දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි


 

අංජුල මහික වීරරත්න


දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.

1994 වසරෙන් පසු දේශපාලන පලිගැනීම්වලට ලක්ව රුපියල් ලක්ෂ දහයට වඩා අලාභ සිදුවූ බවට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුවෙන් නිගමනය කරන ලද 66 දෙනෙකු සඳහා මුලින්ම වන්දි ගෙවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වූ සැණින් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුව පත් කෙරුණු අතර එම කමිටුවට පැමිණිලි 164 ක් ලැබී තිබිණ.
පැමිණිලිවලින් 66ක් සඳහා වන්දි අනුමත කර තිබේ. සෙසු පුද්ගලයන් ඉදිරිපත් කළ අභියාචනා සලකා බලා සුදුසු වන්දි මුදල් තීරණය කිරීමට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටු කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.
කමිටුවට ඉදිරිපත් කෙරෙන අභියාචනා සම්බන්ධයෙන් එජාප කලාප සංවිධායකවරුන් හරහා වැඩිදුර විමර්ශන කර අදාළ මාස දෙකක කාලයෙන් පසු ඔවුන්ට ද සුදුසු පරිදි වන්දි මුදල් ලබා දීමට කටයුතු කරන බව එජාප මහ ලේකම්වරයා කීය.