IMG-LOGO

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා


කුණු ප‍්‍රශ්නයට ආණ්ඩුව තදින්

(කස්තුරි)

අලූත් අවුරුදු දා මීතොටමුල්ලේ සිදු වූ ව්‍යසනය මුළු රටම කම්පනයට පත් කරන්නට විය. නිවාඩුව ගත කිරීමට ඇතැම් මැති ඇමැතිවරුන් විදේශ සංචාරවල නිරතව සිටි අතර පුවත සැලවීමත් සමඟ ඔවුහු කම්පනයට පත්වූහ. ඇතැම් මැති ඇමැතිවරු ඔවුන්ගේ හිතවතුන්ට හා ඥාතීන්ට කතා කර ලංකාවේ තොරතුරු විමසන්නට වූහ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ඒ වනවිට ජපානයේ නිල සංචාරයකට එක්ව සිටියේය. අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන් අගමැතිවරයාට කතාකොට මීතොටමුල්ලේ තොරතුරු දැනුම් දුන්නේය. අගමැතිවරයා මුලින් සැලසුම් කර තිබුණේ ජපානයේ සංචාරය නිමාකොට වියට්නාමයටත් එතනින් ඉන්දියාවටත් යෑමටය. එහෙත් ලංකාවේ තත්ත්වය සැළ වූ වහාම අගමැතිවරයා ඉන්දීය සංචාරය අවලංගු කළේය.

පහළොස් වැනිදා වියට්නාමයට පැමිණි අගමැතිවරයා කලින් සැලසුම් කළ පරිදි බදාදා වනතෙක් වියට්නාමයේ රැඳී සිටියේ නැත. සිය සංචාරය දිනයකින් කෙටි කළ අගමැති රනිල් වික‍්‍රමසිංහ වහාම දිවයිනට පැමිණියේය. අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණේ මීතොටමුල්ලේ අවතැන් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙසය. මේ අතර ඉකුත් බදාදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මීතොටමුල්ලේ ව්‍යසනය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව නිලධාරීන්ට දැඩි උපදෙස් ලබා දුන්හ. එහිදී ජනාධිපතිවරයා නියෝග කර තිබුණේ මින්පසුව කුණු කන්ද අවට ප‍්‍රදේශයේ කිසිවෙකුට හෝ පදිංචිවීමට අවසර ලබා නොදෙන ලෙසය.

කෙසේ වෙතත් කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්කවල නාගරික ජනතාව ඉකුත් දින කිහිපයේදීම කුණු කසළ ගැටලූව මුල්කර ගනිමින් විවිධ විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වීම ද විශේෂත්වයක් වී තිබිණ. මීතොටමුල්ලේ සිද්ධියත් සමඟ තම ප‍්‍රදේශවලට කුණු කසළ බැහැර කිරීම කෙරෙහි දැඩි විරෝධයක් දැක්වීමට ජනතාව උනන්දුවක් දක්වන්නට පටන්ගෙන තිබිණ. ආණ්ඩුව ද මේ සිද්ධියත් සමඟ දැඩි ස්ථාවරයකට එළැඹී සිටින බවක් ද පෙනෙන්නට තිබේ.

රණවිරු දිනය මැයි මස 8 වැනි දිනට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් උතුරු පළාත කේන්ද්‍රය කරගනිමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ තීරණය කර තිබේ. යාපනය නගරයේ අපිරිසුදු වී ඇති ස්ථාන පිරිසුදු කිරීමේ එම වැඩපිළිවෙළ ඉතා සාර්ථකව සිදුකෙරෙන බව ද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.

‘‘අද යාපනය නගරය සම්පූර්ණයෙන්ම අපිරිසුදු තත්ත්වයකයි තිබෙන්නේ. ආණ්ඩුකාර කාර්යාලය මැදිහත්වෙලා අපිරිසුදු ස්ථාන පිරිසුදු කරන්න අපි කටයුතු කරනවා. රණවිරු දිනය සැමරීමට හමුදා පෙළපාලි, වෙඩිමුර වෙනුවට ජනතාවගේ සුබසිද්ධිය මුල්කරගත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. අපි මැයි මස හත්වැනිදා මුළු යාපනය නගරයම පිරිසිදු කරනවා. ඇළ මාර්ග, පොකුණු සහ ජලය රැඳෙන ස්ථාන සුද්ධ පවිත‍්‍ර කිරීමට පියවර ගන්නවා.

