මාස පහක් තිස්සේ මං ඉස්කෝලේ යන්න ඇඟිලි ගැන්නා. මං හිතුවා සුදු ගවුම ඇඳලා සපත්තු දාලා අයෙම ඉස්කෝලේ යන එක හීනයක් වේවි කියලා. එදා හිතේ තිබුණු බලාපොරොත්තු හීන හැමදේම කඩා ගෙන වැටුණා. මාස පහක් කඩා වැටිලා තිබුණු මගේ බලාපොරොත්තුවලට ආයෙමත් දැන් පණක් ඇවිල්ලා තියෙනවා. මට ආයෙම ඉස්කෝලේ යන්න පුළුවන් වුණ එකට පුංචි සතුටක් තියෙනවා. ඒත් ඒ සතුට තියන්නේ මහා ලොකු වේදනාවක් ඇතුළේ.   


ඇය සෙනුරි දේවින්දි දියණියයි. අප්‍රේල් 21 දා කටුවාපිටිය සෙබෙස්තියන් දේවස්ථානයට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ ලෙස තුවාල සිදු වුණු ඇය අහිමි වූ බලාපොරොත්තු පුංචි සිතේ දරාගෙන යළි සතුට දකින්නට වෙරදරන මල් කැකුළක්.   


කතෝලිකයන්​ගේ ජීවිතේ සුවිශේෂීව දිනයක් වූ පාස්කු ඉරු දින සෙනුරිත් පවුලේ සියලු දෙනා සමඟම කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයට ගියේ වෙනදාට වඩා සතුටින්. අධ්‍යාපනයට උපන් දක්ෂතා දැක් වූ ඇය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වූණේ බලාපොරොත්තු කන්දරාවක් ඇතිවයි. නිරතුරුවම තමන්ගේ ආගමට බෙහෙවින් ලැඳි වූ ඇය උසස් අධ්‍යාපන කඩඉම ජය ගන්නට පොතපතේ අධ්‍යාපනය කටයුතු වගේම දෙවියන්ගේ ආශිර්වාදයන් කෙරේ ඇය බොහෝ සෙයින් විශ්වාස කළා. ඒත් ජීවිතේ හැම ඉල්ලපු, ජීවිතේ හැමදේකටම ආශිර්වාද ලබා ගත්තු මේ ජීවිතවලට ආරක්ෂිතම තැන වුණු දේවස්ථානය ලේ ගංගාවක් වෙද්දී මේ පුංචි හිතට එදා මොනවා දැනෙන්නට ඇතිද?   


වැනසුණු දේවස්ථානය තුළ ඇයට පෙනුණේ සුන්බුන් වී ගිය මිනිස් මළසිරුරු ගොඩක් විතරයි. සොයුරියගේ මවත් බාල සහෝදරයාත් පියාත් සාමාන්‍ය තුවාල ලැබූවත් සෙනුරි බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ ලෙස තුවාල ලැබුවා. වම් පාදයේ සිදු වූ අස්ථි බිඳී​ෙමන් ඇයට මාස පහක් තුරාවට ජීවත්වන්නට වුණේ රෝද පුටුවකට සීමාවෙලා. රෝද පුටුවකට අත්වාරුවකට සීමාවෙලා බලාපොරොත්තු විරහිත වේදනාවෙන් බලා සිටි සෙනුරි දියණිය හෙට තමයි පාසල් යන පළවෙනි දවස.   


“මට දැනෙන්නේ මම ආයෙම ඉපදුණා වගේ හැඟීමක්. තවම කකුල බිමට කියලා සති දෙකයි. ඒත් අත්වාරුව නැතුව තවම හරියට ඇවිදින්න බැහැ.   

 

 


එදා ඇති වුණු තිගැස්ම බය තාමත් මට දැනෙනවා. ඒ වේදනාව අපට ජීවිත කාලයටම තියේවි. පල්ලියට බොහොම ආසාවෙන් ගිය අපට දැන් පල්ලියට ගියහම දැනෙන බය මට වචනයෙන් කියන්න තේරෙන්නේ නෑ. මම මේ පාර අ​.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන නිසා පාස්කු පූජාවට ගියේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන. ඒත් හිතුවෙවත් නැති විදිහට එක් ක්ෂණයකින් අපේ ජීවිත කණපිට පෙරළුණා. මගේ වයසේ යාළුවෝ මගේ ගමේ මිනිස්සු නිරපරාදේ ජීවිතවලින් වන්දි ගෙව්වේ කාගේ උවමනාවටද? තාමත් අපි ඒ පීඩාවන්ගෙන් විඳවනවා.   


එදා පූජාවට ගිහින් අම්මා, තාත්තා, මල්ලී සහ මම කට්ටියම වඩා වෙලා හිටියේ පිටිපස්සෙම බංකුවල. එකපාරටම විදුලි සැරක් වැදුණා වගේ ඇඟට දැනුණා. ඒත් සිහිය නැති වුණේ නෑ. නැගිටින්න හැදුවත් ඉණෙන් පහළ කකුල් දෙකම නෑ වගේ ලොකු වේදනාවක් ආවා.   


අම්මා දන්නේ නෑ මගේ කකුල කැඩිලා කියලා අම්මා මාව නැගිට්ටුවට මට අඩිය තියා ගන්න බැරි වුණා ඒ වෙලාවේ. කෑලි කැලීවලට විනාශ වෙලා ගිය මිනිස්සුන්ගේ අත් කකුල් එක්ක මහා ලේ විලක් මම දැක්කා. වහලේ තියෙන උළු කැට වැටෙන නිසා අම්මා මාව ඇදගෙන වගේ තමයි පල්ලියෙන් එළියට දිව්වේ.   


ඒත් මගේ කකුල කැඩිලා තියෙන්නේ කියලා දැනුණේ නෑ. අම්මා කෑ ගහගෙන මාව ඇදගෙන දුවද්දී සෙබෙස්තියන් මුනිඳුන්ගේ ුරුවම ගාව මාව ඇඳගෙන වැටුණා. ඒ වෙලාවේ තමයි දැක්කේ කකුල එල්ලෙනවා. ඒ වෙලාවේ නම් පපුවේ වේදනාවකුත් එක්ක සිහිය නැතිවෙන්න ආවත් ඒසේ වුණේ නෑ.   


ඒත් මට අම්මා කියලාවත් කතා කර ගන්න බැරි වුණා. මගේ ඇගේ යකඩ බෝල 3ක් තිබිලා අයින් කළා. තව එකක් තියෙනවා පපුව හරියේ. එක් ගත්තොත් මාව එකතැන් වෙන්න පුළුවන්ලු. සතියක් විතර කට ඇරලා බත් ටිකක්වත් කන්න බැරුව හිටියා. දැන් නම් ගොඩක් දුරට මට සනීපයි.   


දැන් කකුල ටික ටික බිම තියනවා. තාම වේදනාවත් ටිකක් තියෙනවා. ඒත් මට ඕන කොහොම හරි ඉක්මනට ඇවිදින්න. කකුල ටිකක් බිමින් තියපු ගමන් කකුල ඉදිමෙනවා.”   


● සෙනුරිට දැන් පාසල් යන්න තරම් සුවද?   


“හොඳටම සුවයක් නෑ. මාස පහක් තිස්සේ මම ඇඟිලි ගැන්නේ මේ දවස එනකම්. කකුල ඔපරේෂන් කරලා මාව ගෙදර එක්ක ඇවිත් මාසයක් විතර ඉඳලා මම හිතුවා පාඩම් කරොත් රෝද පුටුවක ගිහින් හරි විභාගයට මට මූණදෙන්න පුළුවන් වේවි කියලා. මගේ මානසික මට්ටම හදා ගන්න උදාව් කරපු මගේ පාසලේ යාළුවෝ හැමෝටම මම පින් දෙනවා. මගේ යාළුවෝ පාසලේ ගුරුවරු කිසිම කෙනෙක් මාව තනි කළේ නෑ. ගුරුවරු ගෙදරට ඇවිල්ලා මට පාඩම් වැඩ කියලා දෙනවා.   


මගේ පාසල වන මීගමුව සාත්ත පීතර විද්‍යාලයේ විදුහල්පතිතුමා ගෞරවයෙන් මතක් කරනවා. මගේ පන්තිය තිබුණේ උඩ මහලක. මම නිසා මගේ පන්තිය පහළ මාලයට අරගෙන මම වෙනුවෙන් වැසිකිළි පහසුකම් හදලා මට ඉගෙන ගන්න අවශ්‍ය පහසුකම් හදලා දීලා තියෙනවා.   
උදව් කරපු සියලු දෙනාටම ගොඩක් පිං.   

 

නිරතුරුවම තමන්ගේ ආගමට බෙහෙවින් ලැදි වූ ඇය උසස් අධ්‍යාපන කඩඉම ජය ගන්නට පොතපතේ අධ්‍යාපන කටයුතු වගේම දෙවියන්ගේ ආශිර්වාදයන් කෙරේ බොහෝ සෙයින් විශ්වාස කළා. ඒත් ජීවිතේ  ඉල්ලපු, ජීවිතේ හැමදේකටම ආශිර්වාද ලබා ගත්තු මේ ජීවිතවලට ආරක්ෂිතම තැන වුණු දේවස්ථානය ලේ ගංගාවක් වෙද්දී මේ පුංචි හිතට එදා මොනවා දැනෙන්නට ඇතිද?


මට තව සාමාන්‍යපෙළ විභාගයට මුණ දෙන්න තියෙන්නේ මාස තුනක් වගේ. තාම එක දිගට පාඩම් කරන්න මනස එක තැනක තියා ගන්න හරිම අමාරුයි. ඒත් කොහොම හරි විභාගයට මූණදෙන්න ඕන”.   


මම ඉල්ලන්නේ ආයෙත් නම් මිනිස්සුන්ට මේ වගේ වේදනාවක් වෙන්න එපා කියලා. ඇයි අපේ රටේ විතරක් සාමාන්‍ය මිනිස්සුන්ට මේ විදියට සලකන්නේ.   


බෝම්බ ප්‍රහාරයෙන් පසු යළි උපන්න මේ මල් කැකුළු අතර සෙනුරි කියන්නෙත් මාස පහකට පස්සේ අත්වාරුවකින් හෝ පාසල් යන්නට වරම් හිමි වුණු දියණියක්. ඒත් තවමත් පාසල් යන්නට පෙරුම් පුරන දරුවොත් මේ කටුවාපිටියේ විපත නිසා තාම වේදනාව විඳවනවා.   


අැගේ පියා සහ මවත් බාල සහෝදරයාත්, මේ ප්‍රහාරයෙන් එදා තුවාල ලැබුවා. ඇය සෙනුරිගේ මව මේනකා මනෝරි.   


“දෙවියන් අපිට ජීවිතය දුන්නට අනේක වාරයක් දෙවියන්ට ස්තූති කරනවා. මටයි පුතාටයි මහ්තයටයි වුණේ සාමාන්‍ය තුවාල. දුවට තමයි ගොඩක් දරුණු තුවාල සිද්ධ වුණේ. මගේ ඔළුවට මැහුම් 16ක් දැම්මා. පුතාගේ ඔළුවට මැහුම් 8ක් දැම්මා. දුවව සනීප කරගන්න අපි මේ මාස පහට සෑහෙන්න වේදනා වින්දා. නින්දක් නෑ. කල්පනා කරනවා. එයාගේ හිත හදන්න ලේසි වුණේ නෑ. දුවල, පැනලා නටලා හිටපු දරුවෙක් එක පාරටම එකතැන් වුණාම ඒ මනස හදන්න හරිම අමාරුයි. දුවට තාම අවුරුදු 16යි. එයා මේ පාර සාමාන්‍ය පෙළට මූණ දෙන්න හිටියට අපි බල කළේ නෑ. එයාම තමයි විභාගයට වාඩි වෙන්න ඕන කියලා තීරණය කළේ. රුපියලක්වත් නොගෙන වටිනා කාලය කැප කරලා ගොඩක් ගුරුවරු ගෙදරට ඇවිල්ලා දුවට උගන්වනවා.   


එ් වගේ ගුරුවරු පාසලේ විදුහල්පති දුවගේ යාළුවෝ ගොඩක් උදව් කරනවා තාමත්. දුවට ​හොඳටම ඇවිදින්න තාම බෑ. ත්‍රිවීල් එකක් කුලියට අරගෙන උදේ හවස දරුවව පාසලට එක්කගෙන යනවා. දැන්ම පාසල් යන්න ලොකු සුවයක් නැතත් එයාට පාසල් යන්න ඕනෑම කියලා කියපු නිසයි වෛද්‍ය අවසරය අරගෙන පාසලට එක්කගෙන යන්නේ.   
දෙවියන් වහන්සේ මගේ දරුවව බේරලා දුන්නා. ඒකට මම දෙවියන්ට ස්තූති කරනවා. ඒත් මගේ දරුවාගේ වයසේ දරුවෝ කීප දෙනෙක්ම නැති වුණා. අම්මා කෙනෙක් විදිහට ඒ වේදනාව මට තදින්ම දැනෙනවා. ඒ වාගේම කියන්න ඕන අපේ ජීවිත නැවත ගොඩට ගත්තේ සෙත්සරණ, බිෂොප් හවුස් එකේ කාර්ය මණ්ඩලය. ආගම් භේදයකින් තොරව අපට උදව් කරපු මේ රටේ සාමාන්‍ය ජනතාව. වචනයකින් හරි ඒ අයගේ ශක්තිය අපට තාමත් අවශ්‍යයි”. 

 
● වෛද්‍යවරු සෙනුරිගේ තත්ත්වය ගැන මොකද කියන්නේ?   


“දැන් ගොඩක් දුරට හොඳයි කියලා කියනවා. ඒ වුණාට අත්වාරුවෙන් තමයි තාම ඇවිදින්නේ. මුල් කාලේ නම් දුවගේ මානසික මට්ටම හොඳටම වැටිලා තිබුණේ. හරියට ඇඬුවා. ගෙදරට එයාව බලන්න යාළුවෙක් ඇවිත් ගියත් අඬනවා. තෙරපි කරන්න ආපු දොස්තර කෙනෙක් කැඩුණු කකුල කොට වෙනවා කියලා හරියට අඬ අඬ ඒක ගැනම ඇහුව්වා. ඒ වගේ මානසික අතින් දුවව ගොඩට ගත්තේ හරිම අමාරුවෙන්. පාසල් යවන්න අමාරු වුණත් දුවගේ මානසික තත්ත්වය ගැන හිතලා තමයි දුව පාසලට එක්ක යන්න අපි තීරණය කළේ”.

 

 


බෝම්බ ප්‍රහාරයට මුහුණ දුන් දරුවන් 23 දෙනෙකුට ජීවිත අහිමි වෙද්දී දරුවන් 07 දෙනෙකුගේ හිස්කබල තාවකාලිකව ඉවත් කෙරෙනවා.   


ඒ වගේම උපදේශන අවශ්‍ය පවුල් 280න් පවුල් 24ක්ම තවමත් යථා තත්ත්වයට පත් වී නැහැ. ඉන් දරුවන් 78 දෙනෙකුට ද උපදේශන සේවාවන් තවමත් ලබාදෙනවා. මව්පියන් අහිමි සහ දරුණු තුවාල ලබා සිටින දරුවන් අතර තවමත් පාසල් නොයන දරුවන් කිහිප දෙනෙකු ද සිටිනවා.   


මාස පහක් ගත වූවත් ප්‍රහාරයෙන් දරුවන්ට සිදු වූ වේදනාව තවමත් ඒ අයුරින්මයි. සෙනුරි දියණිය, ශෙනොන් පුතා වගේ පාසල් යන්න ඇඟිලි ගනින අනිත් පැටවුන්ටත් ඉක්මණින්ම පාසල් යන්නට හැකි වේවා යැයි අපෙත් ප්‍රාර්ථනයයි.   

 


නදීෂා අතු​ෙකා්රළ  
ඡායාරූප - චානුක කුලසේකර.