නාටාමිලාගේ ජීවිත කතාව ඔබටත් සම්බන්ධද?

කොළොම්පුරේ ජීවිතේ

 

 

 

මගේ ගම පානදුරේ ඉස්කෝලෙ ගියේ හයේ පන්තියට වෙනකම් විතරයි. වැඩිදුර ඉගෙන ගන්න හිත දුන්නෙත් නෑ. කොලු කාලෙනෙ. අනිත් එක අපේ පවුලේ ඔක්කොම දහ දෙනයි කොල්ලො 5 යි. කෙල්ලො 3 යි. මව්පියො අපිව ජීවත් කළේ හරිම අමාරුවෙන් අපි පාසල් ගියෙත් අගහිඟකම් මැද්දෙ පොත් පත් ගන්නවත් මුදල් තිබුණේ නෑ. ඒ නිසා ඉගෙන ගන්න පුළුවන්කම තිබුණු අනෙක් සහෝදර සහෝදරියන්ට ඉඩ දීලා මම ගෙදර නැවතුණා.   


අඳුර අතරින් අත් කරත්තය තල්ලුකරගෙන පැමිණ ඔහු මා සමීපයේම නතර වූ නිසා ඔහු සමග කතා කිරීමට සිතුවෙමි. කරත්තය පිරී තිබුණේ දහවල් දවස තිස්සෙ ඔබ මා විසින් ඉවක් බවක් නොමැතිව ඉවතට විසිකරන කැළි කසළ වලිනි. ටොෆි කොළයේ පටන් ප්ලාස්ටික් බෝතල හා නොඑකුත් ‘‘දහජරා’ කරත්තය තුළය. අපට ජරාව වුවත් මොවුනට එසේ නොවේ කුමන ජරාවක් වුවද ඒවා එකතුකර කරත්තයට පටවාගත යුතුය. ඒ ඔවුන්ගේ රැකියාවයි නොඑසේ නම් රාජකාරියයි. 

 
මහ රෑ වුවද තමන් සේවය කරන පෞද්ගලික සමාගමේ සම්පූර්ණ රාජකාරි නිළ ඇඳුමෙන් සැරසී සිටි. දෙකකුල් වසා ‘‘ගම් බූට්ස්’’ ය අත්වැසුම් නිසා දෙඅත්ල නොපෙනේ. ඔහුත් කරත්තයත් දෙකම තැඹිලිපාටය සමාගමේ නම සඳහන් ‘ටී ෂර්ටය උඩුකයට දැනෙන සීතල පලවා හරිනු ඇත. නමින් නිමල්සිරි නම් වන ඔහු 56 හැවිරිදි පානදුරේ පදිංචිකරුවෙකි. පිටකොටුව සාවියේ ප්‍රධාන හා අතුරු මාර්ගවල කැළි කසළ එකතු කිරීම ඔහුගේ රාජකාරිය වේ.   


‘‘අපේ මිනිස්සුන්ට ඉවක් බවක් නෑ. අවබෝධයක් නෑ. තැනක් නොතැනක් නෑ. කනව බොනව විසි කරනව අපි මැරි මැරි එ්ව එකතු කරනවා’’ නගරය පිරිසිදුව තියෙන්න ඕනනේ. හයවැන්නට පාසල් ගියත් නිමල්සිරි සතු දැනුම අවබෝධය උපාධිලාභියෙකු පරදවයි.   


