සිතුවම අන්තර්ජාලයෙනි

 

 

ස්ත්‍රිය වනාහි අතීතයේ සිටම සෞන්දර්යාත්මක රසකාමීන්ගේ රස නහර පුබුද වූ වස්තු විෂයයකි. එය පෘථග්ජන සාමාන්‍ය මනුෂ්‍යයාට පමණක් නොව රිසි රස දැනූ සාහිත්‍යකාමී භික්ෂූන්ට ද පොදු විය. සැළලිහිණි සංදේශ කාව්‍ය වාර්ණනාව විරචිත තොටගමුවේ ශ්‍රී රහල් හිමියන් සැළලිහිණියාගේ ගමන් මගේදී නෙත ගැටෙන ස්ත්‍රියන් අපූර්වතම උපමාවන් කැටිව වර්ණනා කර තිබේ. මෙම ලිපිය මගින් උත්සුකවනුයේ රජ ගෙදර කවටයා වූ අන්දරේ විසින් ස්ත්‍රීන් අරභයා කියන ලද වර්ණනාත්මක හිටිවන කාව්‍යයන් පිළිබඳ විමසුමක යෙදීමටය.   


අන්දරේ යනු කවරෙක්දැයි විමසූ කල ඔහු පිළිබඳව නොදන්නා අයෙකු නොමැති බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. මන්ද ඒ තරමටම අපගේ ජන සමාජය තුළ අන්දරේගේ චරිතය මුල්බැස ඇති බැවිනි. අපේ ජනශ්‍රැතියේ එන ජනකතා අතර අන්දරේ හා සැබැඳුණු කතා බොහොමයක් වේ.   


අන්දරේගේ උපන් ග්‍රාමය වන්නේ මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල බව එක් මතයකි. තවත් අදහසකට අනුව ඔහුගේ උපන් ග්‍රාමය වන්නේ මාතර දිස්ත්‍රික්කයේ දෙවුන්දර සමීපයේ පිහිටි කීරවැල්ලයි. කිරලවැල්ලේ ගුරුන්නාන්සේ නම්වූ ඔහුගේ පියා කුඩා කල අන්දරේට බුද්ධගජ්ජය උගන්වා ඇත. පසුව වැඩිදුර ඉගෙනගැනීම සඳහා ගැටමාන්න ප්‍රදේශයට යවා තිබේ. එහෙත් ඉගෙනීමට උපන්ගෙයි අලසයෙකු වූ හෙතෙම ඉන් පලාවිත් ඇත.   


ඔහුගේ වන මුඛරිභාවය හා හිටිවන කවි කීමේ හැකියාව නිසා ප්‍රදේශයේ කා අතරත් ඔහු ප්‍රචිලිත චරිතයක් වී තිබේ. ඔහුගේ නියම නාමය අන්දිරිස් සිල්වා වුවද හාස්‍යෝත්පාදක කතා සහ කවි කීමේ හැකියාව නිසා අන්දරේ යන නාමය පටබැඳී ඇති බව ජනප්‍රවාදිත මතයයි. අන්දරේ ජීවත්වූ අවධිය පිළිබඳව ද ඇත්තේ විවාදාත්මක අදහසකි. හෙතෙම කන්ද උඩරට රාජාධිරාජසිංහ රජුගේ හෝ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේදී රජ ගෙදර කටයුතු කළ බවට මත ඇත.   


අන්දරේ කන්ද උඩරට රජ මැදුරට පැමිණ ඇත්තේ රජුගේ නින්දට බාධා කරන ලද රජ මැදුර අසල පොකුණක සිටි මැඩියෙකු ඇල්ලීමටය. රාජ පුරුෂයන්ට හෝ පතළ දුනුවායන්ට හෝ දඩයක්කරුවන්ටද කළ නෙහැකි වූ ඒ කාර්යය කළ නිසාවෙන් අන්දරේට රජ ගෙදර නිත්‍ය සාමාජිකත්වය හිමිව තිබේ. සී පද කීමෙහි සහ හිටිවන කවි කීමෙහි මහත් සමතෙකු වූ අන්දරේ රූමත් ස්ත්‍රීන් දුටු තැන කාව්‍යාත්මක වර්ණනා කිරීමට පසුබට නොවිණි. මේ ඉන් බිඳකි.   


