අංජුල මහීක විරරත්න
2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා 2026 දෙසැම්බර් මස 14 වන දින හෝ ඊට පෙර ගොනු කරනු ලබන බදු ගෙවන්නන්ට දණ්ඩන පැනවීම නොකරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ මෙසේද සඳහන්ය.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන අනුව, ආදායම් බදු සඳහා ලියාපදිංචි සියලුම තැනැත්තන් විසින් 2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තාව 2026 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර ගොනු කළ යුතුය.
කෙසේ වෙතත්, 2025/2026 තක්සේරු වර්ෂය සඳහා පළමු වරට ආදායම් බදු වාර්තා ගොනු කරන, ආදායම් බදු සඳහා ලියාපදිංචිය ලබා ගත් තැනැත්තන්ගේ සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනය හේතුවෙන්, 2026 නොවැම්බර් මාසය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) වෙත දැඩි පීඩනයක් එල්ල වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතිය තුළ තදබදයක් ඇති වී ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයන් සිදු වන බවට වාර්තා වේ. මේ හේතුවෙන් බොහෝ බදු ගෙවන්නන්ට සහ ඔවුන්ගේ නියෝජිතයන්ට ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේදී දුෂ්කරතා සහ ප්‍රමාදයන්ට මුහුණ දීමට සිදු වන බවටත් ඇතැම් බදු ගෙවන්නන්ට නියමිත කාලසීමාව තුළ සිය වාර්තා ගොනු කිරීමට අපහසු වනු ඇති බවටත් වාර්තා වේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, 2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා 2026 දෙසැම්බර් මස 14 වන දින හෝ ඊට පෙර ගොනු කරනු ලබන බදු ගෙවන්නන්ට දණ්ඩන පැනවීම, පැහැර හරින ලද තක්සේරු නිකුත් කිරීම හෝ දේශීය ආදායම් පනතේ XVIIඅ සහ XVIII වන පරිච්ඡේදය යටතේ නඩු පැවරීම වැනි නීතිමය ක්‍රියාමාර්ගවලට ඔවුන් යටත් නොකරනු ලබන බව දැනුම් දෙනු ලැබේ.
සෑම වසරකම ආදායම් බදු සඳහා ලියාපදිංචි වන බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින්ද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නියමිත අවසන් දිනට බොහෝ කලකට පෙර සිටම ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ පහසුකම් සලසා දෙන බැවින්ද, ඉදිරි වර්ෂවලදී හැකි ඉක්මනින් සිය ආදායම් බදු වාර්තා ගොනු කරන ලෙස බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. එසේම, මෙම සහන කාලසීමාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සියලුම බලපෑමට ලක් වූ බදු ගෙවන්නන් තම ආදායම් බදු වාර්තා නිසි පරිදි ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටිනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd