මහ වන මැද අත්හැර දමන ලද වාඩියක්


දුම්බර අඩවියේ සැඟවුණු ඉසව් සොයා-7

රත්නගිරිය කන්ද

හුළං කන්දට යන අතරමග

නොයිඳුල් දිය දහරා

 

  • කෝනාර මුදියන්සේලාගේ පියදාස නමෙහි මුලකුරු මෙම වාඩියට භාවිත වේ 
  • අදටත් ගම්වැසියන් රහසේම එනසාල් සොයා යන නවාතැන මෙයයි 
  • කාමර තුනක් මුළුතැන්ගෙයක් සහිත විශාල ගොඩනැගිල්ල තවමත් හොඳින් පවතී 

 

 

දුම්බර අඩවියේ වැළලුණු කතා සහ සිද්ධි අතර මෙම ලිපි පෙළ පුරාවටම අප මූලික වශයෙන් කතිකා කරන ලද්දේ එනසාල් වගාව පිළිබඳවයි. එනසාල් වගාව කොතරම් ජනප්‍රිය හා ලාභදායී ව්‍යාපාරයක් ද කියතොත් රක්ෂිතය බොහෝ ගැඹුරේ පිහිටි වන මැද පවා එනසාල් වගා භූමි පැවතුණි. එම වගාවන් නිසාම එ්වා බලා ගැනීම සහ වගා කටයුතු කිරීමට ගම්වැසියන් තම නිවෙස්වලින් ඈත්ව වන මැද වාඩි ගසා සිටියහ. එම වාඩි අතරින් බොහෝ ප්‍රචලිත සේම තවමත් හොඳ තත්ත්වයේ ඇති එකම වාඩිය සොයා අප වන වැදුනෙමු. එය හැඳින්වීමේ පහසුව හේතුවෙන්ම එය ප්‍රචලිත වන්නේ KMP වාඩිය ලෙසිනි. 


කෝනාර මුදියන්සේලාගේ පියදාස (KMP) වාඩිය ලෙස හඳුන්වනු ලබන මෙම වාඩිය ඇත්තේ දුම්බර වනපෙතේ මධ්‍ය ස්ථානයකට වන්නටය. එය ගූගල් සිතියමේ අක්ෂාංශ හා දේශාංශ 7.443964, 80.796856 අතරය. එම ස්ථානයේ සිට ආසන්නතම වතුයායට (මිනිස් වාසයට) ඇති දුර ආසන්න වශයෙන් කිලෝමීටර 5කට වැඩිය. මෙම වාඩිය අපට කිහිප වරක්ම මුණ ගැසුණේ එය පිහිටියේ සුවිශේෂී මාර්ගයක හා ඉසව්වක වන හෙයිනි. මන්ද ක්‍රියාදාම සංචාර කිහිපයක් වෙත පියමනින විට මෙම වාඩිය නිතැතින්ම හමුවන හෙයිනි. එම නිසාම මෙම වාඩියේ පිහිටීම හා පැවැත්ම ඉතා සුවිශේෂී වෙයි. 


මාතලේ දිස්ත්‍රික්කයට අයත් කොටසේ පිහිටි මෙම වාඩියට ළඟාවීමට ක්‍රම සහ පිවිසුම් ඉසව් තුනක් පමණ හඳුනාගත හැකි වුවද ඉන් වඩාත් පහසුම හා සම්මත මාර්ගය පිහිටියේ බඹරැල්ල ආශ්‍රිතවය. වත්තේගම මඩවල සිට පන්විල හුළුගඟ හරහා බඹරැල්ලට පිවිසෙන විටම ලෙබනන් වතුයාය ලෙස පුවරු දැක ගත හැකිය. 


එය පිහිටියේ බඹරැල්ල ග්‍රාමයට ඉතා ආසන්නව පාලමක් අසලය. යතුරුපැදි මගින් මැදියම් රැ​යේම පිටත් වූ අප හිමිදිරි සීතල ද තුරුලු කරගෙන ලෙබනන් වතුයායට හරවන මංසන්ධියට ආවේ අඩ අඳුරේය. ප්‍රදේශය පුරාවට දිය දහරාවල චිරි චිරිය ඇසෙන්නට වූ අතර එන අතරමග දී අපට ඉත්තෑවන්, ඕලු මුවන් සහ ගෝනුන් පවා හමුවුණා. මෙම සතුන් රාත්‍රි කාලය තුළ අසල ගම් වෙත ගොස් මාර්ග වෙත පියමං කරයි. කෙසේ හෝ පාන්දර පහේ සිටම එම මග දිග පැමිණ අපට දෛනික රැකියා සඳහා පිටත්ව යන අහිංසක ගම්වැසියන් කිහිප දෙනකු ද මුණගැසුණි. 