මේ වැඩපිළිවෙළට යාපනය මහ නගර සභාව, නාවික හමුදාව, යුද හමුදාව අවශ්‍ය ශ‍්‍රමදායකත්වය ලබාදෙනවා. මේ සඳහා සියලූ රාජ්‍ය ආයතන එක්වෙනවා’’ යැයිද ආණ්ඩුකාරවරයා සඳහන් කරයි. ආණ්ඩුකාරවරයා සඳහන් කරනුයේ පරිසරය පිරිසිදු කිරීමෙන් ඩෙංගු වසංගතය තුරන් කිරීමට ද දායකත්වයක් සැපයෙන බවය.

අලූත් අවුරුදු නැකත් චාරිත‍්‍ර සිදුකිරීම සඳහා ඉකුත් වසරේ මෙන්ම මෙවරද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසහි රැඳී සිටියේය. ජනාධිපතිවරයා අලූත් අවුරුදු උදාව සැමරීම සඳහා රටට ආදර්ශයක් ලබාදෙමින් පැළයක් රෝපණය කිරීම විශේෂත්වයක් විය. පසුව ජනාධිපතිවරයා සහ පවුලේ සාමාජික සාමාජිකාවෝ සුබ නැකතින් කිරිබත් කා අවුරුදු උදාව සැමරූහ. අවුරුදු චාරිත‍්‍රවලින් පසුව ජනාධිපතිවරයා සිය ගම් පළාත වන පොළොන්නරුවට ගිය අතර එහිදී නෑදෑ හිතවතුන් හා ගම්වාසීන් හමුවී ඔවුන්ට සුබපතන්නට ද අමතක නොකළහ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවර අවුරුදු උදාව සැමරීම සඳහා තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසහි ගත කළේය. එදින අවුරුදු චාරිත‍්‍ර සිදුකිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා තමාට සුබපැතීමට පැමිණි පිරිස් සමඟ සුහද කතාබහක ද නිරත විය. එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු කිහිපදෙනෙක් ද පැමිණ සිටියහ. නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.බී. රත්නායක කීවේ ‘‘ජනාධිපතිතුමනි, මේ අවුරුද්ද සතුටක් නැහැ. මිනිස්සුන්ගේ දුකමයි අහන්න තියෙන්නේ’’. ඊට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කීවේ ‘‘දැන් බලන්න අවුරුදු නැකත් පිළිබඳව ප‍්‍රශ්නයක් මතුවුණා. ආණ්ඩුවට ඒ දේවත් හරියට කරගන්න බැරිවුණා. එක අතකින් මට හිතෙනවා මේක අපේ පදනමට ගහන්න කරපු වැඩක් ද කියලත්. මේ අද වගේ දවසක මම ඔය ගැන වැඩි යමක් කියන්නේ නැහැ. හැබැයි මම පස්සෙ උත්තරයක් දෙනවා.’’ ඒ අවස්ථාවේ ජ්‍යේතිෂවේදී පියසේන රතුවිතාන ද සිය පවුලේ සාමාජිකයෝ සමඟ හිටපු ජනාධිපතිවරයාට අලූත් අවුරුද්දට සුබපතන්නට පැමිණ සිටියහ. රතුවිතාන අවුරුදු නැකත් පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළේය. ඒ ආකාරයෙන් කතාබහ ඇදී යන අතරේ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු සම්බන්ධීකරන ලේකම්වරයා ලෙස කටයුතු කළ කුමාරසිරි හෙට්ටිගේ ද කතාවට එක්විය. ‘‘බලන්න ජනාධිපතිතුමා, දැන් ආණ්ඩුව ගැන මිනිස්සුන්ට හොඳටම තේරිලා ඉවරයි’’. හෙට්ටිගේ කී විට මහින්ද රාජපක්ෂ සිනාසී අනුමත කළේය.

