න රටක ඕනෑම කෙනකුට ඕනෑම මොහොතක ඕනෑම තැනකදී බාධාවකින් තොරව තම කටයුතු කර ගැනීමට නිදහස තිබිය යුතුය. එය විනය ගරුක බවේ ද ලක්ෂණයකි. ආගම, නීතිය හා සමාජ සාරධර්මවලින් ජාතියක් හැඩගස්වන්නේ ඒ නිසාය. ශ්‍රී ලාංකික අපට එවැනි හොඳ අනන්‍යතාවක් පැවතිණි. එය එසේ වූයේ අප බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් හා හින්දු ආගම්වලින් පෝෂණය වූ නිසාය. එහෙත් අද අපේ සමාජය මුදල් පසුපස හඹා යන නොහික්මුණු ජාතියක් බවට පත්ව තිබීම ඛේදවාචකයකි. ගෝලීයකරණයේ බලපෑමෙන් එසේ වන බව විද්වත්හු පෙන්වා දෙති. එහෙත් එහි යම් සත්‍යයක් තිබෙන බව සැබෑවකි. ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දීමේ යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල ද අපට උරුම වූයේ නිරායාසයෙනි. එමගින් ඉස්මතු වූයේ දැඩි “තරගකාරිත්වයයි” තරගකාරිත්වය තියුණු වන විට හැදියාව, ශීලාචාරකම සමාජයෙන් පලා යාම අරුමයක් නොවේ.
එබඳු අශික්ෂිත ක්‍රියාවක් පිළිබඳව පසුගියදා කොළඹින් වාර්තා විය. මේ අවාසනාවන්ත සිදුවීම. අපි 29 දින සිකුරාදා හෙළිදරව් කළෙමු. ඒ ඉකුත් 23 වැනිදා ආෙක්ඩියා නැවෙන් මෙරටට පැමිණි සංචාරකයන් පිරිසක් කොළඹ තුම්මුල්ලේ ලක්සලට පැමිණි අවස්ථාවේදී තැරැව්කරුවන් පිරිසක් එම සංචාරකයන්ට නිසි පරිදි බඩු බාහිරාදිය ගැනීමේ අවස්ථාව අහිමි කරමින් හැසිරීමේ බරපතළ ප්රශ්නයයි.
සංචාරකයන් 650ක පමණ පිරිසකට ආපසු යාමට සිදුවූයේ ඒ නිසාය. මෙවැනි අශෝභන ක්‍රියා තුළින් රටට වන අපකීර්තිය මුදලින් මෙපමණ යැයි තක්සේරු කළ නොහැකිය. මේ තත්ත්වය අවබෝධ කර ගැනීමට අබ ඇටයක තරම් මොළයක් හෝ මේ තැරැව්කාර අධමයන්ට නොමැතිවීම ජාතියේ අවාසනාවකි. මෙතැනදී මතුව ඇත්තේ පෙර කී තරගකාරිත්වයයි. මෙහිදී දක්නට ලැබුණේ එකෙකු පරයා තවකෙකු ඉදිරියට විත් මුදල් ඉපැයීමට කරන ලද පහත් උත්සාහයයි. එම අනපේක්ෂිත සිදුවීමෙන් එම අඥානයන්ට වඩා බරපතළ පාඩුවක් සිදුවූයේ රටක් වශයෙන් ශ්‍රී ලාංකික ජනතාවටයි. සුළු පිරිසකගේ නොහික්මුණු ක්‍රියාවකින් ජාතික මට්ටමේ හානියක් වන්නේ නම් එය වැළැක්වීමට දැඩි නීති රිති හඳුන්වා දීමත්, ඒවා ක්‍රියාවට නැංවීමත් අනිවාර්ය වන්නේය.
එම අවාසනාවන්ත සිද්ධියෙන් රටට අහිමි වූ විදේශ විනිමය ලබා දෙන්නෝ කවරහුද? තම මුදල් පසුම්බිය ගැන පමණක් සිතන මෙම තැරැව්කාර නරුමයන්ට නිසි දඬුවම් ලබා දිය යුත්තේ ඒ නිසාය.
