වසන්ත ප්‍රිය රාමනායක

ජේ.ආර්. ජයවර්ධන රාජ්‍ය සමයේ ඇම්.ඩී.එච්. ජයවර්ධන ප්‍රබල අමාත්‍යවරයෙකි. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළේ නායකයෙක් ද විය. ඔහු කැබිනට් මණ්ඩලය තුළ ජනාධිපති ජේ.ආර්. හා ඇතිකර ගත් මතගැටුම පසුව පාර්ලිමේන්තුව දක්වා දීර්ඝ විය. එහිදී එවකට අගමැතිවරයාව සිටි අගමැති රණසිංහ ප්‍රේමදාස සඳහන් කළේ තමා ජනාධිපතිවරයා නම් ඇම්.ඩී.එච්. කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන බවය. ඇම්.ඩී.එච්., ජේ.ආර්.ගෙන් හෝ වෙන කාගෙන්වත් ඉවත් කිරීමක් බලාපොරොත්තු නොවීය. ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් විය. මෙහිදී අගමැතිවරයාගේ සඳහන් කිරීමට හේතු වූයේ ඇම්.ඩී.එච්. පිළිබඳ පෞද්ගලික ප්‍රශ්නයක් නොවේ. කැබිනට් සාමූහිකත්වයේ වැදගත්කමයි. නැතිනම් ඊට ගරු කිරීමේ සම්ප්‍රදායේ ඇති වටිනාකමයි.

මේ යුගයේම ජේ.ආර්. ජයවර්ධන රජයේ අමාත්‍ය ධුර හෙබවූ සිරිල් මැතිව් හා ගාමණී ජයසූරිය වැනි ප්‍රබලයන්ට ද සිය අමාත්‍ය ධුර හැරදා යෑමට සිදුවිය. ඒ කැබිනට් රහස් පිටකිරීම නිසා නොවේ. කැබිනට් මණ්ඩලයේ සාමූහික තීරණවලට ගරු කිරීමක් වශයෙනි. අමාත්‍ය සිරිල් මැතිව් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් විය. ජාතික සේවක සංගමයේ මෙහෙයුම් ප්‍රධානියා වූයේ ද ඔහුය. එසේම ජේ.ආර්. ජයවර්ධනයන්ගේ සමීප කිට්ටුවන්තයෙකි. මේ සියල්ලටම වඩා ඔහු එක්සත් ජාතික පක්ෂය තුළ කටයුතු කළ දැවැන්ත සිංහල බෞද්ධ නායකයෙකි. මේ නිසාම ඔහු 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලය තුළ විරුද්ධ විය. එහෙත් පොදු තීරණයට හා කැබිනට් සාමූහිකත්වයට ගරු කරමින් ඔහු කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් විය. අනගාරික ධර්මපාලතුමා ගේ ඥාතිවරයකු වූ අමාත්‍ය ගාමණී ජයසූරිය ද එක්සත් ජාතික පක්ෂය තුළ සිටි දැඩි සිංහල බෞද්ධවාදී අවංක නිහතමානී නායකයෙකි. එතුමා ද 13 වැනි සංශෝධනයට විරෝධය පාමින් කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් විය. ඔවුහු කැබිනට් රහස් පිටකර ‘මං සුදනා’ වීමට හෝ කැබිනට් වාර්තාකරුවන් වීමට නොගියහ. කැබිනට් මණ්ඩලය තුළ කළ ප්‍රකාශ එළියේ පැවසීමට ගියේ ද නැත. එහෙත් මේ අය කවුරුන්දැයි රටම දැනගෙන සිටියහ.

කැබිනට් සම්ප්‍රදායට ගරු කරමින් එදා ආණ්ඩු හා දේශපාලන පක්ෂ ක්‍රියා කළේ එහෙමය. බණ්ඩාරනායක මැතිනියගේ රාජ්‍ය සමයේ සමසමාජ, කොමියුනිස්ට් වැනි ප්‍රබල වාමාංශික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ 1970 සමගි පෙරමුණු ආණ්ඩුව නියෝජනය ක​ෙ‌ළ්ය. එම ආණ්ඩුව තුළ විවිධ පරස්පරතා හා ප්‍රතිවිරුද්ධතා මතු වුවද කැබිනට් සම්ප්‍රදායට ඔවුහු ගරු කළහ.

