ඉතිහාසය වෙනස් කළ රහසිගත මොසාඩ් මෙහෙයුම්

 

 

මොසාඩ් ඒජන්තවරයෙකුවීමට මහත් අපේක්ෂාවෙන් සිටියෙකි, සියෙව් අව්නි. 1956 අප්‍රේල් මාසයේ එක් වැහි දිනක ඔහු මොසාඩ් මූලස්ථානය වෙත ගියේ මොසාඩ් ඒජන්තවරයෙකු වී ආපසු පැමිණෙන්නට හැකි වේවා යන ප්‍රාර්ථනාවෙනි. ඔහුගේ ජීවිතයේ වැදගත්ම ඉලක්කය වූයේ මොසාඩ් සංවිධානයට එකතු වීමයි.   


ලැට්වියාවේ රිගා හි වොල්ෆ් ගෝල්ඩ්ස්ටින් යනුවෙන් උපත ලැබූ ඔහු හැදී වැඩුණේ ස්විට්සර්ලන්තයේය. ස්විස් හමුදාවට බැඳී දෙවන ලෝක යුද සමයේ යුධ වැදුණු ඔහු 1948දී ඊශ්‍රායලයට සංක්‍රමණය විය. ඒ සමඟ සිය නම ද හීබෲ නමක් වන සියෙව් අව්නි යනුවෙන් වෙනස් කරගත්තේය. කෘෂිකර්මය මූලික කරගත් පොකුරු ජනාවාසයක් වූ කිබුට්ස් හසරියාහි වැඩ කරමින් වසර කිහිපයක් ජීවත් වූ අව්නි පසුව විදේශ කටයුතු අමාත්‍යංශයට බැඳුණායින් පසුව බ්‍රසල්ස් වෙත පිටත් කර හැරිණි. ප්‍රසන්න පෙනුමද, ගති පැවතුම්ද, භාෂා කිහිපයක්ම හැසිරවීමේ දක්ෂයෙකු වීමද හැරුණු විට භාර දෙන ලද ඕනෑම කාර්යයක් නිසි ලෙස ඉටු කිරීමට දැක් වූ සමත්කම ද හේතුවෙන් ඔහු ඉතා ඉක්මනින්ම උසස් නිලධාරීන්ගේ සිත් දිනාගත්තේය. මොසාඩ් සංවිධානය හා සබැඳි කටයුතුවලදී ඔහුගේ උනන්දුව කැපී පෙනිණි. 


යුරෝපයේ කිසියම් රටක වේවා, නගරයක වේවා මොසාඩ් රහස් ඔත්තුකරුවෙකුට කිසියම් ලේඛනයක් රහසේ භාර දීමට ඇතිවිට, එසේත් නැතිනම් වෙනත් නගරයකට හදිසි සංචාරයක් කරන්නට අවශ්‍ය වූ සෑම විටකම සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ පළමුවැනියා වූයේ ඔහුයි. 


මොසාඩ් සංවිධානයත් සමඟ පැවැත් වූ නිරන්තර ගනුදෙනු නිසා ඔහු යුරෝපයේ මොසාඩ් සංවිධානයේ ඒජන්තවරයෙකු බවට පත් විය. යුගෝස්ලාවියාවේ බෙල්ග්‍රේඩ්හි ඊශ්‍රායල තානාපති කාර්යාලයට ලැබුණු මාරුවෙන් පසු ඒ සබඳතා තවදුරටත් ශක්තිමත් විය. 


මොසාඩ් නායක රැම්සාඩ් වූ ඉස්සේර් හැරල් වෙත ලිපි කිහිපයක්ම එවමින් බෙල්ග්‍රේඩයේ මොසාඩ් ශාඛාවක් පිහිටුවන්නැයි ඔහු කිහිප විටක්ම ඉල්ලා සිටියත් එයට අනුමැතියක් නොලැබිණි. බෙල්ග්‍රේඩයට මොසාඩ් ශාඛාවක් අනවශ්‍ය බව ඔවුන් කියා සිටියද අව්නි තම උත්සාහය අත්නෑරීය. 1956 අප්‍රේල් මාසයේදී ඊශ්‍රායලයට පුද්ගලික සංචාරයක පැමිණි ඔහු රැම්සාඩ් නායකයා මුණගැසීමට ඉල්ලීමක් කළේය. ඉල්ලීමට අවසර ලැබුණු අතර පළමුවරට මොසාඩ් නායකයා මුණගැසෙන අවස්ථාව උදා විය. 


ටෙල් අවිව්හි ජර්මානු කොලනියක පිහිටි පැරණි නිවසක පවත්වාගෙන ගිය හැරෙල්ගේ කාර්යාලයට ඔහු ගියේ දැඩි නොසන්සුන් හා කැලඹිලි ගතියකිනි. නායකත්වයට පත්ව වසර හතරකටත් අඩු කාලයක් තුළ නමක් ගොඩනගාගෙන සිටි නායකයෙකු වූ හැරල් ශක්තිවන්තයෙකු විය. මිනිස්සු ඔහුට ගරු කළ අතරම බියක් ද දැක්වූහ. පොඩි ඉස්සෙර් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ ඔහු ගැන එහෙන් මෙහෙන් ආරංචි වූ කතා ද අව්නි දැන සිටියේය. එම කතාවලට අනුව ඔහු මුරණ්ඩු, දැඩි හා කෙටි කතා විලාසයක් හා අපූරු සහජ ඉවක් ඇත්තෙකි. එම චරිත ලක්ෂණ නිසා ඉස්සේර් මුණගැසීම කෙරෙහි ඔහු යම් බියකින්ද පසු විය. 


නූස් හා සිහින් සිරුරකින් යුතු, කාකි ඇඳුමකින් සැරසී සිටි පොඩි ඉස්සේර්ගෙන් අව්නිට ලැබුණේ අනුග්‍රහශීලී පිළිගැනීමකි. අව්නිගේ හැසිරීම, පෙනුම, දේශපාලනය පිළිබඳ ප්‍රායෝගික දැනුම නිසා තමා ඔහු අගය කරන බව ඉස්සේර් පිළිගත්තේය. එනමුත් ඔහුට අත්‍යවශ්‍ය වූ කරුණ නම්, ඒ අවස්ථාවේ අව්නි ඊශ්‍රායලයට පැමිණ සිටියේ කුමන හේතුවක් නිසාදැයි දැනගැනීමයි. පළමු විවාහයේ දියණිය ඈ බලන්නට එන ලෙස කළ ඉල්ලීම නිසා පැමිණි බව අව්නිගේ පැහැදිලි කිරීම විය. 


“ඔබේ දුවගේ වයස කීයද?” ඉස්සේර් ඇසුවේ සිනාසෙමිනි. 


“අටයි.” 


“අටයි?” ඉස්සේර් මහත් පුදුමයට පත් වූ බවක් පෙන්වීය. 


කුඩා දැරියක තමා බලන්නට එන මෙන් කළ ඉල්ලීමක් නිසා අව්නි වැනි තානාපති සේවයේ යෙදී සිටින නිලධාරියෙකු විදේශයක සිට හදිසියේ මෙසේ පැමිණෙන්නේ යැයි පිළිගැනීමට අදිමදි කළ බව පෙන්වීය. පළමු විවාහයේ බිරිඳ හා දරුවා ගැනත්, වත්මන් විවාහයේ බිරිඳ ගැනත් විස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්නට අව්නිට සිදු විය. එවර ඉස්සේර් කෝපයට පත් වූ බවක් පෙන්වා කතාව කෙටියෙන් අවසන් කළ අතර බෙල්ග්‍රේඩ්හි මොසාඩ් ශාඛාවක් පිහිටුවන්නේ නැතැයි ද කියා සිටියේය. අව්නි යුගෝස්ලාවියාවේ වැඩ කටයුතු අවසන් කළ පසු ඔහු මුණගැසීමට බලාපොරොත්තු වෙන බවත් දැන්වීය. 


කෙසේවෙතත්, අව්නි එරටින් පිටව යාමට පෙර, දින කිහිපයකට පසුව යළිත් ඔහුව මුණ ගැසීමට තමා කැමති බව ඉස්සේර් දන්වා සිටියේය. 


“නමුත් මේ ගොඩනැගිල්ලේ නොවෙයි. මගේ රහසිගත කාර්යාලයේ. මෙතැනට මිනිස්සු එනවා යනවා වැඩියි. මගේ රියැදුරු ඔබව එතැනට ගෙන ඒවි.” 
බලාපොරොත්තුවක සේයාවක් අව්නිගේ සිතේ හටගති. තමාව යළිත් මුණගැසෙන්නට අවශ්‍ය බව කියන්නේ අවස්ථාවක් දීමට යැයි ඔහුට සිතුවිල්ලක් ඇති විය. 
ඉන් දින කිහිපයකට පසුව මධ්‍යම ටෙල් අවිව්හි අතිශය සාමාන්‍ය නිවාස සංකීර්ණයක් වෙත ඔහු ගෙනයනු ලැබිණි. පසුගිය වතාවේ මුණගැසීම මිත්‍රශීලී එකක් වූ බැවින් බිය වීමට ඔහුට කිසි හේතුවක් නොවීය. 


ඩෙස්ක් එකක් හා පුටු කිහිපයක් තිබුණු, වැසුණු කවුළු සහිත විශාල කාමරයකට ඔහු කැඳවනු ලැබිණි. අව්නි අසුන්ගන්නා තුරු බලා සිටි ඉස්සේර් එක්වරම කුලප්පු වූ මීහරකකුගේ විලාසයෙන් කඩා පැන්නේ අත මිට මොළවා මේසයටද පහර දෙමිනි. 


“නුඹ සෝවියට් ඔත්තුකරුවෙක්. ඒ බව පිළිගනින්...පිළිගනින්...නුඹව එවුවේ රුසියානුවෝ. මම දන්නවා නුඹ ඔත්තුකාරයෙක්. පාපොච්චාරණය කරපන්... කරපන් ....කරපන්...” මේසයට පහරදීමද, තර්ජනයද නොනවත්වා සිදු විය. 


අකුණුසැරයක් වැදුණාක් මෙන් කම්පනයට පත්වුණු ඔහු නිරුත්තර විය. 


“පාපොච්චාරණය කරපන්. මට ඇත්ත කිවුවොත් උඹට ගැලවීමක් ලැබෙයි...නැත්නම් ...” 


මේ වන විට අව්නිගේ හදගැස්ම වේගවත්ව තිබුණු අතර සිරුර සීතල වී, දිවෙහි ඊයම් බරුවක් එල්ලා ඇති ආකාරයක් දැනෙමින් පැවතිණි. තමාගේ අවසන් මොහොත එළඹෙමින් පවතින බවත්, ඉතා ඉක්මනින් ඉස්සේර් තමා මරා දමන බවත් ඔහුට හැඟෙන්නට විය. 


අවසානයේ යන්තම් වචන කිහිපයක් ගැට ගසා ගැනීමට දිරිය උපදවා ගත්තේ, මෙසේ පැවසීය. 


“මම පාපොච්චාරණය කරනවා...මම වැඩ කරන්නේ රුසියානුවන්ට” ඔහු මිමිණීය. 


නිහඬවම වැසුණු දොරක් වෙත ළඟා වූ ඉස්සේර් එය විවර කළ අතර ඔහුගේ හොඳම නියෝජිතයන් දෙදෙනෙක් සහ පොලිස් නිලධාරියෙක් කාමරයට ඇතුළු වූහ. තත්පරයකින් ඔහු මොසාඩ් අත්අඩංගුවට පත් වූ අතර ප්‍රශ්න කිරීම් සඳහා ඉවතට ගෙන යන ලදී. 


ඉන්පසු පියවරෙන් පියවර ඔහුගේ සත්‍යය හෙළිදරව් විය. අව්නි සිය අනන්‍යතාවත්, සැබෑ අරමුණත් පිළිබඳව හෙළි කළේය. තරුණ කාලයේදීම කැපවුණු කොමියුනිස්ට්වාදියෙකු බවට පත්ව සිටි ඔහු රතු හමුදාවේ රහස් ඔත්තු සේවයට බැඳී සිටියේ ස්විට්සර්ලන්තයේ සිටින කාලයේ සිටමය. දෙවන ලෝක යුද සමයේදී සෝවියට් සංගමය වෙනුවෙන් ඔත්තු බැලීමේ යෙදුණේය. ඉන්පසු ඊශ්‍රායලයට සංක්‍රමණය වී උපදෙස් ලැබෙන තුරු රැඳී සිටින්නට අණ ලැබිණි. රුසියානුවෝ ඔහු දිගුකාලීනව වැදගත් ඔත්තුකරුවෙකු ලෙස සැලකූහ. 
මොස්කව් වෙතින් පණිවිඩයක් ලැබෙන තුරු ඔහු බලා සිටියද, වඩා උපක්‍රමශීලී වූ රුසියානුවන් ඔහුව බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයට මාරු කරන තෙක් ඉවසීමෙන් බලා සිටියහ. ඒ අතරවාරයේ අව්නි බෙල්ජියමේ ආයුධ කර්මාන්තය හා ඊශ්‍රායලය අතර සිදු වූ ගනුදෙනු පිළිබඳ තොරතුරු, ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශයේ රහස් කේත පමණක් නොව ඊශ්‍රායලය වෙනුවෙන් ඊජිප්තුවේ සිට ඔත්තු බැලීමේ යෙදෙන හිටපු නාසි සෙබළු දෙදෙනෙකු පිළිබඳව ද හෙළිදරව් කළේය. 


ඔවුන් එතැනින්ද නොනැවතී ඔහු මොසාඩයට සම්බන්ධ වෙනු දැකීමටද අවශ්‍ය විය. ඉස්සේර් විසින් අල්ලාගන්නා තුරු ඔහු කරන්නට උත්සාහ ගනිමින් සිටියේ එයයි. 
අව්නි බියපත්ව පාපොච්චාරණය නොකළේ නම්, ඉස්සේර්ගේ උගුලෙන් ගැලවී නිදහස් මිනිසෙකු ලෙස පිටතට යන්නට හැකිව තිබිණි. මන්ද, ඔහු ඔත්තුකරුවෙකු බවට කිසිදු ආරංචියක් හෝ සාක්ෂියක් ඉස්සේර් වෙත නොතිබිණි. ඉස්සේර් ක්‍රියාත්මක වූයේ හුදු සැකයක් අනුවය. අව්නිගේ කොමියුනිස්ට්වාදී මත නිසා ඔහු කිබුට්ස් ජනාවාසයෙන් නෙරපා හරින ලද බව කලකට පෙර කිසිවෙකු ඉස්සේර්ට කියා තිබිණි. එහෙත් ඔහු සෝවියට් ඔත්තුකරුවෙකු බව සිතන්නට ඒ කරුණ කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය. 
මොසාඩ් නායකයා ක්‍රියාකර තිබුණේ ඔහුගේ සහජ ඉව අනුවය. මොසාඩ් සංවිධානයට බැඳෙන්නට ඔහුට තිබුණු වුවමනාව, දියණිය බැලීමට යැයි කියා හදිසියේ පැමිණි ගමන, බෙල්ග්‍රේඩයේ මොසාඩ් ශාඛාවක් පිහිටුවීමට තමා පොළඹවා ගැනීමට උත්සාහ ගත් අයුරු ආදී සියල්ලම තම තියුණු බුද්ධියෙන් විශ්ලේෂණය කළ ඉස්සේර් එක් අවසන් නිගමනයකට පැමිණියේය. ඒ, අව්නි රහස් ඔත්තුකරුවෙකු හෝ ද්‍රෝහියෙකු විය හැකි බවය. 


අව්නි සම්පූර්ණ සත්‍යය පාපොච්චාරණය කළ අතර වසර 14කට සිපිරිගෙට නියම විය. එහෙත් වසර නවයකින් පසුව ඔහු නිදහස ලැබීය. ඉස්සේර්ගේ චරිතාපදානය සැකසූ ලේඛකයාට ඔහු කියා තිබුණේ ඊශ්‍රායලයෙන් අල්ලාගත් දරුණුම ඔත්තුකරු අව්නි බවය. උසස් පොලිස් නිලධාරීන් හා ඇමරිකානු එෆ්.බී.අයි සංවිධානයට සමාන ඊජිප්තු සංවිධානය වන ෂබාක් හි නිලධාරීන් පවා කාලයක් තිස්සේ ඔහුගේ මිතුරන් බවට පත් වූ   බව ද අව්නි හෙළිදරව් කළේය. එනමුත් ඉස්සේර් අව්නිගේ ගති පැවතුම් පිළිබඳව වර්ණනා කර සිටියේ ඔහු මහත්මා ඔත්තුකරුවෙකු බව කියමිනි. 


පිග්මැලියන් මෙහෙයුම යනුවෙන් හැඳින් වූ අව්නි අල්ලාගැනීම එතෙක් මෙතෙක් කල් මොසාඩය විසින් දැඩිව ආරක්ෂා කරන ලද රහසක් විය. නමුත් ඉස්සේර් පිළිබඳව දන්නා අයට, මෙය ඔහුගේ විස්මය සහගත සහජ ඉව පිළිබඳව ඔප්පු වූ තවත් සිදුවීමක් විය. 


වැඩිපුර කතා නොකරන, ලැජ්ජාශීලී මෙන්ම ඉතා මුරණ්ඩු චරිතයක් වූ ඉස්සේර් උපත ලද්දේ පැරණි රුසියානු බලකොටු නගරයකය. අවුරුදු 18 දී ඊශ්‍රායලයට සංක්‍රමණය වී කිබුට්ස් ෂෙහායර්හි පදිංචි වූ පසුව එහිදී හමු වූ රිව්කා නමැත්තිය විවාහ කරගත් අතර දෙවන ලෝක යුද සමයේදී හැගානාවට එකතු වී සේවය කළේ, නොබෝ කලකින්ම ද්‍රෝහීන් සහ විප්ලවකාරීන් නියාමනය කෙරුණු ෂායි යුදෙව් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බවට පත් විය. ලොකු ඉස්සේර්ගේ මරණයෙන් පසුව අභ්‍යන්තර ආරක්ෂක සංවිධානයක් වූ ෂාබාක් හි ප්‍රධානියා වූයේද ඔහුයි. 


1954 දෙසැම්බර් මාසයේදී එක් දවසක බඩු ප්‍රවාහන ගුවන් යානයක් නැගෙනහිර මධ්‍යධරණි මුහුදට ඉහළින් පියාසර කරන්නට විය. වට කිහිපයක් පියාසර කර අවට මුහුද හොඳින් නිරීක්ෂණය කර, වෙනත් යාත්‍රා කිසිවක් නොමැති බව සැක හැර දැනගත් පසු එහි නියමුවා පිටුපස දොරක් විවර කර, යම් කිසි විශාල වස්තුවක් මුහුදට මුදා හැරියේය. ඒ වස්තුව, මළ සිරුරකි. 


ගුවන් යානය ආපසු පැමිණි දෙසටම ගමන් කර, පැයකට පසුව ඊශ්‍රායලයේදී ගොඩ බස්වන ලදී. ඉන්ජිනියර් මෙහෙයුම යන ව්‍යාජ නාමයෙන් හඳුන්වන, වසර 50කටත් වැඩි කාලයක් අතිශය රහසිගතව පවත්වාගෙන ගිය මෙහෙයුමක අවසානය එයින් සනිටුහන් විය. 


බල්ගේරියාවේ යුදෙව් පවුලක සහෝදරයෝ තිදෙනෙක් 1949දී හයිෆාවට පැමිණියහ. ඔවුනතරින් වැඩිමහලු තැනැත්තා වූ ඇලෙක්සැන්ඩර් ඊශ්‍රායල් සිය ඉන්ජිනේරු පාසලෙන් ඉවත්වූවා පමණි. පසුව හමුදාවට එකතු වූ ඔහු කැප්ටන් තනතුරක් ලැබ, නාවික හමුදාවට මාරුවීමක් ලැබීය. කපිතාන් ඊශ්‍රායල් කඩවසම් හා ඉතා ආකර්ෂණීය තරුණයෙකු විය. ඉහළ නිලධාරීන් විසින් මහත් ලෙස අගය කරනු ලැබූ ඔහු විද්‍යුත් යුද ක්‍රම පිළිබඳ පර්​ෙ‌‌ය්ෂණ හා නව ආයුධ වැඩිදියුණු කිරීමේ අතිශය රහසිගත ව්‍යාපෘති භාරව සිටියේය. 
ඒ හේතුවෙන් අධි ආරක්ෂාව යටතේ පැවති ලිපිගොනු ඇතුළු තීරණාත්මක තොරතුරු රැසක් වෙත ප්‍රවේශ වීමේ අවසරය ඔහු සතු විය. ඒද යොදා ගනිමින් ඔහු සිය නම හීබෲ නමක් වන ඇව්නර් යනුවෙන් වෙනස් කරගෙන, 1953දී සුන්දර හා ළාබාල තුර්කි යුවතියක හා විවාහ විය. ඊශ්‍රායලයේ ප්‍රධාන නාවික මූලස්ථානයට ආසන්නයේ, හයිෆා හි ඔවුහු පදිංචි වූහ. මැටිල්ඩා සිය ආකර්ෂණීය සැමියා සමඟ පෙමින් වෙළී සිටියද, ඔහුගේ චරිතයේ අසුන්දර පැත්ත පිළිබඳව කිසිවක්ම දැන සිටියේ නැත. 


ඔහුට දිගු හා වර්ණවත් පොලිස් වාර්තාවක් තිබූ බවක් ඇය දැන නොසිටියාය. ශීතකරණ අලෙවි කරන සමාගමක මූලික ගාස්තු එකතු කරන්නෙකු වශයෙන් පෙනී සිටි ඔහු එකවිට කිහිප දෙනෙකුට එකම ගොඩනැගිල්ලක් කුලියට දී වංචා කිරීම හා තවත් එවැනි වංචාවලට චෝදනා ලැබ සිටියේය. මෙයින් එක් සිද්ධියක් උසාවිය දක්වා දුරදිග ගිය අතර එහි නඩු වාරය 1954 නොවැම්බර් 8 වැනිදාට යෙදී තිබිණි. ඒ වන විට ගැබිනියකව සිටි ඔහුගේ බිරිඳ මැටිල්ඩා එම නඩු පිළිබඳව හෝ, හයිෆා හි ඉතාලියානු තානාපති කාර්යාලයේ සේවය කළ සුන්දර යුවතියක සමඟ පැවැත් වූ ආදර සම්බන්ධය ගැන හෝ දැන සිටියේ නැත. 


සම්බන්ධයක් පැවැත්වීමෙන් නතර නොවී, ඔහු ඇයට විවාහ යෝජනාවක්ද කර තිබිණි. කතෝලික බැතිමතියක වූ ඇය, ඔහු කතෝලික ආගම වැළඳගත යුතුය යන කොන්දේසිය මත ඔහුගේ යෝජනාවට එකඟ වූවාය. ඇව්නර් තරුණයාට එය යන්තමින් හෝ ගැටලුවක් වූයේ නැත. මන්ද ඔහු ඊට පෙර බල්ගේරියාවේදී ඔහු අතින් අනාථ වූ තරුණියක විවාහ කරගත යුතුය යන තර්ජන ඇගේ පවුලෙන් පැමිණීමත් සමඟ ක්‍රිස්තියානි ආගමට හැරී ඇය හා විවාහ වී සිටියේය. විවාහයෙන් අනතුරුව ඔහු පළමුව කළේ බිරිඳ අතහැර සොෆියා නගරයෙන් පලා යාමයි. ඒ බව දැනගත් කාන්තාව සිය දිවි හානිකරගත්තාය. ඉන්පසු නැවත වරක් සොෆියා නගරය වෙත ගිය ඔහු යුදෙව් ආගම වැළඳ ගත්තේය. ඔහු එසේ වෙනත් ආගමකට හැරුණේ දෙවැනි වරටයි. 


ආදරවන්තිය සමඟ ජෙරුසලමට යාමෙන් පසුව ටෙරා සැන්ටා කන්‍යාරාමයේදී බෞතීස්මය ලැබූ ඇව්නාර්, අයිවර් යනුවෙන් නම ද වෙනස් කරගත්තේය. පල්ලියෙන් දෙනු ලැබූ ලිපිලේඛන භාවිත කරමින් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචි වූ අතර ඇලෙක්සැන්ඩර් අයිවර් යන නමින් විදෙස් ගමන් බලපත්‍රයක්ද ලබා ගත්තේය. 


අයිවර් සහ ඔහුගේ ඉතාලියානු පෙම්වතිය 1954 නොවැම්බර් 7 වැනිදා විවාහ වන්නට තීරණයක් ගත්හ. හයිෆාවේ නඩු වාරය වැටී තිබුණේ නොවැම්බර් 8 වැනිදාටයි. ඇව්නර් ඊශ්‍රායල් නොහොත් ඇලෙක්සැන්ඩර් අයිවර්ට මේ කැපවීම් කිසිවකට ගරු කිරීමේ සිතක් නොවීය. නඩු වාරයට පෙර අතුරුදන් වීමට කාලය එළැඹ තිබිණි. 


ඔහු ඔක්තෝබර් මස අවසානයේ සති දෙකක නිවාඩුවක් ගන්නේ ඒ අනුවය. කැප්ටන් ඊශ්‍රායල්ට රටින් පිටවීමට වීසා නොතිබුණු නමුත් රටින් පිටවීමේ අවසරයද, සත්‍ය මෙන්ම ව්‍යාජ ලේඛන රැසක්ද ඇලෙක්සැන්ඩර් අයිවර්ගේ නමට තිබිණි. රෝමයට ගුවන් ටිකට්පතක් මිලදී ගත් ඔහු නොවැම්බර් 4 වැනිදා රටින් පිට විය. ඒ පිටත්වීම පිළිබඳව ඔහුගේ බිරිඳ හෝ ඉතාලි පෙම්වතිය හෝ දැන සිටියේ ද නැත. 


විවාහ වීමට දින කිහිපයකට පෙර පෙම්වතා අතුරුදන් වීම නිසා ඉතාලි තරුණිය නොසන්සුන් වූවා, ඔහු සොයා ඇවිද්දාය. එයින් ඵලක් නොවූ තැන හයිෆා පොලිසියට ගියේ ඔවුන්ගේ උපකාරයෙන් ඇව්නාර්ගේ නිවසේ ලිපිනය සොයා ගියේය. ඇගේ විස්මයට හේතු වූ පරිදි, ඇයට එහිදී මුණගැසුණේ පෙම්වතා නොව, සත්මස් ගැබිනියකව සිටි පෙම්වතාගේ බිරිඳයි. 


රෝමයේදී ඇව්නාර් ඊශ්‍රායල් අතුරුදන් වී ගියත්, ඉතාලියේ සිටි අරාබි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව සමඟ හිතවත්කම් පැවැත් වූ මොසාඩ් නියෝජිතයෙකු සිටි බැවින් ඔහු ගැන ඉක්මනින්ම වාර්තාවක් ලැබිණි. නොවැම්බර් 17 වැනිදා ටෙල් අවිව් හි මොසාඩ් මූලස්ථානයට එවුණු කේබල් පණිවිඩයකින් කියැවුණේ ඇලෙක්සැන්ඩර් අයිවර්, අයිවන් හෝ අයිවි නමැති ඊශ්‍රායල නිලධාරියෙක් ඉතාලියේ සිටින බවත්, ඔහු ඊජිප්තු හමුදා රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට හමුදා තොරතුරු විකිණීමට යන බවත්ය. 


රැම්සාඩ් හා ෂබාක් හි නව ප්‍රධානියා වූ අමොස් මේනර් යන දෙදෙනා එකතු වී මේ පිළිබඳව සොයන්නට පටන් ගත්හ. දින කිහිපයක් තුළ ඔහුගේ සැබෑ අනන්‍යතාව හෙළි වූ අතර ඔහු ඊශ්‍රායල නාවික නිලධාරියෙකු බව දැන ගැනීමත් සමඟ ඔවුන් නොසන්සුන් වූහ. රෝමයෙන් පැමිණි තවත් පණිවිඩයක් නිසා ඔවුන්ගේ හිස ගිනිගත්තේ මෙම අයිවර් ඊශ්‍රායලයේ විශාල නාවික මූලස්ථානයක් ගැන තොරතුරු හෙළි කර ඇති බවත්, ඒ සඳහා ඔහුට ඩොලර් 1500ක් ගෙවා ඇති බවත් දැන ගත් පසුය. ඔහු ඊජිප්තුවන්ට තවත් තොරතුරු දෙන්නට පොරොන්දු වී ඇති බවත්, ඊජිප්තුවට සංචාරයක් කරන්නට එකඟ වී සිටි බවත් හෙළි විය. 


ඉන් දින කිහිපයකට පසුව පැමිණි තවත් පණිවිඩයකින් කියැවුණේ ඊජිප්තු තානාපති කාර්යාලය නොවැම්බර් අග භාගයේදී ඊජිප්තුවේ කයිරෝ නගරයට ගුවන් ටිකට්පත් දෙකක් වෙන් කර ඇති බවයි. එයින් එක් අයෙක් ඊශ්‍රායල නිලධාරියෙකි. විදෙස් රටක හමුදා සේවයේ නිරත රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වෙත තොරතුරු මූලාශ්‍රයක් තොරතුරු ලබාදීමත්, එම තැනැත්තාගේ රටේ අගනුවරදී විශේෂඥයන් විසින් ඔහුව ප්‍රශ්න කරනු ලැබීමත් අතර විශාල වෙනසක් ඇත. මන්ද විශේෂඥයන් විසින් ප්‍රශ්න කිරීමේදී වඩා වැදගත් හා අනතුරුදායක තොරතුරු සතුරන් අතට යන්නට පුළුවන. ඒ නිසා කුමන කැපවීමක් කිරීමෙන් හෝ ඊශ්‍රායල් කපිතාන් කයිරෝ වෙත යෑම වැළැක්වීමට ඉස්සේර් තරයේ අදිටන් කළේය. 


එබැවින් ඔහුගේ කණ්ඩායම රෝමය වෙත යවන්නට ඔහු තීරණය කළේය. මොසාඩ් සංවිධානය හැදීගෙන ආ ඒ වකවානුවේ ඔවුනට වෙනම මෙහෙයුම් දෙපාර්තමේන්තුවක් නොතිබුණු බැවින් ඒ සඳහා යොදවාගන්නට වූයේ ෂාබාක් හි මෙහෙයුම් දෙපාර්තමේන්තුවයි. එහි අණ දෙන නිලධාරියා වූයේ ඊශ්‍රායලයේ සිටි හොඳම නිලධාරියෙකු වූ රාෆි අයිටන්ය. 


කිබුට්ස් ජනාවාසයක උපත ලද ඔහු නූස්, තරබාරු හා නිතර සතුටින් සිටින නමුත් නිර්භීත හා නිර්මාණශීලී තැනැත්තෙකි. හැගානාවෙහි සිටි හොඳම සටන්කරුවෙකු වූ ඔහු බ්‍රිතාන්‍ය නීති රීති හමුවේ පවා පලස්තීනයට යුදෙව්වන් පැට වූ මෙහෙයුමටද සම්බන්ධව සිටියේය. අබලන් වූ බෝට්ටුවලින් යුරෝපයෙන් පලා විත්, බ්‍රිතාන්‍ය යුද බෝට්ටු ගැවසෙන පලස්තීන වෙරළෙන් රහසිගතව ඔවුන් ගෙනයාම සුළුපටු කටයුත්තක් නොවේ. ඔහුගේ ප්‍රසිද්ධම වීරක්‍රියාව වූයේ පලායන යුදෙව් බෝට්ටු ගැන ඔත්තු බැලිය හැකි හයිෆා ආසන්නයේ කාර්මෙල් කන්දේ සවිකර තිබූ රේඩාර් පද්ධතිය පුපුරවා හැරීමයි. එම රේඩාර් පද්ධතිය වෙත යාම සඳහා අප්‍රමාණ අසූචි නළ දිගේ ගමන් කරන්නට ඔහුට සිදු විය. 
නිදහස් යුද සටන්වලදී ඔහු ක්‍රියාකළ අන්දම නිසා ඔහුගේ නිර්භීත බව හා බුද්ධිමත් බව මැනවින් කැපී පෙනුණි. එම බුද්ධිමත් බව නැවත වරක් ඔප්පු කරමින් ඔහු සිය මෙහෙයුම සඳහා විවිධ පසුතල සහිත අත්දැකීම්ලත් පිරිසක් තෝරා ගත්තේය. රෝමයට ගොස්, සැකකරු පැමිණීමට නියමිත ගුවන්තොටුපළට හදිසි ප්‍රහාරයක් දියත් කිරීම ඔවුන්ගේ සැලසුම විය. ඔවුන් සිය රටින් පිටත්වීමට පෙර ඉස්සේර්ගෙන් ලැබුණු අවසන් අණ වූයේ කපිතාන් ඊශ්‍රායල්ට ගුවන් යානයට නැගීමට ඉඩ නොතැබිය යුතු බවයි. කෙසේ හෝ ඔහු නැවතිය යුතු බවත්, අවශ්‍ය වුවහොත් ඔහුට තුවාල කිරීමටද පසුනොබසින ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලැබිණි. ඒ උපක්‍රම කිසිවක් සාර්ථක නොවුණහොත් ඔහුට වෙඩි තබා මරා දැමීමට අණ ලැබිණි. කිසිවෙකු මරා දමන්නට ඊශ්‍රායල් මොසාඩ් සංවිධානය සෘජු අණක් ලබාදුන් පළමු වතාව එයයි. 


නමුත් ඒ අණ ක්‍රියාත්මක නොවුණේ ඒ සංචාරය ගැන පැමිණි පුවත බොරුවක් බව ඔප්පු වීම නිසාය. කපිතාන් ඊශ්‍රායල් තවත් කෙටි කලක් රෝමයේ රැඳී සිටි අතර අයිටන්ගේ කල්ලිය ඔහු පසුපස හඹායමින් සිටියදී රෝමයෙන් පිටත්ව යුරෝපයේ සංචාරයක් ඇරඹීය. 


හඹාඑන්නන්ගෙන් ගැලවීමට මෙන් සූරිච්, ජෙනෝවා, ජිනීවා, පැරිස් හා වියානා යන නගරවලට සංචාරය කළ ඔහු එක් දිනක් අතුරුදන් විය. කොතෙක් සෙවුවද ඔහු ගැන තොරතුරක් නොලැබිණි. රුසියාව හා අනෙකුත් නැගෙනහිර රටවල සිට පලායන යුදෙව්වන්ගේ ගමන ඉක්මන් කිරීමත්, ඔවුන් ඊශ්‍රායලයට රැගෙන ඒමත් භාරව සිටි නාටිව් නමැති රහස් සංවිධානයේ නියෝජිතයෙක් ඕස්ට්‍රේලියාවේ වියෙනා හි සිටියේය. ඔහු මොසාඩ් සංවිධානයත් සමඟ සමීප සබඳතා පැවැත්වූවෙකි. 


දිනක් ඔහුගෙන් ලැබුණේ කිසිසේත්ම අපේක්ෂා නොකළ ආරංචියකි. 


“ඔයා විශ්වාස කරන එකක් නෑ මම කියන්න යන දේ...” 


බල්ගේරියාවේ උපත ලැබූ ඔහුගේ බිරිඳ හෙළි කළේ ඒ වන විට මොසාඩයට අවශ්‍යම තොරතුරයි. 


“අද උදේ මම පාරෙ යනකොට මට මුණගැහුණනෙ සොෆියාවල යාළුවෙක්. මම එයාව දැක්කෙ අවුරුදු ගාණකින්. අපි ඉස්කෝලෙ එක පන්තියේ හිටියෙ.” 


“ආ ඇත්තට? මොකක්ද එයාගෙ නම?” ඔහු විමසීය. 


“ඇලෙක්සැන්ඩර් ඊශ්‍රායල්. අපි හෙට දවල් කෑමට මුණ ගැහෙන්න යන්නෙ.” ඇය කීවාය. 


බිරිඳ කියූ විස්තරයට ගැළපෙන පුද්ගලයෙකු අයිටන් සොයමින් සිටි බව දත් ඔත්තුකරු වහා ඒ බව දැන්වීය. පසු දින පාසල් මිතුරන් දෙදෙනා ගිය ආපනශාලාවට ගිය මොසාඩ් නියෝජිතයෝ දෙදෙ​නෙකු ඔවුන් ආසන්නයෙන්ම අසුන් ගෙන සිටියහ. මිතුරු හමුව අවසානයේ මොසාඩ් නිලධාරියෝ ඔහුගේ සෙවණැල්ලක් මෙන් ඔහු පසුපසම සිටියහ. 
දින කිහිපයකට පසුව පැරීසිය බලා යාම සඳහා ඔහු ගුවන් යානයක නැගුණේය. ඔහුට යාබඳව අසුන්ගෙන සිටියේ රූමත් කාන්තාවකි. කාන්තා ලෝලියෙකු වූ ඊශ්‍රායල් වහා අසල්වැසි රුවැත්තිය සමඟ කතාවට වැටුණේය. ඇය ද හොඳින් ප්‍රතිචාර දැක්වූවාය. දින කිහිපයකට පසු පැරිසියේ රාත්‍රියක මුණගැහෙන්නට ඔවුහු කතිකා කරගත්හ. 
ගුවන් යානය ගොඩබෑමට සුළු වේලාවකට පෙර කාන්තාවගෙන් ඔහුට මිත්‍රශීලී ඇරයුමක් ලැබිණි. 


“මගෙ යාළුවො වගයක් මාව මුණගැහෙන්න ගුවන් තොටුපළට එනවා. ඔයා කැමතිද අපිත් එක්ක එන්න? වාහනේ නම් ඉඩ තියේවි කියලා මට විශ්වාසයි.!” 
ස්ත්‍රී ලෝලියා එයින් අමන්දානන්දයට පත් විය. 


ගුවන් තොටේදී හොඳින් ඇඳ පැලඳගත් මහත්වරු දෙදෙනෙක් ඔවුන් පිළිගැනීමට පැමිණ සිටියහ. ඉන්පසු සිවුදෙනා මෝටර් රථයට නැගුණේ පැරිසිය බලා යාමටයි. 
අයිවර් අසුන් ගත්තේ රියැදුරු ළඟ ඉදිරි අසුනේය. ඒ වන විට රෑ බෝ වෙමින් පැවති අතර අඳුරේ සිටි කිසිවෙක් වාහනයට අත දැමුවේ ඔහු නංවා ගන්නා ලෙස අත වනමිනි. 
රියැදුරු වාහනය නැවතූ විට අඳුරේ සිටි තවත් කිහිප දෙනෙක් වාහනය වෙතට පිනූ අතර පිටුපසින්ද වාහනයක් පැමිණ මග හරස් කෙරිණි. 
“අපිව පැහැරගන්නවෝ....” අයිවර් කෑගැසීය. 


එකවරම ඔහු පිටුපස සිටි තැනැත්තා ඔහුගේ ගෙල සිරකරගති. අයිවර් කෑ ගසමින් ගැලවෙන්නට වෙර දරන විට තුවක්කුවක් පිටතට ඇදගත් පුද්ගලයෙක් හීබෲ බසින් කෑගැසීය. 
“හෙල්ලුනොත් උඹව මරනවා...” ඔහු ගල්ගැසී ගියේය. 

 

කිබුට්ස් ජනාවාසයක්

 


ඒ සමඟම ක්ලෝරෆෝම් පෙඟවූ රෙදි කඩක් සහිත අතක් අයිවර්ගේ මුවට ළං වීම නිසා ඔහු සිහිසුන් විය. ඉන්පසු පැරිසිය බලා ගෙනයනු ලැබූ ඔහු රාෆි අයිටන් ඇතුළු පිරිස විසින් ප්‍රශ්න කෙරිණි. එහිදී ඔහු ඊජිප්තුවට යුද රහස් විකිණූ බවත්, ඒ සියල්ල කළේ මුදල් නිසා බවත් පිළිගත්තේය. 


ඊශ්‍රායලයේ සිට ඔවුනට පණිවිඩයක් යැවූ ඉස්සේර් කියා සිටියේ අපරාධකරු නැවත ඊශ්‍රායලයට ගෙන එන ලෙසය. කොතරම් දරුණු වැරදි කළ අයෙකුට වුවද නඩුවක් පැවැත්විය යුතු බව ඔහු තරයේ විශ්වාස කළේය. යුද ගුවන් යානාවකට නංවනු ලැබූ අපරාධකරු ඉන්ධන පුරවා ගැනීම සඳහා නැවැත් වූ හැම ගුවන් තොටුපළකදීම සිහිසුන්ව සිටින බවට වග බලා ගැනීමට වෛද්‍යවරයෙක් ද කණ්ඩායමට ඇතුළත් විය. ඇතැන්ස්හි සිට ගුවන්ගත වූ පසු යළිත් නිද්‍රාජනක ඔසු එන්නත් කිරීමෙන් පසු ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවිය. නාඩි වැටීම වේගවත් වූ අතර හදගැස්ම අක්‍රමවත් විය. 


කෘත්‍රිම ස්වසනය දී ඔහු බේරාගැනීමට ගත් උත්සාහය පවා අසාර්ථක විය. යානය ටෙල් අවිව්හි ගොඩබෑමට පෙරම අපරාධකරු මිය ගොස් සිටියේය. ඔහුගේ සිරුර ඊශ්‍රායලයෙන් දුරස්ථ කලාපයකදී මුහුදට අතහරිනු ලැබිණි. 


කෙසේ නමුත් අනපේක්ෂිතව සිදු වූ මරණය නිසා මොසාඩ් මූලස්ථානය කැලඹිල්ලට පත් විය. ඉස්සේර් වහා අගමැති මුණගැසී ඔහුගේ මරණය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා සිටියේය. අගමැතිවරයා පත් කළ ද්විපුද්ගල කමිටුව මගින් එම මරණයට හේතුව ලෙස කියැවුණේ නිද්‍රාජනක ඔසු අනවශ්‍ය මට්ටමින් ශරීරගත වීමයි. නමුත් එයින් වසර ගණනාවකට පසුව වෛද්‍යවරයාගෙන් සැබෑ හේතුව විමසන ලදුව ඔහු කියා තිබුණේ යානය තුළ වූ පීඩනයේ වෙනස්කම් හේතුවෙන් මගියා මියගිය බවය. 
මොසාඩ් නිලධාරීන් ඊශ්‍රායල්ගේ ලිපි ලේඛන පරීක්ෂා කිරීමේදී හෙළිවූයේ ඔහු දකුණු අප්‍රිකාවට යාමට සැලසුම් කර තිබූ බවයි. ඔහුගේ බෑගයේ තිබී බ්‍රසීලයට යාමට ගත් නැව් ටිකට්පතක්ද හමුවිය. ඔවුන් මුහුණ දුන් ඊළඟ ගැටලුව වූයේ පවුලේ අයට සත්‍ය කියනවාද නැද්ද යන්නයි. සත්‍යය කීමට අපොහොසත් වූ බැවින් ඔවුහු අපරාධකරු පිළිබඳ කතාව යට ගැසූ අතර ඊට අගමැතිවරයාගේ ද සම්පූර්ණ සහය ලැබිණි. ඔහුගේ වංචා හා පෙම් හබ ගැන වාර්තාවලින් පුවත්පත් පිරී ගියේය. 


වසර ගණනාවක් යන තුරු ඔහුට සිදුවූයේ කුමක්ද යන්න ඔහුගේ පවුලේ අය කිසිවෙකු දැන නොසිටියහ. ඔවුන් සිතුවේ ඔහු දකුණු ඇමරිකාව වැනි රටක ජීවත් වෙන බවයි.  එම මොසාඩ් මෙහෙයුම අසාර්ථක වීමට ප්‍රධානවම බලපෑවේ ඔවුහු අපරාධකරුට සැලකූ ආකාරයයි. එම සිද්ධිය පිළිබඳව මුනිවත රැකීම, හමුදා වාර්තාවලින් ඔහුගේ නම මකා දැමීම, ඔහුගේ බිරිඳට හා සොහොයුරන්ට බොරු කීම ආදිය සමාව දිය නොහැකි තරම් බරපතළ වැරදි ගොන්නකි. 


රාෆි අයිටන් හා මොසාඩ් නිලධාරියෝ කිහිප දෙනෙක්ම ඔහුගේ මළ සිරුර මුහුදට අතහැර පවුලේ අයට බොරු කීමේ තීරණයට විරුද්ධ වුවත්, පොඩි ඉස්සේර්ගේ බලය හා වෙනස් කළ නොහැකි තීරණ හමුවේ අසරණ වූහ. 


මූලාශ්‍රය : මයිකල් බාර් - සොහාර් හා නිසිම් මිශාල් විසින් රචිත, මොසාඩ් - ද ග්‍රේටස්ට් මිෂන්ස් ඔෆ් ද ඊශ්‍රායෙලි සීක්‍රට් සර්විස් කෘතිය 

 

 


පරිවර්තනය - නිසංසලා දිසානායක