රටවල් දෙකක් අතර මිත්‍ර පාලමක් තැනූ අපූරු මිනිසෙක්


අභියෝග ජයගත් මිනිස්සු  

සුනිල් ගමගේ

මැදගම ගමගේ සුනිල් උපන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් අම්බලන්තොට මැදගම ග්‍රාමයේදීය. එය ගම් පහකින් සමන්විත වූ එකල ගම්විසාල නමින් හැඳින් වූ ප්‍රදේශයට අයත් එක් ගමකි. පසු කලෙක මේ ගම හැඳින්වූයේ බොරළුකන්ද නමිනි.  


වංශක්කාර නොවූවත්, ඒ ගමේ විසූ පවුල් අතර මේ සුනිල් අයත් වූ මැදගම ගමගේ පවුල ගමේ හොඳ පිළිගැනීමකට ලක්ව තිබිණි. සුනිල්ගේ පියා ව්‍යාපාර කටයුතුවල නිරතවීම ඊට හේතුවය. මහා ධනවත් පවුලක් නොවූවද, කාටවත් අත නොපා ජීවත්වීමේ පසුබිමක් මේ පවුල සතුවිණි. තවත් ලෙසකින් කිවහොත් එය ගොවි පවුලකි.  


සුනිල්ට සහෝදරියන් හතරදෙනෙක් සහ සහෝදරයින් දෙදෙනෙකි. ඔහු සයවැන්නාය. කාටවත් කරදරයක් නැති අහිංසක දරුවකු ලෙස සුනිල් හැදී වැඩුණේ පවුලේ සෙනෙහස ලබමිනි.  


එකල ඒ ගමට විදුලි ආලෝකය මෙන්ම ජල - නළ පද්ධතිද නොතිබිණි. බොහෝදෙනා නිවස ආලෝකවත් කළේ භූමිතෙල් ලාම්පු එළියෙනි. හම්බන්තොට යනු ශුෂ්ක කලාපයට අයත් පළාතකි. නමුත් මේ සුනිල් පවසන පරිදි ඔහුගේ ළමාවිය ගෙවුණේ සොබා සෞන්දර්යයේ අසිරිය නොඅඩුව ලබමිනි.  


ඇළ-දොළ, වන-රොද, කෙත්-වතු මේ සියල්ලෙන් වට වූ සුනිල්ලාගේ ගම දිස්වූයේ රමණීය චිත්‍රයක් මෙනි. ‘අපි ඒ ගමේ අසිරිය භුක්ති වින්ඳේ හරියට සෆාරියක් ගියා වගෙයි’.  


එදා ළමාවියේදී නෙත රැඳි සුන්දරත්වය එසේ සිහිපත් කරවන ඔහු පාසල් ගමන පටන් ගත්තේ පහළ බැරගම කනිෂ්ඨ විදුහලෙනි. මේ පාසලට පැමිණියේ ගමේ කිරිපට්ටි මෙන්ම ගොවිතැන් කළ අයගේ පවුල්වලට අයත් දරුවෝය. ඔවුන් විවේක කාලයේදී වැඩිහරියක් කතා කළේ හරකුන්ගේ ක්‍රියාදාමයන් ගැනය. සුනිල්ට මේ කතා එච්චර දිරෙව්වේ නැත. එනිසා ඔහු ඒ යාළු සන්ධානයේ එකකු නොවීය.  


උදෑසන පාසලට එන අතරවාරයේදී අම්මා පුච්චා දෙන ආප්ප ටික තාත්තාගෙ කඩයට දැමීම සුනිල්ගේ පුරුද්දක්ව තිබිණි. මේ දුටු පාසලේ සගයින් ඔහුට ආමන්ත්‍රණය කළේ ‘ආප්පයා’ යනුවෙනි.  


