ලෝ ප්‍රකට වසීම් අක්‍රම සමග රාමා

 

  • මියගිය බිරිඳ හිටපු බැඩ්මින්ටන් ශූරියක්   
  • පුතාලා තුන්දෙනා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින්  

අසූව දශකය මැද භාගයේදී චම්පක රාමනායක හෙවත් ‘‘රාමා’’ යන ආදරණීය නාමයෙන් සගයින් විසින් ආමන්ත්‍රණය කළ චම්පක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැමිණියේ රවි රත්නායක, අසන්ත ද මෙල්, රුමේෂ් රත්නායක වැනි වේගපන්දු යවන්නන් සිටි අවදියේදීය.   


එතැන් සිට 1995 තෙක් රාමා ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකුව සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායමට සමුදුන් පසුවද දේශීය හා විදේශීය වශයෙන් මුල්​ පෙළ තරග සඳහා දිගින් දිගටම ක්‍රීඩා කළ ඔහු ගැන පසුකාලීනව බොහෝ දෙනා කතා කරන්නට පටන් ගත්තේ වේගපන්දු අංශයේ පුහුණුකරුවකු වූ නිසාය.  
වත්මනෙහි චම්පක රාමනායක යනු ජාත්‍යන්තර ක්‍රිකට් කරළියේ සිටින දක්ෂතම පුහුණුකරුවෙකු ලෙස සඳහන් කළ හැකිය. ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නා ලෙස පිළිගැනෙන ලසිත් මාලිංග ක්‍රිකට් කරළියට ගෙනා පුහුණුකරුවා අන්කවරකුවත් නොවේ, මේ රාමාය.  


ඊට අමතරව නුවන් කුලසේකර ඇතුළු ශ්‍රී ලංකාව නියෝජනය කළ වේගපන්දු යවන්නන් රැසක් බිහිකළ ප්‍රවීණයා මේ රාමාය. තිරය පිටුපස සිට රජුන් තනන ඔහු අද කටයුතු කරන්නේ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළ දක්ෂතා අංශය බාර ප්‍රධානියා ලෙසය. එලෙසින් අද බංග්ලාදේශයට නැතුවම බැරි චරිතයක් වී සිටින රාමා දක්ෂ ගායකයකුද වන්නේය. මෙතැන් සිට අපි රාමා සමග සුන්දර පිළිසඳරකට එක්වෙමු.   
රාමා කොහොමද ජීවිතේ   


කාලයකට පසුව හැමෝටම වගේ මටත් විවේකයක් ලැබුණු මොහොතක් මේ. ඒ විවේකය සැහැල්ලුවෙන් ගෙවනවා.  


එදා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන් පසුව ගත කළේ මොන විදියටද?   


ජාත්‍යන්තර පිටියට සමුදුන් පසුව දේශීය ක්‍රිකට් පිටියේ මුල්පෙළ සමාජීය ක්‍රිකට් තරග ක්‍රීඩා කළා. පසුව එංගලන්තයට ගිහින් ටික කාලයක් ලීග් ක්‍රිකට් ක්‍රීඩා කළා. අදටත් ඉඳහිට ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කරනවා. ජීවිතයම ක්‍රිකට් තමයි.   


ශ්‍රී ලංකාව වෙනුවෙන් එදා ක්‍රීඩා කළ ඔබගේ ප්‍රථම තරගයේ මතකය සිහිපත් කළොත්?   


1986 දී ප්‍රථමයෙන් මට අවස්ථාව ලැබුණෙ එක්දින තරගයක් නියෝජනය කරන්න පාකිස්ථානයට එරෙහිව. ඒ තරගය පැවැත්වුණේ ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ. එදා රමීස් රාජා, මුදාසර් නසාර්, ජාවෙඩ් මියැන්ඩාඩ් දවා ගන්න මට පුළුවන් වුණා. එය මට ලොකු අවස්ථාවක් වූ බව කියන්න පුළුවනි.   


ඉන්පසු ක්‍රිකට් පිටියේ හොඳම මතකයන් ගැන සඳහන් කළොත්?   