අන්දරේ කලක් තමන් ආදරය කරන ලද රූමත් තරුණියක තමන්ට නොලැබී යාම පිළිබඳව විරහවද කැටි කරමින් කවියකින් පවසා ඇත. එහිදී ඇයගේ වතට, බැල්මට, කේශ කලාපයට, ගෙලට, නළලට, නාසයට, ගමනට, කතා බහට යනාදී වශයෙන් ඔහු ඇලුම් කරන ලද ඇයගේ සෑම අංගයක් පිළිබඳවම මතුකර තිබේ.   


වතට ලවනතට නුඹ බලන බැල් මට   
වරලට ගෙලට නළලට නාසිකා වට   
ගමනට බසට නුඹ හට ලොබ කළ මෙ මට   
කුමකට කියමි නිදි නැත රැය තුන් ය මට   


 දිනක් අන්දරේ ගම්මැද්දේ ගමන් කරමින් සිටිනවිට දුහුල් රෙද්දක් ඇඳ දියෙහි කෙකටිය ඉදුරූ නාඹර ළඳක් දිටීය. අන්දරේ දුටු විට ඇය මඳ සිනහවක් පානා අතර මෙයින් කුල්මත් වූ ඔහු ඇයට ශෘංගාරාත්මක ආමන්ත්‍රණයක් කර ඇත. එනම් තවත් දියෙහි ගැඹුරට නොයන ලෙස හා එසේ ගැඹුරට යන විට ඇයගේ කුඩා පයෝධරද තෙමිය හැකි බවය.   


පතුල බැසා අල උදුරන කලට ලියේ   
මකුල සේම වත ඉහළට යාය ලියේ   
මුකුළු සිනා අප දැක කෝඩු කාරියේ   
කැකුළු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ   


 තරුණ අන්දරේගේ පළමු විවාහක භාර්යාව තරුණ අවදියේදීම අකාලයේ මියයන අතර මේ නිසා ඔහු මහත් සිත් තැවුලට පත්විය. රූ සිරියෙන් අග තැන්පත් ඇයගේ හදිසි මරණයත් සමග ශෝකයට පත් අන්දරේ ඇයගේ රූ සිරිය වර්ණනා කරමින් ඇයගේ මරණය පිළිබඳව මහබඹාට චෝදනා කරන ලදී. දිලිසෙන පටුවන් නළලත, සුරතල් ඇස් දෙක, පුංචි සුරංගනාවක් වැනි පෙනුම ඇයගේ රූ සපුවේ විචිත්‍රාංග ලෙස දක්වයි.   


පටුවන් නළල දිලිසෙන සුරතල් දි ගැසේ   
බටුවන් සුරඟනන් පරදින මැණික යසේ   
කෙටුවොත් බඹා පල නැති ලෙස මගේ හිසේ   
දුටුවොත් යම් දිනක මම කොටමි උගෙ හිසේ   


 අන්දරේගේ ස්ත්‍රී ලාලිත්‍ය වර්ණනා කවි බොහොමයක් ඔහුගේ චාරිකා අතරතුර දුටු ළඳුන් අරබයා කියන ලද ඒවා වේ. එම කාව්‍ය නිර්මාණ තුළ ස්ත්‍රී ශරීරාංග හා ලාලිත්‍ය වර්ණනා ශෘංගාරාත්මක ලෙස දැක්වීමට හෙතෙම කටයුතු කර තිබේ. දිනක් ගම්මැද්දෙන් ඇවිද යන අන්දරේ දුටුවේ නාඹර තරුණියක දොර පියන්පත් අතරින් ඔහු දෙස බලන බවයි. ඇය දුටු වහාම ඔහු ශෘංගාරාත්මක ආමන්ත්‍රණයක් සිදුකර ඇත.   


ඉහළ ගෙදර වී පැදුරේ පරෙයි යා   
පහළ ගෙදර වී පැදුරේ කොබෙයි යා   
ටිකිරි ලියක් දොර අස්සෙන් එබෙයි යා   
ටිකිරි නඟේ පියයුරු කයි කොබෙයි යා   


කාන්තාවන්ගේ රූ සපුව වර්ණනා කිරීමේදී අන්දරේ එයට කුල ගෝත්‍ර භේදයක් පදනම් කරගෙන නොමැත. ඔහු පවසන්නේ කතකට මනා රුවක් තිබේ නම් කුලය වැදගත් නොවන බවය.   


මහ මී කුඩා මී හිමයේ බොහොම ඇති   
කොයි කොයි මලෙත් මුත් බමරුන් රොන් ගනිති   
කොතන වුණත් හරි නෙද මැණික රුව ඇති   
රුව ඇත්නම් අඩු කුලයද කමක් නැති   


අන්දරේ තමන්ට ගමන් මගදී හමුවන රුවැති කාන්තාවන්ව කවියෙන් වර්ණනා කිරීමට පසුබට නොවන අතර මොහුගේ මෙම ක්‍රියාකලාපය දැන සිටි බිරිඳ වරක් චෝදනා නැගුවේ ඔහු අන්‍ය සියලුම ස්ත්‍රීන් උදෙසා වර්ණනා කවි කීවද තමන්ගේ රූ සපුව වර්ණනා නොකරන බවයි. මෙම චෝදනාව අසා සිටි අන්දරේ ඇයගේ රූ සපුව පිළිබඳව හාස්‍යොත්පාදනය වන ලෙස කවියෙන් වර්ණනා කර ඇත.   


ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා   
බඳ දෙස බැලිමි හෙරලිය වැන්න ආරනා   
තන දෙස බැලිමි වැටකොළු වැන්න එල්ලෙනා   
නුඹ දෙස බැලිමි වැඳිරිය වැන්න දලු කනා   


 මෙම කවිය ඇසීමත් සමග අන්දරේගේ භාර්යාව මහත් ලෙස කෝපයට පත්ව ඇති අතර එය දුටු අන්දරේ මුවට සිනහවක් ද නගමින් එම කවියම නැවත වෙනස් අයුරකින් ගායනා කර ඇත. මෙම කවිය ඇසීමත් සමග ඔහුගේ බිරිඳ මහත් ප්‍රීතියට පත්ව ඇත.   


ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා   
බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආරනා   
තන දෙස බැලිමි තැඹිලිය වැන්න දිලිසෙනා   
නුඹ දෙස බැලිමි සුරඟන වැන්න රුසිරෙනා   


 රජ මැදුරේ කවටකම් කරමින් හැසිරුණ අන්දරේ ඇතැම් අවස්ථාවල රජු හා රජ බිසවද උපහාසයට ලක්කරමින් කවි ගායානා කර තිබේ. දිනක් රජ කුමරිය කළයක් උකුළේ තබාගෙන රාජකීය උයනේ දිය කෙළියට යන විට අන්දරේගේ නෙත ගැටුණි. රජතුමා ඒ අසල නොසිටි බැවින් රජ බිසවට සරදමක් කළයුතු බව හැඟී අපූරු උපහාසාත්මක වර්ණනාවක් කර තිබේ.   


කට කැඩි කළේ දිය උකුලේ තබා ගෙන   
ලොට තන දෙකක් ගෙරි සමකින් වසා ගෙන   
තඹත් පිත්තලත් දෙවගේ පැලඳ ගෙන   
රොඩී කෙල්ල කොයි යනවද උදෑසන   


 මේ මහා උපහාසාත්මක කවිය ඇසීමෙන් මහත් සංවේගයට හා කෝපයට පත් කුමරිය වහා රජ මැදුරට දිවගොස් හඬමින් අන්දරේ තමන්ට පරිභව කරමින් කවි කී බව දැනුම්වත් කරන ලදී. ඇගේ හැඬීමත් සමග මහත් කෝපයට පත් රජු වහ වහා රාජ පුරුෂයන් යවා අන්දරේ අල්ලාගෙන එන ලදී. රජ මැදුරට අල්ලාගෙන එන ලද අන්දරේගෙන් රජ කුමරිය පැවසූ කරුණ පිළිබඳව විමසූ විට ඔහු පවසා සිටියේ එවැනි අපහාසාත්මක කවියක් නොකී බවය. අවශ්‍ය නම් එම අවස්ථාවේ පැවසූ කවිය නැවත කිව හැකි බවය. රජුගෙන් අවසරය ලද අන්දරේ පෙර කී කවියම වෙනස් අයුරකින් රාජ කුමරියගේ මුහුණට සිනහවක්ද නැගෙන පරිදි කියන ලදී.   


රන් කැටි කළේ දිය උකුළේ තබා ගෙන   
රන් කුඹු දෙකත් සළු පටකින් වසා ගෙන   
රිදී රත්තරන් දෙවගේ පැලඳ ගෙන   
මල්මද බිසව් කොයි යනවද උදෑසන   


දකුණු ලක උපන් අන්දරේ කන්ද උඩරට රජ මැදුරේ සේවය කළද වෙලාවක් ලැබුණු හැමවිටම තම ගම රට බලා ගොස් තිබේ. එසේ ගම් පියසට යන දිනෙක හම්බන්තොට මලල නම් ගම්මානයේදී වෙලක පලා නෙළමින් සිටින යුවතියක දකින ලදී. ඇයද හොරැහින් අන්දරේ දෙස බලන්ට වූවාය. ඇයගේ රූ සපුව දුටු අන්දරේ එය වර්ණනා කරමින් ඇයගේ පහස ලබන්නට ඇත්නම් කියා කාව්‍යාත්මකව ප්‍රකාශ කරන ලදී.   


පුල පුලා ඇවිත් බැස මලල ආරට   
හෙළ හෙළා බඳින වරලස පිට කරට   
බල බලා මදෙස මුවරඳ සිනාවට   
විල පලා නෙලන කත හොඳලු පහසට   


 මගතොටදී මුණගැසෙන ඕනෑම රූමත් ළඳකගේ රූප සොභාව වර්ණනා කිරීමට පසුබට නොවන අන්දරේ එසේ ස්ත්‍රී ලාලිත්‍ය වර්ණනා කරන ලද තවත් කාව්‍යයම අවස්ථා කිහිපයකි මෙය.   


රන් වන් එරන් වන් රන්වන් රන රුවට   
නිල් වන් වරල පීරාලා පිට දිගට   
රන් වන් වළලු අත දමමින් කළය වට   
සෙල්ලම් ගමනකින් යනවද ළිඳ ළඟට  
සඳක් මෙන් මුහුණ ඇගෙ රූසිරි සමන   
ළඳක් වෙන නොදුටුවෙමි මේ මුළු දෙරණ   
මොලොක් මට සිලිටු ගත ඔපලූ ලෙසින   
මලක් වැනි ළපටි රතු පාටින සොබන  
සවන පිනවන ළඳ බොළඳ සුමිරිය   
බඳින සිතු බඳේ ඈ වෙත වී පිරිය   
කුමන ලෙස මැවීදෝ සුරඟන සරිය   
වචන නැත කියන්නට ඇගෙ රූ සිරිය   


 මෙයට සියවස් කිහිපයකට පෙර ජීවත්වූ අන්දරේ සාමන්‍ය පවුලක උපත ලැබ හාස්‍යොත්පාදක හැකියාව නිසාම රජ මැදුරට යාමේ වාසනා මහිමය ලැබීය. පෙර අපරදිග කවියන්ගේ සේම අන්දරේගේ කාව්‍යයම වස්තු බීජයන් අතර බොහෝවිට දක්නට ලැබුණේ ස්ත්‍රී අලංකාරයයි. සාමාන්‍ය කුල කාන්තාවගේ සිට රජ බිසව දක්වාම එක ලෙස වර්ණනාවට හා උපහාසයට ලක්කරන ලද හෙතෙම එක් විටක සමානාත්මතා ගුණයෙන් යුතු පුරුෂයෙක් බව පසක් කළ යුතුය.   


නිසි අධ්‍යාපනයක් නොලැබුවද ස්ත්‍රී ලාලිත්‍ය වර්ණනාවේදී අපූර්වතම උපමා භාවිත කරමින් අවස්ථානුකූලව පද ගැළපීමට හෙතෙම සමත් වී ඇත. මෙම අපූර්වතම හැකියාව හා ඔහුගේ චරිතයෙහි වන විකට හැසිරීම් නිසාවෙන් අදද එවන් විහිළු කරන පුද්ගලයෙකු දටුවිට අන්දරේ වගේ යැයි පැවසීමට තරම් අන්දරේ යන චරිතය මෙරට ජන සමාජයට මුල් බැසගෙන ඇති බව පැවසීම යුක්ති සහගතය. එම නිසාවෙන් මෙරට ජනශ්‍රැතියේ එන බොහෝ හාස්‍යෝත්පාදක කතාන්දරයන්හි මූලිකයා අන්දරේ වෙයි.   

 


කේ. උදේනි අරුණසිරි   
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව   
රත්නපුර