ආණ්ඩුවේ රාජකාරි මගේ නෙමෙයි මහත්තයෝ මේව වෙලාවට අකුරට කෙරෙන්න ඕන තමන් වැඩ කරන සීමාවේ කුණු පොදක් තියෙන්න බෑ. ලොකු මහත්වරු ඇවිත් පරීක්ෂාකරලා හරියට පිරිසිදු කරල නොතිබුණොත් දඩ ගහනවා. එහෙම දඩයක් වැදුනොත් පඩියෙන් භාගයක්ම ඉවරයි. මම නම් මගේ රාජකාරිය හරියට කරනව. නිකම් නෙමෙයිනේ කුලියක් ගෙවනවනේ. කුලියට වුවත් නිමල් සිරිලාගේ රැකියාව මේ සමාජයේ ජීවත්වන තමුන් වැනිම ගැහැනුන් මිනිසුන්, ළමා ලපටින්ගේ කුණු එකතු කිරීමය.   
හැමදාමත් උදේ පටන් හැන්දාවන තුරුත් හැන්දෑවේ සිට රැය පහන්වන තුරුත් විථි පුරා සරන නානාප්‍රකාර ජනී ජනයා අත් මුහුණු පිසදමන ටිෂූකොළ කැබැල්ලේ සිට දහජරාව පාරේ දමා යති. රාත්‍රියක දී නම් පදම ඉක්මවා වැදුණු සමහරෙකු බී කෑ දේ නිවෙස් වෙත ගෙනයාමට බියෙන්දෝ මහ මග දමා යන වමනෙ ගොඩවල්ය. අඳුර අතරේ සැරිසරන නිසාචරයෝ එවේලේම මුදලට ගත් ගැහැනියක හා සැතපුණු කාඩ්බෝඩ් කැබැල්ල ද වීථි කොනක එතෙනම දමා ගොසිනි. ගිනිගත් ගත නිවුණු පසු එයට ආධාර උපකාර කළ දෙයින් ඵලක් නොමැත. ඔවුහු දමා යති. නිමල් සිරිලා අහුලති.   

 

 


හරස් වීථිවල මඩවගුරු වූ පාර දෙපස දහවල තිස්සේ ගොඩගැසි දුගඳ හමන කුණු වූ අර්තාපල් බී ලූණු මාර්කට් එක අසල නම් නරක් වූ එළවළු ගොඩවල් තැම්බීමෙන් හමන නැහැපුඩු කාරවන දුර්ගන්ධය නිමල් සිරිලාට නම් දුගඳක් නොවේ. ඔවුහු රෑ දවල් නොබලා හෙට දවසේ යළිත් මේ විථි උතුරන්නට පැමිණෙන ඔවුන් වැනිම ජනතාවගේ හිත සුව පිණිස විථි පවිත්‍රව තැබිය යුතුය. හයවැන්නෙන් අධ්‍යාපනය හමාර කළ මිනිසා ඉන් එහා උගත් මිනිසුන් වෙනුවෙන් ජීවිතය කැපකර සිටි.   


දුකක් දැනෙනව තමයි. ඒ ඉගෙනීම කඩාකප්පල් කර ගත්තු එකට මිසක් අනෙක් අය දිහාවෙ බලලා ඉරිසියාවට නම් නෙමෙයි මේක මගෙ ලැබීම කියල හිතහදාගෙන ඉදල අතට ගන්නවා. 56 හැවිරිදි නිමල් සිරි තවමත් අවිවාහකය. පුදුමයකි. වර්තමාන තරුණ පරපුර යන්තමින් කරදඩු උස් මහත් වූ පසුව කුටුම්බගතවන මේ නන්නත්තාර වූ සමාජයේ නිමල්සිරිට ඒ සැපත ද අහිමි සේය ඇයි? මම විමසීමි.   


‘‘අම්ම තාත්ත වයසට යනකොට අපිට කන්න අඳින්න දෙන්න බැරි තත්ත්වයක් ආවා. ඉතින් මම රස්සාවක් කරන්න කල්පනා කළා. කුලී වැඩ තමයි කළේ. සහෝදර සහෝදරියන් උගන්වලා එයාලට කෙරෙන්න තියෙන යුතුකම් අහවරවෙන කොට මගේ හොඳ කාලෙත් ඉවරයි. දැන් ඉතින් මෙහෙම ඉන්නවා. කට කොනකට සිනාවක් නගමින් ඔහු කියයි.   
මව්පියන් සොයුරු සොයුරියන්ට යහපත් හෙට දවසක් උදාකර දීමට යෞවනය කැප කළ ඔහු පාරට වැටී සිටි. දැන් නිමල්සිරි ගැන බලන්න කවුරුවත් නැති ද?  
‘සහෝදර සහෝදරියො බලනවා. ඒත් මම එයාල ගැන බැලුවෙ එයාලට ඉගැන්නුවේ ආපහු උපකාර බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි. මගේ යුතුකම මම කළා. දැන් ඒ අය ඉගෙනගෙන හොඳ රැකියාවල් කරනවා. පවුල් වෙලා දරුමල්ලෝ හද‌ාගෙන හොඳට ජීවත්වෙනවා. ඉතින් ඒ දිහා බලාගෙන මම සතුටු වෙනවා. පාරෙ වැඩ කරන වෙලාවට හදිස්සියෙන්වත් ඒ අය පාරෙ යනව දැක්කොත් මම මග අරිනව මිසක් කතාබහ කරන්න යන්නෙ නම් නෑ. එහෙම හොඳ නෑ’’  


ඔහු නිහතමානිව පවසයි. උගතුන් බුද්ධිමතුන් යැයි කියාගන්නා අපට පාරට වැටි සිටින නිමල්සිරි වැන්නවුන්ගෙන් උගතහැකි පාඩම් බොහොමයක් ඇතැයි මට සිතේ. තරුණ වියේදීම කුලීවැඩ කරමින් මුළු පවුලම ගොඩ දැමු ඔහු ඔවුන් උස් මහත් වී කරකාර බැඳ පවුල් පිටින් මහනගරේ සාප්පු සවාරි යන එන අතරේ බිම දමා යන ටොෆි චොක්ලට් කොළ අහිතකින් තොරව ඇහිඳින සහෝදරයෝ ද සිටිති.  


නිමල්සිරිලාගේ ‘‘රාජකාරි’’ ඇරඹෙන්නේ කොළඹ ජනතාව අවදි වීමටත් පෙරය. හිමිදිරියේ අලුයම 6 ටය. එක් රාජකාරි කාලයක් පැය 9 කට සීමා වේ. එනම් 6 සිට සවස 3 දක්වාය. මේ කාල සීමාවේ දී තම තමන්ට වෙන්කර දී තිබෙන සාවියේ පිරිසිදුකම රැකිය යුතුය. කුණු කන්දල් ඉවත ලන්නෝ දැසින් දුටුවත් ‘එපා’ යයි කීමට අවසරයක් නිමල්සිරිලාට නැත. නොදුටුවක් සේ අහක බලාගෙන ඒවා එකතු කරගත යුතුය.  


රාත්‍රියේ නම් හවස 3 සිට රාත්‍රි 12 දක්වා එක් වැඩමුරයකි. මගේ මාසික වැටුප රු 28,000 කි. නිමල්සිරි මට හමුවූයේද එවැනි රාත්‍රි වැඩ මුරයක බුලත් විටක් හැපීමට වතුර ටිකක් බීමට මඳ ඉසිඹුවක් ලද මොහොතකදීය.  


‘‘කුණු ටික ලොරියට පැටෙව්වාට රෑ ඩියුටිය ඉවරයි. ඉන් පස්සෙ කරත්තෙ අයිනක නතර කරලා ඒ ළඟම කඩපිලක නිදාගන්නව ගෙදර ගිහින් එන්න වෙලාවක් නැහැනේ. ආයෙත් පාන්දර ඩියුට්. ඊළඟ ෂිප්ට් එකට කවුරුහරි ආවෙ නැති වුණොත් ඒකත් කරන්න වෙනවා. දැන් අම්මයි තාත්තයි එක අයිය කෙනෙකුයි මල්ලියි විතරයි ගෙදර ඉන්නෙ.  
අපි ඔක්කොම ජීවත්වෙන්නෙ මේකෙන් තමයි. මේ රස්සාවට මම කැමතියි. මම හිතන්නෙ මේක සේවයක් කියලයි. නගරෙ ගඳ ගහනකොට උදේට එන අයට දවසම එපා වෙනවා. අපි කරන්නෙ එක අතකින් මිනිස්සු සතුටු කරන එක. ඒ නිසා මටත් දුකක් නෑ.  


මට සමුදුන් ඔහු කරත්තය ද තල්ලුකරගෙන අඳුර හා එක්විය. කරත්තයේ ‘ඩකුඩුකුව’ හරස් වීථියේ යනතුරුත් මගේ දෙසවන් දෝංකාර දුණි.   


ඊළඟ දිනයේ රැකියාවේ තවත් දවසක් අතීතයට එක් කළ මා හවස් යාමයේ පිටියට එක් වී නානාප්‍රකාර පිරිස මැද ගමන් කළෙමි. ජීවිතය සරිකර ගැනීමට වෙහෙසෙන්නෝ ඕල්කොට් මාවතේ එක් කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා එකිනෙකා පරයමින් උගුර ලේ රහවන තුරු කෑ මොර දෙති. දරු පවුල්වලට සොඳුරු හෙට දවසක් උදාකරලීමට දරන වෑයම මේ කඩවල් තුළ ගැබ්ව ඇතැයි මට සිතේ. පිටකොටුවේ නිති පතා සිදුවෙන මේ සියලු හැලහැප්පීම් දෙස නෙත් යොමාගත් ශ්‍රිමත් හෙන්රි ඕල්කොට් තුමා ඒ කිසිවකින් නොසැලී කොටුව දුම්රිය පොළ භුමියේ සිට වීථි සරණ ජනතාව දෙස බලා හිඳියි.  


ඒ මුහුණේ සෝපහාස සිනාවක් ඇතිසේය. ඒ ළඟම අප සම්බුදු පියාණන් වහන්සේ කරුණා මෛත්‍රීය දෝරෙ ගලන දැසින් සසරේ එක් ඉමක් සරණ අසරණ ජනතාව දෙස බලමින් ශාන්තව වැඩ වෙසේ. උන්වහන්සේට යළි ජීවය ලද හැකි නම් සසරේ අනියත බව බියකරු බව මේ මහා ජනගඟට පහද‌ා දෙනවා නිසැකය.  


තමන්ට නැති වුවත් මහමග මෙලෝ සිහියක් නැතිවාක් මෙන් ඔබ මොබ සරන ජනතාවට හෙට දවසේ වාසනාව විකුණන්නන්ගේ කන් කරච්චලය අස්සෙන් විථි කොනට තට්ටු කළෙමි. එතැන තරුණ පහේ අයෙකු එළන ලද ඉටි කොළයක තබාගෙන ඉණපටි (බෙල්ට්) විකුණයි ‘‘කොහොමද වැඩේ නැගල යනවද?’’ ඔහු මා දෙස හෙළන්නේ සැකමුසු බැල්මකි.   
එහෙත් ඊළඟ නිමේෂයේ දී ඒ බැල්ම යළිත් මහපාරේය. අවශ්‍යතාව කෙටියෙන් පැහැදිලි කර දුන් පසුව මුහුණේ මදහසක් නැගිණි. වවුලාගේ ගෙදරට ගියානම් එල්ලී සිටිය යුතුය. මම ඔහු අසළ ඉඳගතිමි.  


ඔහු විජය ශංකර් නම්ය. වයස අවුරුදු 48 කි. අවුරුදු 22 පටන් පදික වේදිකාවේය. හිරිමල් යෞවනය පේමන්ඩ් එකට දියකර හැර මැදිවියට එළඹ සිටින නමුත් සිතින් නම් ඒ තරුණ ජවය මඳකුදු වෙනස්ව නැතිසේය. ශංකර් විවාහක දෙදරු පියෙකි පදිංචිය මුල්ලේරියාවේය. දරු දෙදෙනා එම ප්‍රදේශයේම පාසලක අකුරු කරන්නේ පියා මෙන් පදික වේදිකාවට වැටීමට නම් නොවේ. බිරිඳ ගමට රැකියාවක් නොකරන නමුත් පැය 24 පුරාම නොනැවති සැමියා වෙනුවෙන් දරුවන් වෙනුවෙන් ගෙදර දොරේ රැකියාවේ නියැලෙයි. ඇයට මෙන්ම සැමියාට ද ‘‘හුස්මක් කටක්’’ ගැනීමට ඉඩක් නැත ‘‘අඩුවට බෙල්ට් එකක්’’ තත්ත්පරයක් ගානේ කෑමොර නොදුන හොත් දවසේ ගතමනාව නොලැබේ. ඒ අවු අස්සේ මා සමගද කථා බහේ යෙදේ’’ මම පාරට වැටුණෙ වයස 22 දී පෙර පිනකට හරි මේ ගෙන්දගම් පොළොවේ වැරදි වැඩ නොකර කීයක් හරි හොයාගන්න තරමට මගේ දෛවය උපකාර කළා.   
මේ බෙල්ට් එකකින් මට තියෙන්නේ රු. 30/- යි 50/- ය 20/- යි මේ බජාර් එකේ වෙන තැන්වලට වඩා අඩු මුදලකට තමයි මම විකුණන්නෙ. ඒ නිසා ලාබයක් අඩුයි.   
මේව බාල බඩු නෙමෙයි. වංචා කරල කවද‌ාවත් හරියන්නෙ නෑ මහත්තයෝ. අපි හම්බකරලා කන්න අඳින්න අරන් දෙන්නෙ දරු පවුලට. මේ යන එන මිනිස්සුන් දවස තිස්සෙ නැහෙන්නෙත් ඒකට. ඉතින් ඒ අයට හොරයක් බොරුවක් කළොත් සහගහනව හැබැයි එහෙම කරන අයත් ඉන්නව. උන්ට හොඳ සාධාරණ වෙළෙඳ‌ාමක් කරන්න බැහැ. හරියන්නෙ වංචනික ‘‘බිස්නස්ම’’ තමයි.  


පාරට වැටී සිටියත් මේ මිනිසුන් අවංකය සත්‍යම කථා කරති. මොවුන් අලෙවිකරන දෑ වලින් මහා ලාබයක් ඇතැයි සිතන අපි හැකි තරම් හෙට්ටුකරන නමුත් හවසට බඩු විකුණ මුදල් ගැන බලන විට උගුරට දැනෙන ලේ රසම සෑහෙන්නට තරමේ ලාබයක් නැත.  


වැඩිය ඕන නෑ මහත්තයා එදිනෙදා ජීවත් වුණොත් හොඳටම ඇති මේ වෙළඳ‌ාමෙන් දවසකට රු 2000ක් විතර හම්බ කරනවා. මේ රු 200/- ට විකුණන බෙල්ට් එකෙන් තියෙන්නෙ රු 30/- යි 150/- එකේ. ලාබය රු 20/- යි දවසට කැලි 150 ක් 200 ක් විකුණ ගන්න පුළුවන්.  


අපි මේව ගන්නකොටම ගණුදෙනු බේරන්න ඕන. අයිතිකාරයෝ ණයට දෙන්නෙ නෑ පොලිසියෙන් ආවොත් එළවනවා. එතකොට අකුළගෙන දුවනව. පහුගිය ආණ්ඩුව කාලෙදී නම් පේමන්ට් බිස්නස් එක තහනම් කරලයි තිබුණෙ දැන් ටිකක් හොඳයි.  


පේමන්ට් වෙළෙඳාම නැවැත්වූයේ යන එන දහසකුත් එකක් ජනතාවට පහසුවෙන් ඇවිදයාමටය. ඔය කියන කාලයේදී ‘‘බොහොම හොඳ වැඩක්’’ යැයි පවසමින් දනෝ ඔබ මොබ ගිය නමුත් දරු පවුල් කීයක් නම් අසරණ වන්නට ඇත්දැයි දැන් සිතේ.  


විජය ශංකර්ගේ පාසල් ගමන 8 වැනි කැලෑසියේදී නැවති ඇත. එහෙත් තමන්ට අත් වූ ඉරණම තම දරුවන්ට අත්කර දීමට මොහු සූදානම් නැත’ මම දරුවන්ට හොඳට උගන්වනවා. ඉගෙන ගත්තු නැති එකේ ඵලවිපාක මට හොඳට තේරෙනවා. හොඳ වෙලාවට මම කොළඹ නන්නත්තාර ගොඩට වැටුණෙ නෑ.  


මතුපිටින් හොඳ ලස්සනට පෙනුණට මේක මහ අපායක් වැඩි දෙනෙක් බලන්නෙ මොන ක්‍රමයකින් හරි කීයක් හරි කඩාවඩා ගන්න අතේ බැඳගෙන ඉන්න ඔරලෝසුව විතරක් නෙමෙයි බෙල්ලෙ තියෙන මාලෙ, අතේ වළලු, පයේ තියෙන සෙරෙප්පු දෙකත් උදුරගෙන දුවන උන් තමයි මෙකෙ ඉන්නේ ඒවා සුළු ගණන්වලට විකුණල කුඩු ගහනව. ඕක තමයි කොළඹ ජීවිතේ අපි වගේ දවස තිස්සෙ කෑමොර දීල සොච්චමක් අතට අරගන්න වැඩි දෙනෙක් කැමති නෑ.  


දැන් මරිසිකාරයො අඩුයි වෙළෙන්දො වැඩි නිසා අපිටත් තරගයක් තියෙනවා. උදේ වෙද්දි බිස්නස් එක පටන් ගන්නවා. රෑ 8 වෙනකොට ඉවර කරනවා මහන්සියට ‘‘අඩියක්’ ගහනව තමයි ඒත් හැමදාම නෙමෙයි දරුවන්ට පවුලෙ දේවල්වල අඩුවක් කරන්නෙ නෑ. මේක තමයි ජීවිතේ. හැබැයි පේමන්ට් එකට වැටුණ කියල ලැජ්ජාවෙන්නෙත් නෑ. පසු තැවෙන්නෙත් නෑ.   
මගේ ඉගෙනී​ෙම් හැටියට ලොකු රස්සා හිනයක් විතරයි අටවත් පාස් නැති අය දේශපාලකයෝ වෙලා ඉන්නව තමයි. ඒ වගේද මේ රස්සාව තමන්ගෙ දැතේ වීරියෙන් හිතේ හයියෙන් කීයක් හරි හොයා ගන්නව. ඒක නම්බුයි මේ බිස්නස් එකට හරස් වෙන්නෙ වැස්සයි පොලිසියයි විතරයි.  


“ආ අඩු ගානට හොඳ හයිය බෙල්ට් මේ ගානට කොහෙවත් නෑ’’ මා හා කතා බහ ඔහුට පාඩුවක් සේය. ජනගඟ ඒ දෙස බලන්නේ කෑ ගසන්නේ නම් පමණකි. ඒ අඬහැරයට එකෙකු දෙන්නෙකු නොව කීප දෙනෙකුම ගමන බාලකර ඔහු අභියස රැදුණන මම එතැනින් මැත්විමි.  


ගිනි අව්ව මඳකට සමනය වී ඇතත් දුහුවිල්ල සුළඟ හා මුසුව හාත්පස කැකෑරෙයි.. අපේ රට කොතරම් දුප්පත් වුවද වාහනවලින් නම් අඩුවක් නැතිසේය. යතුරු පැදියේ සිට බස් ලොරි දක්වා වාහන පොදියක් ඉදිරියට යා ගත නොහැකිව අතරමං වූවාසේ මහා මාර්ගයේ හිරවී ඇත.  


හුදී ජනයාගේ සසර ගමන මෙහි කොයි අතකට වත් යාමට නොහැකිය. වාහන කන්දරාව අතරින් රිංගා ගොස් ඕල්කොට් මාවතේ අනෙක් පසට පිවිස වීඩියෝ කඩවල කචබචයත් ෆෝන් අලෙවි සැල්වල කලබලයත් මැදින් ඉදිරියට ගියෙමි. සෙන්දිල් මහතා හමුවූයේ ඒ යන අතරතුරදීය ඔහු පයෙහි ළන මේස් ගොඩක් ළඟ උසට උසේ හිටගෙන යන එන්නන්ට ඒවා දිගු කරමින් කෑ ගසයි ‘ආ පනහයි ජෝඩුවම ඔයාට ද බැලුවෙ මල්ලි එන්න අම්මා’’ ඉස්පාසුවක් නැත එහෙත් ඔහු මා හා කතා කළේය.

  
සෙන්දිල්ගේ ගම හැටන් ප්‍රදේශයේය දැණුම් තේරුම් යන වන විට ගමෙන් කොළඹට සේන්දු වූයේ පතපොතේ කියැවෙන. රූපවාහිනියේ දුටු ඒ අරුම පුදුම ලෝකය සොයාගෙනය.  
‘‘දැන් මට වයස අවුරුදු 42 යි. කොළඹ පේමන්ට් ජීවිතේට වැටිලා අවුරුදු 15 යි’’ ගෙවි ගිය කාලයට අපතේ යන්නට සෙන්දිල් ඉඩ දී නැත. තම ස්වයං රැකියාව හෙමි හෙමින් කරගෙන යන අතර තුර දී විවාහ වී තිබේ. ඒ ගම් ප්‍රදේශයෙනි. ගුරුවරියක් වන බිරිඳ එම ප්‍රදේශයේම විදුහලක දරුවන්ගේ නැණස පාදමින් සිටි. දරුවන් දෙදෙනෙකි. ‘මගේ හිතට දුකක් නෑ වැරදි වැඩ කරන්නෙත් නෑ කොහොමහරි දවසෙ කුලිය හොයා ගන්නව අඹු දරුවෝ බලන්න මාසෙකට වතාවක් ගමේ යනවා.  

 


පදික වේදිකාවේ දවසේ වෙ​ෙළඳාමේ යෙදෙන සැවොම රස්තියාදු කරුවන් නොවේ. ජීවිත ජීවත්කරලීමට වෙරදරන අප වැනිම වූ මිනිසුන්ය අයෙකු දහදිය කඳුළ මහපොළොව මතට මුහුකරමින් මුට්ට කරගසන අතරතුරදී තවත් අයෙකු උගුර කට වතුර පොදකින් තෙමාගෙන ඒ ජීවිතයට රැකගැනීමට උත්සුක වෙයි. මේ සමාජය එක අතකට පුදුමාකාරය.  
ගුරුවරියක ලෙසින් ශ්‍රම බළකායට එක්ව සිටින තම බිරිඳගේ වැටුපෙන් දරු මල්ලන් බලාගෙන සුව පහසු දිවියක් ගෙවීමට සෙන්දිල්ට ද හැකියාව ඇතත්, ඔහු එසේ ‘‘නිකමෙකු’’ වීමට කැමති නැත. තම ශක්ති ප්‍රමාණයෙන් දරු පවුල වෙනුවෙන් කැප වී පදික වේදිකාවේ ශ්‍රමය දියකර හරි.   


‘‘බෝඩිං වෙලා ඉන්නෙ කැලණිය කැම්පස් එක ළඟ. එතනට මාසෙ කුළිය රු 2000 යි. කෑමට දවසකට රු 400 ක් විතර යනවා. මේ වෙ​ෙළඳාමෙන් දවසට රු 1500ක් 2000ක් විතර හොයනවා. හවසට පොඩි අඩියකුත් ගහනව. අරක්කු කාලයි (1/4) ඊට වැඩිය බොන්​ෙන නෑ. හැබැයි ඒ ලාබ තිබුණු දවසට විතරයි. දරුවෝ බලන්න ගෙදර යනකොට අරගෙන යන්නත් අතට සල්ලි ඕනනේ.  


මේ වෙළෙඳ‌ාම් හරිම පහසුයි. ඕන වෙලාවට පටන් ගන්නව. තමන්ට හිතුනු වෙලාවට නවත්වනව. කිසි කෙනෙකුට විතරක් නෙමෙයි මහ පොළොවටවත් අපි බරක් නැහැ. අද නම් ටිකක් රෑ වෙනකම් බිස්නස් එක කරන්න වෙනව වෙළෙඳාම හරිම සවුත්තුයි.  


තවත් රෑ වීමට දෙයක් නැත. රෑ බෝවි අවසන්ය. විථිවල හා කඩසාප්පුවල විදුලි පහන් දැල්වී හතර අත එළිය වී තිබුණත් අහුමුළුවල සැඟවී බලා සිටින අඳුර හාත්පස වටකිරීමට මාන බලමින් විථි සරන නිසාචරයන් හැරුණු විට මහමග ඇවිදගිය එකී ජනයා කෙමෙන් කෙමෙන් ‘‘සෙනෙහස දැල්වෙන’’ නිවෙස් බලා ගොසිනි. මාද යා යුතුව ඇත. සෙන්දිල්ගෙන් සමුගෙන කොටුව දුම්රිය පොළ දෙසට පියමැන්නෙමි. හැමතැනම අඳුරය විථි සරණ අයෙක් බෝගස අසල සිට උකුළු මුකුළුවෙන් මා දෙස බලා ඇසක් වැසීය. මම අහක බලා ගතිමි.   
හවස්වරුවේ වැසි නොවැටුණු නිසාදෝ දුම්රියපොළ අගුවේත් ඉන්පිටත ඕල්කොට් පිළිමය අසලත් බිම හිසේ සිට පොරවාගත් ගැහැනු පිරිමි පොදිය ඒ අසල ඉඳ සිටින යාචකයන් දෙදෙනෙකු තම තමන් දවසේ උපයාගත් ආදායම ගැන බරකතාවක්. ඇසුණු ආකාරයට නම් ඒ ගණන් හිලව් රැකියාවක නියුතු මගේ එක් දිනෙක වැටුප මෙන් සිව්ගුණයකි. මේ දෙදෙනා සමග කතා බහක් ඇතිකර ගැනීමට සිතුණත් එය ‘‘ධනවතුන්’’ හා එක්විය හැකි වෙලාවක් නොවුණු බැවින් යකඩයකුන් ගොර අදින ස්ටේසම තුළට පියවර තැබුවෙමි.  

 


සටහන හා ඡායාරූප   
තිලක් පුෂ්පකුමාර