1992 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළා. එදා අපි ජයග්‍රහණය කළේ තරග දෙකයි. ඒ තරග දෙකම ජයගන්න දායකත්වය දෙන්න පුළුවන් වුණා.   
හැබැයි මේ තරග දෙකේදීම පන්දුවෙන් නෙවෙයි අර්ජුන එක්ක එකතු වී පිත්තෙන් තමයි දක්ෂතා දැක්වුවේ. සිම්බාබ්වේ එක්ක පැවැති තරගයේදී සිම්බාබ්​වේ ලකුණු 312 ක් ලබා ගත්තා. ඒ දැවැන්ත ලකුණු ප්‍රමාණය හඹා යමින් අර්ජුන විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. ඔහු සමග එක්වී තරගය දිනවන්න පුළුවන් වුණා.   
දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයේදී අන්තිම ඕවරයට මුහුණ දෙන්න පැමිණියේ මම. දිනන්න අපට ලකුණු දෙකක් ලබා ගත යුතු වුණා. එහා පැත්තෙ හිටියේ අර්ජුන. එයා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සිටියේ.   


පළමු පන්දුවට මට ලකුණු ගන්න බැරි වුණා. ඊළග පන්දුවට ලකුණු හතරක් ගත්තා. එහා පැත්තෙ විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කරමින් සිටි අර්ජුන ඇවිත් මාව ඔසවා ගත්තා. ඒ තරගය මට කවදාවත් අමතක වන තරගයක් නෙවෙයි.   

 

එද ‘මාලි’ට උගන්වමින්

‘‘කුලේ-මාලි’’ සමග ගුරු රාමා

 


පවුලේ විස්තර ගැන කියමුද?   


මගේ නෝනා නැතිවෙලා දැන් අවුරුදු හයක් වෙනවා. පුතාලා තුන්දෙනයි. අම්මයි තාත්තයි ඉන්නේ අපි එක්ක.   


ඔබගේ ආදරණීය බිරිඳ ගැන විස්තර සඳහනක් කරමු?   


එයා නිලන්ති ජයසේකර. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමේ හිටපු ක්‍රීඩිකාවක්. එයා රැකියාවක් කළා. ඊට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කළා. ඇය අහිමිවීම ඉතින් මගේ මුළු ජීවිතයටම දුකක්. අපි දෙන්නා වසර 30 කට ආසන්න කාලයක් ආදරයෙන් බැඳී සිටි යුවළක්. අවාසනාවකට රෝගාතුරව ඇය මිය ගියා.   


ලොකු පුතාගේ වයස අවුරුදු 25 යි. එයාගේ නම හෂේන්. ශ්‍රී ලංකා 19 න් පහළ ලෝක කුසලානය නියෝජනය කළා. බී.ආර්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා. දෙවැනියා හිමේෂ්. එයා එස්.එස්.සී. පිල නියෝජනය කරනවා. තුන්වැනියා සංදේශ්. තවම අවුරුදු 15 යි. පාසල් අධ්‍යාපනය ලබනවා. රාජකීය විදුහල නියෝජනය කරනවා. තුන් දෙනාම දක්ෂයි. 

 
මම ක්‍රිකට් වෙතින් ජාතික කණ්ඩායම නියෝජනය කළා. බිරිඳ බැඩ්මින්ටන් වෙතින් රට නියෝජනය කළා. පුතාලා තුන්දෙනාගෙන් කෙනෙක් හරි රට නියෝජනය කරනවා නම් හොඳයි.   


මේ ලැබුණු විවේකයේදි විශේෂයෙන් කළ දේ මොනවද?   


ඒ කාලයේ ඉඳලාම මම ගායනයට ලැදියි. මෑතකදි අලුත් ගීතයක් කළා. මේ වන විට ගීත හයක් විතර කරලා තියෙනවා. විනෝදංශයක් හැටියට තමයි ගීත ගයන්නෙ.   


මෙතෙක් ගැයූ ගීත හය නම් කළොත්?   


95 දී හී සැරක් සේ නමින් ගීතයක් කළා. රෝහණ වීරසිංහයන් සංගීතවත් කළේ. අතුල පීරිස් අයියා ලිව්වේ. ඊළගට රත්න ශ්‍රී විජේසිංහයන් රචිත මල් දෙකක් නොවී ගීතය සංගීතවත් කළෙත් රෝහණ වීරසිංහයන්. ඉන්පසුව මගේම තනුවකට සිත කියවන්න බැහැ ගීතය කළා. මහින්ද බණ්ඩාර සංගීත අධ්‍යක්ෂණය කළ එය රචනා කළේ ප්‍රනීත් අභයසුන්දර ප්‍රවීණයා. ‘‘වනේ දෙවියන්’’ කියලා ඇන්තනි සුරේන්ද්‍රගේ සංගීතයට තවත් ගීතයක් කළා. ඊට පසුව මෑතකදී තව ගීතයක් කළා. දියවන්නා කුමාරියේ ලියූ රචකයා තමයි ඒ ගීතය රචනා කළේ.   


ආදරණීය බිරිඳ නැති ජීවිතය කොහොමද ශක්තිමත් කර ගත්තේ?   


ඇත්තටම හිත හදාගන්න හරිම අසීරු වුණා. ඒත් කාලය ගෙවී යද්දී කොහොමහරි හිත හදාගත්තා. නමුත් ඒ පාඩුව හිස්තැන ජීවිතයේ හැමදාටම තියේවි. ඒ වගේම ඉදිරියට මට හුදෙකලාව ඉන්නත් බැහැ. ජීවත් වෙන්න ආදරයක් අවශ්‍යයි. ජීවිතයේ හැටි එහෙමනෙ. මතකයන් ඔළුවේ තියාගෙන ජීවිතයට මුහුණ දෙන්න ඕනෑ.   


චම්පක ඇයි එදා ඔබ ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගත්තේ?   


මගේ ගම ගාල්ලෙ කොටුව. බොහොම සුන්දර තැනක්. රිච්මන්ඩ් විද්‍යාලයට ගියේ. මුලින්ම ක්‍රීඩා කළේ පාපන්දු. 17 න් පහළ වෙද්දි තමයි පාසලට ක්‍රිකට් ක්‍රීඩා කළේ. පාසල නියෝජනය කිරීමෙන් අනතුරුව 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා. ඉන්පසුව ද්‍රවිඩ ක්‍රීඩා සමාජයට බැඳුණා.   


මගේ ක්‍රිකට් දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ එතැන. ටැමිල් යුනියන් එකට ආ නිසා ඉක්මනට වගේ ජාතික කණ්ඩායමට එන්න පුළුවන් වුණා. ඒ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වූ බව කියන්න පුළුවනි.   


පාසල වෙනුවෙන් ක්‍රීඩා කරද්දි මාව සොයා ගත්තෙ නිහාල් ගුණවර්ධන ආචාර්යතුමා. ඉන්පසුව ටැමිල් යුනියන් එකට ආ පසු ස්කන්ධකුමාර් මහතා පිට පළාතින් ආ මට හරියට උදව් කළා. ක්‍රිකට් ක්‍රීඩාවට ආසා කළේ ගමේ සැහැල්ලු පන්දු ක්‍රීඩා කළ සමයේ ඉඳලාමයි. උසස් පෙළට විද්‍යා අංශයෙන් පෙනී සිටියේ. ඒත් ඒ වන විට හිත තදින්ම බැඳී තිබුණේ ක්‍රිකට්වලට. ලංකාවට ක්‍රීඩා කරන කාලයේදීම රැකියාවක් කරන්න ලැබුණා.   

 


එදා මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායමට එන විට නායකයා වුණේ කවුද?   


ඒ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායමට එන එක හිතන තරමට ලෙහෙසි වුණේ නැහැ. විශිෂ්ට ක්‍රීඩකයින් රැසක්ම හිටියා. නායකත්වය දැරුවේ දුලිප් මෙන්ඩිස්. අර්ජුණ, අරවින්ද, ​රොෂාන්, ගුරුසිංහ ඇතුළු මගේ සමකාලීන ක්‍රීඩකයෝ සිටියා.   


ජ්‍යෙෂ්ඨයින් ලෙස රෝයි ඩයස්, රවි රත්නායක, අසන්ත ද මෙල්, සිදත් වෙත්තමුණි, රන්ජන් මඩුගල්ල එහෙම හිටියා. ඒ අතරේ මට අවස්ථාව ලැබුණේ ශ්‍රී ලංකා A කණ්ඩායමේදී දක්ෂතා පෙන්වූ නිසයි. අර්ජුන තමයි A කණ්ඩායමේ නායකයා වුණේ. ක්‍රිකට්වලට කැපවුණාම මම හිතුවේ ක්‍රිකට් ගැන විතරමයි. ඒ නිසා විශේෂිතව කැපවී පුහුණු වුණා.   


සමහර අය හිතුවේ මෙච්චර ට්‍රේනිං කරන්නෙ මේ යකාට පිස්සුයි කියලයි. ඒත් රස්සාව කරන අතරේ මගේ කැපවීම නම් උපරිමයෙන් කළේ ක්‍රිකට්වලින් ලංකාව නියෝජනයට තිබු ආසාව නිසයි.  


එදා කණ්ඩායමට ආවාම කවුද හොඳම මිතුරා වුණේ.   


ඔක්කොමලා හරිම හොඳයි. හැබැයි ඒ අතරින් රොෂාන් හොඳම මිතුරකු වුණා. ඒ වගේම කෞෂික් අමලින් හොඳ යාළුවෙක් වුණා. එයාගෙ කාර් එකෙන් තමයි උදේට මම රැකියාට ගියේත්. අතුල සමරසේකරත්, රංජිත් මදුරසිංහත් මතක් කරන්නම ඕනෑ. තවමත් ඒ යාළුකම තියෙනවා. රොෂාන් එහෙම අදටත් කතා කරලා පුතාලගෙ විස්තර විමසනවා.   


සංචාරවලට ගිය මතකයන් එහෙමත් ඇතිනෙ. ඒ මතකයන් සිහිපත් කළොත්.   


වතාවක අපි පකිස්ථානයේ සංචාරය කළා. ඒ තරගාවලියේදී අපි නොමැරී බේරිලා ආවේ අනූනමයෙන්. ක්‍රිකට් ගහනවාට වඩා අමාරුයි එහේ සිටින මිනිස්සු කොන්ට්‍රෝල් කරන එක. ග්‍රවුන්ඩ් එකට ඇතුළුකරවිය හැකි ප්‍රේක්ෂක පිරිසට වඩා නිතරම එළියේ පිරිසක් සිටියා. ඒ අය මෙල්ල කරන්න කඳුළු ගෑස් පවා පොලිසිය එල්ල කළා. අන්තිමට කඳුළු ගෑස් අපටත් වැදුණා.   


ඒ වගේම ගල් ප්‍රහාරයන් පවා එල්ල වුණා. එක පැත්තකින් තරග කරද්දී ඉම්රාන්, වසීම් අක්‍රම් සහ වකාර් නිසා අපි පීඩනයකට ලක් වුණා. ඒ වගේම ප්‍රේක්ෂකයින් නිසාත් පීඩනයට ලක් වුණා. ඒක හරියට යුද්ධ දෙකකට මැදිව කළ සටනක් වගෙයි. පොලිසිය එක්ක ප්‍රේක්ෂකයින් පිටිය මැදට ඇවිත් ගහ ගන්නවා. එක් අවස්ථාවක මමයි මාවන් අතපත්තුයි බැටි කරමින් සිටියෙ. තරගය දිනල අපි දෙන්න කෙළින්ම ගියේ ඩ්‍රෙසිං රූම් එකට නෙවෙයි. අපි ගමන්ගත් බස් එකට දිව්වේ.   


එ් තරගාවලිය නම් මට කවදාවත් අමතක වන්නේ නැහැ. ප්‍රේක්ෂක නොසන්සුන්තාව නිසා සමහර තරග අතරමග නතර කරන්න පවා සිදු වුණා. ඒ වගේ තරගාවලියක් අපි ඊට පෙර ක්‍රීඩා කරලා තිබුණේ නැහැ.   


සංචාරවලට ගියාම ඔබ ගායකයා නිසා සිංදු කියන්නත් සිදුවෙන්න ඇති නේද?   


ඒ කාලයේ ඉඳලාම ඒ සිංදු කීම නම් කළා. සංචාරවලට ගියාම බස් එකේ පිටි පස්සෙම වාඩි වුණේ මමයි අතුල සමරසේකරයි. අපි දෙන්නා ගයද්දි සනතුත් අපි එක්ක එකතු වුණා. ඒ කාලයේ ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රශ්න නිසා රටේ ක්‍රිකට් තරග තිබුණේ නැහැ. විදේශ සංචාරවලට තමයි වැඩිපුරම ගියේ.   


ටීම් එකක් හැටියට එදා කණ්ඩායමේ සිටි අය මොන වගේද?   


හරිම එකමුතුයි. අපි කෑමකට ගියත් කණ්ඩායමම එකට හිටියා. ඉස්සර ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මුදල් නොතිබුණාට හොඳ කණ්ඩායමක් තිබුණා. ක්‍රීඩකයින් අතර හොඳ සුහදතාවක් තිබුණේ. ඇත්තෙන්ම ඒ කාලය හරි සුන්දරයි. 1987 සිට 92 විතර දක්වා එක ජාත්‍යන්තර තරගයක්වත් ලංකාව ඇතුළේ පැවැත්වුණේ නැහැ.  


අර්ජුන එක්ක කිහිප වතාවකදීම බැට් කරලා ජයග්‍රහණය ලබා දෙන්න පුළුවන් වූ මොහොතේ අර්ජුනගෙන් ඔබට ලැබුණේ මොනවාගේ ප්‍රතිචාරද?   


මම එයාව දකින්නෙ මැච් විනර් කෙනෙක් හැටියටයි. කොච්චර අසීරු අවස්ථාවකදී වුණත් එයා පීඩනය දුන්නේ නැහැ. වැඩි කාලයක් මම ක්‍රීඩා කළේ අර්ජුනගේ නායකත්වය යටතේයි. ප්‍රතිවාදී කණ්ඩායමට කිසිවිටෙකත් බිය නොවූ නායකයෙක්. සෑම විටකදීම එයා පෙරමුණ ගත්තා. ඒ කාලයේ ඕස්ට්‍රේලියාව වගේ රටකට ගිහින් ක්‍රීඩා කරන්න අපට තිබුණේ චකිතයක්. ඒත් අර්ජුනගේ තිබුණ අභීත ගතිය නිසා අපට ගෙන දුන්නෙ ලොකු ගැම්මක්. ඒ නිසා අපි වඩා ශක්තිමත්ව තරග කළා. අපට අත්ම විශ්වාසයක් නිතර ගොඩනගලා දුන්නා.   


96 වර්ල්ඩ්කප් එක දිනන ගමන දක්වා අපි අවේ හොඳ ගමනක්. එහෙම නැතුව ඒ ජයග්‍රහණය අහම්බයක් නෙවෙයි. 91 විතර සිට කණ්ඩායම තරගවැදී දිගින් දිගටම ජයග්‍රහණය කරමින් ආවේ. හැබැයි දක්ෂතා තිබියදීත් 96 ලෝක කුසලානයට මාව තේරුණේ නැහැ. අර්ජුණගේ තිබුණු ශක්තිමත් නායකත්වය ඒ ජයග්‍රහණය දක්වා බලපෑවා.   

 

රාමාගේ අතීත සැමරුම්

චම්පක, බිරිඳ සහ ලොකු පුතා (තුන් දෙනාම ශූරයෝ)

 


ලංකාවේ ඔබ දුටු විශිෂ්ටතම පිතිකරුවා කවුද?   


මගේ නම් අංක 1 අරවින්ද තමයි.   


චම්පක කියන්නෙ කිමිදුම් ශූරයෙක්. කොහොමද අදටත් මුහුදේ කිමිදෙන්න යනවද?   


මුලින්ම නම් ඒ වැඩේට පුරුදු වුණේ ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණ කාලයේදීම වගෙයි. ඒ දිනවල අපට වියදම් කරන්න සල්ලි තිබුණෙ නැහැ. එදා කිමිදුම් කළාම අතට මුදලකුත් ලැබුණා. හැබැයි පසුව නම් එය විනෝදාංශයක් හැටියට කළේ. එදා මුලින්ම කිමිදිලා ලස්සන මාළු ඇල්ලීම කළා. ඒ නිසා ලැබුණු මුදලින් බෝඩිං හවුස් එකට එහෙම ගෙවන්න වියදම් කළා. ඒ කාලයේ හැටියට ඒක අපට ලොකු දෙයක් වුණා. දැනටත් ගාල්ලේ ගියාම ඉස්සර කිමිදුන තැන් බලාගෙන එන්න යනවා.   
කොහොමද දිය යට ලස්සනද?   


කියන්න වචන නැති තරම්. එච්චරටම සුන්දරයි. සුන්දර ලෝකයක් කිව්වොත් හරි.   


තවම ඔබ පාපන්දු ක්‍රීඩා කරනවා කියලත් ආරංචියි.   


ඒ කාලයේ ඉඳලාම පාපන්දු මගේ ප්‍රියතම ක්‍රීඩාවක්. අද නම් එය කරන්නේ ශාරීරික යෝග්‍යතාව වෙනුවෙන්. ලෙජන්ඩ්ස් ෆුඩ්බෝල් ක්ලබ් කියලා අපේ හිටපු ක්‍රිකට් තරුවලින් සමන්විත කණ්ඩායමක් තියෙනවා. සතියට දින දෙකක් විතර අපි පාපන්දු ක්‍රීඩා කරනවා.   


ළමයින් තුන්දෙනත් ඔබ එක්ක කිමිදෙන්න යනවද?   


එයාලටත් මුහුද ඇතුළෙ සුන්දරත්වය දැකබලා ගන්න පුරුදු කරලා තියෙන්නේ. ගාල්ලේ කොටුවේ ගෙදර ගියාම ඉඳහිටලා එයාලත් එක්ක කිමිදෙන්න යනවා.  


චම්පකට මුහුදේ විසිතුරු මසුන් ගැන අවබෝධයක් ඇති?   


අපොයි ඔව්. මට කිමිදීම නිසා ලැබුණු අත්දැකීම් බොහොමයි. ජීවිතය කියන්නේ අත්දැකීම් ගොඩාක්නෙ.   


යාළුවො අදටත් ඔබට කතා කරන්නෙ රාමා කියලද?   


මට විතරක් නෙවෙයි පුතාලා තුන් දෙනාට කතා කරන්නෙත් පොඩි රාමා, ලොකු රාමා එහෙම කියලයි. අපි දැන් රාමා ෆැමිලි වෙලා.  


පුහුණුකරුවකු ලෙස කටයුතු කරන ජීවිතය තෘප්තිමත්ද?   


අතිශයින්ම තෘප්තිමත්. අලුත් ක්‍රීඩකයින් බිහි කරන්න මම හරිම ආසයි. රටට ක්‍රීඩකයින් රැසක් බිහි කරන්න පුළුවන් වුණා. මාලිංග, කුලසේකර ඇතුළු බොහෝ පිරිසක් ඊට අයත්. ඒ ගැන මට කියන්නෙ අප්‍රමාණ සතුටක්.   


කුලසේකර සහ මාලිංග එදා ඔබ හඳුනාගත් මිණිකැට. ඒ දෙදෙනා එක්දින පිටියෙන් සමුගන්නා මොහොතේ අපූරු සැමරුමක් තිළිණ කළා නේද?   
ඒ දෙදෙනා ඇත්තටම මට සුවිශේෂයි. ඒකට හේතුව එදා ගාලු ක්‍රිකට් සමාජය නිර්මාණය කරගෙන යන මොහොතේදී මට ඒ දෙදෙනා හමුවුණේ. මුලින්ම එයාලා දෙන්නා මා එක්ක පන්දු යැවීමත් කළා.   


පුහුණුකරු සහ ක්‍රීඩකයකු ලෙසත් එදා මම ගාලු ක්‍රිකට් සමාජය නියෝජනය කළා. පුහුණුකරු එක්ක එයාලට ක්‍රීඩා කරන්න ලැබීම වගේම මටත් ඒ නිසා එයාලට බොහෝ දේ කියා දෙන්න පුළුවන් වුණා. ලෝක කුසලාන තරගවලි පහක් විතර නියෝජනය කරලා තමයි ඒ දෙදෙනා පිටියෙන් සමුගත්තේ. ඔවුන්ගෙන් මම විශේෂ ගෞරව බලාපොරොත්තු වුණේ නැහැ. ඒත් ඔවුන් එය කළා. එය මට ලොකු සතුටක්.   


බංග්ලාදේශයේ ක්‍රීඩකයින් ඔබ එක්ක එකතුද?   


හරිම එකමුතුයි. එයාලා මට හොඳට සවන් දෙනවා. ඒ වගේම මට හරි ආදරෙයි. ක්‍රිකට් බලධාරින් වගේම රටේ බලධාරින් පවා මට හොඳ ගෞරවයක් ලබා දෙනවා. ඒ වගේම එයාලා මට ඉතා හොඳින් සලකනවා.   


ලංකාවට ආයෙත් සේවය කරන්න කැමතිද?   


පුහුණුකරුට වඩා අද මම වඩා ආස කරන්​නේ ක්‍රීඩකයින් නිර්මාණය කිරීමටයි. ඕනෑම වෙලාවක මගේ රටට ඒ දේ කරන්න මම සූදානම්.

 

 

පිළිසඳර- සඳුන් ගමගේ