දුසිම් දෙකකට වැඩි ගණනක් අප වරින් වර දුම්බර වන පියසට යන ගමන්වල දී හිමිදිරි පාන්දරම සීතල ද තැකීමට නොගෙන මුළු ශරීරයම ඊට සරිලන ලෙස අාවරණය කර ගනිමින් බොහෝ තරුණ තරුණියන් සේම වැඩහිටියන් අතුරු මාර්ගවල හෝ බස් නැවතුම්පොළවල ගමන් කරනු දක්නට ලැබුණි. ඔවුන් සියලු දෙනා නගරයේ රැකියා සඳහා පිටත්ව යාමට මුලින්ම ඇති බසය අල්ලා ගැනීමට ගමන් කරන බව අපි දැනගත්තෙමු. මන්ද මෙම ප්‍රදේශයේ සිට නගරයට යාමට බොහෝ වේලාවක් ගතවන බවත් මාර්ග දුෂ්කරතාව සහ මාර්ගයේ පළල බස් රථයට පමණක් ප්‍රමාණවත් පරිදි තිබීම ඊට හේතුවයි. කෙසේ හෝ එමගින් අප දවස පුබුදුවා ගැනීමට සිතුවිල්ලක් උපදවා ගන්නේ ඔවුන් තුළ ඇති කැපවීම සහ උත්සාහය හේතුවෙනි. 


ලෙබනන් වතුයායට යන කුඩා මාර්ගයට හැරවූ ඉදිරියට ගමන්කරන විට වියපත් මව්වරු හා පියවරු තම දෛනික වැඩරාජකාරි සඳහා යනු අපි දුටුවෙමු. ඔවුන්ගෙන් අසාගෙන අපි තේ වතුයාය මැදින් ගමන් කරමින් මල්ගුඩි හන්දියට ළඟා වුණෙමු. මල්ගුඩි හන්දිය මනරම්ය. එහි කම්කරු නිවාස පේළියක් හා සුන්දර හරිත වන පියසකින් පරිපූර්ණව තිබුණි. අවට ඉතා ඉහළට අහස් කුස පුරා නැගගත් මුදුනේ සිට අවට දක්වා වසාගෙන තිබුණේ සුදු මීදුම් රොදක්ය. මෙම වතුයායේ සිටින්නේ අහිංසක දමිළ වැසියන්ය. තේ දලු ප්‍රවාහනය කරන ලොරි රථය ගමන් කිරීමට ප්‍රමාණවත් මාර්ගය තිබුණේය. පසෙකින් තේ යායත් අනෙක් පසින් හෙළකටත් මායිම් වෙමිනි. කටු මැටි ගෙවල් එක පේලියට ඇති කම්කරු නිවාස පේලි අතරින් දිවෙන මාර්ගය පුරාවට දිය ඇලි සේම දිය පහරවල් රාශියක් ද දක්නට ලැබුණි. ලෙබනන් වත්තේ අලංකාර දිය ඇළි කිහිපයක්ම ඇත. එ්වා අසල පිහිටි ගංගා වෙත ගලාගෙන යන්නේ ද හුළු ගඟ පෝෂණය කරන්නටය. ප්‍රදේශය තවමත් අඩ අඳුරේය. හීන් සීරුවට හිරු නැගෙන විට අප යතුරුපැදි මගින්ම මාර්ගය දිගේ ඉහළට ඇදුනේ වනපියසට ඇතුල්වීමට ඇති ස්ථානය තවත් ඉහළ වන හෙයිනි. 


අබලන් මාර්ගය දිගේ තවත් ඉහළට යනවිට අප හමුවන මංසන්ධිවල දී නියමිත ඉසව්ව අසාගෙන ගොස් එක් ස්ථානයක අපි නැවතුනෙමු. එතනින් එම කොටසේ නිවාස පිහිටීම අවසන් වන අතර එතැන් සිට අප යා යුත්තේ වනපියස මැදින් බව අප දුටුවේ මාන පඳුරු යාය වන හෙයිනි. එම නිවැසියන්ට කතා කර අප යතුරුපැදි නවතා මාන පඳුරු කැලයට අවතීර්ණ වූයේ KMP වාඩිය සොයා යාමටය. ගමන පටන් ගත් තැනම දුෂ්කර බව දැනුණු අතර කූඩැල්ලෝ හෙමි හෙමිහිට අප සොයා එන්නට වූහ. 


ළහිරු කිරණ ගත වැදෙන විට දැනෙන සතුට නිදහස කොතෙක්ද යත් ක්‍රම ක්‍රමයෙන් ඉහළ උන්නතාංශයට යනවිට ලෙබනන් වතුයාය ක්‍රමයෙන් කුඩාවට පෙනෙන්නට වූයේ අපගේ ගමන නිසි මග යනෙන හෙයිනි. මෙම අඩි මාර්ගය සෘජුවම ගමන් කරන්නේ KMP වාඩිය වෙතය. නමුත් මේ මාර්ගය හා සබැඳිව යම් යම් ස්ථානවල දී වනය තුළට තවත් අඩි මාර්ග ලෙස දැකිය හැකි මුත් ඒ වල් ඌරන් හෝ ගෝනුන් මුවන් ගමන් කළ මාර්ග බව දැනගත යුතුය. මන්ද මෙම අඩි මාර්ගය බොහෝ කාලයක් මුළුල්ලේ පවතින්නක් වන හෙයිනි. ක්‍රමයෙන් ගම්මානය නොපෙනෙන ඉසව්වකට ළඟා වූ අප සිටියේ තවමත් හිස් අවකාශය තුළය. ඒ වනවිට අප ළඟා වූයේ රත්නගිරිය කොටසේ රත්නගිරිය කන්ද අසලදීය. රත්නගිරිය කන්ද අතිශය අලංකාරය. එය සම්පූර්ණයෙන්ම මාන පඳුරුවලින් වැසී ඇති අතර ඒ වෙත අප කඩිනමින් ළඟාවූයේ ඒ වෙත යායුතු මාර්ගයක් නොතිබුණ ද එහි යාම අපහසුවක් නොවූ හෙයිනි. 


රත්නගිරිය කන්දට ගිය අපට ගෝමරය හා අවට ගම්මාන දක්නට ලැබුණ අතර මීට අසල්වැසි කන්දක් ලෙස සිටියේ රිලගල හෙවත් ගෝරණ කන්ද දක්නට ලැබුණි. එලෙසම ඉතා ඈතින් ගෝනා ගිය ඇලි දාමය පවා අපට දක්නට ලැබුණි. නැවතත් පෙර අඩි මාර්ගයට අප පැමිණි අතර ඉන්පසු අප තවත් ඉදිරියට ගමන් කළේ හුළං කන්ද වෙතය. හුළංකන්ද යනු සුළං ප්‍රමාණයක් සහිත විවෘත කඳු ගැටයකි. මෙම ගමනේ දී අපට හමුවන අවසන් කඳුගැටය මෙය වන අතර මෙය ඉන්පසු හැරවෙන්නේ වෙන වන පියසක් වෙතය. මාන පඳුරු හා තෘණ පඳුරු පසු කරමින් කුඩා පතන ඔස්සේ අපි ගමන් කරමින් මෙතෙක් වේලා ගුවනට විවෘත භූමිය ඔස්සේ පැමිණි මග නිමාවට පත්විය. 

 

එනසාල් වගාව

කේ.එම්.පී. වාඩියට පෙනෙන තුන්හිස්ගල

 


ඉන්පසු අප අවතීර්ණ වූයේ වනාන්තරය තුළටයි. මෙම වන පියස කොතරම් ඝන යැයි කිවහොත් මෙහි තෙත් ගතිය ඉතා ඉහළ විය. මීදුම් රොද ගස් කඳන් අතරින් ඔබ මොබ දුවන විට පස්යටින් ජල බිංදු අතරින් උඩට නගින කූඩැල්ලන් සමූහයක් මග දිගට අපට දක්නට ලැබුණි. කිසිසේත්ම ගුවන දැකගත නොහැකි මෙම වන පියස මහා රූස්ස ගස්වලින් සහ විවිධ ශාක වර්ගවලින් අනූනව තිබුණි. කිලෝමීටරයක් දෙකක් ගමන් කරන විට ජල බුබුලු කිහිපයක්ම හමුවූ අතර පරිසරයටම අනුවර්තනය වූ කටුස්සන් වර්ග හා මැඩියන් වර්ග කිහිපයක්ම අපි දුටුවෙමු. මාර්ගය බොහෝ සුන්දර වූ අතර හුස්ම ජනනය කරන ඔක්සිජන් මෙහි බහුලව පැවතුණි. ගමන තරමක් විඩාබර වුව ද විසල් සෙවණ ගහකොළ යට දැනෙන සිසිලස නිසාවෙන් එය නැතිව ගියේය. 


ක්‍රමක්‍රමයෙන් ගල්පර මතින් කටු අකුල් මතින් ගමන් කරන අපට හමුවූයේ විශාල එනසාල් වගාවකි. අඩි මාර්ගය එනසාල් යාය මැදින් තිබුණ ද අඩි මගක් නොපෙනෙන තරමට එනසාල් පත්‍ර තිබුණි. මීටර දෙසීයක් පමණ දිගට අප ගමන් කළේ එනසාල් වගාව මැදින් වූ අතර ඉන්පසු අප ළඟා වූයේ අලංකාර දිය දහරාවක් අතරටය. එහි මදක් විවේක ගත් අපි ගෙන ආ ආහාර ගෙන ජලය ද පානය කර පිටත් වුණෙමු. 


ඉන්පසු අප ළඟා වූයේ මහ ගඟේ ශාඛාවකටය. මහ ගඟ යනු කළු ගඟ පෝෂණය කරන්නට වන පියස හරහා ගලා යන සුවිසල් දියවරකි. එහි මග දිගට අලංකාර දිය ඇළි රාශියක් ඇති බව අප දන්නා මුන් එහි වෙනත් දිනයක යාමේ අටියෙන් අප KMP වෙත යන ගමන නැවත පටන් ගත්තෙමු. 


මෙම ස්ථානය අැළ පිහිටි දියවර ගලා යන ගල් පර්වතයක කළු පාටින් අඳින ලද ඉරක් විය. එය ජලය තුළින් ඉතා පැහැදිලිව දක්නට ලැබුණු අතර එය කුමන හේතුවක් නිසා තැබූ සටහනක් දැයි අපට ද සිතාගත නොහැකි වුණි. කෙසේ හෝ අප වන පියස තුළින් තව තවත් ඉදිරියට යනවිට කුඩා ගරා වැටුණු ගොඩනැගිල්ලක් දක්නට ලැබුණි. එය බෙහෙවින් වල් වැදී තිබුණු අතර ගොඩනැගිලි ගරා වැටී තිබුණි. ඒ අසල කඩා වැටුණු ගොඩනැගිලි කොටස් තිබූ අතර ඒවා ද මුළුමනින් වනයෙන් ශාකවලින් වැසී තිබුණි.

 

GPS සිතියමට අනුව අප මේ වනතෙක් පසු කරගෙන පැමිණ ඇත්තේ විශාල සමතලමය භූමියක පැතිරුණු දැවන්ත වන පියසක්ය. මෙය පොකුරු කඳු පන්ති නිර්මාණය කිරීමේ ප්‍රබල දායකත්වයකි. මන්ද සේවා කන්ද සහ රිළාගල කන්ද අතර පිහිටි මෙම ඉසව්ව කඳු යා කරමින් ජලය ජනනය කරන ප්‍රධානම ජල පෝෂකයක් වේ. මන්ද පසෙකින් නැගෙනහිරට ගලන දියවර කළුගඟටත් බටහිර දෙසින් ගලන දියවර ගෝන ගිය ඇල්ල දිගේ හුළුගඟටත් දියවර ගලාගෙන යයි. 


මෙම දියවර සියල්ල අවසානයේ මහවැලියට එකතුවේ. කෙසේ හෝ අප ගමනේ අවසානය වෙත ළඟාවූ අතර යන වන පියස මැදින් අප දුටුවේ හුදෙකලා වූ KMP වාඩියයි. ඒ අසලට පිවිසෙත්ම අප දුටුවේ එම ප්‍රදේශය අවට විවිධ පලතුරු වර්ග සහ එනසාල් වගාව දක්නට ලැබුණි. KMP වාඩිය වෙත ළඟාවූ අපට හමුවූයේ මහතුන් මාමාය. ඔහු ඒ වනවිටත් මුළුතැන්ගෙයි තේ වතුර රත් කරමින් සිටි අතර අප සමග ඔහු සුහද පිළිසඳරකට වැටුණි. 


මේ වාඩිය අයිති වෙලා තිබුණේ රණමුරේ පැත්තේ මුදලාලි කෙනෙක්ට. එයාගේ නම තමයි ඔය කෝනාර මුදියන්සේලාගේ පියදාස කියන්නේ. දැන් ඉතින් කට්ටිය කෙටියෙන් හඳුන්වා ගැනීමට KMP වාඩිය ලෙස හඳුන්වල දෙන්න පටන් ගත්තා. මේ වාඩිය ඒ මහත්තයාටත් කලින් අයිති වෙලා තිබුණේ එ්කනායක කියල මුදලාලි කෙනෙක්ට. එනසාල් තමයි මහත්තයා මේ වාඩියට හේතු වුණු වගාව. දැන් ඉතින් මේ පේන වගා බිම තමයි තියන්නේ. එනසාල් තහනම් කරාට පස්සේ කැලේ තිබ්බ වාඩි ඔක්කොම කැඩුවා. අයින් කරා. ඒත් මේක විතරක් ඉතුරු වුණා. මොකද මේක තමයි මේ පැත්තෙම ලොකුම වාඩිය. ගොඩදෙනෙක්ට නැවතිලා ඉන්න පුළුවන් මේකේ. දැන්නම් තුන්හිස්ගල යන ළමයි ගොඩ දෙනෙක් මෙහෙ ඇවිත් රැයක් ඉඳලා යන්නේ. මාත් විටින් විට මෙහේ ඉන්නවා. මේක දැන් කැලේට ගිගිල්ලා තියෙන්නේ මහත්තයෝ. ඔය එළියේ ජනේල ළඟ පිපිරිලා තියෙනවා. මේ කුස්සිය කඩලා තියෙනවා. වෙන කවුරුත් නෙමෙයි අලි මහත්තයෝ. 

හොඳින් ඉතිරිවී ඇති කේ.එම්.පී. වාඩිය

කේ.එම්.පී. වාඩියේ මුළුතැන්ගෙය

වාඩියේ ඇති කාමරයක්

 


දැන්නම් උන් එන එක ගොඩක් අඩුයි. අලි ගහල තමයි මේ හානි වුණේ. මෙතනට සිරිපාදේ පේනවා වගේ හරි අපූරුවට තුන්හිස් ගල පේනවා. මම තට්ට තනියම ඕන තරම් රෑ මෙහෙ ඉඳලා තියෙනවා. බට ද‌ාලා වතුර ටිකක් ගන්නේ පහල දොළෙන්. මෙතන හරි අපූරු සිද්ධිත් තියෙනවා. 


මහතුන් මාමා සතුව කතා ගොන්නක් තිබිය යුතු බව අපට ද සිතුණි. මන්ද කි.මී. ගණනක් දුරපිහිටි මහ වනයක් මැද මෙවැනි පාළු වාඩියක සිටීම අරුමයකි. වාඩියේ කාමර තුනකට වඩා තිබුණු අතර කටුමැටි ගසා පදම් කළ බිත්ති හොඳින් තිබුණි. ගරා වැටුණ ජනෙල් පියන් සහ ඇතැම් කැඩුණු බිත්ති කොටස් මෙහි පැරණි බව අපට පෙන්වන ලදී. එනසාල් වගාව බහුලව පැවති මෙම ඉසව්වේ අතීතයේ තවත් වාඩි හා නිවාස තිබී ඇත. එලෙසම මෙතැන් සිට පැයකටත් අඩු කාලයකින් තුන්හිස්ගල කඳු මුදුනටත් අනෙක් පසින් වනය හරහා දූවිලි ඇලි දාමයකටත් අනෙක් පසින් රැගාන කොටු පතන හරහා මීමුරේටත් යා හැකිය. 


KMP වාඩිය බොහෝ දෙස් විදෙස් ක්‍රියාදාම සංචාරකයන්ට නවාතැන් දුන් නිවසකි. එය තවදුරටත් රැකෙනු අැත. අප ගෙන ආ අයිතම උයාගෙන හෝරා කිහිපයක් ගත කළ අප මීළඟට පිටත් වූයේ ඊළඟ වාඩිය සොයා යාමටයි. 

 


ඊළඟ සතියේ හේමචන්ද්‍ර වාඩිය හරහා මීමුරේට. 


සංචාරක සටහන හා ඡායාරූප 
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු