ලෙඩට දුකට හෙළ ඔසු නිදුක් නිරෝගී සුව දෙන කහ


 

ආයුර්වේද ඖෂධයක් ලෙසත්, ආහාර වර්ණකයක් ලෙසත් කහවලට හිමිවනුයේ සුවිශේෂි තැනකි.


ක්‍මරජමප් ඛදබට් විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කහ දමිළ බසින් මංජල් යනුවෙන් හැඳින්වේ. සංස්කෘත භාෂාවෙන් රාත්‍රිය හඳුන්වන සෑම නමකින්ම කහ හැඳින්වෙන අතර ඒ අතර රාජනි, නීසා, රත්තී, සංවරී, කෘමික්මී, හරවිලාසිනි (ශරීරය ලස්සන කරන බැවිනි) දීර්ඝ රාගා (වාජීකරන ගුණයක් ඇති හෙයින්) යනුවෙන් කහ හැඳින්වේ.

 

ආහාර සඳහා කහ ශාකයේ අල සහ මල් භාවිත කෙරෙන අතර, ඖෂධයන් සඳහා කහ ශාකයේ කොළ, මල්, අල සහ ගොබ යොදා ගැනේ.


ආයුර්වේදයට අනුව,
හරං කහ
වනහරි (වල් කහ)
ආමුර ගන්ධ හරිදු (අඹ සුවඳ වෑහෙන) ලෙස කහ වර්ග කෙරේ.


වසර 4000ක අතීතයේ සිට මෙරට භාවිත කෙරෙනා කහ ශාකයේ ජන්ම භූමිය ලෙස සැලකෙන්නේ ඉන්දියාවය. කෙසේ නමුත් පොත පතේ සඳහන් වන්නේ කහ ප්‍රතිකාර සඳහා මුලින්ම යොදවාගෙන ඇත්තේ දකුණු ඉන්දියාවෙන් පැවතගෙන ආ “සිද්ධි වෛද්‍ය ක්‍රමය” හරහාය.


ඖෂධීය ගුණය
ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළින්ම ඇති කහ තරුණ බව රැකීමට, සම පැහැපත් කිරීමට ඉතා සරලවම යොදාගත හැකි මහඟු ඖෂධයක් වේ.


තිත්ත සහ කටු රසයෙන් යුතු කහ කප සහ වාතය හේතුවෙන් හට ගන්නා රෝගයන් මැඬලීමට ඉතාම ගුණදායකය.


රක්ත ශෝදක ගුණයකින් යුතු කහ සමේ රෝග සඳහා විශේෂයෙන් භාවිත කෙරේ. විශේෂයෙන්ම සුව නොවනා තුවාල සුවකර ගැනීමටද අතීතයේ සිට මේ දක්වාම කහ භාවිත කර තිබේ.


ආයුර්වේදයේ ප්‍රධානම ග්‍රන්ථ තුනක් වන චරක සංහිතාව, සුඍතය, අෂ්ඨාංග හෘදය යන තුනෙහිම කහ ගැන දීර්ඝ ලෙස විස්තර කර ඇති අතර, චරකයේ තරුණ බව රැක ගැනීමට භාවිත කරනා ප්‍රධානම රස කොටස් ලෙස නම්කර ඇත්තේ කහය. 

 

 


අතීතයේදී රාජකුමාරිකාවන් තම රූප ස්වභාවය වර්ධනය කර ගැනීමටත්, ශරීර පැහැය ආරක්ෂාකර ගැනීමටත්, ස්නානයට පෙර කහ, සඳුන්, සහ කොකුම් පොතු තම්බා, අඹරා ශරීරයේ ගැල්වූ බවද ඉතිහාස සාක්ෂි අතර හමුවේ.


හිසේ සිට පාදන්තය දක්වාම රෝග නිවාරණය සඳහා භාවිත කළ හැකි කහ ක්ෂුද්‍ර නාශක ගුණයකින් යුතුය. 


ප්‍රමේහ රෝගීන් (මධුමේහය) සඳහා පිළියෙල කරනා කසායවලට මෙන්ම කසාය භාවිතයෙදී යොදා ගන්නා අනුපාන සඳහාද භාවිත කෙරේ.


මව්කිරි පිරිසුදු කිරීමේ ගුණයකින් යුතු කහ අක්ෂි රෝග සඳහාද භාවිතා කරනා ඖෂධ අතර ප්‍රධාන වේ.


ආයුර්වේද ඖෂධීය තෛල වර්ග, කල්ක සහ ප්‍රලේප සකස් කිරීම සඳහා යොදා ගන්නා කහවලින් ශ්වසන රෝගීන්ට රෝගී අවස්ථාවේදී එය නිවාරණය සඳහා දුම් ඇල්ලීමද සිදුවේ.


කූඩැල්ලන් කෑ විට ඇතිවන රුධිර වහනය නතර නොවනා තත්ත්වයේදී කහ කුඩු, මී පැණි සමඟ මිශ්‍රකර තුවාලයට තැබීමෙන් රුධිරය යෑම නතරවී තුවාලය සුවවේ.


අපස්මාර රෝගයෙන් පෙළෙන්නන්ට කහ කුඩු දමා දුම් ඇල්ලීමෙන් ගුණය ලැබෙන අතර කහ දුම ඇල්ලිය යුත්තේ රාත්‍රියේදී බවද ආයුර්වේදයේ පෙන්වා දේ. 


එලෙසින් දුම් ඇල්ලීමෙන් පසු පැය 2-3 යන තුරු ජලය පානය නොකළ යුතු බවද ශාස්ත්‍රයෙහි ඉගැන්වේ. තවද ගෝනුස්සන් දෂ්ට කළ විට කහ කුඩු දමා දුම් ඇල්ලීමෙන් ගුණයක් ඇති බව ග්‍රාමීයව ජීවත්වන්නෝ දනිති. 


කන් අමාරු ඇති විට කහ කුඩු සිනාක්කාරම් කුඩු 1:20 අනුපාතයට ගෙන කන සේදීම සුදුසුය.


අක්ෂි රෝග සඳහා බහුලවම භාවිත කරනුයේ කහ ශාකයේ අල නොව මුල් වීමද විශේෂත්වයකි.


සමේ බිබිලි ඇති විට අත් කහ සහ ඔලිව් සමඟ මිශ්‍රකර හෝ අත් කහ තල තෙල් සමඟ මිශ්‍රකර ගැල්වීමෙන් ඉක්මන් සුවය ලැබේ. 
පැපොල රෝගයේදී හට ගන්නා තුවාල කැළැල්වලට කහ කුඩු මී පැණියෙන් අඹරා ගැල්වීමෙන් කැළැල් ඉක්මනින් නැතිවී යන අතර තුවාල ඇති අවස්ථාවේදී ඇතිවන කසන ස්වභාවයද එමගින් නැතිවී යයි.


හන්දි ඉදිමෙන අවස්ථාවේදී කහ කුඩු වෙඩි ලුණු සමඟ මිශ්‍රකර ඉදිමුණු ස්ථානයේ ගැල්වීමෙන් ඉක්මන් සුවය ලැබේ. වේදනා සහිත ඉදිමුමටද මෙය ඉතාම යෝග්‍යය.


ආමාශගත රෝග රැසකට පහතින් දැක්වෙන කසාය ඉතාම යෝග්‍යය.


වියලි කහ, තිප්පිලි, වියළි ඉඟුරු, එනසාල්, වළඟසාල් කලන් 6 බැගින් ගෙන, කළු ගම්මිරිස් කලන් 3ක් යොදා චූර්ණකර, මිශ්‍රකර, කලන් බාගය බැගින් උදේ සවස ගැනීම යෝග්‍යය. කෙසේ නමුත් කහ ඖෂධ ප්‍රතිකාරය පිත්නාළයේ රෝග ඇති අයට ලබා නොදිය යුතු බව ආයුර්වේදයේ පෙන්වා දේ.


පීනස් රෝගයෙන් පෙළෙන්නන්ට, වියළි ඉඟුරු කුඩු මේස හැඳි 01, වියලි කහ කුඩු මේස හැඳි 01, තැඹිලි ගෙඩියක ඇස්ස කපා රාත්‍රියට මෙම ඖෂධ දමා තබා උදෑසන පානය කිරීමෙන් රෝගය සුවවේ.


බරවා රෝගයේදී සුදු රුධිරානු සෛල වැඩිවන අවස්ථාවේදී කහ කුඩු මී පැණි සමඟ මිශ්‍රකර රෝගියාට ලබාදීම රෝග සුව වීමට හේතු වන්නකි.


හන්දි ඉදිමෙන අවස්ථාවේදී අමු කහ, මී පැණි දමා අඹරා, ඉදිමුම ඇති ස්ථානයේ ගැල්වීම ඉතාම යෝග්‍යය.


කහ අලයෙහි බහුලව අඩංගු කර්කියුමින් රසායනය හේතුවෙන් කහ වර්ණය ලැබී ඇති අතර වර්ණ ගැන්වීමේ ක්‍රියාවලිය සිදුවන්නේ එහෙයිනි.


ලොව දත්ත පිරික්සීමේදී කහ භාවිතයෙන් වර්ණ ගැන්වීම වැඩිපුරම කරන රටවල් ලෙස හැඳින්වෙන්නේ පර්සියාව සහ ඉරානයය.
ආහාර රස ගැන්වීම සහ ආහාර වර්ණ ගැන්වීම සඳහා භාවිත කරන ඊ කාණ්ඩයේ අංක අතර කහ සංකේතවත් කර ඇත්තේ ෑ 100 ලෙසය.


අදවනවිට ලොව පුරා කහ ඖෂධයකට අමතරව චීස්, බටර්, මාගරින්, අච්චාරු, මත්පැන්, පලතුරු, කේක්, ජෙලි, සෝස් වර්ග, අයිස්ක්‍රීම්, ජෙලටීන්, පොප්කෝන් මෙන්ම බත් වර්ණ ගැන්වීමටද භාවිත කරන බව සඳහන්ය. 


මධුමේහය රෝගීන්ට ගුණදායක කහ කොලොස්ට්‍රෝල් රෝගීන්ගේ එල්. ඩී. එල්. කොලෙස්ට්‍රෝල් ප්‍රතිශතය අඩු කිරීමටත් උපකාරී වේ.


රුධිරයේ මේද ප්‍රමාණය අඩු කිරීමේ ගුණයකින් යුතු කහ, උළුහාල් සමඟ මිශ්‍රකර ගැනීමෙන් මේදය ජීර්ණ කිරීමේ ක්‍රියාවලිය පහසු කෙරේ.


සොරයිසිස් නම් පොතු කබර රෝගයෙන් පෙළෙන්නන්ටද කහ භාවිතයෙන් රෝග පාලනයට ගුණදායකය.


ප්‍රතිශක්ති ගුණය ඉහළින්ම ඇති කහ පිළිකා නාශක ගුණයෙන්ද යුක්තය. විශේෂයෙන්ම අග්න්‍යාසයේ, අන්නශ්‍රෝතයේ සහ අන්ත්‍රයේ ඇතිවන පිළිකා වළක්වා ගැනීමේ ගුණයකින් යුතු කහ අසාත්මිකතාවලදී බාහිරින් ගැල්වීමෙන් සුවය ලැබේ. 


පේශී වේදනාවන් ඇති විට කහ කුඩු, පොල්තෙල් සහ තල තෙල් මිශ්‍රකර ආලේප කිරීමෙන් ක්ෂණිකව වේදනාව නැතිවී යන බව ආයුර්වේදයේ පෙන්වා දේ. පුරුෂයන්ගේ පුරස්ථි ග්‍රන්ථි ඉදිමීමේදී බාහිරින් යටිබඬේ ගැල්වීමත්, කසාය පිළියෙල කර පානය කිරීමත් ඉතාම ගුණදේ.


ආමාශගත තුවාල ඇති කරවන බැක්ටීරියාව විනාශ කිරීමේ හැකියාවක් කහ සතුවන අතර එවැනි රෝගීන්ට දිනපතා කහ ග්‍රෑම් 3ක් මී පැණියෙන් ගැනීම යෝග්‍යය.සමේ ඇතිවන දිලීරවලදී පුපුල කොළ, අමුකහ කොටා දෙහි ඉස්ම සමඟ මිශ්‍රකර ආලේප කිරීම ඉතාම යෝග්‍ය ඖෂධයක් වේ.


මහා අන්ත්‍රයේ හට ගන්නා රෝගී තත්ත්වයන් සමනය කිරීමට සමත් කහ, කටින් කෑමට සේම රෝගීන් වස්ති කිරීමටද යොදා ගැනේ.
පෙනහලු පිළිකාවලදී කහ, ඉඟුරු, කුරුඳුපොතු සමඟ ගැනීම යෝග්‍ය අතර එයටම කහ, සුදුලූනු, කළු ගම්මිරිස් ද මේ සඳහා භාවිත කෙරේ.


සමේ ඇතිවන පිළිකා තත්ත්වයන්ගේ දී කහ කුඩු කෝමාරිකා සමඟ මිශ්‍රකර ආලේප කෙරේ. 


සුව නොවනා තුවාල ඇති විට අමු කහ අල, පලා කෝමාරිකා පිත්තේ මැදට දමා වතුර නොදා ගන්නා පොල්කිරි දමා මැටි මුට්ටියක දමා තම්බා අඹරා තුවාලය ඇති ස්ථානයේ බැඳීමෙන් සුව නොවනා තුවාල ඉක්මනින් සුවවේ.


ඇතැම් පුද්ගලයන්ගේ සමේ මේද ගැටිති ඇති විට අහු ගැට, අමු කහ, හාල් සේදූ වතුරෙන් තම්බා අඹරා ගැල්වීම යෝග්‍යය.


අන්සයිමර් රෝගීන් සඳහා අමුක්කරා අල සමඟ කහ දමා සාදා ගන්නා කසාය ආයුර්වේදයේදී භාවිත කෙරේ. ඇදුම රෝගීන්ට ඇතිවන ආසාත්මිකතාවලදී භාවිතා කෙරෙනා කහ ශරීරයේ ඇතිවන ආසාත්මිකතාවලදී තැඹිලි කොළ සමඟ කහ කුඩු දමා දුම් ඇල්ලීමෙන් ඉක්මන් සුවය ලැබේ.


ඖෂධීය ගුණයෙන් ඉහළ කහ ඉන්දියාවේ මෙන්ම අප රටේද සිදුකරන සෑම දේව පූජාවකදීම භාවිත කෙරෙන ප්‍රධානම අමුද්‍රව්‍ය වන අතර සෑම ශාන්ති කර්මයකදීමද භාවිත කෙරේ. තවද අතීතයේදී අප රටේ මෙන්ම ඉන්දියාවේ නිවසක තැන්පත් කෙරෙන මෘත ශරීරයක් කනත්ත කරා ගෙන ගිය පසු කහ යොදා මිනිය තැන්පත් කළ ස්ථානය පිරිසුදු කෙරේ. මෙමගින් කිලිහරණය කිරීමක් වෙන බව එදා මෙන්ම අදද පැවතගෙන එන විශ්වාසයකි.


මිනිසුන්ගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා භාවිත කෙරෙන කහ අශ්වයන්ට ඇතිවන රෝග සඳහාද බහුලවම භාවිත කෙරෙනා ඖෂධයක් වේ.


අතීතයේදී සිවුරු පඬු සෑදීමටද කහ භාවිත කළ අතර අදටද විවිධ වර්ණ ගැන්වීම් සඳහා කහ යොදා ගැනේ.

සටහන : අසුන්තා එදිරිසූරිය