ඒ වසර 1979යි. කාලාන්තරයක් තිස්සේ දැදුරුඔය දකුණු ඉවුර ආශ්‍රිතව විසූ 160ක් පමණ වූ අලි ගහණයෙන් ඉතිරි වූ අලි දහ හතර දෙනා ජීවත් කර වූයේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙරට පැමිණ උන් විල්පත්තු ජාතික උද්‍යානය තුළට මුදා හැරීමෙනි. ප්‍රදේශයේ කලින් පැවති වනාන්තරය එළි පෙහෙළි වීම හේතුවෙන් මෙම සද්ධන්තයින්ගේ ආහාර හැටියට ඉතිරිව තිබුණේ දැවැන්ත පොල් ගස් ය. උන් එක රැයින් අඩි විස්ස ඉක්ම වූ පොල් ගස් හත අට පෙරළා දැමීමෙන් බඩගින්න නිවාගති.   


1972 වසරේ පැවති රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් මත රට පුරා වනාන්තර එළි පෙහෙළි කොට ආහාර වගාව ආරම්භ කෙරිණි. ඉන් ජනිත වූ ප්‍රතිඵලයක් හැටියට වන අලින්ගේ සංක්‍රමණික මාර්ග (Migratory Routes) පමණක් නොවන පාරම්පරික විසුම් බිම් ද නැත්තටම නැති විය. සංක්‍රමණික මාර්ග අහිමි වූ අලි ඇත්තු බොහෝ ප්‍රදේශවල කොටු වූහ. (Pocketed) දැදුරු ඔය අලි රැලට අත් වූයේ ඒ ඉරණමයි. වියළි කලාපය පුරා අලි සරණක් සොයා සැරි සරන්නන් බවට පත් වූහ.   


වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු​ෙව් වැඩ බලන අධ්‍යක්ෂ හැටියට සේවය කළ ලීන් ද අල්විස් මහතා (නැසීගොසිනි) ගත් නැණවත් තීන්දුවක් වූයේ එම අලින් නිර්වින්දනය කොට (Immobilized) විල්පත්තු ජාතික උද්‍යානය (වපසරිය හෙක්ටයාර් 131693) අභ්‍යන්තරයේ නිදහස් කිරීමයි. මේ සඳහා එතුමන් අප්‍රිකාවේ නැමීබියා (Namibia) රාජ්‍යයේ ඉටෝෂා ජාතික උද්‍යානයේ (Etosha National Park) වපසරිය වර්ග කිලෝ මීටර් 22270 සේවයේ නියුතුව සිටි පශු වෛද්‍ය ඉනයන් පොෆ්මෙයර් ගෙන්වා ගති. ඔහුගේ සහයට පශු සම්පත් මණ්ඩලයේ වෛද්‍යවරුන් ද ලබා ගති.   


එම කාර්ය ඉටු කළ කණ්ඩායමේ එක් ​ජ්‍යෙෂ්‍ඨ නිලධාරියෙකු වූයේ මමයි. අලින් ප්‍රවාහනය කරනු ලැබුවේ ජාතික සත්වෝද්‍යානයේ ලොරිවලිනි. ඒ වන විට ලීන් ද අල්විස් මහතා ජාතික සත්වෝද්‍යානයේ ස්ථිර අධ්‍යක්ෂවරයා වූ අතර, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂවරයා විය.   


නිර්වින්දනය කළ අලි ලොරිවල පටවා පුත්තලම කලා ඔය හරහා ප්‍රවාහනය කරන ලදුව, විල්පත්තු ජාතික උද්‍යානය (වපසරිය වර්ග සැතපුම් 505) අභ්‍යන්තරයේ විල්ලු ප්‍ර​දේශයේ නිදහස් කරන ලදහ. පසු විපරම් අරමුණු කරගෙන උන් ලොරියට පැටවීමට පෙර තට්ටමේ සුදු පැහැති තීන්තවලින් අංක යෙදීමට අපි පියවර ගතිමු.   


පිළිවෙළින් අංක 1, 2, 3, 4 ආදී වශයෙන් ප්‍රවාහනය කරනු ලැබීය.   

