ධම්ම දිසානායක

මෙවර ලිපිය තේමා කීපයක් පාදක කරගෙන ලියන්නේ ඒ සෑම තේමාවක් ම අපේ ජන සමාජයට අතිශයින්ම අදාළ ඒවා වන නිසාය. මෙරට මිනිසුන් අති විශාල ප්‍රමාණයක් දරාගත නොහැකි ආකාරයේ බහුවිධ දරිද්‍රතාවකින් පෙළෙන බව හරියාකාරව දැනෙන්නේ තේරෙන්නේ මහජන සම්බන්ධතා දිනවල මැති, ඇමති, ආණ්ඩුකාර සහ නිලධාරි යනාදීන් ඉදිරිපිට ඔවුන් හෙළන කඳුළු, නඟන සුසුම් සහ හැඬුම් පෙනෙන සහ ඇසෙන විට ය. මිනිසුන් කොතරම් නම් රෝග පීඩාවල ට මුහුණ දෙනවාද යන්න සහ එයිනුත් සාමාන්‍ය ජනයා නිසි ප්‍රතිකාරයක් නැතිව ළතැවෙන දුක්වෙන ආකාරය දැනෙන්නේ තේරෙන්නේ රෝහල්වලට ගිය විට ය. ඒ මිනිසුන්ම තම දරුවන්ට පාසලක් සහ නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකිව දුක්වෙන සහ ළතැවෙන ආකාරය දැනෙන්නේ තේරෙන්නේ ඉහත කී මහජන සම්බන්ධතා දිනවල බලධාරීන් ඉදිරියේ දුක්ගැනවිලි ඉදිරිපත් කරන ඔවුන්ගේ මුහුණුවල සහ වචනවල දුක්බර සහ අසරණ පෙනුම නිරීක්ෂණය වන විටය. කවරාකාරයේ මත් ද්‍රව්‍යයකට තම දරුවන් බිලිවේද යන බියෙන් පසුවන, පාසල් තාප්ප සහ වැටවල්වලින් එපිට සිටින මවුපියන්ගේ අසරණ මුහුණු මහා අඳුරකය.

දුප්පත්කම, සෞඛ්‍ය ප්‍රශ්නය, අධ්‍යාපන අර්බුදය සහ මත් උවදුර යන තුන් බිය නොව සතර බියට මුහුණ දී අසරණව හතර අතේ කැරකෙන දඟලන මිනිසුන්ගේ තනි නොතනියට වටවී සිටින්නෝ හතරවරම් දෙවිවරුන් හෝ තිස්තුන් කෝටියක් දෙවිවරුන් නොව යක්ෂයෝ සහ පිසාචයෝ ය. එසේම ඒ අර්බුදවලට පිළිතුරු නොව එකී අර්බුද තව තවත් ශක්තිමත් කරන පරිවාර අර්බුද සහ ගැටලුය. හේතුව කුමක්ද? මේ සියල්ලට හේතුව නම් දේශපාලනය අදේශපාලනික වීම සහ නිලධාරීන් බලධාරීන් නැතහොත් නිලබලවතුන් වීමය. නියම දේශපාලනය යනු ජනයාගේ යහ පැවැත්ම සාධනය කිරීමය. නිලධාරීන් යනු ඒ සඳහා වූ උපකාරක යාන්ත්‍රණයය. අදේශපාලනය සහ නිලබල පුළුවන්කාරකම විසින් අත්පත්කර ගත් සහචර සම්බන්ධතා බලවත්ව ඇති පසුබිමක ඒ අදාළ නිසි අර්ථ වල් වැදී ඇත.

රටට ඉහළ අහස, වටකොට ඇති මහ මුහුද සහ කඳුසිඛර සානු තැනිතලා ගංගා ඇළදොළ සහිත මහපොළොව විතරක් නොව ඒ සියල්ල පාලනය කරන “ජනතා පරමාධිපත්‍යයයේ මහ ගෙදරත්” කොකේන් හෙරොයින් සහ තවත් සිය ගණනින් වූ මත් ද්‍රව්‍ය නම්වූ කළු ඝන වලාවකින් වැසී ගොස්ය. මේ ඝන කළු වලාකුළ රටට කියාදෙන පණිවිඩය වන්නේ තව දුරටත් මේ පාලකයන් පොදුජන සමාජයේ නියෝජිතයන් ලෙස බාර ගැනීම නොකළ යුත්තක් බවය. ඊට හේතුවත් පෙරකී අයුරින් දේශපාලනය අදේශපාලනය බවට පත්වී තිබීම සහ මහජන උපකාරකයන් අදේශපාලනයේ සහචරයන් වීමය.

ඕනෑම සමාජයක ජන ජීවිතයට අතිශයින්ම අදාළ සහ සංවේදී කලාප ඇත. අපේ රටේ සෞඛ්‍යය, අධ්‍යාපනය සහ රාජ්‍ය සේවය යනු එවැනි අතිශයින්ම තීරණාත්මක කලාපයෝය. ඒ කලාප අදේශපාලනය සහ බලපුළුවන්කාරකම විසින් අත්පත් කරගත්තොත් ඇතිවන තත්ත්වය ජනයාට අතිශයින්ම හානිකරය. ඇතැමෙකු මෙතැනදී භාවිතා කිරීමට ඉඩ ඇති දේශපාලනය සහ නිලධාරීන් යන්න නොව අදේශපාලනය සහ නිලබල පුලුවන්කාරකම යන්න මා යොදා ගන්නේ නියම දේශපාලනය සහ නිලධාරිකම ජන පීඩක ඒවා නොවන නිසාය.

මේ රටේ අධ්‍යාපනය මේ වනවිට අදේශපාලකයන්ගේ සහ නිලබලවතුන්ගේ අණසකට මුළුමනින්ම වාගේ යටත් වී ඇත. ජාතික මට්ටමේ පාසල් මෙන්ම පළාත් මට්ටමේ ඇහැට කනට පෙනෙන කිසියම් පාසලක් වේද ඒවා අර අදේශපාලකයන්ගේ සහ නිලබලවතුන්ගේ අනේකවිධ නැටවීම්වලට සහ ග්‍රහණයට අසුවී තිබීම අනිවාර්ය වී ඇත. අවංක නිලධාරීන් සිටියද ඔවුන් පවා අදේශපාලකයන්ගේ සහ නිලබලවතුන්ගේ පීඩනයට සහ හිංසනයට අවනත වී කරබාගෙන සිටීම සාමාන්‍ය දෙයක් වී ඇත. පාසල්වල විදුහලපතිවරුන්/වරියන් පත්කිරීම්, පත්වී එන විදුහල්පතිවරුන්/වරියන් දිගටම රඳවා ගන්නවාද නැද්ද යන්න තීරණය කරන්නේ නියමිත නීතිරීති රෙගුලාසි විසින් නොව අදේශපාලකයන්ගේ සහ නිලබලවතුන්ගේ ළැදියා නැතහොත් කැමැති අකමැතිකම් මතය. ගුරුවරුන් මාරුකරන්නේත් අතිරික්ත ගොඩගසන්නේත්, උසස්වීම් ලබාදෙන්නේත් ඒ වගේම විනය පරීක්ෂණ තියන්නේ හෝ නොතියන්නේත් ඒ අදේශපාලකයන්ගේ සහ නිලබලවතුන්ගේ කැමති අකමැතිකම් සහ රුස්සන නොරුස්සනාකම්වලට අනුකූලවය. රටේ බොහෝ විදුහල් මේ නොමනා ක්‍රියාවේ අසරණ ගොදුරුය. දරුවනුත් මවුපියනුත් ගුරුවරුනුත් විදුහල්පතිවරුනුත් ආත්මගරුත්වය සිඳගත් අසරණුන් බවට පත් වී ඇත. අධ්‍යාපනයේ සංවේදීම තැන පාසලය. එතැනට අවශ්‍ය නිදහස සහ ගෞරවය අදේශපාලනයේ සහ නිලබලවතුන්ගේ අනිසි මැදිහත්වීම්වලින් ඉහවහ ගිය කල්හි ඇතිවන තත්ත්වය වනාහි පාසල බොල් අස්වනු සහිත කෙතක් හෝ මුඩු බිමක් බවට පත්වීමය. අප සියලු දෙනා මැදිහත්විය යුත්තේ ඉතා අසීරු කටයුත්තක් වුවත් මේ ව්‍යසනයෙන් පාසල බේරා ගැනීමටය.

අධ්‍යාපනය පමණක් නොව සෞඛ්‍යය, ප්‍රවාහනය, කෘෂිකර්ම, ධීවර, පොදුජන උපයෝගිතා සේවා, මහජන පීඩා ඉවත් කිරීමේ ව්‍යාපෘති සහ දිළිඳුකම පිටුදැකීම සඳහා වූ වැඩසටහන් සියල්ල අදේශපාලනයේ සහ නිලබල පුලුවන්කාරකමේ ග්‍රහණයට සහ අණසකට නතු වී ඇත. ඔවුන්ගේ ඕනෑ එපාකම් අනුව මෙහෙයවනු ඇත. මේ අතිශය සංවේදී කලාප අදේශපාලනයේ සහ නිලබල පුලුවන්කාරකමේ අණසකට යටත්වීම නිසා රටේ සමස්ත ජනයා වැටී ඇත්තේ බරපතළ අනතුරකටය.

මේ දිනවල උතුරේ අතුරුදහන් වූවන්ගේ ඡායාරුප අතින් ගත් ඥාතීන් වීදි බැස ඇත. ජිනීවා මානව හිමිකම් සමුළුව කාලයට මේ දසුන් සුලබය. ඒ බොහෝ අතුරුදහන් වුවන් බලහත්කාරයෙන් රැගෙන ගියේ කොටි සංවිධානය විසින්ය. ඇතැමුන් පැහැරගෙන ගියේ පාසල්වල ඉගෙනගනිමින් සිටියදීය. ඒ බොහෝ අය හය හතර නොදත් ළමයිය. එහෙත් ඔවුන්ගේ මවුපියන් ඒ අතුරුදහන් වූවන් ඉල්ලන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයෙන්ය. නැතහොත් ආණ්ඩුවෙන්ය. මේ ඉල්ලීම අසාධාරණ යැයි කෙනෙකුට සිතෙනු ඇත. එහෙත් එහි වෙනත් අර්ථයක් ඇත. එනම් දෙමළ ජනයා තවමත් රාජ්‍යය සහ ආණ්ඩුව ගැන විශ්වාසය තබා ඇත යන්න එක අර්ථයකි. ඒ අනුව කවුරු කළත් ඒවා පිළිබඳ මග හැරිය නොහැකි වගකීමක් රාජ්‍යය සහ ආණ්ඩුව වෙත ඇතිය යන අදහස ඒ ක්‍රියාවලිය තුළ අන්තර්ගතව ඇත. කවුරු අතුරුදන් කළත් රාජ්‍යය සහ ආණ්ඩුව ඒවාට වගඋත්තර බැඳිය යුතුය. විධිමත් රාජ්‍යයක සහ ආණ්ඩු ව්‍යුහයක හැටි එහෙමය. එහෙත් මේවා පිටුපස ඇත්තේ වෙනත් හේතුය. එනම් දෙමළ ඩයස්පෝරාව සහ එහි අනුග්‍රහය ලබන ‘ඉහළ කුලවල’ පාලකයන්ගේ බල දේශපාලන අරමුණු ඒ විරෝධතා පිටුපස ඇති ඇත්ත හේතුය.

මීට අදාළ ප්‍රධාන ගැටලුවක් වන්නේ අතුරුදහන් වූවන් හෝ ඔවුන් පිළිබඳ තොරතුරු හෝ ඉල්ලා දෙමළ පිරිසක් රාජ්‍යයට සහ ආණ්ඩුවට බල කරද්දී 87-90 වකවානුවේ අතුරුදන් වූවන් හෝ ඔවුන් පිළිබඳ තොරතුරු හෝ ඉල්ලා අඩුම තරමින් ජිනීවා කාලයටවත් සිංහල ජනයා උද්ඝෝෂණය නොකරන්නේ ඇයිද යන්නය. සිංහලයන්ගේ ඥාතීන් ලක්ෂයක් පමණ දකුණේදී අතුරුදන් කෙරිණ. යුද්ධය නිසා තවත් දහස් ගණනක් වූ සිංහල පිරිසක් උතුරේදී අතුරුදන් කෙරිණ. මේ කිසිවකු ගැන සිංහල ජනයා හඬක් නොනඟන්නේ ඔවුන්ට රාජ්‍යය සහ ආණ්ඩු විශ්වාස නැති නිසා ද? නැතහොත් කාලයත් සමඟ ඒ අතුරුදන් වූවන් පිළිබඳ මතක හුදු අතීත සංවේදනා බවට පත් වී තිබීමද? එසේත් නැතහොත් සිංහල ඩයස්පෝරාවක් හෝ යුරෝපීය මානවහිමිකම් කර්මාන්තකරුවන් මේ ජනයා වෙනුවෙන් පෙනී නොසිටින නිසා ද? එසේත් නැතහොත් සිංහලයාට මොන විපත වුවත් කමක් නැති නිසා ද? මේ ප්‍රශ්න නැඟුවේ ඒවාට පිළිතුරු කල්පනා කිරීම හරහා ඔබගේ දේශපාලන සමාජ සාක්ෂරතාව වර්ධනය වන නිසාය.

මේ සමාජ දෙකම එක දෙයක් නම් සමානව ප්‍රදර්ශනය කරමින් සිටිනු පෙනෙයි. එනම් තරගයට මෙන් දෙගොල්ලෝම අදේශපාලනික පාලකයන්ගේ සහ නිලබලවතුන්ගේ සටකපටකම්වලට නියමෙටම දීර්ඝකාලීනව හසුවී ඇති බවයි. මින් ගැලවීමේ මඟක් සෙවීම මේ දෙපිරිසේම වගකීමය.

විටින්විට කලින් කලට විවිධ හේතු උඩ මතුවන මාතෘකා අපමණය. ඒ සියල්ල මැද දිනපතා අඛණ්ඩව පැහැදිලිව මතුවී පෙනෙන නිදන්ගත අර්බුදයකට රට සොයන විසඳුම් තවමත් ප්‍රයෝගිකව සාර්ථක වී නැත. ඒ අර්බුදය දුප්පත්කමය. රටේ සියලු පළාත්වල ආරක්ෂක කමිටු උත්සාහ ගන්නේ බරපතළ අපරාධ, මිනී මැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර සහ මත්ද්‍රව්‍ය ව්‍යසන යනාදියෙන් ජනයා බේරා ගැනීමටය. එහෙත් ඒ කිසි කමිටුවක් සමාජයේ භයානකම බරපතළම අපරාධය වන දරිද්‍රතාවෙන් ජනයා ගලවා ගැනීම සඳහා සිය අවධානය යොමුකරන්නේ නැත. රටේ ඇති භයානකම බරපතළම අපරාධය දරිද්‍රතාව අන් සියලු අපරාධවලට මුල බව ඒ කවුරුත් වටහාගෙන නැතිද? අවසාන වශයෙන් යෝජනා කරන්නේ සබරගමු ආරක්ෂක කමිටුවවත් ඒ වටහාගැනීම මත පදනම්ව ක්‍රියාත්මක කිරීමට අදාළ වගකිවයුත්තන් කටයුතු කළ යුතු බවය. ඉන් රටටම පාඩමක් කියා දිය හැකිවනු ඇත යන්න මගේ විශ්වාසය ය.