ශාස්ත්‍රීය විමර්ශනය

 

 

 

නැගෙනහිර පළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කයයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ලාහුගල ග්‍රාමසේවා වසම තුළ පිහිටි නීලගිරි සෑය ලාහුගල රක්‍ෂිත අභයභූමිය තුළ ස්ථානගතව ඇත. වර්තමාන ලාහුගල ග්‍රාමයේ සිට හැඩඔය හරහා ඇති අතුරු මාර්ගයේ කි.මි 4.5 පමණ ගමන් කිරීමෙන් මෙම ස්ථානයට ළඟාවිය හැකිය. 


නීලගිරි ස්තූපයේ ඉතිහාසය සොයා බලන විට මුහුණපාන ප්‍රධාන ගැටලුව වන්නේ එම නාමයෙන් නිර්මාණය කරන ලද ස්තූපයක් පිළිබඳව මෙරට කිසිදු පැරැණි මූලාශ්‍රයක සඳහන් නොවීමය. පුරාණ රෝහණ රාජ්‍යයට අයත්ව පිහිටා ඇති මෙම ස්තූපය මහාවංශයේ 24වන පරිච්ඡේදයේ සඳහන්වන කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද මහානුග්ගල ස්තූපය ලෙසද පිළිගැනේ. මහාවංශයේ සඳහන් මහානුග්ගල චේතිය මෙය බව එල්ලාවල මේධානන්ද හිමියන් සඳහන් කර ඇත. එහිමියන් රචිත මාගම රාජධානිය ග්‍රන්ථයේ දී නීලගිරි සෑය පිළිබඳව විවරණයක යෙදෙන අතර උන්වහන්සේ එම මතය සපථ කර තිබේ. නීලගිරි සෑය සහ ඒ අවට ආරාම සංකීර්ණයේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ලිඛිත සාධක විරළ වුවද විහාරය අවට සිදුකරන ලද ගවේෂණ කටයුතු මඟින් නීලගිරි සෑය අවටින් බ්‍රහ්මී අක්‍ෂර සහිත සෙල්ලිපි කිහිපයක් සොයාගන්නා ලදී. විශේෂයෙන් නීලගිරි සෑයට මීටර් 200ක් පමණ ඊසාන දෙසින් හමුවී ඇති ශිලාලේඛනයක් මගින් මෙම ප්‍රදේශයේ පැවති පබ්බත විහාරයක් සම්බන්ධව තොරතුරු අනාවරණය කරයි. එම ලිපියට අනුව “උත්තර සීවලී පවත” වෙත භාතිකාභය තිස්ස රජුගේ රැජීණ වූ චූලසීවලී බිසව කරන ලද පූජාවක් සම්බන්ධ තොරතුරු සඳහන් කරයි. මෙම ලිපිය මඟින් සදහන් කර ඇති කරුණු නීලගිරි සෑයට ඍජු සම්බන්ධතාවයක් නොමැතිවුව ද භාතිකාභය තිස්ස රාජ්‍ය සමය තුළ මෙම ප්‍රදේශය ක්‍රියාකාරී ස්ථානයක්ව පැවති බවට පෙනේ. නීලගිරිය ආශ්‍රිත ගවේෂණ කටයුතු මඟින් හදුනා ගන්නා ලද ක්‍රිස්තු වර්ෂ තෙවන සියවසට පමණ අයත් සෙල්ලිපියක් මඟින් තහවුරු කරන්නේ “වියහවිය” නමැති පුද්ගලයෙකු විසින් කුලබරිය මහා විහාරයට අරියවංශ සූත්‍ර දේශනය පැවැත්වීම සඳහා වාර්ෂිකව කහවණු විස්සක් පරිත්‍යාග කළ බවය. මෙම ලිපියෙහි සඳහන් “කුලබරිය මහ විහර” යන නාමය බොහෝවිට අතීතයේදී නීලගිරි සෑයට ව්‍යවහාර කරන ලද නම විය හැකිය. ඒ අනුව වත්මන් නීලගිරිය නමින් හඳුන්වන මෙම ප්‍රදේශය ක්‍රිස්තුවර්ෂ ආරම්භයේ දී කුලබරිය ප්‍රදේශය නමින් ව්‍යවහාර වන්නට ඇතැයි විශ්වාස කළ හැකි අතර එහි ඉදිවූ මහා විහාරය (වෙහෙර) කුලබරිය මහ වෙහෙර නමින් ප්‍රකට වන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. 


නීලගිරි දාගැබට උතුරු දෙසින් ඇති විහාරාරාම සංකීර්ණයේ නටබුන්, සෙල්ලිපි හා නටබුන් වූ ස්තුප, කටාරම් සහිත ගල්ලෙන් හා ගල්කොරි ද නීලගිරි හෙල ආශ්‍රිත කටාරම් හා සිතුවම් සහිත ලෙන් හා අනෙකුත් පුරාවිද්‍යාත්මක සාධක ද ඇතුළු තවත් බොහෝ පුරාවිද්‍යා සාධක පෙන්නුම් කරන්නේ නීලගිරිය පුරාවිද්‍යා ස්ථානය එවකට විශාල ප්‍රදේශයක පැතිරුණු විහාරාරාම සංකීර්ණයක් බවයි. නීලගිරි සෑය හා ඊට සම්බන්ධ ආරාම සංකීර්ණය හැරුණුවිට සමීපයේ ඇති නීලගිරි හෙළ හා ඒ අවට ඇති බෞද්ධාගමික විහාර හා නටබුන්, ලාහුගල කොටවෙහෙර, මගුල් මහාවිහාරය, හුලංනුගේ තරුලෙන්ගල විහාරය, කින්නරගල පුරාවිද්‍යා සංකීර්ණය, ශාස්ත්‍රවෙල විහාරය, කුඩිම්බිගල ගල්ලෙන් ආශ්‍රිත විහාර සංකීර්ණය යන බෞද්ධ විහාරාම මෙම ප්‍රදේශයේ තිබූ ප්‍රධාන ආරාම සංකීර්ණයන්ය. 


මෙම සියලු සාධක මෙන්ම නීලගිරි දාගැබේ ඉදිකිරීම් ලක්ෂණ, කැණීම් මගින් ස්තූප මළුවේ තිබී මතුකරගත් ජත්‍ර ගල්වල සාධක, ජත්‍ර දණ්ඩ 2ක සාධක, ස්තූපය මුදුනේ දැනටත් දක්නට ලැබෙන යූපය හා ස්තූප මළුවෙන් දැනට අනාවරණය කරගෙන ඇති සිරිපතුල් ගල් හා ආසන ගල් පෙන්නුම් කරන්නේ මෙම ස්තූපය ක්‍රිස්තු පූර්ව අවධියේ ඉදිකරන ලද්දක් බව හා පසුකාලීනව ප්‍රතිසංස්කරණයන් සිදුවී ඇති බවය. 


2011 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ මූලිකත්වයෙන් නීලගිරී සෑය අවට ගවේෂණයක් සිදුකර තිබේ. 2012 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ අංශය මඟින් නීලගිරි සෑය අවට ගවේෂණ කටයුතු සිදුකර ඇති අතර කැණීම් අංශය මගින් 2011 වර්ෂයේ ජුලි මස 05 වන දින සිට 2014 වර්ෂයේ අගෝස්තු මස 24 දින දක්වා කාලය තුළ අදියර කිහිපයක් යටතේ කැණීම් සිදු කර ඇත. අඩි 611ක දැවන්ත වටප්‍රමාණයකින් හා අඩි 75ක පමණ උසකින් යුත් (දැනට ශේෂව ඇති උස) ස්තූපයේ ගරාවැටී තිබූ ගර්භය හා මළුවෙන් කොටසක් පමණක් කැණීම් කර මතුකරගෙන ඇත. වර්තමානයේ මෙම ස්තූපය සංරක්ෂණය කරමින් පවතී. 
ක්‍රිස්තු පූර්ව අවධියේ ඉදිකරන්ට ඇතැයි අනුමාන කරන නීලගිරි ස්තූපය විශාල කරමින් ක්‍රි.ව.1, 2 සියවස් කාලයේදී කංචුකයක් එනම් වැස්මක් නිර්මාණය කර ඇත. කාලයාගේ ඇවෑමෙන් මෙම කංචුකය දිරාපත්වී පදාස වශයෙන් ගරවැටී තිබේ. කංචුකය නිර්මාණය කිරීමේදී එයට දායකවූ පිරිසට ස්තූපය අභ්‍යන්තරයේ එනම් මධ්‍යයේ ධාතු කරඬු තැන්පත් කිරීමේ අවස්ථාවක් නැතිවී යයි. එයට හේතුව ස්තූප ගර්භ අභ්‍යන්තරයේ පූජ්‍ය වස්තු තැන්පත් කිරීමට නම් ගර්භය සිදුරු කරගෙන ස්තූපයේ මධ්‍යයට පිවිසීමට සිදුවීමයි. එම නිසා ඒ සඳහා භාවිතා කරන ලද උපක්‍රමය වූයේ ඔවුන් විසින් නිර්මාණය කරන්නට යෙදුණ කංචුකයේ තැනින් තැන කුඩා කුටි නිර්මාණය කර ඒවා තුළ පූජ්‍ය වස්තු තැන්පත් කිරීමයි. ඒ අනුව ධාතුන් සහිත කරඬු හා වෙනත් පූජ්‍යය වස්තු මැටි හා ශිලාමය බදුන් තුළ තැන්පත් කර එම බඳුන් කංචුකයේ නිර්මාණය කරන ලද කුටිවල තබා එම කුටිය වැසෙන පරිදි ඉහළින් ගල් පුවරුවක් යොදා ඇත. රෝහණ රාජධානිය බිඳ වැටීමෙන් අනතුරුව රාජ අනුග්‍රහය නොමැතිවීම හා මෙම ප්‍රදේශය ජන ශූණ්‍යවීම නිසා මෙම ස්තූපය වල් බිහිවී ගරාවැටීමට ලක්ව ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද කැණීම් මගින් බලාපොරොත්තු වූයේ ස්තූපය මත වර්ධනයවී තිබූ වෘක්ෂ හා පැළෑටිද ගරා වැටී තිබූ කොටස්ද ඉවත්කර සංරක්ෂණය සඳහා ස්තූපය මතුකර ගැනීමයි. මෙම කාර්යය අතරතුරේදී ගරා වැටී තිබූ පස් හා ගඩොල් අතර තිබී රන් කරඬු 39ක්, පළිඟු කරඬු 245ක්, වීදුරු කරඬු 12ක් හා රිදී කරඬු 4ක් වශයෙන් ධාතු කරඬු 300ක් ලැබී ඇත. මෙරට ස්තූප කැණීමකින් හමුවූ වැඩිම ධාතු කරඬු සංඛ්‍යාව මෙය වේ. 


මෙම සියලුම කරඬු ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම උදෙසා නිර්මාණය කර ඇති බව ඒවාහි නිර්මාණ ලක්ෂණවලින් සනාථ වේ. ධාතු කරඬු බොහොමයක් හමුවන අවස්ථාව වනවිටත් ගරාවැටීමේ ක්‍රියාවලිය හේතුවෙන් විවෘතවී ඒවාහි තිබූ ධාතුන් කොටස් අස්ථානගතව පැවැතිණ. ඒ අතරින් ආරක්ෂිතව පැවැති කරඬු කිහිපයක පමණක් ධාතුන් කොටස් ආරක්ෂාවී තිබේ. මෙම ධාතුන් කොටස් කරඬු තුළ තැන්පත් කිරීමේදී ඒ සඳහා විශේෂ ආවරණයක් නිර්මාණය කර ඇත. එනම් ධාතු බහාලීම සඳහා ධාතු මංජුසා නිර්මාණය කර තිබේ. විවිධ හැඩයෙන් නිර්මාණය කර ඇති මෙම ධාතු මංජුසා නිර්මාණය කිරීම සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතා කර ඇත්තේ රන් හා රදී ලෝහයන්සේම පාෂාණය. මෙම ධාතු මංජුසා අතර පෙට්ටි හැඩයේ මංජුසා 7ක්, සිරිපතුල හැඩයේ මංජුසා 3ක්, සුර වර්ගයේ මංජුසා 10ක්, අර්ධ ගෝලාකාර පියන් සහිත මංජුසා 4ක්, පාෂාණමය මංජුසා 1ක් හා පත්‍ර එතීම් 1ක් වශයෙන් වර්ග 28ක් දක්නට ලැබේ. 


මෙම ධාතු මංජුසා 28 අතරින් සුවිශේෂී මංජුසා 4ක් හඳුනාගත හැකිය. ඉන් ත්‍රිත්වයක් සිරිපතුල හැඩයට නිර්මාණය කර ඇති අතර අනෙක් මංජුසාව සතැරැස් පෙට්ටියක් අාකාරයෙන් නිමවා එහි පියන මධ්‍යයේ සිරිපතුල ලාංඡනයක් කොටා ඇත. මෙම මංජුසා 4 අතරින් සිරිපතුල් සංකේතය කොටන ලද මංජුසාව වැදගත් වන්නේ එහි තිබී ධාතුන් යැයි අනුමාන කළ හැකි අස්ථි හෝ දන්ත කොටසක් ලැබී ඇති නිසාවෙනි. එය පියන් දෙකකින් සමන්විත වන අතර උඩු පියන මි.මී.18×මි.මී.18 ප්‍රමාණයෙන්ද, යට පියන මි.මී.16.5×මි.මී.16.5 ප්‍රමාණයෙන්ද යුක්ත වේ. මෙම පියන් ද්විත්වයේම මධ්‍යයේ තිත් සලකුණු උපයෝගී කර ගනිමින් වම් සිරිපතුලක ලාංඡනය නිර්මාණය කර ඇත. මෙම මංජුසාවේ උඩු පියන විවෘත කල පසු එහි ඇතුළත තවත් කුඩා මංජුසාවක් තබා තිබෙන ආකාරය හඳුනාගත හැකි වේ. එම ඇතුළත තිබූ කුඩා මංජුසාවද පියන් ද්විත්වයකින් යුක්තව රනින් නිමවා ඇත. එහි උඩු පියන මි.මී.9.5×මි.මී.9.5 ප්‍රමාණයෙන්ද, යට පියන මි.මී.9×මි.මී.9 ප්‍රමාණයෙන්ද යුක්තය. විශාල මංජුසාවේ මෙන් මෙම මංජුසාවේ පියන් ද්විත්වයේද සිරිපතුලක ලාංඡනය තිත් සලකුණු මගින් දක්වා තිබේ. එම කුඩා මංජුසාව විවෘත කළ පසු ඒ තුළ සුදු පැහැයට හුරු අස්ථි හෝ දන්ත කොටසක් තැන්පත් කර තිබෙන බව හඳුනාගත හැකිවිය. මෙම ධාතුන් කොටසේ අනන්‍යතාවය හඳුනාගැනීමේදී සාහිත්‍ය මූලාශ්‍රවලින් පිටුවහලක් නොලැබේ. එයට හේතුව නීලගිරි ස්තූපය පිළිබඳව හෝ එහි නිධන් කර තිබූ ධාතුන් වහන්සේලා පිළිබඳව කිසිදු මූලාශ්‍රයක සඳහන් නොවීමය. මේ බව ඉහතදී සඳහන් කරන ලදී. 


නීලගිරි ස්තූපයේ උක්ත සඳහන් කරන ලද ධාතු මංජුසාවේ තිබී හමවූ ධාතුන් වහන්සේගේ අනන්‍යතාවය හඳුනාගැනීමේදී සාහිත්‍ය මූලාශ්‍රවලින් පිටුවහලක් නොලැබෙන බැවින් ඒ සඳහා පුරාවිද්‍යා සාධක විමසා බැලීම වැදගත්වේ. මෙහිදී ප්‍රධාන කරුණු 7ක් පිළිබඳව අවධානය යොමුකරන ලදී. 

 

නීලගිරි සෑය කැණීම් කිරීමෙන් පසුව 

 

 

 


1. බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුද්ධ රූපය මානව රූපීව නිර්මාණය කිරීමට පෙර අවධියේ (ක්‍රි.පූ.6-ක්‍රි.ව.1) උන්වහන්සේ සංකේතවත් කිරීම සඳහා සිරිපතුල් ලාංඡනය භාවිතා කර ඇත. 


සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සියවස් කිහිපයක් ගතවනතුරු භාරතීය හා ලක්දිව කලා ශිල්පීන් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය නොකරන ලද අතර එයට ආගමික හා සමාජීය කරුණු රාශියක් බලපා ඇත. මෙම අවධියේදී බුදුන්වහන්සේ සංකේතවත් කිරීම සඳහා විවිධ සංකේත භාවිතා කර තිබේ. එහිදී ශ්‍රී පතුල, වජ්‍රාසනය, ධර්මචක්‍රය, බෝධි වෘක්ෂය, පද්මය හා ඡත්‍රය යන සංකේත වැදගත් වේ.(ලගමුව 1999ඃ8) භාරතයේ සාංචි තොරණ, භාරුත් කැටයම්, අමරාවතී චෛත්‍ය කැටයම් හා නාගර්ජුනීකොණ්ඩ කැටයම් අතර මෙම බුද්ධ සංකේත භාවිතය හඳුනාගත හැකිය. එහිදී සාංචි කැටයම් අතර දක්නට ලැබෙන බුදුන්වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකිස්ස පුරයට වැඩම කිරීමේ කැටයමේදී හිණිමගේ ඉහළ හා පහළ සිරිපතුල යොදා බුදුන් සංකේතවත් කර තිබේ. එසේම නැගෙනහිර තොරණේ මධ්‍ය පුවරුවේ දැක්වෙන මහබිණික්මන කැටයමෙහි කෙළවර සිරිපතුල් ද්විත්වයක් යොදා සිද්ධාර්ථයන් පැවිදි වූ බව දක්වා ඇත. මෙරටින් එබඳු ආකාරයේ බුද්ධ සංකේත යොදාගන්නා ලද කතා ප්‍රවෘත්ති නිරූපිත කැටයම් පුවරු නොලැබුණද ක්‍රිස්තු පූර්ව අවධියේ ආරම්භ වූ බොහෝ විහාරස්ථාන අසල සිරිපතුල් ගල් හා ආසන ගල් දැකගත හැකි වේ. එහිදී උතුරේ කන්තරෝඩය, වල්ලිපුරම් හා මුලතිව් යන ස්ථානවලද, දකුණේ යටාල, තිස්සමහාරාමය හා සිතුල්පව්ව යන ස්ථානයන්ගේද, නැගෙනහිර තිරියාය, රජගල, දිගාවැව, ලාහුගල කොටවෙහෙර හා මඟුල් මහාවිහාරය යන ස්ථානවලද, අනුරාධපුරයේ මිහින්තලය, අභයගිරිය, ජේතවනය හා රුවන්වැලි සෑය ඇතුළු බොහෝ ස්ථානයන්ගේද සිරිපතුල් ගල් දැකගත හැකිවේ. මෙරට කලාකරුවා සිරිපතුල භාවිතා කරන ලද්දේ බුදුන්වහන්සේ සංකේතවත් කිරීමට ද යන්න සොයා බැලීමේදී පුරාණ මාගම රාජධානියට අයත් තිස්සමහාරාමයේ කිරින්දෙන් ලැබී ඇති ගිරි ලිපිය වැදගත් වේ. එම ලිපියේ සඳහන් වන්නේ බුදුන්වහන්සේගේ අපරිමිත ගුණ අසා පැහැදුනු උපරාජ නාග නැමැත්තෙකු කිරින්දේ ගලේදී මිථ්‍යා දෘෂ්ඨිය අතහැර බුදුන් සරණ ගිය බවයි. මෙම උපරාජ නාග යනු ඉළනාග රජු (ක්‍රි.ව.35-43) බව මැන්දිස් රෝහණධීර මහතා පෙන්වාදී ඇත. මෙම ලිපියේ ඇති අක්ෂර පේලි හතරට ඉදිරියෙන් දෙපතුල් සටහන කොටා ඇත. ලිපියේ අන්තර්ගත කරුණු හා සැසඳීමේදී මෙම සිරිපතුල බුදුන්වහන්සේ සංකේතවත් කිරීම සඳහා භාවිතා කරන ලද පැහැදිලිය. ඒ අනුව ඊට සමකාලීන හා පූර්ව අවධියන්හිදී මෙරට ශිල්පීන් සිරිපතුල් සංකේතය බුදුන් සංකේතවත් කිරීම උදෙසා භාවිතා කර ඇති බව තහවුරු වේ. 


ධාතු කොටස ලැබී ඇති ධාතු මංජුසාවේ උඩු පියනේ හා යටි පියනේද, එය තුළ ඇති කුඩා මංජුසාවේ උඩු පියනේ හා යටි පියනේද කොටා ඇත්තේ බුද්ධ සංකේතයක් වූ ශ්‍රී පාදයයි. සිරිපතුල් සංකේත සහිත මෙම මංජුසා නිර්මාණය කරන ලද කාලය සොයාබැලීමද මෙහිදී වැදගත්වේ. ස්තූපයේ ගරාවැටුණු කංචුකයේ බඳුනක තිබී හමුවූ දැව කැබැල්ලක් ඇමෙරිකාවේ බීටා ඇනටලික් ආයතනයට යවා කරන ලද කාබන් 14 විද්‍යාත්මක කාල නීර්ණය මගින් එම කංචුකය නිර්මාණය කරන ලද අවධිය ක්‍රි.ව. 1 සියවස බව (ක්‍රි.ව.70-230 අතර පරාසයක) තහවුරු වී ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ මෙම ධාතු මංජුසාවේ සිරිපතුල සලකුණ බුද්ධ ප්‍රතිමාව නිර්මාණයට පූර්ව අවධියේ භාවිතා කරන ලද බුද්ධ සංකේතයක් බවය. එවන් බුද්ධ සංකේතයක් යෙදූ මංජුසාවක තැන්පත් කරන්නට ඇත්තේ බුදුන්වහන්සේගේ ධාතුන් කොටසක් විය යුතුය. 


2. ධාතුන් හමුවූ සිරිපතුල් ලාංඡනය සහිත ධාතු මංජුසාව හා සිරිපතුල් හැඩයේ ධාතු මංජුසා ත්‍රිත්වය තැන්පත් කර තිබී ඇත්තේ එකම මැටි බඳුනක් තුළය. 


උක්ත සඳහන් කරන ලද විශේෂ ධාතු මංජුසා 4ම (සිරිපතුල හැඩයේ මංජුසා 3 හා සිරිපතුල කොටන ලද ධාතු සහිත මංජුසාව) හමුවී ඇත්තේ එකම මැටි බඳුනක් තුළ තිබීය. මෙම මැටි බඳුන හමුවන අවස්ථාව වනවිටත් පූර්ණ වශයෙන් බිඳී තිබූ අතර එම කොටස් අතර තිබී එම ධාතු මංජුසා 4 හා ධාතු කරඬු හමුවී තිබේ. බුද්ධ සංකේත ලෙස භාවිත සිරිපතුල හැඩැති සහ සිරිපතුල කොටන ලද මෙම මංජුසා 4ම එකම බඳුනක් තුළ තැන්පත්කර තිබීම තුළ පැහැදිලි වන්නේ එම බඳුනේ තැන්පත් කරන ලද ධාතු මංජුසා තුළ තිබූ ධාතුන්ගේ විශේෂත්වයක් නිසා බව අනුමාන කළ හැකිය. 


3. නීලගිරි ස්තූපය කැණීමෙන් රන් කරඬු 39ක් හමුවී ඇති අතර ඉන් 13ක්ම හමුවී ඇත්තේ මෙම ධාතු කොටස සහිත මංජුසාව තැන්පත් කර තිබූ මැටි බඳුනේ තිබීය. 
නීලගිරියෙන් ලැබී ඇති රන් කරඬුවලින් 1/3 ක් එකම මැටි බඳුනක තැන්පත් කර තිබී හමුවී ඇත. රන් කරඬු විශාල ප්‍රමාණයක් එකම බඳුනක් තුළ තැන්පත් කිරීමෙන් එම බඳුන තුළ ඇති වස්තූන්ට විශේෂ අගයක් ලබා දෙන්නට ඇති බව අනුමාන කළ හැකිය. එවැනි විශේෂත්වයකින් යුක්ත බඳුනේ තිබෙන්නට ඇත්තේ සුවිශේෂී උත්තමයෙකුගේ ධාතුන් විය යුතුය. 