සුනිල් හට එය ඉවසුම් නොදුන් උසුළු විසුළු කිරීමක් වීය. එනිසා බැරිම තැන ඔහු තාත්තාට කියා ථේරපුත්ත මහා විද්‍යාලයට ඇතුළත් වූවේ හයේ පංතියේ සිසුවකු ලෙසිනි. වෙනසක් බලා නගරයේ විදුහලට ගියද සුනිල්ට මුහුණදීමට සිදුවූයේ කබලෙන් ළිපට වැටුණු ආකාරයේ සිදුවීමකටය. එම පාසලේ උගත්තේ නගරයේ ධීවර කර්මාන්තය ඇසුරේ ව්‍යාපාරවල නිරත වූ සහ ධීවර රස්සාවේ නියැළි පවුල්වලට අයත් දරුවෝය.  
ගමේදී මෙන් සුනිල් එම පාසලේ අනෙක් ළමුන්ට වඩා අහිංසක දරුවකු විය. අනෙක් උන් එසේ නොවුණු අතර තරමක දැඩි චරිත වූහ. බියගන්වා සුනිල්ගේ සාක්කු සුද්ද කිරීමට උන් පෙළැඹී සිටියහ. මේ පීඩනය ඔහු දරා ගත්තේ ඉමහත් අසීරුවෙනි.  


‘මම එච්චරටම දුර්වලද? ඇයි උන් මට මේ විදියට සළකන්නෙ?’  


සුනිල් තමුන්ටම එසේ පවසා ගත්තේය. මෙහෙම වන්නේ තමා සතු පෞරුෂයේ ප්‍රශ්නයක් නිසා යැයි වයස අවුරුදු 13ක් පමණ වූ ඔහුට තේරුම් ගැනීමට හැකිවිණි.  


‘‘ඇයි මම මේ විදියට බය වෙන්නෙ? මම නිතර කල්පනා කළා. පසුව කරාටේ පංතියකට ගියොත් හොඳයැයි සිතුවා. පසුව නගරයේ කරාටේ පංතියකට ගිහින් ඉගෙන ගත්තා. මේක පාසලේ අනෙක් ළමුනට ආරංචි වෙලා. මගේ හැකියාව ගැන අහලා, ඊට පස්සෙ කවුරුවත් කරදර කරන්න ආවෙ නැහැ. මම ගියේ කරාටේ ඉගෙන ගෙන කාටවත් හිංසා කරන්න නෙවෙයි. මගේ ආරක්ෂාවටයි. අන්තිමට මට එදා වදයක් වූ ළමයි මගේ හොඳම යාළුවන් වුණා’’.  


එතැන් සිට සුනිල් ජීවිතය ගෙවා දැමුවේ ප්‍රීතිමත් ශිෂ්‍යයකු ලෙසිනි. සාමාන්‍ය පෙළ ඔහුගේ ජීවිතයේ කඩඉමක් වුවද, පළමු වතාවේදී විභාගය අසමත් විය. ඊට හේතු වූවේ නොහඳුනන, එහෙත් බැඳුණු පෙම් හබයකට මැදිවීමය. බොකුටු ගැසුණු කැරළි කොණ්ඩය සහ නාඹර වියේ යෞවනයකු ලෙස දෘෂ්‍යමාන වූ ඔහු සතු පෙනුමට කෙල්ලන්ගෙන් බේරුමක් නැති විය. නමුත් ඔහුට තරු පෙනුණේ විභාගය අසමත්වීම වෙතිනි. සුනිල් කොහොමටත් පරාජය භාරගන්නෙකු නොවීය. ආදරය කළ තරුණිය විභාගය හොඳින් සමත්වීමත්, තමා අසමත්වීමත් ඔහුට ගෙන දුන්නේ ලැජ්ජාවකි. එමෙන්ම පාසල් පෙමක පැටලීම යනු ජීවිතය කඩාකප්පල්වීමක් යැයි හෙතෙම තේරුම් ගත්තේය.  


එදායින් ඔහු පෙම් බැන්ඳේ සම්පූර්ණයෙන්ම අධ්‍යාපනය කෙරෙහිය. දෙවැනි වර සාපෙළ උසස් ලෙස සමත් වී උසස් පෙළ සඳහා විද්‍යා විෂයයන් වෙතින් හැදෑරීමට අවතීර්ණ විණි.  


‘‘ඒ වන විට මම පාසලේ දීප්තිමත් ශිෂ්‍යයෙක්. ක්‍රීඩා නායක, ශිෂ්‍ය නායක, විද්‍යා සංගමයේ නායක ආදී බොහොමයක නායකත්වය දැරුවා. එනිසා ජීවිතයට ලැබුණෙ ලොකු පන්නරයක්. ජීව විද්‍යා අංශය තෝරා ගත්තෙ වෛද්‍යවරයකු වීමට තිබූ ආසාව සහ උනන්දුව නිසයි. ඒ හැරත් මට මිනිසුන්ට උදව් කරන්න පුළුවන්නෙ. මග තොටේදී හෝ මිනිසකු අසනීපව සිටියොත් මම එයාලට උදව් කරනවා. ඒ වගේ හැඟීමක් මට එදා තිබුණෙ’’.  
ඔහුගේ අරමුණ එසේ වුවද සරසවියට තේරීමට තරම් ඔහු ලකුණු ගත්තේ නැත. දෙවැනි වර උසස් පෙළ කිරීමට සිටියදී දකුණේ භීෂණය අැතිවී තිබිණි. එතැන් සිට ඔහුට ජීවිතය ගෙවීමට සිදුවූයේ අතිශය භයංකර වූ සිදුවීම්වලට මුහුණපාමිනි. සමහරදාට ජීවිතය බේරා ගැනීම සඳහා නිදා ගැනීමට සිදුවූයේ ගෙදර නොවේ. වියළි සමයේදී දිය සිඳී ගිය ඇළේ දොළේ ගල් තලා මත පැදුරු දා නිදා ගැනීමට පවා විටෙක සිදුවුණි. මරණ බිය අත​ෙර් ජීවිතය ගෙවී ගියේ, රැය පහන් කළේ නින්දත් නොනින්දත් අතරේය.  


‘‘මම ජේවීපී කළේ නැහැ, ඒත් තරුණයින් එදා මැරුවේ ජේවීපී කළා නොකළා කියා නෙවෙයි. ඒ නිසා ජීවිතය බේරා ගන්න මම කොළඹ ආවා. උසස් පෙළ බාහිර අයැදුම්කරුවකු ලෙස කරන්න පටන් ගත්තා. ඒ භීෂණ සමයේදී ගමේ යන්න ගිහින් මුහුණ දුන් භයංකර සිදුවීම් මතක් වෙද්දී අදටත් මගේ ඇඟ කිලිපොළා යනවා. එදා කොච්චර සලිත වී සිටියාද කිව්වොත් මට විශේෂ කාර්ය බළකායට බැඳෙන්න හිතුණා.  


මොකද ත්‍රස්තවාදී යුද්ධයක් පටන්ගෙන තිබුණෙ. රට බේරාගන්න සටනට මටත් සහාය වෙන්න ඇත්නම් කියලා හිතුවා. එහෙම හිතාගෙන අයැදුම් කළා. මාව ඉහළින්ම තේරුණත්, බඳවා ගැනීමේ ලිපිය ලැබුණෙ නැහැ. සොයා බලද්දී දැනගන්න ලැබුණෙ අපේ පවුල රාජ්‍ය විරෝධී පවුලක් කියලා ළඟ කෙනෙක් පෙත්සමක් ගහලා තිබීමයි. මේ නිසා ඇත්තටම මම හිටියෙ පුදුමාකාර වූ කනස්සල්ලෙන්’’.  


‘‘පුතා, සෑම වැරදීමක්ම හොඳ ශක්තිමත් මුලක ආරම්භයයි’’  


ම​ගේ හිත හදන්න තාත්තා එහෙම කිව්වා. ඒ පාර ගම එපා වී මම කොළඹට ඒමට තීරණය කළා. තාත්තා කිව්ව විදියට අලුත් ජීවිතයක් ඇරඹීමට පෙරටත් වඩා ශක්තිමත් වුණා’’.  


එදා එලෙසින් කොළඹ ආ සුනිල් ගැටවරයා, තනියම උයා පිහාගෙන කා බී පොත පතේ වැඩ කරමින් නව ජීවිතයකට මුල පිරීය. එ් වෙනුවෙන් නවාතැන වූයේ මරදානේ පාළුවට ගිය ගොඩනැගිල්ලක කොටසකි. එය තම යහළුවකුගේ ඥාතියකු සතු විය. ඊට නඩුහබ තිබූ හෙයින්, මුදල් නොගෙනම එහි සුනිල්ට නවාතැන්දීම එකතකට හිමිකරුට ලොකු අස්වැසිල්ලක් වීය. මරදාන ජීවිතය සුනිල් වෙත ගෙන දුන්නේ මහා පන්නරයකි. එය සරසවි දහයකට ගොස් ලබන්නා වූ දැනුමකට වඩා සමාජයෙන් ප්‍රායෝගිකව ලැබූ විශාල පන්නරයක්ම වීය.  


‘‘පොදු වැසිකිළියට ගියේ, නෑවෙත් පොදු ළිඳෙන්, වැසිකිළියට යාමට නෑමට වාරය එනකල් පෝලිමේ හිටියා. රාත්‍රියට නිදාගත් තැන දොර වැසූ විගස, කංසා බොන්නා වූ මිනිසුන්ට එතැන කදිම තිප්පොළක් වුණා. මම සිටි ඒ ගොඩනැගිල්ලේ විදුලිය තිබුණෙත් නැහැ. ලාම්පු එළියෙන් තමයි පාඩම් කළේ’’.  


අතීත මතකය සුනිල් ආවර්ජනය කළේ නිර්ව්‍යාජ මිනිසකු ලෙසිනි. එදා ඉගෙනීම් කරන අතරේ ටුබැකෝ ආයතනයේ රැකියාවක් කිරීමේ අවස්ථාව ඔහුට ලැබිණි. ඔහු ඒ බැව් මිතුරකු හට පැවසීය.  
‘ආ උඹ ගොඩනෙ’ මිතුරා කීවේය.  


ටුබැකෝ එකේ පඩි හොඳ යැයි කවුරුත් දැන සිටි දෙයකි. හොඳට ටයි දාලා සම්මුඛ පරීක්ෂණයට ගිය සුනිල් හට රාජකාරි පැවරිණි. ඉදලක් සහ සවලක් ඒ සමගම ඔහු වෙත සේවකයෙක් ලබාදුණි.  
‘මේ මොකටද?’  


සුනිල් විමතියෙන් විමසීය.  


‘ඔයාට තියෙන්නෙ කානු සුද්ධ කරන්න’ අනෙක් සේවකයා කීය.  


සුනිල්ට ඇතිවූයේ පොළොව පලාගෙන යන තරමේ ලැජ්ජාවකි. එහෙත් තමා මෙතැනට හඳුන්වාදුන් කෙනාට ගරු කිරීමක් ලෙස ඔහු එය අභියෝගයක් ලෙස භාරගෙන කරන්නට පෙළැඹිණි. ඒ අතරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර සරසවි වරම් නොලැබීය. ඉන්පසු ඔහු මොනවද කළේ? අපි විමසීමු.  


එවකට තිබූ ප්‍රකට දේපළ සමාගමක නිලධාරියකු ලෙස මා සේවය කළා. හොඳ වැටුපක් සමග වාහනයක් මෙන්ම නවාතැන්ද ලැබුණා. එතැන සිටියදී අපේ ඥාතියකු සතු වූ ළමා අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වී කටයුතු කරන්න ලැබුණා.  


ඒ පදනමට ජපානයේ මහාචාර්යවරුන් ඇතුළු බොහෝ උගත් චරිත සම්බන්ධව හිටියා. මම එහි ලේඛකාධිකාරී ලෙස ස්වේච්ඡාවෙන්ම වැඩ කළා. මරදාන ඕඩේ පන්සලේ තමයි එය තිබුණෙ. එහිදී විවිධ ප්‍රකට හිමිවරුන්ගෙ ඇසුර පවා මා ලැබුවා. ජපාන සබඳතා මුලින්ම මට ඇතිවුණේ එතැන සිටියදීයි. ජපානයට යන්න ඕනෑය කියන සිතිවිල්ල හටගත්තෙත් ඒ වැඩවල නිරතව සිටියදීයි’’.  


සුනිල් එලෙසින් පැවසුවේ දීර්ඝ කතාවක සංක්ෂිප්තයයි. ඒ කතාවේ තෙවැනි පරිච්ඡේදයට ඊළඟට අපි ප්‍රවේශ වෙමු. ජපානයට යාමේ අදහස ඇති වූ සුනිල් එහි යාමට අවැසි දේ ගැන සොයා බැලීය. ඒ ගැන විමසූ විට සමහරු ඔහුට පිළිතුරු ලබාදුන්නේ ඔච්චමට මෙනි.  


‘ආ ඔයා ජපානයේ කැම්පස් යන්න’  


උපහාසයෙන් සමහරු එලෙස කී බව සුනිල් කියයි. ඒත් උත්සාහය අත්නොහැරි හේ, මනසින් නොවැටී ජපන් බස ඉගෙනීමට පංතියකට ගියේය. ඉලක්කය අරමුණක් පමණක් නොකරගත් හේ රැකියාව කරන අතරේ ව්‍යාපාරික වීසා මත ප්‍රථම වරට ජපානයට ගියේය. එලෙසින් ගිය ඔහු නැවතත් බිංදුවේ සිට කරාතේ ක්‍රීඩාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේය. ව්‍යාපාරික වීසා මත නැවත නැවතත් ජපානයට යමින් කරාතේ පාසලකට බැඳී ඉතා හොඳින් එය ප්‍රගුණ කළේය. පුහුණුවන අතරේ අමතර රස්සාවකද නියැළිණි. ඒ වන විට කරාතේ පාසලකට බැඳී පුහුණුව ලබමින් සිටි නිසා දීර්ඝ කාලීන වීසා සඳහා අයදුම් කර තිබිණි.  


‘‘එලෙසින් ජපානයට ගිය මම ජීවිතය නැවතත් බිංදුවේ සිට ඇරඹුවා. මෙහිදී මා එදා ඉගෙන තිබුණෙ කරාතේ නෙවෙයි. ජපානයට ගියාම තමයි හරි දේ ඉගෙන ගත්තෙ. ජපන් භාෂාවත් එහෙමයි. මෙහිදී හරි දේ උගෙන තිබුණෙ නැහැ. ජපානයේදී ජපන් බස නිවැරදිව ඉගෙන ගත්තා. මම කොපමණ වැඩ කළාද කිව්වොත්, කරාතේ පුහුණුව ලබන අතරේ අමතරව රැකියාවකුත් කළා. ජපාන හිතවතුන් මා කරන දේ දැකලා පුදුම වුණා’’.  
‘උඹ කොහොමද මෙච්චර වැඩ කරන්නෙ?’ ඔවුන් මගෙන් ඇසුවා.  


ඒ වන විට සුනිල් හට ශිෂ්‍ය වීසා ලැබී තිබිණි. කියෝකුෂින් කරාතේ ක්‍රීඩාව ප්‍රගුණ කළ හේ මාස්ටර් ඔයාමාතේ උපදෙස් මත මුල සිට නැවත ප්‍රගුණ කළේය. පසුව ඔහු නතර වූයේ ෂෝටෝකායි අන්තර්ජාතික ආයතනයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ වෙමිනි.  


ඔහු කළු පටි 4 ශ්‍රේණිය දක්වා කරාතේ ප්‍රගුණ කර තිබේ. ඉන්පසු ජපන් ජාතිකයින්ටද ඉගෙන්වීම් කළේය. මේ දීර්ඝ චාරිකාව අවසන් වන විට ජපානයේ ව්‍යාපාරික ප්‍රජාවේ සිට සම්භාව්‍ය චරිත බොහොමයක් දැන හඳුනාගෙන සිටි වග ඔහු සිහිගන්වයි.  


‘‘මම ඉතා දුක්මහන්සියෙන්, ඒ රටේ නීති නොකඩා අපේ රටේ ගෞරවය රැකෙන විදියට නිතරම කටයුතු කළා. ජපාන උගතුන්ගේ ව්‍යාපාරිකයින්ගේ ඇසුර මත පසුව හිරෝෂි ලංකා ඉන්ටර්නැෂනල් ආයතනය ස්ථාපිත කිරීමට හැකිවුණා. මේ තැනට ආවේ එක් රැයකින් පෑ ප්‍රාතිහාර්යයකින් නෙවෙයි. දහදුක් විඳලා, නිදි නොලබා, ධෛර්යයෙන් කරන ලද වැඩ කිරීම් කැපකිරීම් නිසයි. පටන් ගත්ත සමූහ ව්‍යාපාරය පිලිපීනය සහ නවසීලන්තය දක්වා ශාඛා ව්‍යාප්ත කිරීමට වග බලා ගත්තා’’.  


ජීවිතය හමුවේ අභියෝග වූ සියලු ගැහැට විඳ දරා ගනිමින් ජපානයේ සිට ස්වකීය ව්‍යාපාරික ජීවිතය ඇරැඹි සුනිල් 2000 දී යුග දිවියට එළැඹියේය. ඒ ජපාන ජාතික කාන්තාවක සමගය. එදා ඇය ඔහුට හමුවන විට ඔහුගේ පෙනුම සුප්‍රකට හොලිවුඩ් සටන් නළුවකු වූ ජිම් කෙලීට සමාන විය.  


නමුත් ඇය ඔහු ඇමතුවේ ‘ටයිසන්’ යන නාමයෙනි. ඇය ඔහුට වඩා වයසින් වසර දහයකටත් වඩා බාල වූ අතර පවුලේ එකම දරුවා වූවාය. මව්පියන් මේ විවාහයට තදින්ම විරුද්ධ වුවත්, දෛවය ඊට හරස් වූයේ නැත. ඇය නිසා අද ඔහු දියණියන් දෙදෙනෙකු සතු ආඩම්බරකාර තාත්තා කෙනෙකි.  


‘‘ඇත්තම කිව්වොත් මගේ ඒ තේරීම නිවැරදියි. මගේ ජීවිතය වෙනස් කළ තැන ජපානයයි. ලෝකයේ මා දුටු සුන්දරම සහ අවංකම මෙන්ම කඩිසරම, දක්ෂම මිනිස්සු සිටින රට ජපානයයි. හැබැයි මගේ ආධ්‍යාත්මය තියෙන්නෙ මගේ ශ්‍රී ලංකාවේ’’.  


සුනිල් දිගු සුසුමක් ඉහළට ගෙන සැහැල්ලුවට සුසුම පිටකළේ එලෙසින් පවසමිනි.  


‘‘ජපානය දියුණු වී තිබෙන්නේ, නිවැරදි ක්‍රමවේදයකට අනුව සියලුදෙනා කටයුතු කරන නිසයි. ශ්‍රී ලංකාවට අවශ්‍ය ජපානය හෝ සිංගප්පූරුව වෙන්න නොවෙයි. අපට සිස්ටම් එකක් නැහැ. කවුරු කොහොම බලයට ආවත් මේ රට එකම තැන තියෙන්නෙ රටේ නිවැරදි ක්‍රමවේදයක් නැති නිසයි’’.  


මේ රට නිවැරදිව ගොඩ දැමීම ගැන සුනිල් හට ඇත්තේ පුදුමාකාර කැක්කුමකි. මේ කැක්කුම පපුව ඇතුළේම තියෙන නිසා කාලාන්තරයක් තිස්සේ ඔහු ජපානයේ වෙසෙමින්, මෙරටට යාම් ඊම් කරමින්, ජපානයට ගොස් සිටින ශ්‍රී ලාංකීය ප්‍රජාවට බොහෝ සත්කාර සපයා තිබේ. සරසවි ඉගෙනුමට යන ශිෂ්‍යයින් ඇතුළු බොහෝදෙනාට මෙන්ම එරට රැකියා කරන ශ්‍රී ලාංකිකයින් විවිධ අපහසුතා අනතුරුවලට පත් වූ විට ස්වාධීන කැමැත්තෙන්ම ඔහු දායකත්ව සපයා තිබේ.  


නිරන්තරයෙන්ම ශ්‍රී ලාංකිකයනට උදව් කිරීම ඔහුගේ ජීවිතයේ රිද්මයක්ම වීය. විටෙක තෝකියෝවට පමණක් සීමා වූ සිංහල අවුරුදු උත්සවය ඉබරති සහ නගෝයා ඇතුළු අනෙකුත් පළාත් දක්වා සංවිධානය කර දීමටද හේ මුල්වුණි.  


මෙකී සමාජ සත්කාර සියල්ල අතරේ නෝදයි සරසවියේ උසස් අධ්‍යාපනයේ දිගටම නියැලී සිටි සුනිල් පසුව බාහිර කථිකාචාර්යවරයකු ලෙසත්, පසුගිය මැයි මස සිට මහාචාර්යවරයකු ලෙසත් කටයුතු කරමින් සිටින්නේය. HBU (එච්බීයූ) සරසවිය එලෙස ඔහුගේ සරසවි භූමිය වී තිබේ. මෙලෙසින් ජපානය ජයගත් මේ මිනිසා හට ජපානයේ බොහෝ දෙනාගේ ඇසුර මෙන්ම ආදරයද, ගෞරවයද හිමිවුණි. එනිසාම වතාවක ඔහු ජපානයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙසද ගරු සේවයක් කිරීමට අවකාශය ලැබිණි.  


‘‘ඇත්තම කිව්වොත් ඒක මම ඉල්ලා ගත් දෙයක් වුණේ නැහැ. එදා ඒ තනතුර මට බාරදුන්නේ මා කළ සමාජ සේවා කටයුතු නිසයි. අදටත් මගේ ජපානයේ නිවහන යතුරු දාලා නැහැ. ඉගෙන ගන්න එන කවුරු හරි එනවා. එයාලට නවාතැන්දීම එදා සිට මා සද්භාවයෙන් කළ දෙයක්’’.  


සැබැවින්ම ජපානය යනු කළගුණ දත් මිනිසුන් වෙසෙන රටකි. මිනිසකුගේ සේවය ඔවුන් ඉහළින් අගය කිරීමට තරම් විටෙක මැලි නොවෙති. ඔවුනගේ ඒ බැඳීම් සමග සුනිල් ශ්‍රී ලංකා සංගමය, ව්‍යාපාරික සංගමය ඇතුළු බොහෝ සංගම් පිහිටුවීමට පුරෝගාමී වූ අතර ක්‍රියාකාරී වූ චරිතයක් ලෙස නිරන්තරයෙන් ක්‍රියාත්මකව සිටී. ජපානය හා ශ්‍රී ලංකාව අතර ව්‍යාපාරික ප්‍රජාවේ මිත්‍රත්ව පාලමක් තැනීමට වෙහෙසුණු ඔහු ටොන් ටොන් නමැති තඹ කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපෘතියද ජාතික ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස මෙරට ස්ථාපිත කර තිබේ.  


එමෙන්ම පැළෑටි සහ ශාඛා ඇතුළු එම අංශයේ පර්යේෂණ සිදුකෙරෙන ආයතනයක්ද පිහිටුවීමට හේ සමත්ව සිටී. තවත් ව්‍යාපෘති කීපයක නිර්මාතෘ වන ඔහුගේ නවතම සංකල්පය වන්නේ කුමක්ද?  


අධි තාක්ෂණයෙන් යුතු ශීත ගබඩා අපට නැහැ. ඒවා ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට දැන් මා කටයුතු කරගෙන යනවා. මාළු එළවළු පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය පරිභෝජන දේ වසරක් පමණ ඒවායෙහි ගබඩා කර තබන්න පුළුවනි. ගොවීන්ගෙ ප්‍රශ්න වගේම අපතේ නොයවා එළවළු වැනි දේ කල්තබා ගැනීමටත් ඒ නිසා යහපත් විසඳුම් ලැබේවි.  


මෙසේ පවසන මේ දිරිය මිනිසා හට මෙම කටයුතු කරගෙන යාමේදී විවිධ බාධක ගැටළුවලට මුහුණදීමට සිදුවුවද ඒවා බාධක ලෙස නොසලකා ඔහු ඔහුගේ ගමන යමින් සිටී.  


‘‘මට මොන දේ කළත්, ජපානය සමග එරට සුන්දර මිනිස්සු එක්ක තියෙන සබඳතා කාටවත් නැති කරන්න බැහැ. වත්මන් ජපාන අගමැති ෂින්සෝ අබේ එවකට විපක්ෂ නායකයාව සිටියදී මගේ හොඳ මිතුරකු වූවා. එතුමා අගමැති වී පසුව මෙහි ආ පසු පුද්ගලිකව එතුමා හමුවීමට මට පැය භාගයක් ලබාදුන්නා. ඒක මා ලැබූ විශාල භාග්‍යයක් සහ ගෞරවයක්’’.  


නමුත් ලංකාව ඇතුලෙ පාලනය කරන බොහෝදෙනෙකුට තව කෙනෙකුගේ ධාරිතාව තේරෙන්නෙ නැහැ. මිනිසකු වෙතින්, ඔහුගෙන් රටට නෙලා ගත යුතු ඵල නෙලා ගන්න දන්නෙ නැහැ. මට පක්ෂ පාට භේද වැදගත් නැහැ. මගේ එකම හීනය මේ රට නිවැරදි ගමන් මාවතකට යොමුවනවා දැකීමයි. ඒ වෙනුවෙන් මා මගේ ලැබූ දැනුම කිසිදු කොන්දේසියකින් තොරව ලබාදීමට සූදානම්’’.  


එසේ පවසන මේ සුනිල් ගැන නොපෙනෙන දුරකට සීමා වූ ඉමක් දක්වා තවත් කතා කිරීමට ඇති දේ බොහෝය. 53 වියැති වූ ඔහු වයසට වඩා බොහෝ දේ කර ඇති මිනිසෙකි. ජපානයේ සිට ලද පන්නරය වෙතින් මේ ශ්‍රී ලංකාවට සහ එහි දියුණුවට යමක් කිරීම අද ඔහුගේ ඒකායන අදිටන වී තිබේ.  


‘‘අම්මා තාත්තා අපිව බිහිකළා. හැබැයි අපි අපිට විතරක් අයිති නැහැ. දන්න නොදන්නා මිනිසුන් දස දහස් ගණනකට ජීවිතය ජයගැනීමට උදව් කිරීම මගේ අරමුණයි. ඒ ගමන යද්දී හොඳ නරක වගේම ගල් මුල් ඒවි ඒත් මා ජීවිතයේ එදා වැටුණෙත් නැහැ. ආයේ කවදාවත් වැටෙන්නෙත් නැහැ. සෑම වැරදීමක් යනු හොඳ ශක්තිමත් මූලාරම්භයක පටන් ගැනීමයි’’.

 

 

 

 

සඳුන් ගමගේ