අයවැය අස්සේ අයවැය ගැන කතා නැත


එජාපය දිනන වැඩපිළිවෙළ 

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තුළදී දිස්ත්‍රික් රැස්වීම් මාලාවක් පැවැත්වීමට තීන්දු කොට තිබෙන බවයි. එසේම වර්ග ප්‍රමාණයෙන් විශාල දිස්ත්‍රික්කවල රැස්වීම් කිහිපයක් නගර මට්ටමෙන් පැවැත්වෙන අතර කුඩා දිස්ත්‍රික්කවල එක් රැස්වීමක් පැවැත්වීමට තීන්දු කොට තිබෙන බවද ඔහු කීවේය.


එක්සත් ජාතික පක්ෂය දිනන වැඩපිළිවෙළ කුමක්දැයි මෙහිදී ජනපති රනිල් ප්‍රශ්න කර සිටියේය. එම වැඩපිළිවෙළේ පළමු අංගය ලෙස දිස්ත්‍රික් රැස්වීම් පැවැත්වෙන බව රංගේ කියා සිටියේය. එම රැස්වීම් සංවිධානය කිරීම හා සැලසුම් සකස් කිරීම නියෝජ්‍ය නායක රුවන්, සභාපති වජිර හා මහලේකම් රංගේට ද බාර දුන්නේ ජනපති රනිල්ය.
පක්ෂය දිනන සැලසුමට අදාළ දළ වාර්තාවක් මහලේකම් රංගේ ඉදිරිපත් කළ අතර ඊට ජනපතිගේ ප්‍රසාදය හිමිවූවේය.  “ලබන වසරේ මැතිවරණ දෙකක්ම එන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙන නිසා අපි ආසන මට්ටමෙන් සැලසුමක් සකස් කර තිබෙනවා. සමහර ආසනවල කොට්ඨාස මට්ටමෙන් බලයලත් නියෝජිතයෝ පත් කරලා තියෙනවා. මේ අයට පත්වීම් දීලා ඔවුන්ට කොට්ඨාසය තුළ වැඩකරන්න අවශ්‍ය පහසුකම් හදලා දෙනවා.” රංගේ කීවේ සියලු‍ දෙනා දෙස බලමිනි.


“මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යමු. එතකොට හැමෝටම මොකක් හරි වගකීමක් පැවරෙනවා. “ ජාතික සංවිධායක සාගල කීවේ එවැන්නකි. නියෝජ්‍ය නායක හා මහලේකම්ගේ අත්සනින් ඔවුන්ට පත්වීම් ලිපියක් ලබාදීමට මෙහිදී තීන්දු කෙරිණි.

සාගලට රොෂාන් හමුවෙයි 

එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීම නිමවා එද්දී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට අපූරු අවස්ථාවකට මුහුණ දෙන්නට සිදුවිය. ඒ සාගල හා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මුහුණට මුහුණ මුණගැසීමය. ඇමති රොෂාන් ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ කාර්යාලයේ සිට පිටතට එද්දී සිය කාර්යාලය වෙත යමින් සිටි සාගල එකවර මුහුණට මුහුණ මුණ ගැසුණේය.


“කොහොමද ඇමතිතුමා.” පළමුව ඇසුවේ සාගලය. “හොඳයි’’ කියා සිනහවෙන් පිළිතුරු දුන් ඇමති රොෂාන් ඉන් පිටව ගියේ කිසිවක් සිදුනොවූ ගානටය. එය දුටු එහි සිටි නිලධාරියෙකු තවත් නිලධාරියෙකුට කීවේ කිසිවක් සොයා නොබලා ඇමති වැඩ කිරීම නිසා මේ කිසි දේකට සම්බන්ධ නැති සාගල නිකම් බැණුම් අසන බවය.

ඒ ෂම්මිද ?

බදාදා උදෙන්ම ජනපති රනිල් පාර්ලිමේන්තුවට ගියේ එදින ජනාධිපති වැය ශිර්ෂය යෙදී තිබුණු බැවිනි. ජනපති රනිල් මෙහිදී ක්‍රිකට් ගැන මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන ද අදහස් පළ කළේය. ක්‍රීඩා ඇමති ප්‍රදර්ශනය කළ ඡායාරූපයක්  ගැන ද ජනපති එහිදී අදහස් පළ කළේය.


එම ඡායාරූපයේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු මෙන්ම නීතිඥ අසේල බී.රැකව පවුලේ සාමාජිකයන් සිටි අතර එම ඡායාරූපය ගනු ලැබුවේ අභියාචනාධිකරණ විනිසුරු දිවුරුම් දුන් දින සිය කාර්යාලයේදී බව ජනපති කියා සිටියේය.


අසේල යනු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු මෙන්ම හිටපු ජනපති ප්‍රේමදාසගේ ද හිතවතෙකු බව ජනපති රනිල් කියද්දී, විපක්ෂ නායක සජිත් කීවේ තමන් ඔහු ගැන කිසිවක් නොකී බවය. එසේම එම ඡයාරූපයේ සිටින්නේ ශම්මි සිල්වා යැයි තමා සිතූ බව ද ඔහු කීවේය.
ජනපති සිය කතාවෙන් පසු විවාදයට එක්වූ විපක්ෂ නායකගේ කතාවට සවන් දී සිට එන්නට පිටත් වෙද්දී කිහිප වරක්ම ඔහු නවතින්නැයි කී නිසා නතර වුව ද එම කතාව කෙටි කතාවක් නොවන බව තේරුම්ගත් ජනපති රනිල් ඉන් පිටව ගියේ තවත් රාජකාරි බහුලව පැවැති බැවිනි.


ඒ එන අතරතුරදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ජනපති අල්ලා ගත්තේ පාර්ලිමේන්තු ලොබියේදී ය. “විපක්ෂ නායකතුමා ලොකුම බොරුව කිව්වා නේද? සර්” මන්ත්‍රී මධුර කීවේ ජනපති එන අතරේය. සැවොම ඒ ගැන විමසද්දී මධුර යළි කීවේ ඇයි ඇමති රොෂාන් පෙන්නපු පින්තූරේ සර් ඉන්නවා දැක්කේ නෑ. ඒකේ ශම්මි ඉන්නවා කියලා හිතුවා කියලා කිව්වේ.” යැයි මධුර කියද්දී සැමට සිනහව නතර කරගත නොහැකි විය.


“මොකක්ද සර් අර පානුයි වියළි ආහාරයි කතාව.” ඒ පැනය ඇමති මනූෂගෙනි.
“නෑ, එතුමා නඩුවක් ගැන අහලා තිබුණානේ. මම බැලු‍වා මොකක්ද ඒ නඩුව කියලා. එතැනදී තමයි දැක්කේ ත්‍රිකුණාමලේ බන්ධනාගාරයට පානුයි වියළි ආහාරයි දෙන්න ඉල්ලපු කෙනෙක්ගේ නඩුවක් කියලා. මම කලින් හිතුවේ ක්‍රිකට් නඩුවක් වෙන්න ඇති කියලයි.” ජනපති කියද්දී සැවොම කොක් හැඬලූහ.

ක්‍රිකට් ප්‍රශ්න 

බ්‍රහස්පතින්දා ජනපති පාර්ලිමේන්තුවට පැමිණි බව දැනගත් මැති ඇමතිවරු ඔහු මුණගැසෙන්නට කාර්යාලය වෙත ආවේ පවතින තත්ත්වයන් ගැන කතා කරන්නටය. 
“සර් මැදිහත් වෙලා හරි ක්‍රිකට්වලට තියෙන ජාත්‍යන්තර තහනම අයින් කර ගන්න.” ඒ ඉල්ලීම මන්ත්‍රී රාජිකාගෙනි.
“මම පුළුවන් තරම් උත්සාහ කළා. කොහොම වුනත් 19 න් පහළ ලෝක කුසලානයේ සත්කාරකත්වය අපිට නැතිවීම ක්‍රිකට් පැත්තෙන් විතරක් නෙවෙයි, සංචාරක කර්මාන්තය පැත්තෙනුත් අපිට ලොකු පාඩුවක්.” ජනපති කීවේ නළල රැළි ගන්වමිනි.


“රොෂාන් ඇමතිතුමාත් ඉක්මන් වුනා වැඩියි කියලා දැන් හැමෝටම තේරිලා තියෙන්නේ. එතුමා විපක්ෂයට යයි කියලා තමයි හැමෝම හිතුවේ. සජබ නියෝජ්‍ය නායකකමත් එතුමට දෙන්න යෝජනා කළා කියලාත් ආරංචියි. හැබැයි සජබ අනිත් අය නම් ඒකට කැමති වෙලා නෑ.” දොළවත්ත මන්ත්‍රීවරයා දේශපාලන රහසක් ඇද දැමුවේය.
“ජගත් ප්‍රනාන්දු වාර්තාව අනුව ක්‍රීඩා පනත සාගල හදනවා. ඒක ඉවරවුණාම චිත්‍රසිරි වාර්තාව අනුව ක්‍රිකට් ගැටලුව විසඳා ගන්න පුළුවන්.” කියූ ජනපති සභාව තුළට ගියේ ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය ගැන කතා කිරීමටය.

