නැවතී තිබෙන රජයේ ඇතැම් කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය එළැඹෙන සතියේදී නව පනත් කෙටුම්පතක් සම්මත කරගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලොසි ප්‍රකාශ කළාය.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂය අතර ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් එරට රජයේ කටයුතු හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් අකර්මණ්‍ය වී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝ දේශසීමාව අතර ඉදි කෙරෙන තාප්පයට මුදල් වෙන් නොකරන්නේ නම් තමන් කිසිදු පනත් කෙටුම්පතකට අත්සන් නොකරන බව ඇමෙරිකා ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. එහෙත් එම තාප්පයට කිසිදු මුදලක් වෙන් නොකරන බවත් එසේ දේශසීමාවේ තාප්පයක් ඉදි කිරීම අශිෂ්ට හා ආචාර ධාර්මික නොවන ක්‍රියාවක් බවත් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රකාශ කරයි.
මේ තත්ත්වය හේතුවෙන් සති තුනක් මුළුල්ලේ ඇමෙරිකා එක්සත් ජනපදයේ රජයේ කටයුතු අඩකට වැඩි ප්‍රමාණයක් නැවැතී තිබෙන අතර රාජ්‍ය සේවකයන් සිය දහස් ගණනකට වැටුප් ද ගෙවා නොමැත.
මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයේ සාමාජිකයන් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් සෙනසුරාදා (5) පැවැත්වුණු නමුත් එම සාකච්ඡා අසාර්ථක විය.
නැවතී තිබෙන රජයේ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා පසුගිය සිකුරාදා ඩිමොක්‍රටික් පක්ෂය පනත් කෙටුම්පතක් සම්මත කරගත් අතර එයින්ද ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාවේ තාප්පය ඉදි කිරීමට මුදල් වෙන් කර තිබුණේ නැත.
ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාවේ තාප්පය ඉදි කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපතිවරයා එක්සත් ජනපද ඩොලර් බිලියන 5.6ක මුදලක් ඉල්ලා ඇත.
ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසය කොටස් දෙකකින් සමන්විත අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය හිමිව ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයටයි. කතානායිකා නැන්සි පෙලොසි නියෝජනය කරන්නේ ද එම පක්ෂයයි.
සෙනසුරාදා පැවැති සාකච්ඡා අසාර්ථක වූ බැවින් මේ සතියේදී නැවතී තිබෙන රජයේ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා කෙටිකාලීන පියවර ගත හැකි පනත් කෙටුම්පතක් සම්මත කරගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය කටයුතු කරන බව කතානායිකා නැන්සි පෙලොසි සඳහන් කළාය. භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවෙන් සහ ආදායම් බදු සේවාවෙන් එම පියවර ගන්නා බව ද ඇය කීවාය.
“මේක කරන්න ඕනේ. එතකොට ඇමෙරිකාවේ ජනතාවට ඔවුන්ගේ බදු අරමුදල් නියමිත පරිදි ලැබෙනවා” යැයි ඇය පැවැසුවාය.
රොයිටර් ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 17
91
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
931
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඩිමොක්‍රටික් පක්ෂය නව පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට යයි