තවද අලූත් අවුරුදු දිනයට පෙර දින එනම් දහතුන් වැනි දින මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිවසහි අවුරුදු ක‍්‍රීඩා උත්සවයක් ද පැවැත්විණි. දකුණු පළාත් සභාවේ මන්ත‍්‍රීවරු පිරිසක් එදින පෙරවරුවේ කැවුම්, කොකිස් කදමලූ බැඳගෙන හිටපු ජනාධිපතිවරයාගේ කාල්ටන් නිවසට පැමිණියහ. කාල්ටන් නිවසහි පිවිසුම් දොරටුව අභියසහිදී නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා විසින් පිරිස පිළිගත් අතර පසුව දකුණු පළාත් සභා මන්ත‍්‍රීවරු එක්ව අවුරුදු ක‍්‍රීඩා උත්සවයක් ද සංවිධානය කළහ. එහිදී රත්තරන් අශ්වයාට ඇස තැබීම, මහා බැංකුවේ මහා සොරා සෙවීම, කඹ ඇදීම, ලැම්බෝගිනි සෙවීම ආදී වශයෙන් නම් කළ තරග තිබූ අතර දකුණු පළාත් සභා මන්ත‍්‍රීවරු ඉතා උනන්දුවෙන් එම තරගවලට හවුල් වූහ. එහි විශේෂත්වය වූයේ තරගවලින් ජයග‍්‍රහණය කළ පුද්ගලයන්ට ත්‍යාග පිරිනැමීම ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අතින් සිදුකිරීමය. තෑගි සඳහා ලබාදෙනු ලැබූයේ සෙල්ලම් බඩු වූ අතර ලැම්බෝගිනි කාර්, හෙලිකොප්ටර් ආදිය ඒවා අතර දක්නට ලැබිණ.

දකුණු පළාත් සභාවේ සභාපති සම්පත් අතුකෝරල ලැම්බෝගිනි කාර් සෙවීමේ තරගයෙන් ජයග‍්‍රහණය ලැබූ අතර ඒ වෙනුවෙන් ඔහුට සෙල්ලම් ලැම්බෝ කාරයක් තෑගි වශයෙන් ලැබිණ. එම ත්‍යාගය ලබාගන්නා ගමන් සම්පත් අතුකෝරල හිටපු ජනාධිපතිවරයාගෙන් ඇසුවේ ‘‘සර්, මේ ලැම්බෝගිනි කාර් එක නාමල්ගෙ ද යෝෂිතගෙද’’ කියාය. හිටපු ජනාධිපතිවරයා සිනාසී ඊට ප‍්‍රතිචාරය පළ කළේය. තවත් මන්ත‍්‍රීවරයකුට ත්‍යාගය ලෙස සෙල්ලම් හෙලිකොප්ටරයක් ලැබුණු අතර එම ත්‍යාගය ලබාගන්නා ගමන් ඔහු හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවේ ‘‘සර් මේ හෙලිකොප්ටරයෙන් ද නාමල්ලා අශ්වයො පදින්න නුවරඑළියේ ගියේ’’ කියාය.

ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් සිදුවන අතර ආරංචි මාර්ග සඳහන් කළේ හිටපු ආසන සංවිධායකවරුන් විසිදෙනෙක් පමණ මේ වනවිට ධුරවලින් ඉවත් කර තිබෙන බවය. ඒ වෙනුවට නව සංවිධායකවරුන් පත් කිරීමට ද එම පක්ෂ නායකයන් කටයුතු කරමින් තිබේ. ඒ අනුව ඉකුත්දා කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ද ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කෙරිණ. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු තමාට සිදු වූ ඇබැද්දිය කියන්නට ඉකුත්දා හිතවතුන් සිය නිවසට කැඳවූයේය. අලූත් අවුරුද්ද නිමිත්තෙන් කෑම බීම ලබා දී මන්ත‍්‍රීවරයා සිය හිතවතුන්ට හා ඡුන්ද දායකයන් සමඟ දේශපාලන කතාබහක නිරත විය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද එම අවස්ථාවට එක්කර ගැනීමට ජොන්ස්ටන් ප‍්‍රනාන්දු කටයුතු කර තිබූ අතර එහිදී බොහෝ දේශපාලන කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කෙරිණ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඉකුත්දා ඇප ලබා බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණියේය. බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණි පසුව විමල් වීරවංශ පළමුවරට සිය පක්ෂයේ දේශපාලන මණ්ඩලය කැඳවා තිබිණ. ඉකුත් බදාදා දවස පුරා කොට්ටාව ප‍්‍රදේශයේ නිවසකදී ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස් වී තිබූ අතර එහිදී මතගැටුම් හා තර්ක විතර්ක රැසක් පැන නැගිණ. විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා බන්ධනාගාරයේදී ආරම්භ කළ උපවාසය ගැනත් පක්ෂයේ කටයුතුවලට වීරවංශ පවුලේ සාමාජිකයන්ගේ බලපෑමත් ආදී ගැටළු එහිදී සාකච්ඡා කළ අතර පෙරවරුවේ සිට සවස හය පමණ වනතුරුත් ගැටළු නිරාකරණය කර ගැනීමට නොහැකි වී තිබිණ.

විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා බන්ධනාගාරයේදී උපවාසයක් ආරම්භ කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විරෝධය දක්වා තිබිණ. ඊට අමතරව ජාතික නිදහස් පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් ද විමල්ට විරෝධය දක්වා තිබුණේ බන්ධනාගාරයේදී උපවාසයක් පැවැත්වීම කාලෝචිත නොවන බවට තර්ක කරමිනි. ඒ පිළිබඳව දේශපාලන මණ්ඩලයේදී සාකච්ඡා වූ අතර එම සාකච්ඡාවල ඉදිරි ක‍්‍රියාමාර්ග වෙනත් දිනයකට යොමු කිරීමට ද අවසානයේ දේශපාලන මණ්ඩල සභිකයෝ තීන්දු කළහ.

මැයි දිනයේදී පක්ෂයේ ශක්තිය උපරිම වශයෙන් පෙන්වීමට මෙවර ද ප‍්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම උත්සහ දරමින් සිටින බවක් පෙනේ. විශේෂයෙන් මැයි රැළිය හා පෙළපාලිය වඩාත් ශක්තිමත්ව පැවැත්වීමට උනන්දුවක් දක්වනුයේ ඒකාබද්ධ විපක්ෂය. ඒකාබද්ධ විපක්ෂය දැනටමත් ඒ සඳහා ගාලූ මුවදොර පිටිය වෙන්කර තිබෙන අතර මැයි පෙළපාලිය පිළිබඳව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ මේ වනවිට සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබේ. ඒ අනුව විශේෂ කමිටුවක් පත්කර සංවිධාන කටයුතු සිදුකිරීමටත් පෙළපාලියට සහ රැලියට ඒ ඒ ප‍්‍රදේශවලින් පාක්ෂිකයන් කැඳවීමටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වෙත පැවරීමට ඉකුත්දා පැවැති සාකච්ඡාවකදී ඒකාබද්ධ විපක්ෂ නායකයෝ තීන්දු කළහ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනවෙනම මැයි දින රැලි පැවැත්වීමට කටයුතු සිදුකරමින් තිබෙන අතර කොළඹ කැම්බල් පිටියට රටවටින් මහ සෙනඟක් කැඳවීමට එක්සත් ජාතික පක්ෂ නායකයෝ කටයුතු කරමින් සිටිති. ඔවුන් සඳහන් කරනුයේ ඉකුත් වසරේදී මෙන්ම මෙවරද වැඩිම ජනබලයක් පෙන්වන මැයි රැළිය හා පෙළපාලිය පවත්වන බවය. එස්.බී. දිසානායක ඇමැතිවරයාගේ සංවිධායකත්වයෙන් මහනුවර ගැටඹේ ක‍්‍රීඩාංගණයේදී ශ්‍රීලනිප මැයි රැලිය පැවැත්වෙන අතර එහි සංවිධාන කටයුතු ද මේ දිනවල ලහි ලහියේ සිදුවෙන බවක් පෙනෙන්නට තිබේ.

මීතොටමුල්ලේ ඛේදවාචකය දේශපාලන කරළියේ උණුසුම් වාද විවාද මෙන්ම මත ගැටුම් ඇතිවීමේ තත්ත්වයක් දක්වාම දුරදිග ගොස් තිබේ. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප‍්‍රිය මීතොටමුල්ලේ කුණුකන්ද සම්බන්ධයෙන් එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගනිති.

”එංගලන්තයේ සුප‍්‍රසිද්ධ සමාගමක් සමඟ එක්ව මම ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කළා. එම සමාගම අපේ කුණුවලින් විදුලිය නිපදවීමට සැලසුම් කළ අතර ඒ වෙනුවෙන් අපට මුදල් ගෙවන්නත් සුදානම් වුණා. ඒත් ඇමැති පාඨලී චම්පික රණවක ඊට හරස් වුණා. උදව් කළේ නැහැ. පළාත් පාලන ආයතනවලට තමයි කුණුවල අයිතිය තියෙන්නේ. කැබිනට් ඇමැතිවරු ඒ අයිතිය උදුරාගන්න හදනවා නම් ඒ ගැන බලන්න  ඕනේ. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන මේ වගේ ඇමැතිවරුන්ට දඬුවම් දෙන්න  ඕනේ” යැයි ඉසුර දේවප‍්‍රිය මහ ඇමැතිවරයා සඳහන් කරන්නේය. ඒත් සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කරන ඇමැති පාඨලී චම්පික රණවක සඳහන් කරනුයේ වෙනස් කතාවකි. ඇමැතිවරයාට අනුව මහ ඇමැති ඉසුර දේවප‍්‍රියගේ ව්‍යාපෘතිය අසාර්ථකය. තාක්ෂණික හා ආර්ථික හැකියාවක් නැති සමාගමකට එවැනි ව්‍යාපෘතියක් බාරදිය නොහැකි බවද පාඨලී චම්පික රණවක ඇමැතිවරයා සඳහන් කරන්නේය. ”එංගලන්තයේ එස්.ජේ.පී. ආයතනය කැළිකසළවලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියක් සඳහා අවසර ඉල්ලා තිබුණා. දොළොස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් ඒ ගැන අධ්‍යයනයක් සිදුකළා. එම සමාගම ගැන පැන නැගුණු ගැටලූ හේතු කරගෙන කරුණු 17කට පිළිතුරු ඉල්ලා ලිපියක් යොමු කළා. ඒ ගැන මහඇමැතිවරයාත් දැනුම්වත් කර තිබෙනවා. ඒත් අද වනතුරුත් පිළිතුරක් නැහැ. අපි ඒ ලිපිය යොමුකළේ අපද්‍රව්‍ය කළමනාකරණ ආයතනයටයි. ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ යැවු ලිපියට තවමත් පිළිතුරක් නැහැ” යැයි පාඨලී චම්පික ඇමැතිවරයා නිදහසට කරුණු කියන්නේය. කෙසේ වෙතත් ඇමැතිවරයාත් මහ ඇමැතිවරයාත් එකිනෙකාට දොස් නගා ගනිමින් සිටිති. මීතොටමුල්ලේ ඛේදවාචකය මුල්කර ගනිමින් දේශපාලනඥයන් විවිධ මත පළ කරමින් සිටින බවක් ද පෙනේ.  ඇතැම් පිරිස් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරියට දොස් නගති. ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඞී. ලාල් කාන්තගේ අදහස වී ඇත්තේ මීතොටමුල්ලේ සිද්ධියට චම්පික රණවක ඇමැතිවරයාද වගකිවයුතු බවය. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ අදහස වී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සැලසුම් කළ පුත්තලමට කුණු ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සිදුවූයේ නම් මෙවැන්නක් සිදු නොවන බවය. අනෙක් අතට කොළඹ කුණු පුත්තලමට බැහැර කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණද එකල සටනක් දියත් කර තිබිණ. කුණු ප‍්‍රශ්නය එලෙස දිග් ගැස්සෙමින් තිබියදී තවමත් ස්ථිරසාර විසඳුමක් සොයා ගැනීමට බලධාරිහු අසමත්ව සිටිති.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය දෙකඩවීමේ අවධානමක් ඇතිවන බවට ඉඟි පළවී තිබේ. දෙමළ ජාතික සන්ධානයට අයත් ප‍්‍රධාන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා සහ ආර්. සම්පන්දන්ගේ අදහස වී ඇත්තේ නැගෙනහිර පළාත් සභාවට තනිව තරග වැදීමටය. එහෙත් දෙමළ සන්ධානයට අයත් ඊ.පී.ආර්.එල්.එෆ්. වැනි පක්ෂ ඊට අකමැත්ත පළකර තිබේ. ඒ අනුව නැගෙනහිර පළාත් සභා මැතිවරණයත් සමඟ දෙමළ ජාතික සන්ධානයේ අවසානයක ආරම්භය සනිටුහන් වනු ඇතැයිද දේශපාලන මතධාරිහු ප‍්‍රකාශ කරති.