සුදත් මංජුලට බැණුම් 

\පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ කතා කරමින් සිටි මන්ත්‍රීවරුන් අසලට කෑගල්ල මන්ත්‍රී සුදත් මංජුල පැමිණෙද්දී එහි සිටි මන්ත්‍රීවරු විමසා සිටියේ ‘‘මොකද? අර සුසිල් ඇමතිතුමාගෙ ප්‍රෙෂර් වැඩි කළා කියන්නේ.’’
“අනේ නෑ. මම ගියේ ළමයෙකුගේ ප්‍රශ්නයක් කතා කරන්න. එතුමා එක පාරටම මගේ ඇඟට කඩා ගෙන පැන්නා, හැමෝම ඉස්සරහ. ඉතින් මටත් කේන්ති ගිය නිසා මමත් සැරෙන් කතා කළා. එතනදී ඇමතිතුමාගේ කාර්ය මණ්ඩලයේ අය ඇවිත් එය සමතයකට පත් කළා.” මන්ත්‍රීවරයා කරුණු පැහැදිලි කළේය.
මෙහිදී මන්ත්‍රීවරු කතා බහ කෙරුවේ ඇමති සුසිල් මන්ත්‍රීවරුන් ගණන් නොගෙන කටයුතු කරන බවකි. පාර්ලිමේන්තුවේ ඉන්න අහිංසකම මන්ත්‍රිතුමාටත් කේන්ති ගියා නම් අපි ගැන කවර කතා ද? එහි සිටි අනෙකුත් මන්ත්‍රීවරු කියන්නට වූවේ එවැන්නකි.

රට බංකොලොත් කළ පිරිසට එරෙහිව  සජබ වැඩ 

රට බංකොලොත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව තුළින් මතුවෙන කරුණු ජනගත කිරීම සඳහා වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සඳහන් කළේ එය රට වෙනුවෙන් ඉටු කළ යුතු වගකීමක් බව පෙන්වා දෙමින්ය.


එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කීවේ, මේ ගැන පාර්ලිමේන්තුවට යෝජනාවක් ලෙස අධිකරණ තීන්දුවේ සඳහන් කරුණු ඉදිරිපත් කළ යුතු බවයි. විපක්ෂ නායකතුමා ඒ මොහොතේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පැවසුවේ ඒ පිළිබඳ යෝජනා 21 වැනිදාම ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි. රංජිත් මද්දුමබණ්ඩාර මහලේකම්වරයා සඳහන් කළේ මේ පිළිබඳව පුළුල් ජනමතයක් ඇතිකිරීමට වැඩපිළිවෙළක් සැකසිය යුතු බවයි.


ඒ අනුව එම කටයුතු මන්ත්‍රී නලින් බණ්ඩාර, මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සහ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඇතුළු පිරිසට පැවරුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ සහාය ද ලබාගන්නා ලෙස පවසමින්ය.


එම අධිකරණ තීන්දුවට අනුව, වගඋත්තරකරුවන් කර ඇති පිරිසගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, එම පිරිස දැනට බුක්ති විඳින වරප්‍රසාද අහෝසි කිරීම සහ ඒ ගැන සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් ඉල්ලා සිටීම වැනි කරුණු මුල් කරගෙන මහජන පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කරන ලෙස එම මන්ත්‍රී කණ්ඩායමට උපදෙස් දෙමින් විපක්ෂ නායතුමා සහ සමගි ජනබලවේගයේ මහ ලේකම්වරයා ප්‍රකාශ කළහ. 


එම පෙත්සමට අත්සන් ලබාගැනීම 23 වැනිදා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී ආරම්භ කිරීමට එම කණ්ඩායම තීරණය කළේය. පෙරවරු 8.00 සිට එම පෙත්සමට අත්සන් කිරීමේ කටයුතු සිදුවිය. 

 

සුජීව දුක්ගන්නාරාළ

දීර්ඝ නිහැඬියාව බිඳදමමින් යළිත් වතාවත් සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා බිම් මට්ටමින් සමගි ජන බලවේගයේ සංවිධාන ශක්තිය වැඩි කිරීමේ මෙහෙයුමකට එක්ව සිටී. සමගි ජනබලවේගය ආරම්භ කිරීමට  කටයුතු කළ, දැනට පාර්ලිමේන්තුවේ නැති මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතනවල නියෝජිතයින්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරමින් යළි ඒකරාශී කිරීමට සුජීවගේ අරමුණයි. මේ වෙනවිට එවැනි කණ්ඩායම් ගණනාවක් එකතු වුණ බව පැවසූ සුජීව, පසුගිය කාලයේ දී පක්ෂය තුළ සිදුවූ ක්‍රියාකාරකම්, ඒ තුළ ඇතිවූ ගැටුම් ගැන ද සාකච්ඡා කර තිබේ.


පැරණි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවැසුවේ සුජීව සමගි ජනබලවේගයේ දුක්ගන්නාරාල භූමිකාවට අවතීර්ණ වී සිටින බවයි.
සුජීව කියන්නේ තමන්ගේ මූලික අරමුණ, පක්ෂය සමඟ කටයුතු කළ පිරිස් එකතු කර පක්ෂය ශක්තිමත් කරමින් පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කරමින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණණය කිරීම සඳහා බිම් මට්ටමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට පක්ෂ නායකතුමාට සහ පක්ෂ මහලේකම්වරයාට සිය උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කරන බවයි.

ජනපතිගේ කතාවට සජිත් දුන් පිළිතුරට ප්‍රසාද

ගෙවී ගිය සතියේ පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාව සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා දුන් පිළිතුර බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්විය. විධායකය විසින් ව්‍යවස්ථාදායකය යටපත් කිරීමට දරන උත්සාහය පිළිබඳව විපක්ෂ නායකතුමා දැක්වූ අදහස් සියලු‍ දෙනාගේ අවධානයට යොමු වුණු බව ප්‍රකාශ කළේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයායි.


විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා පැවසුවේ විපක්ෂ නායකතුමා තර්කානුකූලව පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුකූලව ආවේගශීලි නොවී එම කතාව ඉදිරිපත් කළ බවයි.


විපක්ෂ නායකතුමාගේ කතාවට බාධා කරමින් සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා සිදුකළ ක්‍රියාව පාර්ලිමේන්තුව තුළ සිදුවූ අශෝභනම සිද්ධියක් බවත්, දින 52 කුප්‍රකට කාල සීමාව තුළ පාර්ලිමේන්තුවේදී ජල බෝතල්, පුටු ප්‍රහාර එල්ල කළ පිරිස් එයින් මිදී නොමැති බවත්, මේ ගැන තවදුරටත් විනයානුකූලව ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බලපෑම් සිදුකළ යුතු බවත් කීවේ අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා ය.


විපක්ෂ නායකතුමා සිනාසෙමින් කීවේ, තමන්ගේ පියා පාර්ලිමේන්තුවට පැමිණ කතා කරද්දී කළ බාධා නොසලකා, සිදුකළ කතාව අවසානයේ කළ ප්‍රකාශය තමන්ට සිහි වූ බවයි. එහිදී දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කීවේ ‘ගරු කතානායකතුමනි, බාලයින් කරන කියන දේවල් ගැන මම තැකීමක් කරන්නේ නෑ’ කියලා.  මෙවරත් සිදුවුණේ එවැනි බාල ක්‍රියාවකි.

මහින්දට සුබපතන්න ජනපතිත් එයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය ඉකුත් සෙනසුරාදා යෙදී තිබිණි . මහින්ද  කලින්දා හවස පවුලේ අය සමඟ, කොළඹ 07, මළලසේකර මාවතේ පිහිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිවසට ගියේය. එදින රාත්‍රිය නාමල් ගේ නිවසේ ගත කළ මහින්ද පසුදින උදේ පාන්දර උපන්දිනය සැමරුවේ ද එම නිවසේ මය.
මහින්දගේ උපන්දිනය වෙනුවෙන් උපන්දින කේක් මෙන්ම විශේෂ කෑම මේසයක්  ද සූදානම් කර තිබුණේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාය. මහින්දට සුබපතන්නට මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් එදින උදේ පැමිණි අතර, විශේෂ අමුත්තෙක් ද පැමිණියේය . ඒ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. ජනපති රනිල් මාලදිවයිනේ සංචාරය නිම කර ලංකාවට පැමිණියේ ද එදිනම උදෑසන ය. ඔහු කටුනායක ගුවන් තොටුපළෙන් කෙළින්ම මහින්ද හමුවෙන්නට නාමල්ගේ නිවසට පැමිණියේය. ජනාධිපතිවරයා  ඇතුළු පිරිස ඉදිරියේ මහින්ද කේක් කපා උපන්දිනය සැමරුවේ සියලු‍ දෙනාට උදේ කෑමට ද ආරාධනා කරමිනි


අනතුරුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මහින්ද සමඟ හම්බන්තොට කසාගල බලා පිටත්ව ගියේ එදින සවස මහින්ද වෙනුවෙන් විශේෂ ආගමික උත්සවයක්ද කසාගල විහාරස්ථානයේ සූදානම් කර තිබූ බැවිනි.

 

 

නාමල් අයවැය ඡන්දය මග හරී

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳුදා කොළඹ පැමිණ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් පිරිසක් හමු විය. එහිදී රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් විමසා සිටියේ අයවැයට කුමක් කරන්නේද කියා ය.


ඉන් බොහෝ දෙනකු කීවේ තමන්ට ප්‍රතිපාදන නැති නිසා ගමට ගොස් වැඩක් කරන්නට නොහැකි බවය . තවත් සමහරුන් කීවේ විදුලිය බිල, වතුර බිල වැඩිවීම නිසා මිනිසුන්ගෙන් දොස් අසන්නට සිදුව ඇති බවය. නාමල් කීවේ “ආණ්ඩුවේ තනතුරු දරන ඔයාලගේ කවුරුවත් අය වැයට විරුද්ධව ඡන්දෙ දෙන්න එපා. ඔයාලා ඡන්දෙ දෙන්න. මම ආණ්ඩුවේ තනතුරු දරන්නේ නැති නිසා මට අයවැයට විරුද්ධ වෙන්නත් පුළුවන් ඡන්දෙ නොදී ඉන්නත් පුළුවන්. මම ඡන්ද නොදී ඉන්නවා”‍ කියා ය.


අඟහරුවාදා  අයවැය ඡන්ද විමසීම පැවැති අතර , එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටුවේ මැති ඇමතිවරු අයවැයට පක්ෂව ඡන්දය දුන්හ. එහෙත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා  ඡන්දේ දෙන අවස්ථාවේ පැමිණියේ නැත . ඔහු කලින්ම සිය හිතවතුන්ට කියා තිබුණේ තමා ඡන්දය දීමෙන් වැළකී සිටින බවය. නාමල් ඡන්දය දීමෙන් වැළකී සිටිය ද මහින්ද ඡන්දය දුන්නේය. චමල් රාජපක්ෂ එදින නොසිටි අතර , එහෙත් ඔහුගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ අයවැයට පක්ෂව ඡන්දය දුන්නේය. එනිසා බොහෝ දෙනා කියන්නට ගත්තේ මේ අය මේ කරන්නේ රංගනයක්ද කියාය.

නාමල් ඡන්දය නොදුන්නාට මහින්ද කනගාටුවෙන්

අයවැය ඡන්දය දා පාර්ලිමේන්තුවේ කතාවක් ද කළ මහින්ද එදින පාර්ලිමේන්තුවේ  පැය කිහිපයක් ම රැඳී සිටියේය. මහින්ද පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයට වී අයවැය විවාදය රූපවාහිනියෙන්  නරඹමින් සිටින අතර එතනට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ද පැමිණ සිටියේය. “සර් ඡන්දය තියෙන්නෙ හවස. සර්ට ඕන්නං ගිහිල්ල එන්න පුළුවන්”‍ ප්‍රසන්න කියද්දී මහින්ද කිව්වෙ ‘ඔයා මට හොඳ පුටුවක් ගෙනත් දුන්නනේ. මං මේ පුටුවට වෙලා අයවැය විවාදය බලනවා’ යනුවෙනි.
ඒ අතරේ, මහින්ද  නාමල්ට කියා තිබුණේ අයවැයට  ඡන්දය දෙන්නට පැමිණෙන ලෙසය. එහෙත් ඡන්දය දීමට ඔහු නොපැමිණියේය. මේ සම්බන්ධයෙන් මහින්ද තරමක් කලකිරීමක සිටි අතර ප්‍රසන්න රණතුංග ඇමතිවරයා  කීවේ ‘නාමල් මල්ලිට වෙන වැඩක් තියෙන්න ඇති . නැත්තං ඡන්දෙ දෙන්න එනවා’ යනුවෙනි.
 

