උරුමය

 

 

අපේ මුතුන්මිත්තෝ ගමනාගමනයේ දී කුඩා ඇළ මාර්ගයක්, දොළ පාරක්, දිය කඳුරක් හමුවූ විට එයින් එතෙරවීම සඳහා දිය පහරේ ඉවුරු දෙක යාවෙන පරිදි ලී කොටයක් දමා ඒදණ්ඩක් නිර්මාණය කරගත්හ. දියුණු පාලම් නිර්මාණ තාක්ෂණයට අඩිතාලම වැටෙන්නේ ඒ ලෙසිනි. නූතනයේ පවා මෙරට දුෂ්කර ගම්මානවල ලී කොට උපයෝගී කරගෙන තනාගත් එවැනි ඒදඬු අපට දැකගත හැකිය. අනුරාධපුර අවධියේ දී මෙරට ඉදිකිරීම් තාක්ෂණයේ සුවිශේෂී වර්ධනයක් සිදුවන අතර ඒ අනුව එතෙක් තාවකාලික අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන ගොඩනැගූ අංග ගල් හා පිලිස්සූ ගඩොලින් නිර්මාණය කරන්නට වූහ. 


ඒ අනුව එකල මහාමාර්ග පද්ධතිය නිර්මාණයේ දී හමුවූ දුෂ්කර ස්ථාන පසුකර යාම සඳහා ගල් උපයෝගී කරගෙන පාලම් නිර්මාණයට එකල වැසියා පෙලඹුණි. මල්වතු ඔය හරහා වැටී ඇති ගල් පාලම මෙයට හොඳම නිදසුනකි. පසුකාලීනව මෙරට විදේශීය ජාතීන්ගේ යටත් විජිතයක් බවට පත්වීමෙන් පසුව පාලම් නිර්මාණය සඳහා ගඩොල් ආරුක්කු තාක්ෂණය හා ලෝහමය පාලම් නිර්මාණ තාක්ෂණය මෙරටට හඳුන්වාදෙන ලදී. වර්තමානය වනවිට එය කොන්ක්‍රීට් නිර්මාණ තාක්ෂණයක් දක්වා වර්ධනය වී තිබේ. පැරැණි රජ දවසේ සිට මෙසේ නිර්මාණය වන්න වූ ඒදඬු හා පාලම් අතරට එක්වන තවත් අපූරු නිර්මාණයකි, බද්දේගම පිහිටා ඇති සියවස් ගණනක් පැරැණි ගලින් කරන ලද ඒදණ්ඩ. 
ගල් ඒදණ්ඩ යැයි පැවසූ සැණින් එය ගලින් කරන ලද ඒදණ්ඩක් බව ඔබට සක්සුදක් සේ පැහැදිලිය. මේ සොයා යන ගල් ඒදණ්ඩ වනාහි අවුරුදු සිය ගණනක් පැරැණි නිර්මාණයකි. ඇළකින්, දොළකින්, ගඟකින් එතෙරවීමට දමා ඇති ලී කොට ඔබ ඕනෑ තරම් දැක තිබෙන්නට ඇත. එහෙත් අවුරුදු සිය ගණනක් පැරැණි ගලින් කරන ලද මෙවැනි ඒදණ්ඩක් ඔබ දැක නැතුවා නිසැකය. 


පෘතුගීසීන් අහඹු ලෙස මෙරටට පැමිණිය ද ලන්දේසීන් හා ඉංග්‍රීසීන් අපේ රටට පැමිණියේ ආක්‍රමණිකයන් ලෙසිනි. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස ලෝක සිතියමේ කැපී පෙනුණ මේ පුංචි රටේ ඇති සම්පත් තම රටට රැගෙන යාම ඔවුන්ගේ ඒකායන අරමුණ විය. වරෙක පෘතුගීසීහු ද වරෙක ලන්දේසීහු ද තවත් වරෙක ඉංග්‍රීසීහු ද අපේ පොළොවෙන් මතුවුණු මුතු මැණික් පමණක් නොව අපේ මිනිසුන්ගේ ශ්‍රමයෙන් වැපිරුණු අස්වනු ද තමන්ගේ රටවලට රැගෙන ගියහ. 


මේ සිද්ධි දාමයේ දී විදේශීය ජාතීන්ගෙන් අපේ පොළොවට, අපේ මිනිසුන්ට, අපේ උරුමයට බොහෝ අකටයුතුකම් සිදුවුණ බව සැබෑය. ඒ අතර ඔවුන්ගෙන් සිදුවූ සේවාව ද අගය කළ යුතුමය. ලන්දේසීන්ගේ හා ඉංග්‍රීසීන්ගේ ප්‍රධාන අභිප්‍රාය වූයේ මෙරට වතු වගාවන්ගෙන් උපදින ධනය සරිකර ගැනීමය. මේ නිසාවෙන් ඔවුන් මෙරට වතු වගාව දියුණු කිරීමට බොහෝ පියවර ගන්නා ලදී. ඒ යටතේ වතු බෝග ව්‍යාප්ත කළා සේම වතු වගා පිහිටි දුෂ්කර ප්‍රදේශ කරා වැටී තිබූ මංමාවත් දියුණු කරන ලදී. 


එහිදී එම මාවත් හරහා වැටී තිබූ ගංගා ඇළ දොළ හා කඳු මිටියාවත් තරණය සඳහා පාලම් ද නිර්මාණය කරන ලදී. එසේම භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය මාර්ග පද්ධතිය හඳුන්වාදෙන ලදී. මේ අවධියේ දී ගොඩබිම ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වූවා සේම ගංගා ඇළ දොළ ආදිය ද ඒ සඳහා භාවිත කරන ලද බවට ඉතිහාසයෙන් සාධක ලැබේ. 
අද සොයා යන ගල් ඒදණ්ඩ ද එවැනි ජල මූලාශ්‍රිත ප්‍රවාහන මාධ්‍ය නිසාවෙන් උපත ලද්දකි. ගිංගඟ කොමළිය පසුගිය කාලයේ දී බොහෝ සැඩපරුෂ ලෙස ගම්-බිම් යටකරමින් මහ සයුරට බැසගිය බව ඔබට මතක ඇති. අතීතයේ දී අපේ පැරැන්නන් මෙම ගංගාව ද ප්‍රවාහන මාධ්‍යයක් ලෙස යොදගෙන තිබූ බවට කොතෙකුත් සාධක ලැබේ. ගඟ දෙපස තවමත් ශේෂ වී ඇති පැරැණි තොටුපොළවල නටබුන් මෙන්ම ඒ පිළිබඳ ජනප්‍රවාද එයට දිය හැකි කදිම උදාහරණ වේ. 


බද්දේගම මීමැඩුම ප්‍රදේශයේ දී ගිංගඟ ගලායන දිය දහරට සමාන්තරව එක් ඉවුරක ඉදිකර ඇති මෙම ගල් ඒදණ්ඩ දුටු අයෙකුට මෙය කුමක් සඳහා නිර්මාණය කරන ලද්දක්දැයි සිතෙනු ඇත. මෙම ඒදණ්ඩ යටින් කුඩා දිය පහරක් ගඟ වෙත ගලා ආ බවට අදටත් සාධක වේ. මෙම ඒදණ්ඩ ගොඩබිමෙන් සාමාන්‍ය ලෙස පයින් ගමන් කරන ලද මිනිසුන්ගේ පහසුව සඳහා ඉදි කළේ නම් ඉතා අවදානම් ලෙස ගඟට ඉතාමත් ආසන්නයේම ගං ඉවුරේ ඉදි කළේ ඇයිද යන ගැටලුව මතු වේ. 


ඒ අනුව මෙහි ඉතිහාසය සොයා යන විට පැහැදිලි වූයේ මෙය සාමාන්‍ය ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිත නොවූ බවයි. ලන්දේසී පාලන සමයේ දී බද්දේගම හරහා නාගොඩ ප්‍රදේශයට භාණ්ඩ ප්‍රවාහනයට භාවිත කර ඇත්තේ ගිංගඟයි. එහිදී ගිංගඟේ යාත්‍රා කරන පාරු මගින් මෙම භාණ්ඩ ප්‍රවාහනය කර තිබේ. පාරුවේ සිටින තොටියා තම අතෙහි වූ රිට ගංපතුලට තබමින් හෝ හබල් ගාමින් තම පාරුව හසුරුවන විට ගොඩබිමේ සිටි තවත් අයෙක් ඔහුට සහාය දී ඇත. ඒ කෙසේද යන්න ඔබට දැන් ගැටලුවක් වෙනු ඇත. 
 පාරුවේ ගැට ගසන ලද කඹයක් අතට ගත් තවත් අයෙක් ගං ඉවුර දිගේ වැටී තිබූ පාරක් ඔස්සේ එම කඹය ඇදගෙන ගොස් තිබෙන බව ඇසුවොත් ඔබ පුදුමවනු නියතය. එහෙත් එය සැබෑවකි. විශේෂයෙන්ම ගිංගඟේ ඉහළට පාරු මගින් භාණ්ඩ ප්‍රවාහනයේ දී චණ්ඩ රළ පහරට මුහුණ දී පාරුව උඩුගමට ගෙනයාම සඳහා පාරුවේ සිටි තොටියාට මෙසේ ගොඩබිම සිටි අයෙකු සහාය දී තිබේ. 


මෙය එහා ඉවුරේ සිට මෙහා ඉවුරට පාරුවක් අදිනවාට වඩා වෙනස් කාර්යයකි. මෙසේ ගිංගඟ ඉවුර දිගේ තනා තිබූ පාරක් එකල තිබූ බව අතීත තතු දන්නා මෙම පරම්පරාගත ගැමියෝ තවමත් පවසති. එම පාර වැටී තිබූ එක් ස්ථානයක කුඩා දියපහරක් පාර හරස් කරමින් ගිංගඟ වෙත ගලා ආ නිසා එම ඇළ මතින් කඹය ඇදගෙන යන පුද්ගලයාට එගොඩවීම සඳහා මෙම ගල් ඒදණ්ඩ තනා තිබූ බවට ගැමියෝ කරුණු සඳහන් කරති. වර්තමානය වනවිට ගං ඉවුරේ බොහෝ ඉඩකඩම් පෞද්ගලික සන්තකයට නතුවීම නිසා එම පාර පිළිබඳ සාධක දැකගත නොහැකි වේ. 


එම අතීත කථා පුවත ජීවමාන කිරීමට දැනට ශේෂව ඇති එකම සාධකය වන්නේ මෙම ගල් ඒදණ්ඩයි. ලන්දේසීන් විසින් සිංහල ගල් වඩුවන් ලවා තනවන ලද මෙම ගල් ඒදණ්ඩ තනි ගලෙන් නිර්මාණය කර තිබේ. අඩි 12ක පමණ දිගින් යුක්ත මෙහි පළල අඩි 1.5ක් පමණ වේ. ඝනකම අඩියක් පමණය. පා තබන මතුපිට පෘෂ්ඨය ලිස්සා නොයන ලෙසත් පාදයට දැඩි ලෙස රළුව නොදැනෙන ලෙසත් මනාව නිර්මාණය කර තිබේ. 


කට්ටා කපන ලද සලකුණු ඒදණ්ඩේ යට පෘෂ්ඨයේ මනාව දැක ගත හැකි වේ. මෙම ගල් ඒදණ්ඩ රඳවා ඇත්තේ ගිංගඟ වෙත ගලා එන ඇළ පාරේ දෙපස ගිං ගඟ ඉවුරේ එක් පසක කළු කුට්ටි තබා ආනතියක් පිහිටන ලෙස තැනූ වේදිකා ද්විත්වයක් මතය. මෙම වේදිකා ද්විත්වයේ උස අඩි 12ක් පමණ වේ. වසර සිය ගණනක් ගතවුවද එම ගල් බිත්ති අදට ද ශක්තිමත්ව පවතින නමුදු එම බිත්ති සමග ගං ඉවුරේ තනා තිබූ පැරැණි බැමි කොටස් කිහිපයක් ඉවුරු ඛාදනය නිසා දැනට ද ගඟට කඩා වැටී තිබෙනු දැක ගත හැකිය. මේ සඳහා යොදාගෙන ඇති බදාමය ලන්දේසීන්ගේ ඉදිකිරීම් සඳහා භාවිත කරන ලද බදාමයට සමාන බව හඳුනාගත හැකි වේ. 


ගාල්ල කොටුව නිර්මාණයේ දී ද භාවිත කර ඇත්තේ මෙවැනි බදාමයකි. ප්‍රධාන පාරට මදක් ඔබ්බෙන් පිහිටි මෙම ඒදණ්ඩ පාරේ යන කිසිවෙකුට එකවර දර්ශනය නොවන අතර එයට ළඟාවීමට ඇත්තේ අඩි 2ක් වත් පළල නොමැති පටු මාවතකි. නමුදු එවැනි මාවතක් හෝ ඉතිරි කර තිබීම අගය කළ යුතුය. බද්දේගම අගලිය මාර්ගයේ පිහිටා ඇති මෙය වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව පිහිටා තිබේ. 


අනුරාධපුර යුගයේ දී ගංගා, ඇළ, දොළ, වැව් ජල තලයන් අතර ඉදිකරන ලද ගල් පාලම්, ගල් සොරොව්, ගල් අමුණු ඔබ කොතෙකුත් දැක තිබෙන්නට පුළුවන. ඒවා අපේ පැරැන්නන්ගේ අද්විතීය හැකියාව කියාපාන උරුමයෝ වෙති. මෙම ඒදණ්ඩ විදේශිකයන්ගේ අවශ්‍යතාවට ඉදිකරන ලද්දක් වුවද මෙහි ගැබ්ව ඇත්තේ අපේ මිනිසුන්ගේ හැකියාව හා ශ්‍රමයයි. එම නිසා මෙම අපුරු ඒදණ්ඩ ද අපේ උරුමයේ තවත් කොටසක් ලෙස සැලකීමට කාලය එළඹ ඇති බව වටහා ගත යුතුය. මන්ද මෙවැනි නිර්මාණ ඉතා දුලබ වන බැවිනි. 

 

 


කේ. උදේනි අරුණසිරි 
ගාල්ල.