මේ සියල්ල යම් ප්‍රමාණයකින් වෙනස් වූයේ චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේදීය. කිසිවක් එතරම් පිළිවෙළකට නොවූ එම යුගයේ වුවද කැබිනට් රහස් පිටවූයේ අමාත්‍යවරුන් අතරම ‘මං සුදනා, මං නිවැරැදියි’ යන සම්ප්‍රදායෙන් මිස ජාතික මට්ටමින් රටට හෝ ජාතික ප්‍රතිපත්තිවලට තර්ජනයක් වන අයුරින් නොවේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ පිරිහුණු කැබිනට් විනය තුළ වුවද කැබිනට් රහස් පිටවීමේ යම් ප්‍රතිපත්තියක් දක්නට ලැබුණි. රටට හෝ රාජ්‍ය නායකයා අමාරුවේ වැටෙන ආකාරයෙන් කැබිනට් ඕපාදූප පිටවුණේ නැත. එසේම කැබිනට් මණ්ඩලයක් තුළ කතා කළ යුතු හා නොකළ යුතු කාරණා සම්බන්ධයෙන් යම් අවබෝධයක් තිබුණු බවක් ද ඒවායේ තොරතුරු වාර්තා වූ ආකාරයෙන් පෙනෙන්නට තිබුණි.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වර්තමානයේ පවතින විවෘතභාවය නිසා කැබිනට් මණ්ඩලයේ සිදුවන සමහර කතාබහ මාධ්‍ය අතට පත්වීම වැළැක්විය නොහැක. ඒවා බෙහෙවින්ම මාධ්‍යකරුවන් සතු දක්ෂතා මත සිදුවන්නකි. හිතාමතා කැබිනට් සාකච්ඡා රටට ද්‍රෝහි වන ආකාරයෙන් ප්‍රකාශයට පත්කිරීම අතිශයින්ම පිරිහෙමින් පවතින රටක අරාජික ලක්ෂණයකි. පසුගියදා සිදුවූයේ එවැන්නකි. එය රාජ්‍ය නායකයා ඉලක්ක කරගනිමින් අපේ අසල්වැසි ප්‍රබල රාජ්‍යය හා පවතින සබඳතා පළුදු කිරීමේ අටියෙන් සිදු කළ කැත වැඩකි.
කැබිනට් රහස් කෙළින්ම ඉන්දියාවේ ප්‍රබල පුවත්පතක් වන ‘හින්දු’ පත්‍රයට වාර්තා වන අයුරින් පසුගියදා පිටවී තිබේ. රටත්, රාජ්‍ය නායකයාත් හෑල්ලු වන මට්ටමේ මෙවන් කැබිනට් ප්‍රලාප හෙළිකරනු ලබන හනුමන්තලා ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ කිසිදිනෙක අපට හමු නොවේ. එය කෙළින්ම ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා බිඳවන මට්ටමින් හිතාමතා කරන ලද කුමන්ත්‍රණයක් වාගේය. එමෙන්ම මෙය රාජ්‍ය මට්ටමේ මෙන්ම කැබිනට් සාමූහිකත්වය කෙලෙසූ සුනඛ කාර්යයකි.

මේ අතර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රකාශය ප්‍රශ්නය තවත් අනාගැනීමකි. ඇවිළෙන ගින්නට පිදුරු දැමීමකි. ඉන්දියානු මාධ්‍යවේදිනියගේ තොරතුරු උපුටා දක්වමින් ඔහු පවසන්නේ රෝ සංවිධානයේ ඔත්තුකරුවන් සිව්දෙනකු කැබිනට් මණ්ඩලය තුළ සිටින බවයි. ඉන් දෙදෙනකු සම්බන්ධයෙන් ඔහුට සැකයක් ඇතිවී තිබේ. මේ ප්‍රකාශය දෙවැනි වන්නේ පසුගිය දා සිදුවූ කැබිනට් රහස් විකෘති කර හෙළිදරව් කිරීමට පමණි. ඔහුගේ (මහින්ද අමරවීරගේ) දේශපාලන නායකයා මේ රටේ රාජ්‍ය නායකයා ද වන ජනාධිපති මෛත්‍රීය. ඒ නිසාම ඔහු වගකීම් සහගත අමාත්‍යවරයකු විය යුතුය. දැන් මෙම ප්‍රකාශය මෝඩ ප්‍රකාශයක් ලෙසින් බැහැර කිරීමට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සමහරු සූදානම් ද? යන්න ප්‍රශ්නයකි. එක්කෝ ඔහු එම තනතුරට නොගැළපේ. නැතිනම් තම නායකයා තවත් අමාරුවේ දැමීමට කාගේ හෝ කොන්ත්‍රාත්තුවකට නොදැනුවත්වම හෝ අසුවී තිබේද යන සැකය මතුවේ. 

මේ ආණ්ඩුව කොතරම් පිරිහී තිබේද යන්න ඉන් පැහැදිලිය. රාජ්‍ය නායකයා මෙන්ම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙසින් ජනාධිපතිවරයාට තම රටේ ප්‍රතිපත්තිවලට අදාළ ප්‍රතිපත්තිමය කාරණා ගැන කතා කිරීමේ වගකීමක් හා අයිතියක් තිබේ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඔහුගේ ස්ථාවරයේ රහසක් නොමැත. එය මීට ඉහත දී ඉන්දියානු අගමැතිවරයා සමඟ ද ජනාධිපති මෛත්‍රී කතාබහ කර ගෙන ඇති ප්‍රශ්නයකි.

