ලොක්ඩවුන් කලාපයේ සිට...


 

වේලාව සවස තුනට පමණය. අහස වැහි වලාකුළකින් අඳුරු පැහැ ගැන්වී තිබේ. කලින් වට වැස්සෙන් එකතු වූ වතුර තවමත් පාර දෙපස තැන තැන ඉතිරි වී තිබේ.   


එපමණකි. වෙනදා මෙන් ඒ වතුර මඟහැර පාර මැදින් එහෙ මෙහෙ යන ජනී ජනයා කවුරුවත් නැත. කොටින්ම කිව්වොත් බල්ලකේවත් පාරක නැත.   


හේතුව නගරය ලොක්ඩවුන් ය. මගේ ගමන පන්සල ළඟිනි. වෙනදා කොයි මොහොතක මෙතැනින් ගියත් පන්සලේ කවුරුන් හෝ සිටින්නේමය. පන්සල ඉදිරිපිට පාරේ පටු තීරුවේ වාහන දෙක තුනක්වත් නතර නොකළ මොහොතක් නැති තරම්ය. එහෙත් මෙදා මුළු පන්සලම පාළුවට ගොසිනි. වෙන එකක් තියා පන්සලේ දැවැන්ත ගේට්ටු පලු දෙක ද වසා දමා තිබේ.   


පන්සලට ඔබ්බෙන් පාසලයි. එහෙත් පාසල් බිම ද ඒ අවට ද පාළුවට ගොසිනි. ඇඳිරිනීතිය මධ්‍යයේ වුවත් උසස් පෙළ විභාගය පැවැත්වෙන නමුත් පාසල පාළුවට ගොසිනි. පනවා ඇත්තේ පොලිස් ඇඳිරිනීතියයි. ‘ලොක්ඩවුන්’ කිව්වත් ‘කර්ෆිව්’ කිව්වත් වෙනස ඇත්තේ වචන දෙකේ පමණි. නගරයට මේ කොයිකත් බලපාන්නේ එකම විදිහටය.   


මෝටර් රථයක් ඉදිරියට එනු පෙනෙයි. එය කලබලයෙන් මෙන් බොහෝ වේගයකින් ධාවනය වෙයි. හේතුව පාර හිස් වීමය. වෙනදා මෙන් යතුරුපැදි, මෝටර් රථ, ලොරි, ට්‍රැක්ටර් ආදී කිසිදු වාහනයක්වත් ළමා ළපටි, මැදිවිය, මහලු ආදී වූ විවිධ වයස්වල කිසිවෙක්වත් පාරක් හරියේ නොසිටීමය.   


මම නගරයට ගියෙමි. මගේ අවශ්‍යතාව වූයේ ෆාමසියකට ගොස් බෙහෙත් වර්ග කිහිපයක් මිලට ගැනීමය. ෆාමසිය ඉදිරිපිට දොරේ පුවරුවකි. ‘අත් පිරිසිදු කරගෙන පැමිණෙන්න. එකවර සිවුදෙනකුට වඩා ඇතුළු නොවන්න.’ දොරේ සවි කර තිබූ විෂබීජ නාශක දියර සහිත බෝතලයෙන් බිඳක් ගෙන දෑත් පවිත්‍ර කරගත් මම ෆාමසියට ඇතුළු වීමි.   


ඉටි රෙදිවලින් ආවරණය කරන ලද කොටසෙහි යුවතියන් සිවුදෙනෙක් මුඛ ආවරණ පැළඳගෙන සිටිති. මගෙන් බෙහෙත් තුණ්ඩුව ගත් එක් යුවතියක් අංකයක් දුන්නාය.   


මම පසෙකට වීමි. යුවතිය පාඩුවේ බෙහෙත් තෝරන හැටි ඉටි ආවරණයට ඔබ්බෙන් පෙනෙයි. ෆාමසියේ දොර යළි ඇරිණි. ඉන් ඇතුළු වූයේ කාන්තාවකි. බොහෝ අමාරුවෙන් පිය තැබූ ඇය මාස්ක් එකක් පැළඳ සිටියාය. අත වූ බෙහෙත් තුණ්ඩුව යුවතියකට දුන් ඇය මොනවාදෝ කියනු පිණිස මුඛ ආවරණය නිකමට පහත් කළාය. මම සැණින් අඩියක් පස්සට වීමි. දෙදෙනකු අතර පරතරය අවම මීටරයක් විය යුතුය.   