හම්බන්තොට වරාය යම් හෙයකින් චීනයේ තනි අයිතියට පවරා දෙන්නේ නම් ඒ ගැන බලවත් කණස්සල්ල පළ කරන බව ඉන්දියාව සහ ජපානය ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දී තිබේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉකුත්දා ජපානයේ කළ සංචාරයේදී එරට අගමැති ෂින්සෝ අබේ ඒ ගැන අවධානය යොමුකර තිබිණ.

එහිදී අගමැතිවරයා ජපාන අගමැතිවරයාට දන්වා ඇත්තේ හම්බන්තොට වරාය සංවර්ධනය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් සිදු කිරීමට අපේක්ෂා කරන බවය.



අදහස් (0)

කුණු ප‍්‍රශ්නයට ආණ්ඩුව තදින්

ඔබේ අදහස් එවන්න

 

 

කොලම

දවස් සියයේ විපරමක්
2025 ජනවාරි මස 17 115 0

වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව


ශ්‍රී ලංකා සංකල්පය සපලවේද?
2025 ජනවාරි මස 13 358 0

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය රජයේ වඩාත් වැදගත් ව්‍යාපෘතිය වූ “පිරිසුදු ශ්‍රී ලංකාවක්” වැඩසටහන 2025 වසර ආරම්භයේ දියත් කරනු ලැබුවේ, ජනාධිපති ලේකම් කර


එක රැයේ තීන්දුවෙන් අසරණවීම
2025 ජනවාරි මස 10 1031 13

ආණ්ඩුව රටට දැනෙන යමක් කිරීමේ දැඩි අවශ්‍යතාවකින් පෙළෙන බව පෙනේ. ඒ, සාමාන්‍යයෙන් අලු‍තින් පත් වූ ඕනෑම ආණ්ඩුවක ස්වභාවයයි. විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව පත් වූ


ආර්ථික අභියෝග ජය මාර්ග
2025 ජනවාරි මස 06 230 0

2024 වර්ෂය ආර්ථික ජයග්‍රහණ ගණනාවක් අත්කරගත් වසරක් ලෙස සැලකිය හැකි වේ. ඒ මන්ද යත් ඊට වසර දෙකකට මත්තෙන් ලාංකික ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හ


සත්‍යය වටා ඒකරාශිවීමේ අවශ්‍යතාව
2025 ජනවාරි මස 03 390 2

මෙවර මා ලියන්නේ නව වසරේ පළමු කිවිදා දැක්මය. 2024 වර්ෂය රටේ පාලනයේ බරපතළ වෙනසක් සිදු වූ වසරකි. රටේ පාලන බලය රැක ගැනීමට එවකට බලයේ සිටි SLPP + UNP ආණ්ඩුවට හැකියාවක්


ආර්ථික නවෝදයකට පළාත් සභා
2024 දෙසැම්බර් මස 30 299 0

ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා පළාත් මටට්මින් ලබා දෙන දායකත්වය අනුව බස්නාහිර පළාත ඉදිරියෙන් සිටී. පළාත් සංවර්ධනය තුළ විසමතා පවතී. අනෙක් පළාත් නිපදවන


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 326 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 588 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site