සාහිත්‍ය මූලාශ්‍රයන්හි නීලගිරි ස්තූපය පිළිබඳව සඳහන් නොවූවද බුදුන් වහන්සේගේ ධාතූන් ඇතැයි අනුමාන කළ හැකි මෙම ස්තූපය මෙරටින් හමුවී ඇති අනෙක් ස්තූපයන් සමඟ සැසඳීමේදී එම ස්තූපයන්ට වඩා විශේෂත්වයකින් යුක්තද යන්න විමසා බැලිය යුතුය. 


4. මෙරට ස්තූප කැණීමකින් හමුවූ වැඩිම ධාතු කරඬු ප්‍රමාණය වාර්තා වන්නේ නීලගිරි ස්තූපයෙනි. 


මෙරට පුරා විසිරී පවතින පැරැණි ස්තූප රාශියක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැණීම් කර ඇති අතර එහිදී වැඩිම ධාතු කරඬු ප්‍රමාණයක් හමුවී ඇත්තේ නීලගිරි ස්තූපයෙන් බව පැහැදිලිය. මීට පෙර එම වාර්තාවට හිමිකම් පෑවේ කෑගල්ලේ දැලිවල කොටවෙහෙර වේ. ඉන් ධාතු කරඬු 178 ක් ලැබී ඇත. නීලගිරි ස්තූපයෙන් ධාතු කරඬු 300ක් හමුවී තිබේ. මෙම ධාතු කරඬු සියල්ල හමුවී ඇත්තේ දැලිවල කොට වෙහෙරෙහි මෙන් ස්තූප ගර්භ අභ්‍යන්තරය කැණීමෙන් නොවීම අවධානය යොමු කළයුතු කරුණකි. ඒ අනුව නීලගිරි ස්තූපයේ කඩා වැටී තිබූ කංචුකයේ කොටස් ඉවත් කිරීමේදී පමණක් මෙම ධාතු කරඬු හමුවී තිබීම තුල මතුවන කුතුහලය වන්නේ එහි අභ්‍යන්තරයේ තව කොපමණ ධාතු කරඬු ප්‍රමාණයක් තැන්පත්ව ඇත්ද යන්නයි. ඉන් පැහැදිලි වන්නේ නීලගිරි ස්තූපය මෙරට ස්තූප නිර්මාණ ඉතිහාසයේ සුවිශේෂී ස්තූපයක් බවය. එසේ ධාතු කරඬු අති විශාල ප්‍රමාණයක් මෙහි තැන්පත් කරන්නට යෙදුණේ ස්තූපය තුළ බුදුන්වහන්සේගේ ධාතුන් තැන්පත් කර ඇතැයි යන විශ්වාසය හා භක්තිය නිසා විය හැකිය. 


5. මෙරට ස්තූප මළුවක් කැණීම් කිරීමෙන් හමුවූ වැඩිම සිරිපතුල් ගල් (බුද්ධ සංකේත) ප්‍රමාණය හමුවී ඇත්තේ මෙම ස්තූපයෙනි. 
නීලගිරි ස්තූප කැණීම් ව්‍යාපෘතියේදී එහි පළමු පේසා වළල්ලේ සිට මීටර 3ක් පිටතට ස්තූපය වටා මළුව පාදාගෙන ඇත. එම ප්‍රමාණය සම්පූර්ණ මළුවෙන් 1/20ක ප්‍රමාණයකි. එම කොටස තුළ තිබී විවිධ ප්‍රමාණයෙන් යුක්ත සිරිපතුල් ගල් 50ක් හමුවී තිබේ. මෙරට මහා ස්තූපයන් ලෙස සැලකෙල රුවන්වැලි සෑය, අභයගිරිය හා ජේතවන වන ස්තූපයන්ගේ මළුව කැණීම්වලින් පවා මෙපමණ සිරිපතුල් සංඛ්‍යාවක් හමුවී නොමැත. ඒ අනුව බුද්ධ සංකේතයක් වූ සිරිපතුල් ගල් 50ක් ස්තූපය උදෙසා පූජා කර තිබෙන්නට ඇත්තේ මෙම ස්තූපයේ බුදුන් වහන්සේගේ ධාතුන් ඇතැයි යන විශ්වාසය නිසා විය හැකිය. 


6. මෙරට ස්තූපය මළුවක් කැණීම් කිරීමෙන් හමුවූ වැඩිම ආසන ගල් (බුද්ධ සංකේත) ප්‍රමාණය හමුවී ඇත්තේ මෙම ස්තූපයෙනි. 
මෙම ස්තූප මළුවේ කරන ලද කැණීම් මගින් විවිධ ප්‍රමාණයේ ආසන ගල් 12ක් හමුවී තිබේ. මේ අනුව නීලගිරි ස්තූපය වටා බුද්ධ සංකේත ලෙස භාවිතා වූ සිරිපතුල් ගල් හා ආසන ගල් 62ක් තැන්පත්කර තිබීම තුළින් පෙනීයන්නේ මෙම ස්තූපයේ ඇති විශේෂත්වය යි. 


7. මෙරට ස්තූප මළුව් කැණීම් කිරීමෙන් හමුවූ වැඩිම ඡත්‍ර ගල් ප්‍රමාණය හමුවී ඇත්තේ නීලගිරි ස්තූපයෙනි. 
මෙම ස්තූප මළුවේ කරන ලද සීමිත කැණීමෙන් මේ වනවිට ඡත්‍ර ගල් 11ක් සාධක හමුවී තිබේ. එම ඡත්‍රවල පූර්ණ සිදුරක් නොමැතිවීමත් ක්‍රමයෙන් විශ්කම්භය අඩුවන ස්වරූපයෙන් නිර්මාණය කර ඇති බවට සාධක නොමැතිවීම නිසාත් එම ඡත්‍ර ඡත්‍රාවලියකට අයත් ඒවා නොවන බව පැහැදිලිය. ස්තූපයේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ අවධි 4ක් පමණක් හඳුනාගෙන ඇත. ඡත්‍ර දණ්ඩ දෙකක සාධක මළුවේ දක්නට ලැබේ. එක් අවස්ථාවකදී එක් ඡත්‍රයක් (දැලිවල කොටවෙහෙ​ෙරන් ලැබී ඇති රන් කරඬුවේ මෙන්) පමණක් ඔසවා තැබුවේ නම් අවධි 4කදී ඡත්‍ර 11ක් භාවිතා වූයේ කෙසේද යන ගැටලුව මතුවේ. එම ගැටලුව නිරාකරණය කර ගැනීමට ඉවහල්වන කැටයම් කිහිපයක් ඉන්දියාවෙන් ලැබේ. අමාරාවතී ස්තූපයෙන් ලැබී ඇති කැටයම් පුවරුවක දක්නට ලැබෙන චෛත්‍යයේ වෙන් වෙන් වශයෙන් දණ්ඩ දෙකක ඡත්‍ර දෙකක් දක්වා ඇත. එසේම සාංචි තොරණ කැටයමක ස්තූපයක වෙන් වෙන් වශයෙන් ඡත්‍ර 3ක් ඔසවා ඇති ආකාරය නිරූපණය කර ඇත. මෙම ක්‍රමවේදය අනුව යමින් නීලගිරි ස්තූපයට ඇති අසීමිත ගෞරවය නිසාවෙන් එකවර වෙන් වෙන් වශයෙන් ඡත්‍ර කිහිපයක් ඔසවා තබන්නට ඇති බව අනුමාන කළ හැකිය. ඒ අනුව වෙන් වෙන්ව ඔසවන ලද ඡත්‍ර දණ්ඩ කිහිපයක එක ඡත්‍රය බැගින් පිහිටුවා තිබෙන්නට ඇති බව නිගමනය කළ හැකිය. එනම් බහු ඡත්‍ර ක්‍රමයක් පවතින්ට ඇත. 


මෙම සියලුම පුරාවිද්‍යා සාධක විශ්ලේෂණාත්මකව සලකා බැලීමෙන් අනතුරුව නීලගිරි ස්තූපයේ කැණීමෙන් හමුවූ සිරිපතුල ලාංඡනය සහිත ධාතු මංජුසාවේ තිබී හමුවූ මෙම ධාතුන් වහන්සේ බුදුන් වහන්සේගේ යැයි අනුමාන කළ හැකි බව පෙනේ. 

 

 


කේ. උදේනි අරුණසිරි 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 
රත්නපුර.