මගේ බෙහෙත් තුණ්ඩුවට අදාළ ඖෂධ කවර කිහිපය සූදානම්ය. මිල ගෙවා ඉතිරි මුදල් අතට ගත් මම වීදුරුව මත තබා තිබූ විෂබීජහරණ ද්‍රව බෝතලයෙන් බිඳක් ගෙන දෑත පිරිසිදු කර ගතිමි. ඔසු කවර අතට ගත්තේ අනතුරුවය. නගරයේ ඔබමොබ ඇවිදින කිහිපදෙනෙකි. ඔවුන් පසු කරගෙන ගිය මම මාළු වෙළෙඳසල ළඟ නතර වීමි. එය වසා දමා තිබේ. එහෙත් වාහන ගණනාවක්ම එය ඉදිරියේ නතර කර ඇත. වෙළෙඳසලේ පිටුපස සිට මාළු රැගත් පාරිභෝගිකයන් දෙතුන් දෙනෙක් එනු පෙනිණි. ‘මාළු කඩේ වහලා ද?’ මම ඇසීමි. ‘පිටිපස්සෙන් ඇරලා’

 


අනෙක් පාරිභෝගිකයන් අනුගමනය කළ මම පස්සා දොරෙන් මාළු වෙළෙඳසලට ගොඩ වුණෙමි. නගරයේ බොහෝ කඩ සාප්පු වසා දමා ඇත. මාස කිහිපයකට කලින් ඇඳිරිනීතිය නිසා රටම ලොක්ඩවුන් වූ කාලයේ මෙන්ම මේ කාලයේ ද ‘ලොක්ඩුවන්’. නගරයේ ජනතාව හුදෙකලා වී සිටිති. 

 
පාර දෙපස බොහෝ ගෙවල්වල දැවැන්ත ගේට්ටු පලු වසා දැමූ ගමන්මය.   


පොලිස් යතුරුපැදියක් එනු පෙනෙයි. පාරවල් මෙන්ම අවට ද විමසිල්ලෙන් බලමින් යන පොලිස් නිලධාරීන් ඇඳිරිනීතිය කඩකරන්නවුන් සොයනවා විය යුතුය. නැතහොත් කොරෝනා මාරයා සොයනවා විය යුතුය. ඌ සැඟව සිටින්නේ මිනිසුන්ගේම පපු කුහර සහ නාස කුහරවලය. ඒ නිසා හැම මිනිසෙක්ම හැම ගැහැනියක්ම මුඛ ආවරණ නිසි ලෙස පැලඳගෙන ද නිසි පරිදි අත් සෝදන්නේ ද යන්න ගැන ඔවුන් ද අවධානය යොමු කරනවා විය යුතුය.   


නොපෙනෙන යක්ෂයා මෙවර පැමිණ ඇත්තේ වැඩිපුර වයිරස් රැගෙනය. ඒ නිසා බෝවීමේ ප්‍රවණතාව වැඩි බව සෞඛ්‍ය අංශයෙන් කියැවිණි. අවදානම වැඩි වශයෙන් පවතින නගර ගම්මාන ලොක්ඩවුන් කළේ කොරෝනා නමැති හුදෙකලා යක්ෂයා හුදෙකලා කර අඩපණ කරනු පිණිසය. ඌට පහරදිය හැකි හොඳම ක්‍රමය දුම්මල ගැසීම නොවේ. හුදෙකලා කිරීමයි. නහයකින් නහයක්, කටකින් කටක්, මුහුණකින් මුහුණක් දුරස් කිරීමය. කොටින්ම කිව්වොත් එකෙකුගෙන් එකෙක් දුරස්ථව තැබීමය.   


ඉන්ධන අලෙවිහල විවෘතය. එහෙත් එකදු රථයක්වත් එතැන නැත. එක්කෝ පළමු කොරෝනා රෝගියා වාර්තා වූ මොහොතේ නගරයට පැමිණ බඩු බාහිරාදිය මිලට ගත් වාහන කන්දරාව ඉන්ධන ද පුරවාගෙන යන්නට ඇත. එහෙම නැත්නම් සියල්ලෝම ගමන් බිමන් අතහැර ගෙවල්වලටම කොටු වී සිටින්නට තීරණය කර සිටිනවා විය හැකිය. ගෙවල්වල ඉන්නට මොන ඉන්ධන ද? ඉන්ධනහලේ සේවකයන් දෙතුන් දෙනෙක් ලොක්ඩවුන් නගරයේ හුදෙකලාව දෙස බලා සිටිති. 

 
මම යළිත් ගමට යන්නට හැරුණෙමි. සාමාන්‍යයෙන් ගමේ කඩවල පිටුපස්සේ දොර විවෘතව තැබේ. ඒ ගමේ කෙනකුට හදිසියේ බඩුවක් මුට්ටුවක් මිලට ගැනීමට අවශ්‍ය වුවහොත් එය ලබාදෙන්නටය. ඉතින් මම කඩේ පිටුපස දොරටුවට ගියෙමි. ඉකුත් වූ කිසි දවසක මුඛ ආවරණයක් පැළඳ නොසිටි මුදලාලි මුඛ ආවරණයක් පැලඳ සිටියේය.   

