සිංහල රජකාලේ මරණ දණ්ඩනය දුන් මහනුවර වධක බ්ම-2

 

 

මොනරවිල කැප්පෙටිපොළ මහා අදිකාරම සහ මඩුගල්ලේ නිලමේ දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා ගන්නට ඇති යැයි සිතන ගන්ධකුටියේ දොර පිහිටා ඇත්තේ මෙම පිරිත් මණ්ඩපයේ ඉදිරියෙන් ඇති දොරෙන් ඇතුළු වූ පසුවය. (මැද දොරෙන් ඇතුළු වූ පසු, හඳුන්කූඩමට ඉදිරියෙන් ශ්‍රී දන්තධාතූන් වහන්සේ වැඩ සිටින ගන්ධ කුටිය පිහිටා ඇත.)   

 

 

 

  • අද වැදි බණ කියන බ්‍රිතාන්‍යයන් එදා ලාංකිකයන් මරා දැමුවේ කුමන අයිතිවාසිකමකින්ද?

ක්‍රි.ව. 1818 නොවැම්බර් මස 26 දින පෙ.ව. 8.00 ට වීර මොනරවිල කැප්පෙටිපොළ මහ අදිකාරම සහ මඩුගල්ලේ උඩගබඩා නිලමේ යන නායකයින්ගේ හිස ගසා දමා තමාට විරුද්ධවූවන් කැරැලිකරුවන් ලෙස, පළමු විමුක්ති නිදහස් අරගලය ම්ලේච්ඡත්වයෙන් අවසන් කළත්, අනවසරයෙන් ලංකාවට ගොඩ බැස, එහි වෙරළබඩ ප්‍රදේශ අල්ලා ගෙන සිංහලේ නැතහොත් කන්දේ යනුවෙන් හැඳින්වූ උඩරටට එරෙහිව කැරැලි ගැසුවේ ඉංග්‍රීසීන්ය. මොනරවිල කැප්පෙටිපොළ වීරයා ඊට මැදිහත් වූයේ රට ජාතිය වෙනුවෙන් තම යුතුකම ඉටු කිරීමේ අදහසිනි.   


එවකට කන්ද උඩරට පාලනය කළ නායක්කාර් වංශික වඩුග රාජ පරම්පරාව පළවා හැර, තමන්ගේම නායකයෙක් යටතේ පාලනය වන නිදහස් ශ්‍රී ලංකාවක් බිහි කර ගැනීමේ අරමුණෙන් ඇහැලේපොළ පුමුඛ සිංහලයන්, ඉංග්‍රීසින්ගේ සහාය ලබාගත්තේ වෙනත් විකල්පයක් එවකට නොතිබූ බැවිනි. ඒ අනුව ක්‍රි.ව. 1815 මාර්තු මස 2 දින අත්සන් තැබූ කන්ද උඩරට ගිවිසුමෙන් ගිවිස ගත් කොන්දේසි ක්‍රියාත්මක කිරීමට ගිවිස ගත් ඉංග්‍රීසිහු පසුව ඉතා කපටි අන්දමින් එම ගිවිසුම උල්ලංඝනය කළේය. ඊට එරෙහිව නැගී සිටි විමුක්ති සටනට නායකත්වය ලබාදුන් වීර මොනරවිල කැප්පෙටිපොළ අදිකාරම්තුමා අවසානයේ ජාතියෙන් සමුගත්තේ සැබෑ සිංහල බෞද්ධයකු බව ලෝකයට කියා පාමිනි.   
වීර කැප්පෙටිපොළ අදිකාරම් ගැන තෙන්නකෝන් විමලානන්ද මහතා විසින් රචිත උඩරට මහ කැරැල්ල කෘතියේ මෙසේ සඳහන් කර තිබේ.   


“දහඅටවැනි සියවසේ මුල හරියේ දී බත් වඩන නිලමේ, දියවඩන නිලමේ යන නිල සහ මාතලේ, තමන්කඩුව හා සත් කෝරළේ දිසාවේ පදවි දැරූ රාජපක්ෂ වික්‍රමසේකර (පසුව වික්‍රමසිංහ බණ්ඩාරනායක) මුදියන්සේ රාළහාමි තම නිජ භූමිය වූ සතර කෝරළේ සිට පැමිණ, උතුරු මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොනරවිල තම වාස භූමිය කර ගත්තේය. මේ පරපුරට අයත් කැප්පෙටිපොළ හෙවත් ගොලහැල, රාජාධිරාජසිංහ සමයේ දී දිව නිලමේ පදවිය දැරීය. ඔහු මොනරවිල කුමාරිහාමි සරණ පාවා ගත්තේය. ඔවුන්ට දුවක් ද, පුතුන් දෙදෙනෙක් ද වූහ. දියණිය ඇහැලේපොළ අදිකාරමගේ බිරිඳ වූවාය. වැඩිමහල් පුත් කැප්පෙටිපොළ, උඩරට රාජ්‍ය ඉංග්‍රීසින් සතු වූ අවධියේ දී ඌවේ දිසාපති පදවිය ඉසිලීය. ඔහු සිය මව් පරපුරේ නාමය වන මොනරවිල යන්න ද භාවිතා කළ බව ක්‍රි.ව 1815 මාර්තු මස 2වැනි දින දරණ සුප්‍රකට උඩරට ගිවිසුමට “මොනරවිල” යනුවෙන් අත්සන් කිරීමෙන් ඔප්පු වෙයි. ඔහු 1817-1818 කැරැල්ලේ අසහාය නායකයා විය. 1818 ඔක්තෝබර් මස 30වැනි දින නුවරකලාවියේ පරවහගම දී ඉංග්‍රීසි බලඇණියකට සිය කැමැත්තෙන් භාර වූ මොහු යුද්ධාධිකරණ මණ්ඩලයකින් වරදකරු කරනු ලැබ ඒ වර්ෂයේ නොවැම්බර් මස 18 වැනි දින හිස ගසා මරන ලදී. ”   


මොහු මොන තරම් සිංහල ජාතියට ආදරය කළා ද යන්න ගැන “මොනරවිල” සිංහල අකුරෙන් අත්සන් කිරීමෙන් මොනවට පැහැදිළි වේ. ශ්‍රී ලංකාවාසීන් මේ වීර කැප්පෙටිපොළ විරුවා ගැන අසා ඇතත් , වත්මන් පරපුරට තිබෙන්නේ අල්ප වූ දැනුමකි.   


උඩරට මහ කැරැල්ල කෘතියේ 1818 ඔක්තෝබර් මස 29 දින ජේ ප්‍රේසර් විසින් කර්නල් වෙත ලියන ලද ලිපියේ කැප්පෙටිපොළ අධිකාරම් අල්ලා ගත් ආකාරය පිළිබඳව මෙසේ සඳහන් කර තිබේ.   


ලෙෆ්ටිනන්ට් ඔනිල්ගේ කණ්ඩායම විසින් කැප්පෙටිපොළ, පිළිමතලව්වේ යන දෙදෙනාම පරවහගම අසල වලව්වකදී ඊයේ අල්ලා ගත් බවත්, ලෙෆ්ටිනන්ට් ඔනිල් වලව්වට ඇතුළු වු විට කැප්පෙටිපොළ වහා ඔහුගේ අතින් අල්ලා ගෙන මම තමා කැප්පෙටිපොළ , මම තමයි කැප්පෙටිපොළ යයි හඬ නගා පැවසුව බවත්, රෝගී හෙයින් කොරව සිටි පිළිමතලව්වේ තම යහනේ වැතිර සිටි බවත්, මඩුගල්ලේ ඇතුළු අනෙකුත් මුළාදැනීහු පළා ගොස් සිටි බවත් සඳහන් කර තිබේ.   


1819 ජනවාරි මස 8 දින කේ.ජී නාමෝපලක්ෂිත මහාමාන්‍ය බැතර්ස්ට් වංශාධිපති වෙත යවන ලද ලිපියේ කොටසක් පහත දැක්වේ.   


“මඩුගල්ලේ කළ රාජද්‍රෝහී කුමන්ත්‍රණයේදී ප්‍රධාන තැනක් ගෙන ඉක්බිති සිවුරු හැර දමා සන්නද්ධ කැරලි කරුවන් සමූහයක් පිරිවරාගෙන මේ කැරැල්ලේ දී උද්යෝගයෙන් ක්‍රියා කළ ඉහගම තෙරුන්ටත් කැරැල්ලේ ප්‍රධාන නායකයන් තිදෙනාටත් විරුද්ධව පවරන ලද නඩු ඉහත සඳහන් කරුණු ගැන සාකච්ඡා පවතින විට යුද්ධ නීතිය අනුව නොකඩවා විසඳන ලදී. නිසැක සාක්ෂි උඩ කැප්පෙටිපොළ, මඩුගල්ල යන දෙදෙනාට මරණ දඬුවම දෙන ලදී. මා නුවරින් පිටත් වූ දිනට (නොවැම්බර් 25 වෙනිදාට)පසු දින එය ක්‍රියාවේ යෙදවීමට ද අණ කළෙමි.”   


මොරනරවිල කැප්පෙටිපොළ නිලමේතුමා මරණයට මුහුණ දුන් ආකාරය ඇසින් දුටු අයෙකු ලෙස වෛද්‍ය හෙන්රි මාර්ෂල් විසින් තබා ඇති සටහනක් පිළිබඳ, කැප්පෙටිපොළ අදිකාරම්තුමාගේ පස්වැනි පරම්පරාව නියෝජනය කරන මිනිබිරියක වන විශ්‍රාමලත් දිසා විනිසුරු (විශේෂ ශ්‍රේණිය) පර්ල් කරල්ලියද්ද මහත්මිය මෙසේ පැවසුවාය.   
වීර මොනරවිල කැප්පෙටිපොළ සහ මඩුගල්ල උඩගබඩා නිලමේ යන දෙදෙනා ඔවුන්ගේ ඉල්ලීම පරිදි දළදා මාලිගයට රැගෙන ගොස් තිබෙනවා. දළදා වහන්සේ තැන්පත් කළ විහාර ගර්භයට (ගන්ධකුටියට) ඇතුළු වීමේ දොරටුවේ එළිපත්ත මත භික්ෂූන්වහන්සේ ඉදිරියේ දණගසාගත් නිලමේතුමා තම ජිවිත කාලය තුළ දී තමා විසින් උන්වහන්සේලාට ලබා දුන් ප්‍රතිලාභ අනුග්‍රහයෙන් ද විහාරස්ථාන සඳහා ලබාදුන් තෑගිබෝග ඇතුළු එතුමා විසින් කරන ලද වෙනත් ධාර්මික පුණ්‍ය ක්‍රියාවන් ද එකිනෙකට විස්තර කර තිබෙනවා. ඊළඟට ඔහුගේ අවසාන ප්‍රාර්ථනාව වූයේ මරණයෙන් පසු ලබන ආත්මයේදී හිමාලයේ ඉපිද නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා යන්නයි. භික්ෂූන් වහන්සේලා පෙරලා දේශනයක් කර එතුමාගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වේවායි කියා ද වඳාරා තිබෙනවා.   


එතෙක් වේලා දණ නමස්කාරව සිටි නිලමේ නැගිට සෝයර් දෙසට හැරී, මගේ මේ අවසාන පූජාවේ ආනිශංසයේ කොටසක් ඔබට ද අනුමෝදන් කරමියි පවසා, ඉණ වටා ඉහළින් ඔතා තිබූ සේලය ගලවා “ ඉරී වැරහැලිව ඇතත් මා සතු එකම දෙය මෙය බැවින්, පූජා කිරීමේ අනුහසේ අඩුපාඩුවක් නොවේවා” යනුවෙන් පවසා එය දළදා වහන්සේට පූජාකර තිබෙනවා. අවසානයේ සෝයර් ට අතට අත දී ඔහුට සුබපතා ඇත.   


මඩුගල්ලේ නිලමේ ද ඒ ආකාරයෙන් ම පූජාවන් සිදුකළද ඔහුගේ සිත මහත් කැළඹිමකට පත්ව තිබූ බවත්, පූජාවන් අවසානයේ දාගැබ පිටුපස සිටි ඔහුව ලුතිතන් මැකෙන්සි විසින් ඇද ඉවත් කර ගත් බවත් කියැවෙනවා.   


මේ අනුව කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ නිලමේවරුන් වන්දනාමාන කළ ස්ථානය, වත්මන් දළදා කරඬුව පිහිටි ගන්ධකුටියේ දොරටුව අභියස පිහිටි ස්ථානය විය හැකි බවත් පර්ල් කරල්ලියද්දේ මහත්මිය පැවසුවාය.   

 

 


තවද වෛද්‍ය හෙන්රි මාෂල් මෙසේ සඳහන් කර තිබෙනවා. කැප්පෙටිපොළ උදාර භාවයෙන්, ආත්ම ශක්තියෙන් සහ ස්ථිරතාවයෙන් යුක්තව කටයුතු කර ඇති අතර, සිරකරුවන් දළදා පරිශ්‍රයෙන් සැතපුමක් පමණ වු දුරින් බෝගම්බර වැව අසබඩ පිහිටි වධකාගාරය වෙත කැඳවා ගෙන ගොස් මරණයට පත් කර තිබෙනවා. ( එවකට වධකාගාර භූමියක් වශයෙන් පිහිටා තිබුණේ, වත්මන් මහනුවර කැප්පෙටිපොළ බෝධිය පිහිටි භූමිය ලෙසට හඳුන්වා දිය හැකියි.)   


කැප්පෙටිපොළ නිලමේතුමා මරණයට මුහුණ දීමට පෙර, වධකාගාර භූමියේ දී, මුහුණ සෝදා ගැනීමෙන් පසු ආගමික වතාවත් පවත්වා තිබෙනවා. හෙන්රි මාෂල් විස්තර කරන ආකාරයට කැප්පෙටිපොළ නිලමේ තම හිසකෙස් හිස් මුදුනේ කොණ්ඩයක් කොට බැඳ බිම වාඩි වී ඒ සමග ම පතුල (දෙපා) අසල තිබු “කුඩා පඳුරක් පාද ඇඟිලි වලින් අල්ලා ගෙන” තිබෙනවා. ඔහුගේ ඉණ වටා එතී තිබුණ රෙද්දේ ඉණේ වූ නැම්මක තිබු බණ පොතක් අතට ගෙන ගාථා කිහිපයක් කියවා, එය බදුල්ලේ දී තමා සමග සේවයේ යෙදී සිටි සයින් සෝචර්ස් මහතාට මිත්‍රත්වය සහ කළගුණ සලකා තිළිණයක් ලෙස ලබා දෙන මෙන් අසල සිටි ස්වදේශීය නිලධාරියෙකුට භාර දී තිබෙනවා.   


පසුව නිලමේතුමා පාලි ගාථා කීම නැවත ආරම්භ කර තිබෙන අතර, වධකයා තියුණු කඩු පහරක් බෙල්ල පිටු පසට එල්ල කරනවා. ඒ මොහොතේ දී “අරහං” යන වචනය ඔහුගේ මුවින් පිට වෙනවා. දෙවැනි පහරින් ප්‍රාණය නිරුද්ධව, මෘත කලේබරය ඇද වැටෙනවා. උඩරට සිරිතට අනුව හිස ළය මත තබනවා.   


පසුව ඒ ආකාරයෙන්ම මඩුගල්ල නිලමේ ගේ ද, හිස ගසා දමනවා. එහෙත් කැප්පෙටිපොළ නිලමේතුමාගේ හිස ගසා දමන ආකාරයෙන් නොවේ. ඔහු දිගටම බිය ගුලු කමක් දක්වා ඇති බැවින්, තම හිසකෙස් පවා බැඳ ගත නොහැකි වෙනවා. එය ඉටු කරන්නේ හිරගේ කන්කානම විසිනුයි. එක පහරින් මරණ මෙන් ඔහු ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිනවා. අවසානයේ දී ඔහුගේ හිසත් කඳෙන් වෙන් කරනවා. එසේ වුවත්, තම හිස ඉදිරියට නැමීමට තරම් චිත්ත ධෛර්යයක් නොවූ නිසා හිස වධකයෙකු විසින් අල්ලා ගන්නවා. පළමුවැනි කඩු පහරින් පසු ඔහු පස්සට වැටෙනවා. එහෙත් ප්‍රාණය නිරුද්ධ වී නොතිබුණ නිසා තවත් පහරක් ගසනවා.   


මඩුගල්ලේ බියගුලු පුද්ගලයෙක් ලෙස මාෂල් සඳහන් කර තිබුණ ද, සැබැවින් ම ඔහු එවන් කෙනෙකු නොවේ. එය ප්‍රායෝගික තත්ත්වයකි. මඩුගල්ල නිලමේ බියගුලු පුද්ගලයෙක් නම්, මෙම සටනේ දී පෙරමුණේ සිටි කෙනෙකු වශයෙන්, බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව පළමු වෙඩි මුරය පත්තු කරනු ලැබුවේ කෙසේද යන්න ගැටලුවකි. සමහර විට ඔහුගේ හිස පළමුව ගසා දැමුවේ නම්, තත්ත්වය මීට වඩා වෙනස් වීමටත් ඉඩ තිබුණි. ඔවුන්ගේ හිස් මාර්ෂල් විසින් රෝහල වෙත රැගෙන ගිය අතර, සිරුරු බෝගම්බර වැව් ඉවුරේ මිහිදන් කරන අතර, පසු කලෙක ඔහුගේ හිස් කබල දළදා මාලිගාව ඉදිරිපිට ඇති ස්මාරකයේ තැන්පත් කරනවා.   


කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ නිලමේතුමන්ලාගේ හිස ගසා දැමු තැන වර්තමානයේ බෝගසක් දක්නට ලැබෙනවා. එය කැප්පෙටිපොළ බෝධිය ලෙස ව්‍යවහාරයේ පවතිනවා. මහනුවර කැප්පෙටිපොළ අනුස්මරණ ශාලාව ඉදිරිපිට මෙම බෝධිය පිහිටා තිබෙනවා. (මහනුවර කොළඹ නගරාන්තර බස්රථ නැවතුම ඉදිරියෙන්) අද බෝගම්බර වැව දක්නට ලැබෙන්නේ නැහැ. (දළදා මාළිගාව අසල පිහිටා ඇත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් සාදන ලද නුවර වැව හෙවත් කිරි මුහුදයි. එය බෝගම්බර වැව ලෙස බොහෝ දෙනෙක් වැරැදියට වටහා ගෙන තිබෙනවා) අද බෝගම්බර බන්ධනාගාගරය, මධ්‍යම වෙ​ෙළඳ පොළ, එදා බෝගම්බර වැවෙන් යටව තිබුණා. එහි වැව් බැම්ම පිහිටා තිබුණේ වත්මන් කැප්පෙටිපොළ විශ්‍රාම ශාලාව පිහිටි ප්‍රදේශයේ.   


මොනරවිල කැප්පෙටිපොළ අදිකාරම් මරණයට පත්කළේ දංගෙඩියට හිස තබා බව කෙනෙකු පවසන අතර තවකෙක් පවසන්නේ එය වැරැදි බවය. තවද එතුමා මරණයට පත් කරන විට කුමණ වයසක පසුවූයේ ද යන්න ගැනත් බොහෝ දෙනෙකුට ගැටලුවකි. මේ සම්බන්ධයෙන් පර්ල් කරල්ලියද්ද මහත්මිය පවසන්නේ මෙවන් අදහසකි.   


කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ නිලමේවරුන් දංගෙඩියට හිස තැබුවා යන්න ගැන ලිඛිත සාක්ෂි කිසිවෙක් සොයා ගත නොහැකියි. එහෙත් හෙන්රි මාෂල් විස්තර කරන ආකාරයට “කැප්පෙටිපොළ නිලමේ තම හිසකෙස් හිස් මුදුනේ කොණ්ඩයක් බැඳ බිම වාඩි වී ඒ සමග ම පතුල( දෙපා) අසල තිබු “කුඩා පඳුරක් පාද ඇඟිලි වලින් අල්ලා ගෙන” තිබෙනවා.” යනුවෙන් සඳහන් කරනවා. දංගෙඩියක හිස තැබුවේ නම් බිම වාඩි වීමට නොහැකි බවත්, මඩුගල්ලේ ගේ හිස ගසා ඇත්තේ තවත් වධකයෙකු විසින් හිස අල්ලා ගැනීමෙන් පසුව” නිසාත් දංගෙඩිය භාවිතා කර නැති බවයි මගේ අදහස.   


මොනරවිල කැප්පෙටිපොළ දිසාව මරණයට පත්වන විට එතුමාගේ වයස කොපමණ දැයි සොයා ගැනීමට උත්සාහ කළත් එය මෙතෙක් ඉටුකර ගත නොහැකි වුණා. පුත්‍රයින්ගේ වයස අනුසාරයෙන් එතුමාගේ වයස අනුමාන වශයෙන් ඉදිරිපත් කළ හැකියි. ඒ අනුව 1818 නොවැම්බර් මාසයට ආසන්න කාලයේ දී, එතුමාගේ වැඩිමහල් පුත්‍රයාගේ වයස අවුරුදු නවය ඉක්මවා සිටි බව වාර්තා වෙනවා. එකල තරුණ වයසට එළඹීමත් සමග විවාහය සිදු වීම සාමාන්‍ය සිරිතක්. එසේම විවාහය සිදු වී වසරකින් පමණ දරුවා ඉපදුනැයි අනුමාන කළහොත් එතුමා විවාහයට පත් වසර 1807 බවට සිතා ගත හැකියි. ඒ අනුව විවාහ වූයේ අවුරුදු 28 දී බවට අනුමාන කළ විට, ඔහු ඉපදී තිබෙන්නේ ක්‍රි.ව 1779 දී යි.   


තවද මරණයට සූදානම් වූ අවස්ථාවේ කොණ්ඩය හිස් මුදුනට ගෙන ගැටයක් ගසා තිබෙනවා. එයින් තහවුරු වන්නේ උරහිසෙන් පහළට වැටෙන ප්‍රමාණයෙන් කොණ්ඩය වැවී තිබුණු බවයි. ඒ අනුව මෙම හැඩරුවට ගැළපෙන සේ රූපයට ගෙන ඇති චිත්‍ර දෙකක් සොයා ගැනීමට ලැබුණා. ඉන් එකක් පල්ලේපොළ වේළුවනාරාම විහාරස්ථානයේ, ඇඳ තිබෙනවා. එය කැප්පෙටිපොළ නිලමේතුමා සටනට යාමට පෙර පූජා කළ බව කියන පැරණි විහාරස්ථානයක්. අනෙක් චිත්‍රය වෛද්‍ය හෙන්රි මාෂල් ගේ සිලෝන් නැමති ග්‍රන්ථයේ 16 පිටුවේ ඇඳ ඇති චිත්‍රයයි. එම චිත්‍ර වලින් එතුමා ගේ තරුණ පෙනුමක් දැකගත හැකි බැවින්, වීර කැප්පෙටිපොළ මරණයට පත් කරන විට අවුරුදු 40 ක් ඉක්මවා තිබිය නොහැකි බව මගේ අදහසයි. යනුවෙන් ඇය අවසන් වශයෙන් පැවසුවාය.   


1815ට පෙර පැවති දඬුවම් ක්‍රම   


ඉතිහාසය දෙස බලනවිට වසර 150ක් මුහුදුබඩ පළාත් පාලනය කළ පෘතුගීසින් ගෙන් පසුව පැමිණි ලන්දේසින්ගේද ආභාෂය ඊට මායිම්ව පිහිටි උඩරට ප්‍රදේශවල දඬුවම් කෙරෙහි බලපෑමක් සිදුවු බවට සාක්ෂි නොමැත. රාජ්‍ය විරෝධී ක්‍රියාවනට අමතරව තම දෙමාපියන්, ස්වාමීන් වහන්සේලා, ගුරුවරුන් වැනි අය මැරීම ඔවුනට තාඩන පීඩන කිරීම සහ වෙනත් ආකාරයේ වූ මිණිමැරීම්ද බෝගස් බිම හෙළීම, පූජනිය ස්ථාන විනාශ කිරීම, රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සොරකම් කිරීම ආදී වැරැදි ක්‍රියාවන් සඳහා ද මරණ දඬුවම ලබාදිය හැකි බරපතළ අපරාධ නඩු ගණයට ඇතුළත් වී ඇත. උල තැබීමෙන් හෝ අලියෙකු ලවා පෑගවීමෙන් මරණ දඬුවම ක්‍රියාත්මක වී ඇත. අලින් පෑගවීමෙන් මරණය සිදුකිරීමේ දඬුවම අවසන්වරට ක්‍රියාත්මකවූ බවට වාර්තාවන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේදී බව ඩොයිලි සඳහන් කර තිබෙනවා.   


ඉහත සඳහන් කළ පරිදි මරණයට පත්කිරීමෙන් පසු මෘතශරිරය මහජනයාට පෙනෙන පරිදි එල්ලා තැබිමද සිදුකර ඇත. මරණ දඬුවම ලබාදීමේ බලය තිබි ඇත්තේ රජුට පමණකි. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ සඳහාවූ දඬුවමක් ලෙසට දේපළ රාජසන්තක කිරීමද සිදුවී ඇත.   


ලබන සතියේ උතුවන් කන්දේ ශූර සරදියෙල් එල්ලු වධක භූමිය සොයායමු.   


(ස්තුතිය - විශ්‍රාමලත් දිසා විනිසුරු (විශේෂ ශ්‍රේණිය) පර්ල් කරල්ලියද්ද මහත්මියට සහ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රාචින පුස්තකාලයේ, පුස්තකාලයාධිපති අජන්ත කුමාර සමරකෝන් මහතාට.)   

 


සටහන සහ ජායාරූප
සිසිර කුමාර බණ්ඩාර