සමනල වන මැද සැඟවුණු  නටබුන් සොයා-4   

බෑන සමනළ කන්ද

බෑන සමනළ කන්දේ සිට සමනල කන්ද

 

  • පැරණි මිනුම් යකඩ කණු තවමත් කන්ද මුදුනේ  
  • රාවණාගේ කෝවිලක් මෙහි ඇති බව ඇතැමුන්ගේ විශ්වාසයයි.  
  • තවමත් කිසිවෙකු ළඟා නොවුණු ප්‍රපාතයේ ගුහා ඇති බවට සැකයක්  

 

සමනල රක්ෂිතයේ කඳු අතරින් ප්‍රධානම කන්ද වන සිරිපා කන්ද එහි සුවිශේෂී පිහිටීම නිසාම දිවයිනේ සතර දිග් භාගයටම දැකිය හැකිය. නමුත් වනපෙතේ විශාලතම කන්ද වනුයේ බෑන සමනල ගල ය. එය රක්ෂිතයේ උසින් තෙවෙනි ස්ථානය ගන්නේ මීටර් 2010ක් ලෙසිනි. බොහෝ දුර්ග මාර්ග සේම කළුගඟේ ප්‍රධානම ජල පෝෂකයක් වී ගලා යන දියවර උපත පටන් ගන්න බෑන සමනල කන්දේ අදටත් කිසිවෙකු නොගිය ප්‍රපාතය තුළ යම් අබිරහසක් ඇති බව බොහෝ කාලයක් පටන් විවිධ පුද්ගලයින් අදහස් දක්වා ඇත.  


දුරාතීතයේ සිටම සමනල අඩවියට ඇතුළු වීම නැතහොත් කරුණාවට පිවිසීම ශුද්ධ වූ කර්තව්‍යයකි. සාම්ප්‍රදායික පේවීම තුළින් පිළිපැදිය යුතු සිරිත් විරිත් රකිමින් බොහෝ ශ්‍රද්ධාවෙන් සිදුකළ යුතු වන්දනාව අතීතයේ ජීවිතයත් මරණයත් තීරණය කරන තරම් දුෂ්කරතාවයෙන් යුක්ත වූවකි. ඒ කිසිම අවස්ථාවක අපේ පැරැන්නෝ ‘කට වරද්දවා’ ගත්තේ නැහැ. මන්දයත් මෙම අඩවිය එතරම්ම අනුහස් සහිත අඩවියක් වූ බැවිනි. සමනල රක්ෂිතයේ කන්දක් ලෙස පිහිටි ඉතා විශාලම කන්ද වනුයේ බෑන සමනල ගලයි.  


එය සිරිපා උඩමළුවට හොටක් ලෙස පෙනුණ ද එහි සැබෑ ස්වරූපය දැකිය හැක්කේ ඉන් ඔබ්බට පිහිටි අවට කඳු මුදුන්වලට ගිය විටදීය. මන්ද බෑන සමනල කන්දේ දකුණු බෑවුම යනු විශාල ප්‍රපාතයක් වන හෙයිනි. පිරමීඩාකාර ලෙසට සමනල කන්ද පිහිටා ඇති අතර බෑන සමනල ඕවාලාකාර පිරමීඩ ලෙසට ඉතා පුළුල් ව පිහිටි කන්දකි.  
සමනල වනපෙතේ සැඟවුණ නටබුන් සොයා යන අප මෙවර චාරිකාව ගියේ බෑන සමනලට ය. බගවන්තලාව ආශ්‍රිත දිවි ගෙවූ ගැමියෙකු ඔවුන්ගේ ඇති ආසාව හේතුවෙන් මීට වසර කිහිපයකට පමණ පෙර බෑන සමනල තරණය කිරීමට ගිහින් ඇත. එහිදී ඔහු ඉතා අසීරු ලෙස වනය අස්සෙන් කටුකොහොල් අතරින් පීරාගෙන කඳු මුදුනට ළඟා වී පසුව අවට පරිසරය හා බෑවුම විපරම් කරන විට ඔහු කාලි මෑණියන්ගේ රුව සහිත ස්ථානයක් දුටු බව පැවසීය. එය රාවණාගේ කෝවිලක් තිබූ බවට ඇඟවෙන ස්ථානයක් බවට ඔහු පැවැසුව ද එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කර නොගැනීමට ඔහු නැවත එහි නොයනු බව එම සටහනේ තවදුරටත් සඳහන් විය. ඒ කලු දෙබරු වි​ශේෂයක් හේතුවෙන් බව ඔහු පවසන ලදී.  
සමහර පිරිස් ‘බෑන’ යනු රාවණාගේ බෑනා හට අයිති කරදුන් ස්ථානය ලෙස සලකන අතර එහි රාවණා සම්බන්ධ වන්දනා මාන ස්ථානයක් හෝ කෝවිලක් ඇති බව විශ්වාස කෙරේ. නමුත් මේ කිසිවක් තවම නිශ්චිත පරිදි තහවුරු කරගෙන නොමැත. අඩි 6600ක් පමණ උසැති බෑන සමනල කන්ද මත තවත් මතවාදයක් තිබේ.  
එනම් ඉතිහාසයේ පරිදි අවසන් මහ රහත් හිමියන් වූ මලියදේව මහරහතන් වහන්සේ තමන් භික්ෂුන් නවසියයක් පමණ සමග බෑන සමනල කඳු මුදුනේ ගල් ලෙනක වැඩ වාසය කළා කියන ජනප්‍රවාදය ඇතැමුන් පවසන පරිදි බෑන සමනලගිර පුරා විවිධ පුරාවස්තු, කටාරම් කොටන ලද ගල් ගුහා සහ විස්මිත ගල් තලාවකුත් ඇති බව පැවසේ. මින් විස්මිත ගල්කුලුව සත්‍යයක් බව අත්දැකීමෙන් අප දුටුවේ කඳු මුදුනට මඳක් එහාට ගිය විට සත්‍ය වශයෙන්ම ඉතා සුන්දර ගල් තලාවක් තිබීමයි.  


බෑන සමනල ගිර තරණය ලෙහෙසි පහසු නැත. මන්ද එය දැවැන්ත වන පියසකින් ආවරණය වී ඇති හෙයිණි. තවද ආසන්නතම ග්‍රාමයේ සිට කන්ද තරණයට සහ නැවත බැසීමට නිතැතින්ම දින දෙකක් පමණ ගත වේ. මන්ද බෑන සමනල තරණය කළ හැකි එකම පහසු මාර්ගය ඇත්තේ රත්නපුර රජ මාවතේ සීත ගඟුල අසල වන හෙයිනි. එම නිසා ප්‍රථමයෙන් හැටන්, එරත්න හෝ සිරිපාගම ප්‍රදේශයෙන් සම්මත සමන්ගිර කරුණා මාර්ගයේ පැමිණ මෙම සීත ගඟුලට ළඟා විය යුතුය. ඉන්පසු ගමන පටන් ගත්තේ අධික ශීතලෙන් ගලාගෙන එන සීත ගඟුල දිය පහර ඔස්සේය. මේ හේතුවෙන් බෑන සමනල ඉතාමත් අනතුරුදායක ගමනක් වී ඇත. මන්ද මෙම දියවර මදක් හෝ සිඳී යන කාලයේ පමණක් කන්ද තරණයට සුදුසු වන හෙයිනි.  
වාරයේ ඉඩෝර කාලයේ කතිකා කරගත් පරිදි අප පෙරදින රාත්‍රියේ හැටන් මාර්ගයේ සිට ගමන ආරම්භ කළ අතර පාන්දර ජාමේ පහ පමණ වන විට අපට රත්නපුර රජ මාවතේ සීත ගඟුල අසලට ඒමට හැකි විය. ඉඩෝර සමය නිසා සීත ගඟුල මදක් ජලය අඩුවෙන් තිබුණ ද ජල පහ​රේ සීතල නම් අඩුවක් නොවීය. දිය පහරට බැස ගත් අප ක්‍රම ක්‍රමයෙන් ගල්කුළු සහ ගල් කුට්ටි මතින් ගමන් කරමින් ඉදිරියට ඇදෙන්නට විය.  
 ගඟ හැරවුමක දී අපට කුඩා දියවළක් සහ ඇල්ලක් හමු වූ අතර ඉන් ප්‍රවේශමට නැග ඉදිරියට ගමන් කරන්නට වූ අපට තවත් කුඩා ඇලි හමු විය. විටෙක ජල පහර දෙපස පිහිටි වන පියස හරහා අප ගමන් කළේ කටු අකුල් හා පඳුරු මතින් ගමන් කරමිනි. කෙසේ හෝ තවත් මීටර කිහිපයක් යන විට අපි ගූගල් සිතියමේ පරිදි වනයට ඇතුළු විය යුතු ස්ථානයට ළඟා වී ඇති බව දුටුවෙමු.  
වනය නිසොල්මන්ය. හිමිදිරි සීතල සමඟ සුළං ධාරාව සමඟ හනි හනිකට දුවන මීදුම් සේල බොහෝමයක් විටින් විට අප දුටුවේ බෑන සමනල හා අවටින් තිබෙන විටය. මෙම ගමනේ දී අප දුටු තවත් විශේෂයක් වනුයේ සමනල රක්ෂිතයෙන් සම්පූර්ණයෙන්ම පෝෂණය වන කළු ගඟ ආරම්භ වන්නේ බෑන සමනල කන්දෙන් වීමයි. මන්ද කළුගඟේ ශාඛා 3ක් සමනල රක්ෂිතයෙන් ප්‍රධාන වශයෙන් ආරම්භ වේ. ඉන් දෙකක්ම හට ගන්නේ බෑන සමනලිනි.  

 

මිනින්දෝරු සලකුණු

 


 උඩ මාලිබොඩ මාර්ගයේ හමුවන සීත ගඟුල මහ පිදුරුතලාව බෑවුමෙන් පටන් ගෙන ගලාගෙන පැමිණ මැදහින්න අම්බලම කිට්ටුව දී එරත්න සීත ගඟුල බවට පත්වී කුරුගඟ හා යා වේ. මෙම කුරුගඟ පටන් ගන්නේ බෑන සමනල කන්දෙන් වන අතර එය දිගේ අප පැමිණියෙමු. මෙම දියවර රජ මාවත හරහා ගොඩ කුරුවිට එරත්න මාර්ගයට සම්බන්ධ වී පසුව කුරුගඟ බවට පත් වී ගලාගෙන යයි.  
 අනෙක් පසින් මාලෙන ඇල්ල නිර්මාණය කරන දියවර පවනැල්ල, රත්ගඟ ආදී ප්‍රදේශවලින් ගලාගෙන ගොස් රත්නපුර නගරයේ දී කළුගඟ බවට පත් වී ගලාගෙන යයි. මෙම ගංගාවට එරත්නේ සිට කුරුවිට හරහා බටතොටලෙන අසලින් බෝපත් ඇල්ල ද නිර්මාණය කරමින් හඳගල ආදී ප්‍රදේශ හරහා ගොස් ඉඩංගොඩ ආසන්නයේ කුරුගං මෝදර යන ස්ථානයේ දී කළු ගඟට එකතු වේ. මාපලන ඇල්ල නිර්මාණය කරන දියවර පටන් ගන්නේ ලිහිණි හෙළ ඔස්සේ බෑන සමනල ප්‍රපාත අතරිනි. එසේ බලන කල කුරුගඟත් කළු ගඟත් යන දෙකෙහිම උපත වනුයේ බෑන සමනලය.  
 කෙසේ හෝ කළු ගඟේ උපත සිදුවන ඉසව්වේ සැරිසරන්න ලැබීම පවා අපට භාග්‍යයක් ලෙස සලකමින් සමන් දෙවි අඩවියේ සැදැහැ සිතින් යුතුව අපි වන පියසට ඇතුළු වුණෙමු. වනය තුළින් නිවැරදි මග තෝරා නොගතහොත් කුඩා බෑන සමනල කන්දට යා හැකි බැවින් ගූගල් සිතියම ඉතා අත්‍යවශ්‍ය වේ. කෙසේ හෝ හෝරා කිහිපයක් මුළුල්ලේ අපි වන පියස පීරා යමින් කටු අකුල් යටි රෝපණ ශාක අතරින් රිංගා යමින් කුඩා ගල් බිත්තියක් අසලට පැමිණියෙමු.  
 එහිදී අපට සුන්දර සමනල කන්ද දැකගත හැකි වූ අතර හොඳින් බැලූ විට රත්නපුර මාර්ගයෙන් මහගිරිදඹ තරණය කරන බැතිමතුන් පඩිපෙළ දිගේ සිටින බව අපි දුටුවෙමු. ක්‍රමයෙන් තවත් ඉහළට යා යුතු වූ නිසාවෙන් අප තරමක විවේකයක් ගත්තේ ගෙන ආ ආහාර ගනු පිණිසය. පසුව අප නැවතත් ගමන් අරඹා යන විට කුඩා ගල් ලෙනක් වැනි ස්ථානයක් හමු වූ අතර ශාක පැතිරීම පවා තරමක් වෙනස්ව තිබුණි.  


 කෙසේ හෝ අප මීටර 1900 සීමාව පැන යන විට ගමන ඉක්මන් වූයේ ගමනාන්තය දුර ​නොවුණු හෙයිනි.  
උදෑසන 11 වෙන විට අප විවේක ගනිමින් පැමිණි ගමන නිමා වූයේ බෑන සමනල ගලේ මීටර 2010 ක උසින් සිටින වග පසක් වූ විටය. කන්ද මුදුනේ වන පියස තුළින් ඉහළට එසවුණු බෞද්ධ කොඩියක් තිබූ අතර තවදුරටත් ඉදිරියට යන විට අපට ගල්තලාවක් හමු විය. එහි හොඳ විවේකයක් ගත් අප අවට පරිසරය විපරම් කරන්නට විය. සමනල කන්දේ වම් නාරටියත් සමග කඳු ගැටය ඉතා සුන්දරව අපව දැකගත හැකි වූ අතර ඉන් එහාට අවශේෂ කඳු වැටි රාශියක් දක්නට ලැබුණි.  
කුඩා බෑන සමනලත් ඉන් පිටුපස කුණුදිය පව්වත් ඊට ඔබ්බෙන් පිදුරුතලාගල සහ හීන් පිදුරුතලාව කඳු වැටියත් අපට දක්නට ලැබුණි. අනෙක් පසින් රත්කන්ද ඇඳිරි කැලේ කන්ද, ගැටකිවුල කන්ද, කෝඳුරුගල, මහා ගවරවිල, මහදුරා සහ හෙට්ටිපළ කඳු වැටියත් දක්නට හැකිවුණි.  
 කන්ද මුදුනේ ගල් තලාවේ කිසියම් අකුරු වගයක් කොටා තිබෙනු අප දුටුවේ ඇසිල්ලකිනි. ඊට අමතරව තවත් යකඩ බටයක් හොඳින් ගල තුළට සවිකර තිබුණි. මීට පෙර ජනප්‍රවාදයක තිබූ යැයි කිසිවක් ඒවා නොවූ නමුත් ගලේ කොටන ලද අක්ෂර ඉංග්‍රීසි අක්ෂර වූ හෙයින් ඒවා බොහෝ කාලයකට ඉහත දී මිනුම් කටයුතු සඳහා පැමිණි මිනින්දෝරුවන් දමන ලද සටහන් බව අපට අවබෝධ විය. ඊට අමතරව තිබූ යකඩ කණුව කුමක් දැයි අපට ප්‍රශ්නාර්ථයක් වූයේ එය සවිමත්ව සවිකර තිබූ ආකාරය නිසාවෙනි.  


එම යකඩ කණුව ද ඉතා ඈත අතීතයේ මිනින්දෝරුවන් විසින් සවිකරන ලද්දක් බව අපට සමනල අඩවියේ කාලාන්තරයක් වැඩ බාරව සිටි අනිල් විතානගේ මහතා පසුව පවසන ලදී. එම කණුව කොඩි කණුවක් ලෙස සවිකර මැනුම් කටයුතු සඳහා යොද‌ාගෙන ඇති අතර ගලේ කොටන ලද නාමයන් ගල ගැඹුරට විද ඇති හෙයින් මිනින්දෙ‌ා්රුවන් විසින් කඳු මුදුන්වල කොටන කුකුල් අඩි සලකුණු මෙන් විය. එම අක්ෂර සහ කණුව හැරුණු විට වෙනත් සැලකිය යුතු කිසිවක් අපට හමු නොවුණු අතර විටින් විට මීදුම් කෝඩයෙන් අප වෙළාගන්නට විය.  
 පසුව අප කන්දේ බෑවුම් ප්‍රදේශයට යාමට මදක් උත්සාහ කළ අතර ඕවලාකාර ප්‍රපාතය ඉතා සෘජුව පහළට යන බැවින් පඳුරු මගින් යාමේ දී වඩාත් පරෙස්සම් වුණෙමු. මන්ද එම පඳුරු තුළ ද කුඩා කුහර වැනි දේ තිබිණි.  
මේ අතර අපට තවත් බෑන සමනල සම්බන්ධ කතාවක් ඕනැ වූයේ එක්තරා පොතක සඳහන් වූ පරිදි බ්‍රිතාන්‍ය පාලන සමයේ දී 1830 පමණ කාලයේ මේජර් තෝමස් ස්කාර් බෑන සමනල ගිය බවට තිබූ සටහනය. එහිදී ඔහුට දැවැන්ත කොටියෙකු හමු වූ බවත් කියැවේ. කොටියා යනු සමනල නිතරම ගැවසෙන සතෙකි. මීට මාස කිහිපයකට ඉහත දී නල්ලතන්නිය හා ලක්ෂපාන වතු යාය අවට මිනිසුන් ජාන විකෘති භාවයට පත් වූ විශාල කළු කොටියෙකු පවා දැක තිබුණි.  

බෑන සමනල, කෝඳුරු ගල, කුණුදිය පව්ව, හීන් පිදුරුතලාව

කුණුදිය පව්ව

ශීත ගඟුල

 


ප්‍රේමාලෝක හාමුදුරුවන් පවසන පරිදි ඍද්ධි බලයෙන් බෑන සමනලේ පිහිටි ගුහාවලට වඩින භාවනානුයෝගී භික්ෂුවක් හිඳ තිබේ. ඒ බව ගම්වැසියෙකු දුටු බවත් කිසිවෙකුටත් ළඟා නොවිය හැකි එම ප්‍රපාතාකාර දුර්ගය මධ්‍යයේ විශාල අඳුරු ගුහාවක සිවුරක් තිබෙනු දැක තිබේ. එම ස්ථානයට ළඟා විය හැක්කේ අහසින් වැඩම කරන කෙනෙකුටම පමණක් වන හෙයිනි.  
බෑන සමනල යනු සමනල වනපෙතේ තනි වූ හුදෙකලා කන්දක් වුව ද අතීතයේ බොහෝ පිරිස් විවිධ කටයුතු සඳහා මෙහි පැමිණ ඇත. අප තවත් හෝරාවක් පමණ ගත කර ගමන පිටත් වූයේ කන්ද බැසීමටය. බෑන සමනල ප්‍රපාතය තුළ ගුහා ඇති බව අප ප්‍රථමයෙන් දුටුවේ ගූගල් චන්ද්‍රිකා තාක්ෂණික සිතියම් ඔස්සේය.  
එහිදී ප්‍රපාතයේ පිහිටි අඳුරු ඉසව් තුළ ශාක වර්ග සේම යම් පිවිසුමක් සහිත බවක් දැකගන්නට වූ අතර මේ කිසිවක් නොකියාම එම කතාව අපට පලාබද්දල බලවන ගමේ යසරත්න මාමා පැවැසූ විට අප ද පුදමයට පත්වීමු. ඉන්පසු විවිධ මූලාශ්‍ර ඔස්සේ එවැන්නක් පිළිබඳ තවදුරටත් විස්තර සොයන විට අපට එම කතාවම චන්ද්‍රාලෝක හා ප්‍රේමාලෝක හිමිවරු මෙන්ම තවත් ගම්වැසියන් කිහිප දෙනෙක් පවසන ලදී.  
කෙසේ හෝ යම් දිනක එම ගුහාවලට පිවිසීමේ අධිෂ්ඨානය සමග නිකලැල් සමන්ගිර දෙස බැලුවේ අපට අවසර පතමිනි. අප තරණයට ගත වූ කාලයට වඩා ඉතා ඉක්මනින් කන්ද බැස්සේ ගමන තරමක් පහසු වූ හෙයිනි. අප මේ වන විට සීත ගඟුලට ළඟා වෙද්දී ගඟේ ජල ප්‍රමාණය තරමක් වැඩි වී තිබුණි. කෙසේ හෝ පරෙස්සමෙන් යුතුව අප සීත ගඟුල මාර්ගයට පැමිණ පලාබද්දල මාර්ගයෙන් පිටත් වීමට සූද‌ානම් වුණි. ඒ යන අතරමග අපට සිරිපා කරුණා කරන බැතිමතුන් හමු වූ අතර අතරමග අම්බලමකින් කා බී සවස් යාමය පසුවන කණිසමේ අපි ගම්මානයට ළඟා වී පිටත් වුණෙමු.  

 


ලබන සතියේ 


යකා ඇඬූ ගලේ සිට බල්ලන් බැඳි ගලට  
සංචාරක සටහන හා ඡායාරූප  
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු