තැපැල් ඡන්ද දැමීමට දින තුනක්


(මහින්ද නිශ්ශංක)

පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දදායකයින් 560020 දෙනකු ලබන 22, 25 සහ 26 යන දිනවල සිය සේවා ස්ථානවලදී තැපැල් ඡන්දය සළකුණු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ලබන 22 දා මැතිවරණ කොමිෂන් සභාවේ හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරින් සඳහා වෙන්කර ඇති අතර අනිකුත් රාජ්‍ය සේවකයින් සඳහා තැපැල් ඡන්දය ලකුණු කිරීම 25 සහ 26 දිනවල සිදු කෙරේ.   


මෙවර පළාත් පාලන ඡන්දයේදී තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 599000ක් පමණ ඉල්ලුම් කළ බවත් ඉන් විවිධ හේතූන් නිසා 41000ක් පමණ ප්‍රතික්ෂේප වූ බව අතිරේක මැතිවරණ කොමසාරිස් එච්.එම්. මොහොමඩ් මහතා පවසයි.  


තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ 560020 දෙනාගෙන් වැඩිම පිරිස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බවද එම සංඛ්‍යාව 67411ක් බවත් අඩුම තැපැල් ඡන්ද සංඛ්‍යාව 1958ක් ලෙස මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා කීය.  


මේ අතර තැපැල් ඡන්දදායකයින්ගේ ඡන්ද පත්‍රිකා මේ වනවිට ඔවුන්ගේ සේවා ස්ථානවල සහතික කිරීමේ නිලධාරීන් වෙත යවා ඇතැයිද මැතිවරණ කොමිසම පවසයි.