මෙවන් පසුබිමක කොළඹ වරායේ නැගෙනහිර ජැටිය කල්වේලා ඇතිවම ඉන්දියාවට පැවරීමට තීරණයක් ගෙන තිබේ යැයි හිටිහැටියේ සඳහන් කිරීම ප්‍රශ්නයකි. මේවා කාගේවත් අම්මාගේ අප්පාගේ බූදලයක් නොවේ. එසේ වුවද සහෝදර සහෝදරියන් කීප දෙනකු සිටින තැන දේපළ සම්බන්ධයෙන් තනි තීරණයක් ගැනීමේ අයිතියක් එක් සහෝදරයෙකුට තිබිය නොහැක. එය ලිච්ඡවී හෝ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට අයත් නොවේ.

ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ ලලිත් ඇතුලත්මුදලි යුගය කොළඹ වරායේ ස්වර්ණමය යුගය වශයෙන් සැලකේ. එදා ලෝකයේ 22 වැනි තැන මේ වරායට හිමිව තිබුණි. එහෙත් එක් පර්යන්තයක් වත් වෙන රටකට හෝ පෞද්ගලික අංශයට පවරා නොතිබුණි. ධනවාදී ලලිත්ලාගේ සමය සැලකෙන්නේ එහෙමය. කොළඹ වරායේ ජැටි පෞද්ගලික අංශයට පැවරීම ඇරඹෙන්නේ සමාජවාදී යැයි කියාගත් චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේය. මේ අනුව ‘සවුත් ඒෂියා ගේට් වේ ටර්මිනල්’ ජැටිය වසර 35කට ජෝන් කීල්ස් ආයතනයට 85% හා 15% ප්‍රතිශතයට පැවරේ. මෙහිදී වරාය අධිකාරියට අයත් වන්නේ 15%ක ප්‍රතිශතයකි. ඉන්පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජ්‍ය සමයේ ‘කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්’ නමින් තවත් ජැටියක් චීන රජයේ සමාගමක් සමඟ සංවර්ධනය කිරීමේ ගිවිසුමකට එළැඹේ. එය ද වසර 35ක කාලයකටය. මෙහිදී ඩොලර් මිලියන 500 සෘජු ආයෝජනයකින් චීන සමාගම මඟින් මෙම ජැටිය සංවර්ධනය කෙරේ. එය දැවැන්ත ආයෝජනයකි.

එදා පැවැති වෘත්තීය සමිති උද්ඝෝෂණයේ දී හිටපු ජනාධිපතිවරයා පොරොන්දුවක් ලබා දේ. එනම් නැගෙනහිර ජැටිය කිසිවකුට පැවරීමකින් තොරව වරාය අධිකාරියේ පාලනය යටතේ සංවර්ධනය කරන බවයි. මෙහිදී අලුතින් මීටර් 450කින් දීර්ඝ වන නැගෙනහිර ජැටියේ සංවර්ධන කටයුතු එම යුගයේදීම ඇරඹේ. මේ වනවිට මීටර් 17ක ගැඹුරින් යුත් නැගෙනහිර ජැටිය ලෝකයේ ඕනෑම විශාලතම නැවක් හැසිරවිය හැකි මට්ටමේ පවතී. චීන සමාගමක් මඟින් සංවර්ධනය කර ඇති අනෙක් ජැටිය ද ඒ හා සමාන ගැඹුරකින් යුක්තය. එහෙත් නැගෙනහිර ජැටිය දොඹකර යොදා තවදුරටත් සංවර්ධනය කළ යුතුව ඇත.

ප්‍රශ්නයට බඳුන් වී ඇති නැගෙනහිර ජැටියේ වැඩිපුරම හුවමාරු වන්නේ ඉන්දියානු බහාලුම් බව පැවසේ. එය ප්‍රතිශතයක් වශයෙන් 80%ක පමණ ධාරිතාවකින් යුක්තය. මේ වන විට එහි දෛනික ආදායම වෘත්තීය සමිති සඳහන් කරන පරිදි රු. මිලියන 14කි.
ජනාධිපති මෛත්‍රී වත්මන් යහපාලන රජය යටතේ ද කොළඹ වරායේ 38 වැනි සංවත්සරයට සහභාගි වෙමින් එහි සේවක සේවිකාවන්ට පොරොන්දු වන්නේ කුමක්ද? නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කරන බවය. එතෙක් එය ඉන්දියාවට පැවරීමක් ගැන ඔහු නොදැන සිටින්නට ඇත්තේ මේ රටේ රාජ්‍ය නායකයා ද එතුමාම වන නිසාය. නැවත මේ වසරේදී මැයි මස රැස්වූ ජාතික ආර්ථික සභාව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය මඟින් සංවර්ධනය කිරීම ප්‍රතිපත්තියක් ලෙසින් අනුමත කරනු ලැබීය. එම ප්‍රතිපත්තිමය තීරණය ගනු ලබන්නේ ජනාධිපති, අගමැති හා මුදල් ඇමති හා ව්‍යවසායක සංවර්ධන ඇමති යන අය සහභාගිවන උත්තරීතර ආර්ථික කවුන්සිලය සේ සැලකෙන ආයතනයේ 2018.05.15 දින රැස්වීමේදී ය. මේ තීන්දුව ගනු ලැබූ අවස්ථාවේ දී ද මේ සියල්ලම ආර්ථික සභාව නියෝජනය කළ බව දැනගැනීමට තිබේ. ඉන් අනතුරුව ජනාධිපතිවරයා 2018.05.17 දින කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමේ කැබිනට් සටහනක් මඟින් කරන ලද දැනුම් දීම ද කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.

අමාත්‍ය මහින්ද සමරසිංහ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමේ කැබිනට් පත්‍රිකාව නොබෝදා ඉදිරිපත් කළේ මේ එකඟතාවලට අනුකූලවය. එය මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් වන්නේ සුපුරුදු නිරීක්ෂණ උදෙසාය. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නකි. මෙහිදී හදිස්සියේ නින්දෙන් අවදි වූවා සේ එහි නිලධාරීන්ට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද? එදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ද ආර්ථික සභාව නියෝජනය කළ එක් අයෙකි. එසේ නම් නැගෙනහිර ජැටියේ අවුල කාගේද? එහි නිර්මාතෘවරු කවරහුද? කුමන්ත්‍රණයක් නම් එය නිෂ්පාදනය වන්නේ කොතැනින් ද යන්න පැහැදිලිය.

ශ්‍රී ලංකාව වැනි ජාතික ප්‍රතිපත්තියක් හෝ ජාතික බුද්ධි මණ්ඩලයක් නොමැති කලාපීය භූ දේශපාලනයේ දී වැදගත් වන රටක් සංවර්ධනය කිරීමේ දී නායක කාරකාදීන් ප්‍රඥාගෝචරව කල්පනා කිරීමේ වැදගත්කම අමුතුවෙන් කියා දිය යුතු නැත. සාක්කුව ගැන පමණක් කල්පනා නොකරන්නේ නම් ඊට සුදුසු අය අප අතර සිටිති. එසේම සංවර්ධනයේ දී බාහිර පාර්ශ්ව සම්බන්ධ කර ගැනීමේ වරදක් නොපෙනේ. මේ වන විට ඉන්දියන් සාගරයේ අප ජීවත්වන කලාපය කලාපීය බලවතුන්ගේ දඩබිමක් බවට පත්ව ඇත. ඒ සමඟම හොඳට නරකට දෙකට පමණක් නොව සහෝදරකමකට වුව ද අසල්වාසී ප්‍රබල රාජ්‍යයක් ලෙසින් අපට සිටින්නේ ඉන්දියාව බව ද අමතක කළ යුතු නැත. එසේම චීනය සමඟ ද අපේ පවතින්නේ ඓතිහාසික සබඳතාවකි. මේ වන විට මේ දෙදෙනාම කලාපීය බල අරගලයක නිරතව සිටිති. අපේ රටේ නායකයන් එක ප්‍රතිපත්තියක පිහිටා එක හඬකින් කටයුතු කරන්නේ නම් මේ කිසිවෙක් අපට එරෙහි වන්නෝ නොවෙති.

හම්බන්තොට වරාය චීනයට පවරා දී, කොළඹ වරාය අසලම චීනලන්තයක් ඉදිකිරීමට ඉඩදී, කොළඹ වරායේ එක් පර්යන්තයක් ද චීනයට දීමෙන් ඉන්දියාවට තේරුම් යා හැක්කේ කුමක්ද? චීනය ශ්‍රී ලංකාව හරහා ඉන්දියානු සාගරයේ ඉන්දියානු දේශසීමා වටකරමින් සිටිනවාදැයි කියන්න දන්නේ නැත.

එසේනම් මේ වනවිට ශ්‍රී ලංකාව අවට ඉන්දියානු සාගර කලාපය බලවතුන්ගේ කෙළිබිමක් වෙමින් පවතින්නේ කාගේ වරදකින්ද? ඊට ඉන්දියාවත්, චීනයත් වගකිවයුතු නැත. වරද ඇත්තේ අපේ රටේ එදා වේල ටුවර්ස් දේශපාලනය තුළය.