 

 


අංක 10ත් නිදහස් කෙරිණි. ඉතිරිව සිටියේ අලි හතර දෙනෙකි. කෙසේ වෙතත් පසු දින නිරීක්ෂණය කරනු ලැබුවේ නිදහස් කරනු ලැබූ අංක 8 පයින්ම ආපසු දැදුරු ඔය දකුණු ඉවුරට පැමිණ ඇගේ පැටවා සමග සිටින බවයි. එම සිද්ධිය පුවත්පත්වල පළවූයේ ලොරියෙන් විල්පත්තු ගිය අලි පයින් ආපසු දැදුරු ඔයට එති හැටියටය. ඇය එක රැයින්ම පුත්තලම කලාඔය හරහා පයින් දැදුරුඔයට පැමිණ තිබිණි. මෙයින් ගම්‍ය වූයේ කුමක්ද? තනි වූ පැටවාගේ විලාපයන් විල්පත්තුවේ සිටි මවට සන්නිවේදනය වූ බවය.   


වසර කිහිපයකට පෙර National Geographic විද්‍යාත්මක සඟරාවේ පළ වූ ලිපියක අලින්ගේ සන්නිවේදනයන් (Communication) ගැන ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයින් පිරිසක් සිදු කළ විද්‍යාත්මක පරීක්ෂණයක තොරතුරු අනාවරණය කොට තිබුණි. ඔවුන් දකුණු අප්‍රිකාවේ කෲගර් ජාතික උද්‍යානයේ (වපසරිය වර්ග කිලෝ මීටර් 19485) කෲගර් ජාතික උද්‍යානයේ අලින්ගේ අතිධ්වනීය (Ultrasonic) ස්වර තරංග පටිගත කරන ලදී. තණ පිට්ටනියේ තැබූ පටිගතකරන උපකරණය (Recorder) දුරස්ථ පාලකයක් මගින් ක්‍රියා කරවමින්, සවස් වරුවේ තණ බිමට අවතීර්ණය වූ අලින්ගේ ස්වර තරංග පටිගත කළහ. විද්‍යාඥයින් පිරිස සිටියේ ඈතින් අඩි 50ක් උසැති යකඩ අට්ටාලයකය. ඉක්බිතිව කෲගර් උද්‍යානයේ වෙනත් ප්‍රදේශයකට ගොස් එම ස්වර තරංග මුදා හරින ලදී. මෙහිදී විද්‍යාඥ පිරිස නිරීක්ෂණය කළේ වන ලැහැබ තුළින් පිටතට පැමිණි අලි රංචුවක් හොඬවැල ඉහළ ඔසවමින් තම ‘සගයින්’ කොහි සිටින්නේ ද විපරම් කොට අසාර්ථක වූ බැවින් පිට්ටනියෙන් නික්ම ගිය බවය.   


වන අලින්ගේ සන්නිවේදනය විස්තර කරන වෛද්‍ය නන්දන අතපත්තු (හිටපු නි​යෝජ්‍ය අධ්‍යක්ෂ වන ජීවී දෙපාර්තමේන්තුව) අලි ඇතුන්ගේ සැඟවුණු ලෝකය කෘතියේ මෙසේ සඳහන් කරයි. බොහෝ විට හොඬවැල ඉහළට ඔසවා ඒ මේ අත යොමු කරමින් වාතය පරීක්ෂා කරන්නේ දුර බැහැර සිට ගෙන එන රසායනික පණිවුඩ ග්‍රහණය කර ගැනීමටය.   
ඇතින්නියන්ගේ මුත්‍ර හෝ බාහිර ලිංගේන්ද්‍රයන් ඉව කර බැලීමෙන් ඇය සරුමද තත්ත්වයකට පත්ව සිටිනවා ද නැත්ද යන රසායනික පණිවුඩය ලබා ගැනීමට පිරිමි අලින්ට හැකියාව ඇත. ඒ සන්නිවේදන තොරතුරු අලින්ගේය.   


යාල සහ විල්පත්තු වනෝද්‍යානවල භාරකරු හැටියට සේවය කළ වසර දොළහේ (12) සතුන්ගේ සන්නිවේදනයන් ගැන සිදු කළ නිරීක්ෂණ කිහිපයක් සඳහන් කරමි. පැටවුන් සහිත අලි රංචු තණ පිට්ටනිවල තණ බුදින අවස්ථා එම උද්‍යානවල නිතර දකින්නට ලැබේ.   

 

 


​ෙකාතරම් වැඩ රාජකාරි තිබුණත් අලි රංචුවක් දුටු තැන ජීප් රථය ස්වල්ප වේලාවක් නතර කරගෙන, නිරීක්ෂණය කිරීමට මම පුරුදුව සිටියෙමි. රථය නතර කළ සැණින් දැවැන්ත ඇතින්නියෝ ගොරවන්නට පටන් ගනිත්. ඒ පැටවුන්ට ලබා​ෙදන සන්නිවේදනයකි. අපි බලා සිටියදීම පිට්ටනියේ විහිදී සිටින අලි රංචුව එකට එකතු විණි. පැටව් මව් ​ෙසායාගොස් බඩ යටට රිංගා ගති. මව් ඇතින්නගේ ගෙරවිල්ලෙන් අනතුරක සේයාවක් සන්නිවේදනය කරනු ලැබේ. ජීප් රථයේ එන්ජිම දිගින් දිගමට ක්‍රියා කළ බොහෝ අවස්ථාවල ආසන්නයේම සිටි ඇතින්න පහර දීමට ජීප් රථය වෙත හඹා ආ අවස්ථා එමටය.   


එවන් අවස්ථාවල නොබියව රථයෙන් බිමට බැස, හඹා එන අලියා ඉදිරියට ගොස් දමනය කිරීමේ ශාස්ත්‍රය මම ප්‍රගුණ කරගෙන සිටියෙමි. එනම් උන් මෙල්ල කිරීමේ සන්නිවේදනයයි. පළපුරුදු වනජීවී නිලධාරීන් බොහෝ දෙනා සිදු කරන පරිදි බලගතු මන්ත්‍රය නොනවත්වා ශබ්ද නගා අලියාට ඇසෙන ලෙසින් නැවත නැවතත් කීමෙන් හෝ දැඩි ගොරෝසු හඬින් අලියාට බැණ වැදීමෙන් වන අලි මෙල්ල කළ හැකිය. සෑම මන්ත්‍රයක්ම අවසන් වන්නේ ‘දිරිඃ’ පදයෙනි. එහි අරුත ඇදවැටියන් යන්නය. කෙසේ වෙතත් දැන ගෙන ගියොත් කතරගම... නොදැන ගියොත් අතරමග... බව මා පවසන්නේ වන ජීවී නිලධාරීන් පවා වැඩේ වරද්දාගෙන අලින්ගෙන් පහර කා ඇති බැවිනි. මනුෂ්‍ය කට හඬට බොහෝ වන සතුන් බිය වෙති.   
සෑම සත්ව විශේෂයකටම අවේණික වූ සන්නිවේදන ක්‍රමයක් ති​ෙබ්. සංවාසයට ආරාධනා කිරීම, තම වැයික්කියක් ආරක්ෂා කර ගැනීම, ශෝකය වේදනාව ප්‍රකාශ කිරීම, බිය ප්‍රකාශ කිරීම, ආචාර කිරීම, සුහදත්වය ප්‍රකාශ කිරීම, යටත්වීම සන්නිවේදනය කරන ආකාරයන් මා දැක තිබේ. යාල ජාතික උද්‍යානයට නිතර ආගිය අමුත්තන් උද්‍යාන මූලස්ථානයේ විසූ වලිග කොට අලියා දැක තිබේ. වලිගය කොට වන්නේ සටනට පිවිස සිටින අලියා බිය වී පලා යන විට බලාත් ප්‍රවිශ්ඨයා (Intruder) පසු පසින් දිව ගොස් පසු බසින අලියාගේ වලිගය හොඬ වැලින් අල්ලා ඇදීම නිසා හවරිය කැඩී යාමෙනි.  


දිනක් උදේ 10 ට පමණ අඩි අටක් පමණ උසැති දළ අැතෙක් උද්‍යාන මූලස්ථාන භූමියට පිවිසියේය. වලිග කොටා ලහි ලහියේ ඇතා සමීපයට දිව ගියේය. ඒ තම වැයික්කිය ආරක්ෂා කර ගැනීමටය. අලි දෙදෙනාගේ ආවේගයන් සන්නිවේදනය කර ගත්තේ කන්පෙති කෙළින් කරගෙන එකනෙකාට මුහුණ දීගෙන ඉදිරියට සහ ආපස්සට කිහිප වරක් ගමන් කිරීමෙනි.   


අලි රංචු මාතෘ මූලිකය.   


දිගින් දිගටම මම සිද්ධිය බලා සිටියෙමි.   


දෙදෙනාගෙන් එකෙක් වත් පසු බසින පාටක් නැත. ස්වාභාවික සිද්ධියක් බැවින් අපි කිසි​ෙවකුත් ඊට හරස් වූයේ නැත. ස්වල්ප වේලාවකින් ඇතා මීටර් දහයක් පමණ ආපස්සට ගොස්, අධික වේගයෙන් වලිග කොටා වෙත හඹා වුත් උගේ දළවලින් වලිග කොටාට වැරෙන් ඇන්නේය. උරහිස කඩා බිඳ ගෙන ගිය දළ දෙකින් වලිග කොට අලියාගේ පෙණහලු (Lungs) සිදුරු වුණි. මොහොතකින් වලිග කොටා බිම ඇද වැටුණේය. ඒ ඉරියව්වෙන්ම වලිග කොටා දඟලන්නට විය. විනාඩි පහකට පමණ පසු ඌ සදහටම දෙනෙත් පියා ගති. ඇතා ද වැඩි වේලාවක් රැඳී නොසිට උද්‍යානය තුළට පියමං නැගීය.   


ලංකාවේ සමස්ත අලි ගහනය (වන අලි) 5880 කි.   


(2011 දීපව්‍යාප්ත අලි සංගණනය වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව) ඉන් 4 %ක් දළ ඇතුන්ය. උන්ගේ ආයුකාලය වසර හැටකි.   

 

 


යාල උද්‍යාන මූලස්ථානයේ මගේ නිල නිවාසයේ සිටි දිනවල අඳුර වැටීමත් සමග කොටියන්ගේ ගෙරවීම් හඬ (Territorial Call) ඇසෙන්නට පටන් ගනී. ඒ පිරිමි සතුන්ගේය. පිරිමි සතා තම වැයික්කියට වෙනත් පිරිමි සතුන් ඇතුළු වනවාට කැමති නැත. ගෙරවීම් හඬ අනිකුත් පිරිමි සතුන් වෙත කෙරෙන සන්නිවේදනයකි. එවන් අවස්ථාවලදී. ආගන්තුක කොටියා ප්‍රදේශය මග හැර යන්නේය. නොදැන වැයික්කියට ඇතුළු වන පිරිමි සතුන් ඇතැම් විට නේවාසික කොටියා සමග සටනට පිවිසෙයි.   


​ෙකාටියාගේ ​ෙගරවිම් කන වැටුණු කෙණෙහිම තින් මුවෝ බිය වී හූ කියති.   


එහෙත් පලා යන්නේ නැත. මුවන්ගේ හූ හූ ශබ්දය සන්නිවේදනය වන කොටියා හුන්තැනින් නැගිට ගසින් ගසට මුවා වී හෙමින් සීරුවේ මුව රංචුවට කිට්ටු කරයි. එතැන් සිට රංචුවට කිට්ටු කරන්නේ නොපෙනී බඩ ගාගෙනය. මෙසේ සමීපයට යන කොටියා එක් වරම පැන මුවකු අල්ලා ගනී. මුලින්ම කරන්නේ උගුරු දණ්ඩ කටින් සපා ගැනීමයි. මුව දැඟලීමට පටන් ගත්ත ද ගැලවී යාමට ඉඩ නොදී උගුරු දණ්ඩ සපාගෙනම සිටී. මුවා නිසොල්මන් වූ පසු මුලින්ම ආහාරයට ගන්නේ බඩ පෙදෙසයි. රංචුවේ ඉතිරි මුවන් බිය වුවත් ඈතට පලා යන්නේ නැත.   


උන් මඳ දුරක් ඉවතට දුව ගොස් ආපසු හැරී කොටියා දෙස බලයි. තවද නොදැනුවත්වම ඉදිරි පාද දෙක මාරුවෙන් මාරුවට උස්සමින් තණ බිස්සේ නසති. ඒ අතර කොටි පැටුවන් පැමිණ ආහාර බුදීම ආරම්භ කරති. කුස පිරුණු කොටියකු ඉදිරියෙන් මුවකු ගියත් පසු පස පන්නන්නේ නැත. මියගිය මුවාගේ ඉතිරි කොටස කටින් හපාගෙන කර මතට ගන්නා කොටියා අසල ගසකට නැග එය ගස් දෙබලක රඳවයි. එසේ කරන්නේ හිවලුන් (නරියන්ගෙන්) ගෙන් ආරක්ෂා කිරීමටය.   


අප්‍රිකානු වනාන්තර කේශර සිංහ​යෝ ද (පිරිමි සතුන්) ඒ අන්දමින් හැසිරෙති. නේවාසික සිංහයාගේ (Resident Male) ගෙරවීම් හඬ නොතකා එම විසුම් බිමට ඇතුළු වන සිංහයින් එය ආක්‍රමණය කොට නේවාසිකයා සමග සටනට පිවිසෙයි. බැරිවෙලාවත් නේවාසික සිංහයා / පරාජිත තත්ත්වයට පත් වුවහොත් ඌ පලා යන අතර එතැන් සිට පැන ගිය සිංහයා භාරයේ සිටි ගැහැණු සතුන් සමූහය (Pride) භාර ගනී. සමහර විට ගණන හත් අට දෙනෙකු විය හැක. ඉක්බිතිව උන් සමග සිටින පැටවුන් සියල්ල සපා කා මරා දමති. එහෙත් ගැහැනු සතුන් ඊට හරස් වන්නේ නැත. එතැන් සිට ගැහැනු සතුන් සමග සංවාසයේ යෙදී පැටුවන් බිහි කරති. සිංහ ධේනුවගේ ගැබ්බර කාලය දින 100 සිට 120 දක්වාය. අප්‍රිකාවේ ටැන්සානියා (Tanzania) රාජ්‍යයේ වනජීවී කළමනාකරණය හැදෑරූ සමයේ (1982 සිට 1984) එම නිරීක්ෂණ සිදු කිරීමට මට අවස්ථාව ලැබුණි.   


අප්‍රිකාවේ උසම කන්ද වන කිලිමන්ජාරෝ (MT Kilimanjoro - 19360ft) මා තරණය කළේ 1983 වසරේ වන ජීවී කළමනාකරණ විද්‍යාලයේ සිසුන් සමගය. සිංහයින් පිළිබඳව තොරතුරු නිරීක්ෂණය කළේ විවිධ ජාතික උද්‍යාන තුළ සංචාරය කිරීමේදීය.   


ලංකාවේ හිවලුන් හෙවත් නරි (Ceylon Black Backed Jackal) වෙසෙන්නේ රංචු වශයෙනි. රංචුවක සංඛ්‍යාව 12 ඉක්ම වන අවස්ථා ඇති අතර කඳුකරය ඇතුළු දිවයින පුරා උන් ව්‍යාප්තව සිටිත්. හිවලුන්ගේ ආයු කාලය වසර 12 සිට 15 දක්වාය. උන් යටත් වීම සන්නිවේදනය කරන්නේ කන්පෙති දෙක පහළට නමමින් දෙඇස් මඳක් විවර කිරීමෙනි. සතුරකු වෙත අවේගය සන්නිවේදනය කරන්නේ වලිගය ඉහළට ඔසවමින් දත් විලිස්සා ගෙරවීමෙනි. 

 

 


යාල විල්පත්තු වස්ගමුව ජාතික උද්‍යානවල සේවය කළ සමයේ දී කුළු මීරහකුන්ගේ සන්නිවේදනයන් ළඟින්ම නිරීක්ෂණය කළ හැකි විය. වනජීවී නිලධාරීන් ප්‍රධාන රාජකාරියක් හැටියට පා ගමනින් තම ප්‍රදේශය තුළ ඇවිද මුර සංචාරය (Foot Patrols) කළ යුතු වේ. ඒ හොර දඩයක්කාරයින්ට එරෙහිවය. එවන් අවස්ථාවල දී වනජීවී සේවකයින් අවදානම් හැටියට සිත් යොමු කරන්නේ අලි කොටි වලසුන් ගැන නොවේ. කුළු මීහරකුන් වෙතය. වනාන්තරයේ වෙසෙන වඩාත් අවදානම් සතුන් කුළු මී හරකුන්ය. කුළු මදයින් (Male Buffalo) දවස ගත කරන්නේ මඩ සහිත ජලාශවල ය. ඒ අසලින් යන මී වැස්සියන් රංචුවල රතියේ පසු වන (In Heat) ළමිස්සියන් ඉවෙන් සොයාගෙන ඇය බලෙන් ගෙන ගොස් ජලාශයේ රඳවා ගනී. එතැන් සිට ඇයට ගැලවිල්ලක් නැති අතර දින තුන හතරක් ගත වන තරු මදයාගේ රති මන දොළ සැපිරීමට ඇයට සිදු වේ.   


වන ජීවී නිලධාරීන් දකින මදයා ක්ෂණයකින් පාද හතරෙන් නැගිට ගෙන එක එල්ලේම ඔවුන් දෙස නෙත් යොමාගෙන සිට හිස ඉහළට පහළට හතර පස් වතාවක් වනයි. ඒ උගේ කේන්තිය සන්නිවේදනය කිරීමටය. ඒ වන විට වන ජීවී සේවකයින් දර්ශන පථයෙන් ඉවත් නොවුවහොත්, හිස පහත් කරගෙන අධික වේගයෙන් හඹා වුත් පහර දෙයි. කෙසේ වෙතත් ගල් ඔය ජාතික උද්‍යානයේ දී (වපසරිය හෙක්ටයාර් 25900) මා ලැබූ අත්දැකීම නම් ඉතා උස්හඬින් හඹා එන මදයාට මුහුණදෙමින් කෑ ගැසීමෙන් උන් නතර කළ හැකි බවය. ඒ සඳහා දැවැන්ත ශරීරයක් (සිරුරක්) සහ දැඩි ගොරෝසු කට හඬක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. නැතහොත් තුවක්කුවෙන් හෝ රයිපලයෙන් වෙඩි තබා හිස් කබල පසාරු කරමින් උණ්ඩ මොළයට යවමින් තුවාල සිදු කොට අවසන් කළ යුතුය. හරියාකාර සන්නිවේදනයකින් මෙල්ල කර ගැනීම මගේ සිරිත විය.   


බූන්දල ජාතික උද්‍යානය (වපසරිය 6216 හෙක්ටයාර්) විවිධ පක්ෂීන් නිරීක්ෂණය කිරීමට කදිම ජාතික උද්‍යානයකි. පක්ෂීන්ගේ සන්නිවේදන කිහිපයක් සඳහන් කරමි. මෙම උද්‍යානයේ දී මුහුදු කපුටන් (Black Headed Gull) එකිනෙකා අරගල කර ගන්නා ආකාරය මා නිරීක්ෂණය කොට තිබේ. එක් පක්ෂියෙන් තම පියාපත් යුගලය උස්සා අනිකා ඉදිරියට ගොස් ආවේගය විදහා දක්වයි. එවිට අනිත් පක්ෂියා බිම වැටී තිබෙන තණ පැළෑටි හොටයෙන් අල්ලා උගුලයි ගලවයි. ඒ යටත් වීමක් සන්නිවේදනය කිරීමටය.   


Oyster Catcher පක්ෂීන්ගේ අරගලයේ දී හදිසියේම එක් පක්ෂියකු තම බෙල්ල කරකවා හොටය (Beak) පියාපත් අස්සේ ගසාගෙන නිදා ගන්නා ආකාරයක් පෙන්වයි. එය ද යටත් වීම සන්නිවේදනයටය.   


මා අනුරාධපුර පළාත් භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ හැටියට සේවය කළ සමයේ කහල්ල පල්ලේකැලේ අභය භූමියේ (වපසරිය හෙක්ටයාර් 21690) වර්තමානයේ ජාතික උද්‍යානයකි. අලි ගැටුම් (Fights) වලින් මිය ගිය අලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ පශු වෛද්‍යවරුන්ගේ සහායට ගොස් සිටි අවස්ථාවල නිරික්ෂණය කළේ දවස පුරාම පසු නොබැස සටනේ යෙදී සිටි අලි සටන්වල අවසානය එකෙකු මිය යාමය. වරක් යාල උද්‍යානයේ ඌරනිය පිට්ටනියේ දැවැන්ත අලි දෙදෙනෙක් නොමේරූ ගැහැනු සතකු වට කරගෙන නෑම්බියට වනයට යාමට ඉඩ නොදෙමින් දවස පුරාම හිසෙන් පහර දුනි. අලි දෙදෙනාට අවශ්‍ය වූයේ උන්ගේ කාමාසාව සපුරාගැනීමටය. එහෙත් උන්ගේ කාමාසාව නෑම්බියට සන්නිවේදනය නොවුණි. සන්ධ්‍යාවේ හිරු බැස යාමට පෙර ඇය ජීවිතයෙන් සමුගති.