අයවැයට ශ්‍රීලනිපය  දෙකට බෙදෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ ඇමතිවරුන්  අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර, සිවු දෙනෙක් විරුද්ධව දුන්හ.  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ෂාන් විජයලාල් ද සිල්වා, දුෂ්මන්ත මිත්‍රපාල සහ දයාසිරි ජයසේකර  යන සිව්දෙනා පමණක් අයවැයට විරුද්ධව ඡන්දය දුන්හ. ආණ්ඩුවේ තනතුරක් නොදරන ශ්‍රීලනිපයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර, අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයා පක්ෂයේ අවසරය මත ඡන්දයට නොපැමිණියේය.
   

  චන්ද්‍රිකාත් වැඩට බසී

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යළි  සම්බන්ධවීම සම්බන්ධයෙන් එතුමිය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් ඉකුත් සතියේ දී පැවැත්විණි. හිටපු ජනාධිපතිනියගේ ටොරින්ටන් පිහිටි නිල නිවෙසේ පැවැති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මහින්ද අමරවීර, ෂාන්  විජයලාල් ද සිල්වා,  දුමින්ද දිසානායක සහ වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරු සහභාගි වූහ. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාර්ශ්වය වෙනුවෙන් තිලක් වරාගොඩ, රත්නසේන කැටවල  එතුමියගේ පෞද්ගලික ලේකම්වරයා ඇතුළු  කිහිප දෙනෙක් සහභාගි වූහ.


සාකච්ඡාව ආරම්භවීමට නියමිතව තිබූ වේලාවට පැය එකහමාරකට පමණ පසුව සාකච්ඡාව ආරම්භ වූයේ හිටපු ජනාධිපතිනියගේ සුපුරුදු ප්‍රමාදය එදිනද පෙන්වමිනි. එතුමිය ශ්‍රිලනිපයට කලින් දැනුම් දී තිබුණේ තමන්ට පක්ෂය සමඟ සම්බන්ධවීමට නම් පක්ෂයේ කටයුතු කිරීම සඳහා යම් බලයක් අවශ්‍ය බවය. ඉන්  නොකියා කියා තිබුණේ පක්ෂයේ සභාපතිත්වය හෝ පක්ෂ නායකත්වය තමන්ට අවශ්‍ය බවය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියෝජිත පිරිසක් එවන්නැයි ඇය දැනුම් දී තිබිණි. මෙම නියෝජිත පිරිස හමුවීමට පෙර අවස්ථා තුනක දී පමණ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ද එතුමිය හමුවිය. ඇය කියා තිබුණේ පක්ෂය සමග සම්බන්ධවීම සඳහා තමන්ට යම් වගකීම් සම්භාරයක් අවශ්‍ය බවය


පක්ෂයේ ආසන සංවිධායකයන් පත් කිරීම මෙන්ම වැඩ කටයුතු කිරීමේ බලතල ද ඇය දිගින් දිගටම ඉල්ලා සිටියාය. එසේ නොමැතිව පක්ෂය සමඟ සම්බන්ධවීමේ හැකියාවක් තමන්ට නැතැයි ඇය කීවාය. නියෝජිත පිරිස සමග පැවති සාකච්ඡාවේ දී ද ඇය එම ඉල්ලීම් ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ අතර, ශ්‍රීලනිප නියෝජිතයන් කියා තිබුණේ මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට සාකච්ඡාවේ සියලු‍ තොරතුරු වාර්තා කරන බවය.


මේ අතර ,  ශ්‍රීලනිප නියෝජිතවරයෙකු ඇසුවේ  ‘මැඩම් ජනාධිපතිවරණයට මොකද කරන්නේ?’ කියා ය. ඇය කීවේ ‘ඇයි මම ඉල්ලනවා නේ’ යනුවෙනි. එහෙත් ඇය පසුව ‘නෑ නෑ මම ඒ විහිළුවට  කිව්වේ කියමින් හයියෙන් සිනාසුණාය. ඊළඟ ඡන්දෙට කොහොමත් රනිල් වික්‍රමසිංහයි සජිත් ප්‍රේමදාසයි නෙ  එන්නෙ.  ඔබතුමියගේ ස්ථාවරය කුමක්දැයි නියෝජිතයෙක් ඇසීය ‘අපි බලමු, තව කල් තියෙනව නේ’ චන්ද්‍රිකා කීවාය


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද ඉකුත් බ්‍රහස්පතින්දා හැන්දෑවේ පක්ෂ මූලස්ථානයේ දී රැස්විය. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ඊට පෙර පැවැති මධ්‍යම කාරක සභා රැස්වීම දැනුම් දී තිබුණේ දුරකථනය ඔස්සේ ය. එහෙත් මෙවර මධ්‍යම කාරක සභිකයන්ට ආරාධනා කරමින් ලියාපදිංචි තැපෑලෙන් ලිපි යවා තිබිණි. එම ලිපි  යවා තිබුණේ මෛත්‍රීගේ නිල නිවෙසිනි. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ෂාන්  විජයලාල් ද සිල්වා, ලසන්ත අලගියවන්න, දුෂ්මන්ත මිත්‍රපාල, රෝහණ ලක්ෂ්මන්  පියදාස  ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ.


එහිදී පිරිසක් කියා සිටියේ ශ්‍රී ලනිපයේ පිරිසක් ආණ්ඩුවේ ඉඳන් කරන වැඩ නිසා පාක්ෂිකයන් ‘මේ මොකද වෙන්නේ’ කියා අහන බවය. ගාමිණී තිලකසිරි, කිත්සිරි වීරතුංග ඇතුළු කිහිප දෙනෙක් එම ප්‍රශ්නය යොමු කළ අතර, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න හා ජගත් පුෂ්ප  කුමාර යන ඇමතිවරුන්  කියා සිටියේ ශ්‍රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවෙන්  අයින් වෙන්නේනම් විකල්ප වැඩපිළිවෙළ කුමක්ද කියාය. ඔවුන් තිදෙනා කීවේ ඔවුන් ඊළඟ ඡන්දෙදි කොයි දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වුවත් ඡන්දය ජයග්‍රහණය කරන බව ය.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරය සම්බන්ධයෙන් ද කතාබහට ලක්විය. මහින්ද අමරවීර සන්ධානයේ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා පත්වූයේ තිලංග සුමතිපාල හිටපු මන්ත්‍රීවරයාය. මේ සම්බන්ධයේ අමරවීර උසාවි ගිය අතර    මැතිවරණ කොමසාරිස් දැනුම් දී තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස අමරවීර හෝ  තිලංග සුමතිපාල යන දෙදෙනාගෙන් කිසිවකුත් නොපිළිගන්නා බවය. මේ තත්ත්වය තුළ සන්ධානයේ  මහ ලේකම්වරයෙකු නොමැත. මධ්‍යම කාරක සභා රැස්වීමට  අමරවීරත් තිලංග සුමතිපාල යන දෙදෙනාම  පැමිණ සිටියහ. මෛත්‍රී කීවේ මේ සම්බන්ධයෙන් දෙදෙනා සමඟ සාකච්ඡා කර විසඳුමක් දෙන බවය. එහිදී මධ්‍යම කාරක සභිකයකු විමසා සිටියේ, සභාපතිතුමා , මධ්‍යම  කාරක සභා රැස්වීමේ දී  ඕකම කිව්වා, නමුත් මේ වෙනකම් වෙලා නැහැ, යනුවෙනි. එහිදී මෛත්‍රීපාල සිරිසේන  හිටපු ජනාධිපතිවරයා කීවේ ‘අපි එහෙනම්  මේ ගැන හෙට සාකච්ඡා කරමු’ කියා ය. තිලංග  යෝජනා කළේ ‘නෑ අපි සති අන්තයේ සාකච්ඡා කරමු’ යනුවෙනි. අමරවීර කීවේ තමාට සති අන්තයේ හම්බන්තොට සිටීමට සිදුවෙන  නිසා සති අන්තයේ මේ සඳහා සහභාගිවීමට නොහැකි බවය. මෛත්‍රී තීරණය කළේ එදිනම රාත්‍රියේ දෙදෙනා සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කර විසඳුමකට ඒමටය.


දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සමග මුලින්  පිරිසක් සිටිය ද මෙදින සාකච්ඡාවේ දයාසිරි සම්බන්ධයෙන් කිසිවක්  සාකච්ඡා නොවීම ද විශේෂත්වයකි.

 

■ රාජ-දූත