මෙලෙස තැරැව්කරුවන්ගේ ග්‍රහණයට හසුවන්නන් පිළිබඳව විවිධ ප්‍රදේශවලින් විවිධ ආයතන ආශ්‍රිතව සිද්ධි වාර්තා වූයේ එකක් දෙකක් නොව විශාල සංඛ්‍යාවකි. එය අද ඊයේ ඇති වූවක් ද නොවේ. මෙය කලක් තිස්සේ අපට උරුමව තිබූ නිර්මල සංස්කෘතිය විනාශ කරන “සේනා දළඹුවකුගේ” තත්ත්වයට පත්ව තිබීම අභාග්‍යයකි. අත්දැකීම් අඩු ගමෙන් නගරයට එන අසරණ ගැමියන් තැරැව්කරුවන්ගේ ග්‍රහණයට හසුවීමේ ප්‍රවණතාව වැඩිය. කඩිනමින් තමා පැමිණි කාර්යය ඉටුකර ගැනීමට ඔවුන් අපේක්ෂා කිරීම ඊට හේතුවයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් දැනුම්වත් කිරීම් සිදුකර ඇතත්, එය පමණක් ප්‍රමාණවත් වන්නේ යැයි අපි නොසිතමු. මේ අකටයුත්ත සමාජයෙන් තුරන් කිරීමට නව ක්‍රමෝපා හඳුනාගත යුත්තේ ඒ නිසාය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ කාර්යාලය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය, මහ නගර සභා, නගර සභා කාර්යාල, රෝහල් පමණක් නොව, ඇතැම් අධිකරණ ආශ්‍රිතව ද තැරැව්කරුවෝ බහුලව සිටිති. එවැනි පොදු ස්ථානවලට යන ජනතාවට ඔවුන්ගෙන් මිදීම ද තරමක අසීරු කාර්යයකි. අවමංගල සේවා සපයන සාප්පු, මල්කරුවන් ආශ්‍රිතව ද ඔවුන් දක්නට ලැබීම සාමාන්‍යකරණයවී ඇත. මේ තත්ත්වය මත සාමාන්‍ය ජනතාව මුහුණ දෙන මූල්‍ය අපහසුතා එමටය. මේ පිළිබඳව බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බව සඳහන් නොකරම බැරිය.
එදා කොළඹදී විදෙස් සංචාරකයන්ට මුහුණදුන් සිද්ධිය වැනි සිදුවීම්වලට අපේ සාමාන්‍ය ජනතාවත් මුහුණ දුන් අවස්ථා මාධ්‍ය මගින් හෙළි කළ අවස්ථා බොහෝය. තැරැව්කරුවන් නමැති “සේනා දළඹුවා” මර්දනයට බලවත් රසායනිකයක අවශ්‍යතාව අප යෝජනා කරන්නේ එබැවිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ කාර්යාල, ආයතන පිළිබඳව මනා අවබෝධයකින් මෙම ලිපිය සකස්වී ඇතිබව එය කියවීමේදී හොඳින් පැහැදිලි වන්නේය. එය සැකසූ සියලුම මහත්ම මහත්මීන්ට අප අවංකවම ස්තුති වන්නෙමු. හොරකම, වංචාව, ජඩවැඩ උඩු දුවා ඇතිමෙවන් අසිස්ථ සමාජයක මේවා නැවැත්වීමට නම් රටේ මුල් පුරවැසියාගේ සිට පහළටම තම තමන්ගේ වංචනික සිත්වලින් බැහැර, තමන් සහ තමාගේ පවුල ගැන පමණක් නොසිතන රටේ දියුණුව පුරවැසියන්ගේ දියුණුව සහ ආරක්ෂාව පිළිබඳව හදවතින්ම අවංකව ක්‍රියා කරන මිනිසුන් රට බාරගත් දිනක අපගේ මතෘභූමිය ලෝකයේ සුන්දර රටක් යයි කීමට අපටද කිව හැක. දැනට රටේ දේශපාලනය කරන " පාහර බූරුවන් 225 ටම " අපගේ මෙම අදහස් කියවීමට හැකි වේවා!!!
ලංකාව සෝමාලියාවක්, සූඩානයක් වෙන එක නම් වළක්වන්න සක්කරයාගේ පුතා වයිමටවත් බැරිවෙයි. පිරිහීම උපරිමයෙන් තියෙනවා. පාලකයන් නොදැක්කා සේ ඉන්නවා. ඡන්ද ටික ලැබෙනවා නම් ඕනෙම අලුගුත්තේරු වැඩක් කරන්න හෙන්චයියලාට ඉඩදෙන රටක් මේක. මේවා පත්තර බලන අය විතරක් නෙවෙයි, චුයින්ගම් කන අයත් කියවන්න ඕනේ.. රට කාබාසිනියා කරලා මැරෙනවට වඩා මේවගේ දේවල්වලට පිළියම් කරලා මැරෙන එක හොඳයි එයාලට...
මේ වගේ මිනිස්සු හැම තැනකම ඉන්නවා. මොන දේ කරන්නත් පණ ඇති පාලනයක් ඕනේ... එතැනත් තරවූ කාර්යයන් රජ වෙලානේ... ඉතින් වෙන මොන කතාද?
Ravindra මහත්තයා කියන කතාවට අඩුවක් සම්පූර්ණ කරන්නයි මේ ලියන්නේ.., යන්න රේගුවට ගේට්ටුවේ ඉඳල ඉල්ලන්නේ හිඟන්නෝ වගේ උදව්වක් කරන්න කියලයි.. පේන්නම ගන්නේ, ඉල්ලන්නේ කිසිම ලැජ්ජාවක් ඇතිව නොවෙයි. ගුවන්තොටුපලේ ඉඳලා ඔක්කොම එකයි.
ආගමන, විගමන දෙපාර්තමේන්තුවේ සංචාරකයින්ට වීසා නිකුත් කරන කාර්යාලය එකම හොරගුලකි. මෙහි තැරව්කරුවන් එහි සිටින සිකියුරිටි කාරයන්ය. මෙහිදී වීසා ලබාගැනීමට ඉස්සෙල්ලා ටෝකන් එකක් ගෙන නිලධාරියා ලඟට යන්න පැයක් පමණ බලාසිටිය යුතුය. ඊට පසුව, ගාස්තු ගෙවන අවස්ථාව එන්නේ තව පැය එකහමාරකට පසුවයි.. ඊට පසුව පාස්පෝර්ට් එක ලබාගැනීමට තව පැයක් දෙකක් බලාසිටිය යුතුයි. සිකියුරිටි කාරයන් හරහා මේ වැඩ ටික පැයකදී කරගත හැකිය. ඉස්සර බොරැල්ලේ පරණ කන්තෝරුව තිබෙන විට මේ වැඩ පැයකදී කරගත හැකිය. දැන් ලොකු කන්තෝරුවක් විශාල නිලධාරීන් ප්‍රමාණයක් සහ යන්ත්‍ර සූත්‍ර තිබුණත් රස්තියාදු වීමට සිදුවේ...
සංචාරක මාර්ග උපදේශක යනුවෙන් රැකියාවක් බොහෝ කාලයක සිට ලංකාවේ සංචාරක කර්මාන්තයට අනුබද්ධව ඇත. මෙම කතාවේ එන තැරැව්කරුවන් යනුවෙන් හදුන්වා තිබෙන්නේ ඔවුන් නොවේ කෙසේ නමුත් ලක්සල සිද්දීයේදී කඩාකප්පල් ක්රියාවේ... යෙදුන අය තමන්ව හදුන්වා දෙන්නේ ඉහත සදහන් කල පරිදි සංචාරක මාර්ග උපදේශක වරුන් ලෙසය සාමාන්‍යයෙන් ලක්සල කොමිස් මුදල් දෙන්නේ නැත එබැවින් මෙම පුද්ගලයන් කරන්නේ ලක්සලට එන පාරිබෝගිකයන් වෙනත් සාප්පුවලට ගෙනයමි එහිදී ඔවුන්ට 30% සිට 50% දක්වා කොමිස් ගෙවනු ලැබේ එදා ඔවුන්ට අවශ්‍ය පරිදි වැඩ සිදු නොවුන නිසා අන්තිමට ලක්සලට පාඩු විය
ක්‍රියාත්මක වන ක්‍රමය අඩුපාඩු සහිත වන නිසා තැරැව්කරුවෙක් නොමැතිව වැඩ කරන්න බොහෝ විට නොහැක. ක්‍රමය ගැලපෙන ලෙස වෙනස් කරන්න. ප්‍රශ්න විසදෙයි.
මේකේ අනික් පැත්තකුත් තියෙනවා.. පියවරක් ගත යුත්තේ දෙපැත්තම බලල සාධාරණ විදිහටයි..... පිටින් පැමිණෙන අයට මේ තැරැව්කාරයන්ගෙන් සේවයක් සිදුවන අවස්ථාවලුත් තියෙන බවයි මගේ අදහස. ඒ උදවිය කීයක් හරි හොයාගන්නෙත් ඔය රස්සාවෙන් තමා. රජයේ කාර්යාල නිලධාරීන් හා ඔය කියන තැරැව්කාරයන් අතර සම්බන්ධතාවක් නැතුව වැඩේ සාර්ථකව කරගෙන යන්න බැහැ. පොලිසියේ රාලහාමිලාගෙනුත් මේ අයට බාධාවක් නැහැ..