 


‘මෙච්චර කාලයක් කොරෝනා තිබ්බට අපේ ළඟට ඇවිත් තිබුණේ නැහැනේ. රටේ තැන් තැන්වල ටික ටිකනෙ තිබුණේ. ඒ හින්ද බයක් තිබුණෙ නැහැ. ඒත් මෙදා පාර අපේ ළඟටම ඇවිත්. මුඛ ආවරණයක් නැතුව ඉන්න එක දැන්නම් භයානකයි.’ ඔහු කීවේය.   


‘මම ටවුමට ගියා බේත් ටිකක් ගන්න. බලු බල්ලෙක් නෑ ටවුමෙ.’ මම කීවෙමි.   


‘කොරෝනා ලෙඩෙක් හම්බ වුණා කිව්ව හැටියෙ හැමෝම ඇවිත් මාසෙකට විතර බඩු අරගත්තනේ. මමත් හාල් ලොරියක්ම බා ගත්තා. ඔක්කොම ඉවරයි දැන්.’  


පරණ අත්දැකීම්වලින් මිනිසුන්ට දුර පෙනෙන්නට පටන් ගෙන තිබේ. යළිත් කොරෝනා බිය දැනුණු හැටියේම ඉදිරි පියවර ගැන ඔවුනට හැඟෙන්නට ඇත. යළිත් ලොක්ඩවුන් සමයක ගෙදරට කොටු වී කකා බිබී ඉන්නට සිදුවන බව වැටහෙන්නට ඇත.   


 මම කරවල ටිකක්, සබන් කෑලි දෙක තුනක් ​රැගෙන කඩෙන් පිටවුණෙමි. කඩයේ පිටුපස්සට යන සහෝදර ගම් වැසියෙක් මඳකට නතර විණි.   


‘මාර වැඩේ නේද වුණේ? ආපහු මාසයක් විතර අපිට ගෙවල්වලට කොටු වෙන්න වෙයි වගේ.’ ඔහු කීවේය.   
‘ඒක නේන්නම්.’


‘කොහෙද ඉතින් අපේ රටේ උදවිය හිටියේ කොරෝනා අවදානමක් නෑ වගේනෙ. අරහේ ඉන්දියාවේ ලක්ෂ ගණන් ලෙඩ්ඩු හම්බ වුණා. අපිට අවදානමක් නැති වෙන්නේ කොහොම ද? ඒත් අන්තිමේදී මුඛ ආවරණ දැම්මේ කීයෙන් කී දෙනා ද? අත් හෝදන්න හයි කරපු ටැප් ළඟ සබන් නැති වුණා. ඊට පස්සේ වතුරත් නැති වුණා. තිබ්බ සෞඛ්‍ය නීති ටික හරියට පිළිපැද්දා නම් ඔය යක්ෂයා පරද්දන්න තිබ්බා.’ ඔහු විස්සෝප විය. මම ද හිස සැලීමි.   


දැන් ඉතින් යළිත් යක්ෂයාගේ බැල්ම වැටී තිබේ.   


හැබැයි තාමත් තුන් බියක් නැත. ඇත්තේ රෝ බිය පමණි. එහෙත් එක පාරටම පන්සලේ ශබ්ද විකාශන යන්ත්‍රවලින් රතන සූත්‍ර හඬ ගුවනට මුසුවිය. ඉකුත් ලොක්ඩවුන් කාලය පුරාවටම උදේ හවස දෙකේම රතන සූත්‍රය සජ්‍ඣායනා කරන හඬ අපට ඇසිණි.   


එහෙත් රට සාමාන්‍යකරණය වීමත් සමග එය ද නැවැතිණි.   


‘අපේ බුදු හාමුදුරුවෝ ඔය රතන සූත්‍රය දේශනා කළේ විශාලා නුවර තුන් බිය රජ කරද්දිනේ පුතේ. ඉතින් හැමදාම උදේ හවස දෙකේම මුළු රටේම රතන සූත්‍රය දේශනා කළා නම් මේ රෝ බිය දුරු කරන එක මහ දෙයක් නොවේ.’ කඩේ අද්දර ගෙදර උපාසක නැන්දා බලෙන්ම කතාවට එකතු වූවාය.  


‘ඒක තමයි.’   


මම ද එකඟතාව පළ කළෙමි.

 

 

ශාන්ත කුමාර විතාන
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක