ගාමිණී ​ෙෆාන්සේකා හා ජෝ අබේවික්‍රම ගැන කතා නොකර සිංහල සිනමාව ගැන කතා කළ හැකිද? එය කිසිසේත් කළ නොහැකිය. යුගයක් සිනමාව බැබල වූ ඔවුන් දෙදෙනාම සිටි චිත්‍රපට බැලීමට නොතිත් ආසාවෙන් සිටියෝය. මේ දෙදෙනාම මුල්වරට එකට රඟපෑවේ 1961 වසරේ තිරගත වූ ‘‘පිරිමියෙක් නිසා’’ චිත්‍රපටයෙනි. එහෙත් මේ දෙදෙනා ජනප්‍රියත්වයේ මුදුනට නැඟුණේ 1962 තිරගත වූ ‘‘රන්මුතුදූව’’ චිත්‍රපටයෙනි.  

මා මුලින්ම ගාමිණී හා ජෝ දැක ගත්තේ එක්තරා මැයි දිනයකදීය. එය හැටේ දශයේ මුල බව මතකය. එකල මැයි දින පෙළපාළි අතිඋත්කර්ෂවත් ලෙස පැවැත් වූ අයුරු බොහෝ අයට මතක ඇති. දහ තුන්වැනි වියේ සිටි මා මගේ සම වයසේ පසු වූ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුව සිටි ප්‍රේමසිරි පෙරේරා සමඟ කොස්ගස් හන්දියේදී දුටු එක්තරා මැයි දින පෙළපාළියක රතුපාට කමිස හා සුදු කලිසම්වලින් සැරසුණු ගාමිණී, ජෝ හා ෂේන් ගුණරත්න සමඟ අභිමානයෙන් ඇවිද ගෙන යන ආකාරය මට අද වගෙ මතකය.  


මා ‘‘සරසවිය’’ පුවත්පතට බැඳුණු අලුත මුල්වරට ගාමිණී ගැන විශේෂාංගයක් ලිවීමේ නොතිත් ආශාවෙන් බලා සිටියෙමි. මේ බව එද‌ා සිටි අපේ නියෝජ්‍ය කතුවරයා වූ ලක්‍ෂ්මන් වික්‍රමසිංහට කී විට ඔහු එවලේම ටෙලිෆෝනයෙන් ගාමිණී ඇමතුවේය. පත්‍රයට අලුතින් බැඳුනු මා ගැන ලක්‍ෂ්මන් හොඳ රෙකමදාරුවක් දී තිබුණි. ඒ කාලයේ ‘‘වැලිකතර’’ චිත්‍රපටය රූගත වෙමින් තිබුණි.  


‘‘හෙට උදේ ගාමිණීගෙ ගෙදරට 10 වෙන කොට යන්න. හැබැයි ‘‘වැලිකතර’’ ගැන කතා කරන කොට ජෝ අබේවික්‍රම ගැන අහන්න එපා. ඒ දෙන්නා දැන් හිත හොඳ නැහැ. හොඳට කිරියි පැණියි වගේ හිටිය දෙන්නා වැරදි අවබෝධයයි, කේලම් නිසා විරසක වෙලා.’’ලක්‍ෂ්මන් මට කීය.  


රත්මලානේ මැලිබන් හන්දියෙන් බැස සිරිමල් උයනේ කෙකටිය මාවතේ ගාමිණීගේ නිවසට ගිය මට ඔහු දැක්වූයේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. මා අසන සෑම ප්‍රශ්නයකටම ඔහු පිළිතුරු දුන්නේ ඕනෑවට එපාවටය. එ්වාත් කෙටි පිළිතුරුය. මේ කරුණුවලින් විශේෂාංගයක් ලිවිය හැකිද? ඔහු වැලිකතරේ රඟ පෑ උපපොලිස් අධිකාරිවරයාගේ චරිතය ගැන පවා කතා කළේ මඳ වශයෙනි. ඕනෑවට එපාවටය. එකල තරුණවියේ සිටි මගේ ඉවසීමේ සීමාවද ඉක්ම ගොස්ය.  


‘‘මේ චිත්‍රපටයේ ජෝ අබේවික්‍රමගේ රඟපෑම් ගැන ඔබ හිතන්නෙ මොනවද?’’ මම ඒ ප්‍රශ්නයෙන් ඔහු කුපිත කිරීමට සිතුවෙමි.  


තම ඇඟිළි තුඩු අතර රැඳි ගෝල්ඩ් ලීෆ් සිගරැට්ටුව කිහිපවරක් භාගයට උරා එය ඉවතට වීසි කළේය.  


‘‘අයිසෙ, ජෝ වැලිකතරේ රඟපාන්නේ ගෝරිං කියන හොර ජාවාරම්කාරයෙකුගේ චරිතයක්. මම ජෝගේ මෙතෙක් විශිෂ්ඨතම රඟපෑම දැක්කේ වැලිකතරෙන්. මීට ඉස්සර අපි දෙන්නා රඟපෑවේ සැහැල්ලු සරළ රඟපෑමක්නෙ’’ ගාමිණී කීවේය.  


මට ගාමිණීගේ මේ ප්‍රකාශය ඉහටත් උඩින්ය. තව ටිකක් එහි ගතකොට මම ඔහුගෙන් සමු ගත්තෙමි.  


වැලිකතරේ ගාමිණී හා ජෝ රඟපෑ නිශ්චල ඡායාරූප කිහිපයක් අධ්‍යක්‍ෂක ඩී.බී. නිහාල්සිංහගෙන් මා ඉල්ලා ගෙන තිබුණි. එමෙන්ම තිස්ස අබේසේකර රචිත වැලිකතරේ තිර නාටකයේ පිටපතක්ද ඔහු මට දී තිබුණි. එබැවින් ගාමිණී හා ජෝ ගැන මා ලියන විශේෂාංගයට අවශ්‍ය සියලු දේ මා සතු විය. කාර්යාලයට ගිය මා ලහි ලහියේ විශේෂාංගය ලියා නියෝජ්‍ය කතුවරයාට දුන්නේ රටක් රාජ්‍යයක් ලැබුණාසේය. ඔහු ලිපිය සිනාසෙමින් කියවා මා ද කැටුව ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරා මහතා වෙත කැඳවා ගෙන ගියේය. ඔහු මගේ ලිපිය කියවූයේ මා දෙස හොර ඇසින් බලමිනි.  


‘‘ගාමිණී ​ෙජා් ගැන මේ විදිහටම කිව්වද?’’  


‘‘ඔව්’’  


‘‘බොරුනං මළ කෙළියයි වෙන්නේ, ක්‍රිමිනල් කෙ​්ස් එකක්’’ විමලසිරි මහතා බොරු තරහක් ගෙන මට කීය.  


මම කාමරයෙන් පිටව මගේ අසුනට ගොස් හිඳගතිමි.  


‘‘ආටිකල් එක හොඳයි, අපි මැද පිටු දෙකම ගමු. ඔයාම පින්තූර තෝරලා පිටුව හදන්න.’’ ලක්‍ෂ්මන් මට කීවේය.  


මම ගාමිණීගේ හා ජෝගේ විශාල පින්තූර දෙකක් මුහුණට මුහුණ බලා තරහෙන් සිටින ආකාරයට යොද‌ා පිටු දෙක සකස් කළෙමි. මා යෙදූ හෙඩිම වූයේ ‘‘ජෝ අබේවික්‍රමගේ විශිෂ්ටම රඟපෑම මා දුටුවේ වැලිකතරේ’’ ය එහි දැමූ සෑම පින්තූරයක් යටින්ම තිස්ස අබේසේකර ලියූ ඊට උචිත දෙබස් ඛණ්ඩ ඇතුළත් කළෙමි.  


පසුව දා පත්‍රය මුද්‍රණය වී ප්‍රධාන කර්තෘගේ මේසයට ආවේය. ඔහු මට කතා කළේය. මැද පිටු දෙක පෙරළුවේය.  


‘‘වැඩේ නැගල යනවා. හෙට පත්තරේ පිටවුණාම තමයි වැඩේ. මළ ජූලියක් වෙන්නේ. වැඩේ ගැස්සුණොත් මේකව එල්ලන්න වෙන්නෙ.’’ ඔහු මට එසේ කියන විට මටද තිගැස්මක් ඇති විය.  


එදා පත්තරය වෙළෙඳ පොළට නිකුත්වෙන දවසය. ඒ කාලයේ (1972) සරසවිය පිටපත් එක් ලක්‍ෂ පහළොස් දාහක අලෙවියක් තිබුණි. ඒ විජයවර්ධන පාලන සමයයි. පත්‍රය ලක්‍ෂයට වඩා අලෙවි වීම නිසා කතුවරයාගේ බොරලැස්ගමුවේ ගෙදර සාදයක් ද පවත්වා සතියක්වත් ගත වී නොතිබිණි.  


වේලාව පෙ.ව. 10 පසුවීමට ආසන්නය. කර්තෘතුමාට ටෙලිෆෝන් පණිවිඩ එන විට මගේ හෘදස්පන්දනය වැඩිවෙයි. එක ටෙලිෆෝන් පණිවුඩයකින් ඔහුගේ මුහුණ සිනාවකින් පිරී ගිය බව මට පෙණුනි. ඔහු මට අතින් සන් කළේය. ඔහු අසළට ගිය පසු මට රිසිවරය දුන්නේය.  

 

 

‘‘හලෝ... මම ගාමිණී, අද පත්තරේ ආටිකල් එක හොඳා. විවේක තියෙන වෙලාවක හවසක ගෙදර ඇවිත් යන්න.’’  


‘‘හොඳයි’’ මම කීවෙමි.  


‘‘පුදුමයි ගාමිණී හොඳක් කිව්වා. එයාට හැමෝම අල්ලන්නේ නැහැ.’’ කතුවරයා කීවේය.  


ගාමිණී ඉන් පසු මගේ හිතවතෙකු ලෙස මියයන තෙක්ම සිටියේය. ලිපිය කියවීමෙන් පසු ටයිටස් තොටවත්තගේ නිව​සේදී ජෝ මට හමුවිය. මගේ අතින් අල්ලාගෙන පසෙකට ගිය ඔහු මෙසේ මගෙන් ඇසුවේය.  
‘‘ඇත්තටම මල්ලියෙ, මහා එකා මම ගැන අරම කිව්වද?’’  


‘‘නැතුව ජෝ අයියා. නොකිව්ව දෙයක් මම ලියනවද?’’  


අප අතරට ආ ටයිටස් තොටවත්ත රැවුල අතගාමින් මට කීවේ.’’ උඹ දන්නේ නෑ මූයි, ගාමිණියි ප්ලෑන් කරලා තරහ වෙන්නෙ. පබ්ලිසිටි ගන්න. උඔ ඕවට අහුවෙන්න එපා.’’ සිනාසෙමින් කීවේය.  


ගාමිණී හා ජෝ විරසක වෙන විට ‘පිරිමියෙක් නිසා’ රන් මුතු දූව- ගැටවරයෝ- චණ්ඩියා- සත පනහ- සැනසුම කොතනද- පරසතු මල්- සොරුන්ගෙත් සොරු- බඩුත් එක්ක හොරු- පාරාවළලු- රත්තරං අම්මා- සඳහටම ඔබ මගේ- සූරයා සූරයාමයි චිත්‍රපටවල රඟ පෑ අතර ‘වැලිකතර’ රූගත වන කාලයේ අමනාපය උච්ච අවස්ථාවකට පත්ව තිබුණි. මේ පිළිබඳව අධ්‍යක්‍ෂ හා කැමරා ශිල්පී ඩී.බී. නිහාල්සිංහ අපට කියා අැත්තේ මේ කතාවය.   
‘‘ගාමිණී හා ජෝ අතර උග්‍ර ගැටුමට පසුබිම් වුණේ දේශපාලන මතවාදයක්. දෙදෙනාගේ හිතවතුන් මේ මතවාදයට පොහොර දැම්මා. චිත්‍රපටයේ රූපගත කිරීම් අවසන්​ වෙලා. කෑම කනකොට මං ඒ දෙන්නගෙ මැදයි අසුන් ගන්නෙ. දෙන්න කතා නැහැ. චිත්‍රපටයේ අවසාන දර්ශනය කැමරාගත කිරීමට බැරිවෙයි කියලයි මම හිතුවෙ. මේ විරසකයට මේ දෙදෙනාගේ වෘත්තීමය රඟපෑමේ තරඟයත්, අමනාපයත් හේතු වුණා. වැළිකතර චිත්‍රපටයේ සාර්ථකත්වය හා ජනප්‍රියත්වයට මේකත් ඉහවල් වුණා. කොහොම වුණත් මේ ගැටුම නිසා ගාමිණිගෙයි, ජෝගේ හොඳම හා විශිෂ්ට රඟපෑම වැලිකතරින් මතු වුණා.   


නිහාල්සිංහට, වැලිකතරේ අවසාන දර්ශනය රූගත කිරීමට පෙර ගාමිණී හා ජෝ පාවිච්චි කරන පිස්තෝල හා තුවක්කු ගැන විශේෂයෙන් පරීක්ෂාකාරී වීමට සිදුව ඇත.  


‘‘එද‌ා මං ඒ ආයුධ චෙක් කරලා නොබැලුවා නම් අද මොන වගේ වෙනසක් තියේවිද? එදා මං පිස්තෝලයක් චෙක් කරලා බලන කොට දෙයිය​ෙන් ඒවායේ උණ්ඩ තිබුණා. මම ඉක්මනට ඒවා ඉවත් කළා. තිස්ස තිර නාටකයේ ලිව්ව දෙබස්වලට අමතරව කිසිදු දෙබසක් වෙනස් කළේ නැහැ. ඒ වෙන විට ගාමිණී නළු වෘත්තියේ ඉහළ තැනක හිටියේ. ජෝටත් ඒක​ පොදුයි. මේ චිත්‍රපටයේදී මේ දෙදෙනා ඉහළම භක්තියකින්, කැපවීමකින්, වෘත්තිය මට්ටමෙන් ඒ කාර්යයෙහි නියලුනා. ගාමිණී එදා වැඩියෙන්ම රඟපෑවේ වීර චරිත. වැලිකතරේ ඔහු රඟපෑ උපපොලිස් අධිකාරි වික්‍රම රන්දෙණිය චරිතය ගෝරිං (ජෝ) හමු වූ තැන සිට අවසානය වෙන විට පියවරෙන් පියවර බිඳවැටෙනවා. මේ චිත්‍රපටයේ එන ප්‍රධාන චරිත තුන වික්‍රම (ගාමිණී), ඔහුගේ බිරිඳ ගීතා (සුවිනීතා) හා ගෝරිං (ජෝ) පරාජිතය, බියගුලුයි. ගැටුම් මැද කළත් ඔවුන්ගේ සාමූහික ප්‍රතිඵලය අතිසාර්ථක වුණා.’’  
‘‘වැලිකතරෙදි මාව දැකලා ප්‍රේක්‍ෂකයන්ට හිනාවෙන්න වෙලාවක් තිබුණේ නැහැ.’’ ජෝ අපට එදා කීවේය.  


ගාමිණී හා ජෝගේ වැලිකතරේ එන දෙබස නම් ප්‍රේක්‍ෂකයාට කිසිදා අමතක නොවනු ඇත. ඒ චිත්‍රපටයේ දෙදෙනාම එකට මුහුණට මුහුණ දී රඟපාන අවස්ථාවකි මේ.  


‘‘ගෝරිං උඹට පුළුවන් දැන් මට වෙඩි තියල මරලා දාන්ඩ. ඉතින් බලන් ඉන්නෙ, වෙඩි තියපං.’’ වික්‍රම රන්දෙණිය කියයි.  


‘‘චී සර් එහෙම හොඳ නෑනේ. අපරාදෙ හැටියට දඬුවම. බළල් දඩයම වගේ ටිකක් සෙල්ලං කරන්ඩ ඕනෑ. නැත්නං ඒකේ රසයක් නෑ.’’ ගෝරිං කියයි.  


වැලිකතරින් පසු කලක් ගාමිණී හා ජෝ රඟපෑවේම නැත. එහෙත් මේ දෙදෙනා සමගි වී එකට රඟපානු දැකීමට ප්‍රේක්‍ෂකයෝ පුල පුලා බලා සිටියෝය. මේ කාලයේ මේ දෙදෙනා ප්‍රධාන චරිත වෙන වෙනම රඟ පෑ චිත්‍රපට දෙකක් මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්‍ෂණය කළේය. ගාමිණී නඩරාජා ලෙස රඟපෑ සරුංගලේ හා ජෝ සිරිබෝ හාමි ලෙස රඟ පෑ ‘‘සිරිබෝ අයියා’’ මේ චිත්‍රපට දෙකය. එවකට අගමැතිව සිටි ප්‍රේමදාස මහතා මේ චිත්‍රපට දෙකම නරඹා ඒ ගැන ප්‍රසිද්ධ උත්සවයකදී මෙසේ කීවේය.  


‘‘මම ගාමිණී රඟ පෑ සරුංගලේත් ජෝ රඟ පෑ සිරිබෝ අයියාත් බැලුවා. මේ දෙන්නාගේ මා දුටු විශිෂ්ටම රඟපෑම ඒ. මේ චිත්‍රපට දෙක ඔබ අනිවාර්යෙන්ම බැලිය යුතුයි.’’ 

 

 

ප්‍රේමදාස මහතා එදා කිව්වා මෙන්ම නඩරාජා හා සිරිබෝ අයියා චරිත දෙක සඳහා ගාමිණීට හා ජෝට හොඳම නළුවා ලෙස සම්මාන හිමි වූහ. මේ දෙදෙනා සමගි කිරීමට මා දන්නා තරමට පිඹුරුපත් සකස් කළේ ධර්මසිරි ගමගේ හා සුනිල් ආරියරත්නයන් හා චිත්‍රපට නිෂ්පාදක, ස්වර්ණ සංඛ පදනමේ සභාපති සුනිල් ෆොන්සේකා පමණි. මේ තිදෙනාම ගාමිණීගේ මෙන්ම ජෝගේද ගජ මිතුරෝ වූහ. දිනක් ලේක් හවුසියේ දී ධර්මසිරි ගමගේ මට හමු විය. ඔහු ඒ වන විට ‘‘පූජා’’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ අතර එහි ප්‍රධාන චරිතය වූ සිරගෙදර අලුගෝසුවා ලෙස ජෝ රඟපාමින් සිටියේය.  


‘‘ධර්මසිරි අයියා කැමති නැද්ද ගාමිණී අයියයි, ​​ජෝ අයියවයි එකතු කරන්න. ඒ දෙන්නම දන්නවා වුණාට ඒ වැඩේට මම පුංචි වැඩියි. අයියා මේ වැඩේට මුලපුරන්න. මමත් පිටුපස්සේ ඉන්නම්’’ මම කීවෙමි.  


‘‘මටත් ඕනැ මේ දෙන්නා ‘‘පූජා’’ චිත්‍රපටයේ දර්ශනයකට ගන්න. මේ අතර 1985 වසරේ මම ගාමිණීගේ පනස් වැනි උපන් දිනය නිමිත්තෙන් 1986 නිකුත් කිරීමට පොතක් සම්පාදනය කිරීමට සූදානම් වුනෙමි. ඒ සඳහා නවරඟහලේ උත්සවයක් පැවැත්වීමට සැළසුම් කළෙමි. මේ උත්සවයට ජෝ, විජය කුමාරතුංග, මාලිනීගේ සහභාගිත්වය ලබා නොගන්නේ නම් ඉන් පලක් නැත. ගාමිණී, ජෝ, විජය, මාලිනී මේ කාලයේ සිටියේ හිත හොඳින් නොවේ. අනික් අය මගේ ආරාධනය පිළිගෙන ගාමිණී ගැන කතා පැවැත්වීමට එකඟ වුවත් ලොකුම ප්‍රශ්නය ජෝය. මෙහි දී ධර්මසිරි අයියා මට පිහිටට සිටියේය.  


අපි කෙසේ හෝ ගාමිණී හා ජෝ සමගි කිරීමට ගත් උත්සාහය සපල විය. අපි ජෝව ගාමිණී එදා පදිංචිව සිටි රොස්මීඩ් පෙදෙසේ නිවසට ගෙන ගියෙමු. ඡායාරූප ශිල්පියෙකු ද රහසේම රැගෙන ගියෙමු. ගාමිණී,​ ජෝව පිළිගත්තේ සිපගනිමිනි. ඔවුන් දෙදෙනාගේම දෑස් වල කඳුළු දිදුළිණි. අපේ ඡායාරූප ශිල්පියා ලවා ගත් පින්තූරයක් ඒ සතියේ ‘‘සරසවියේ’’ මුල් පිටුවේ පළ වීමෙන් මේ දෙනාගේ සමගිය පැතූ ලක්‍ෂ ගණනකගේ සිත් තුටු පහටු වූහ. මේ දෙදෙනා ‘‘පූජා’’ චිත්‍රපටයේ එකට රඟපෑහ. ගාමිණී රඟපෑවේ සිරකාරයෙකුගේ චරිතයකි.  


1986 වසරේ ගාමිණීගේ 50 වැනි උපන් දිනය වෙනුවෙන් මා සම්පාදනය කළ ‘‘හෙළ සිනමාවේ සක්විති’’ කෘතිය එළිදැක්වූ උළෙලේදී ​ෙජා් කතාවක් කරමින් මෙසේ කීවේය.  


‘‘ගාමිණී අපට සිටින දක්‍ෂතම නළුවා පමණක් නොවේ, ජන නායකත්වයට පවා සුදුසු උතුම් ගතිගුණ සහිත දර්ශනයක් ඇති නළුවෙක්.’’  


ඒ කාලයේ ජෝගේ දියණිය ඔත්පල වී රෝහලේ සිටින විට ගාමිණී ජෝ ළඟින් සිටි බව හොඳ‌ාකාරව මම දනිමි.   


ගාමිණී හා ජෝ නම් මේ අප්‍රමාණ මහ රංගධර දෙදෙනා අද ජීවතුන් අතර නැත. 1936 මාර්තු 21වැනිදා උපත ලැබූ සෙම්බුගේ ෂෙල්ටන් ගාමිණී ෆොන්සේකා 2004 සැප්තැම්බර් 30 වෙනිදා මියගිය අතර 1927 ජුනි 02 වෙනිදා උපන් ගම්මන පටබැඳිගේ දොන් ​ෙජා්න් අබේවික්‍රම 2011 සැප්තැම්බර් 21 වෙනිදා අප අතරින් සමු ගත්තේය.  

 

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර  
ඡායාරූප පිටපත් කිරීම- ලාල් සෙනරත්