මුණුපුරු ප්‍රදීප් ජයවර්ධනගේ මතකයෙන්  

 

ජපන් අධිරජ අකිහිතෝ කුමරු සහ කුමරිය ජේ.ආර් ගේ වත්තට පැමිණි මොහොත

 

  • වත්තේදී එතුමා වැඩිපුරම ක​ළේ පොත් කියවීම  
  • එක්වරම බිමට පහත් වී කරන කැනේඩියානු ව්‍යායාමයක් තිබුණා. ඒක කරන්න ජේ.ආර්. හරිම කැමැතියි.  
  • අත්තනගලු ඔය පටන් ගන්නෙත් කුඹල්ඔලුව වත්තෙන් ද? 

 

ලංකා ඉතිහාසය හරි අපූරු එකක්. ඒ වගේම ඉතා ගැඹුරු එකක්. තවමත් නිවැරදිව අධ්‍යයනය නොකළ පුළුල් ගැඹුරකින් පිරි එකක්. එතුළ තියෙන්නේ යම් අර්ථවත්භාවයක්. පිරිපුන් ගතියක්. මේ අර්ථවත් භාවයේ තියෙන්නේ මිශ්‍රවුණු සංස්කෘතියක්. මේ මිශ්‍ර සංස්කෘතිය ඇතුළෙන් මතුවෙන්නේ දේශීයත්වය, ජාතිකත්වය, අභිමානය.  
 මේ කියන මිශ්‍ර සංස්කෘතියෙ එක කොටසක් නියෝජනය කරනුයේ ජයවර්ධන පරම්පරාව. ඒ කියන්නේ මගේ සීයගෙ පරම්පරාව. සීයගෙ පරම්පරාවට තියෙන්නේ වෙනම අනන්‍යතාවක්. ඒ වෙනම ලකුණක්. මේ ලකුණ නියෝජනය වෙන්නේ හෝඩියේ අකුරු දෙකකින්. සිංහලෙන් ලිව්වත්, කිව්වත්. ඉංග්‍රීසියෙන් ලිව්වත් කිව්වත් ඒ අකුරු දෙක සුවිශේෂියි ඒ අකුරු දෙක වෙන්නෙ ජේ.ආර්. කියන අකුරු දෙක.’ එසේ කියන්නේ හිටපු ජනපති ජේ.ආර්.ගේ මුනුපුරු ප්‍රදීප් ජයවර්ධන. මේ ඔහුගෙ ඇති මතක ගොන්නෙන් ටිකක්.  
 ජේ.ආර්. අයත් වුණේ ජයවර්ධන පරම්පරාවට. ඒ පරම්පරාවේ ආරම්භයේ ලකුණ සනිටුහන් වෙන්නේ ජේ.ආර්ගේ පියාගෙන්. ජේ.ආර්ගේ පියා වුණේ ඊ.ඩබ්ලිව්. ජයවර්ධන. වෘත්තියෙන් කීර්තිමත්, ගෞරවණීය රාජකාරියක නියැලුණු කෙනෙක්. ඒ කොළඹ අධිකරණයේ නීතිඥවරයකු මෙන්ම විනිශ්චයකරුවකු ලෙස කටයුතු කිරීමෙන්.   
එතුමා විවාහ වුණේ ඒ වගේම තවත් පරම්පරාවක තරුණියක් සමග. ඒ ඇග්නස් හෙලන් නම් තරුණිය එක්ක. මේ ඇග්නස් හෙලන් අයත් වුණේ තුඩුගල විජේවර්ධන කියන පරපුරට. ඒ පරපුරට අයත් වුණු තවත් නාමයක් වුණේ ඩොන් පිලිප් කියන නම.  


 ඊට පසු ඔවුන් හඳුන්වනු ලැබුවේ ඩොන් පිලිප් තුඩුගල විජේවර්ධන නමින්. මේ අය ව්‍යාපාරිකයන්. ඒ වගේම විශාල ධනයකට හිමිකම් කියූ පරපුරක්. මේ පරම්පරාව නුවර යුගය දක්වා ගිය එකක්. ඒ වගේම කෝට්ටේ රාජධානිය දක්වාම ගිය එකක්. මෙම පරම්පරාවේ මුල් පරපුරේ ඇත්තන් රාජසිංහ රජ්ජුරුවන් යටතේ සේවය කළා කියලයි ලංකා ඉතිහාසයේ සටහන් වෙන්නේ.  


ජේ.ආර්ගේ පියා, ඇග්නස් හෙලන් සමග විවාහවීමෙන් ලැබුණු දෑවැද්දට අයත් වුණා විශාල වත්තක්. ඒ වේයන්ගොඩ, කුඹල්ඔලුව වත්ත සහ ඉඩම. ඉඩමේ විශාලත්වය වුණේ අක්කර එකසිය හැත්තෑවක්. ජේ.ආර්ගේ පියා ඊට පස්සේ තවත් විශාල ඉඩමක් මිලයට අරගෙන කුඹල්ඔලුව වත්තට එකතු කළා. ඒ විශාල ඉඩම තමයි ජේ.ආර්.ගේ පියා තමන්ගේ දරුවන්ට බෙදලා දුන්නෙ. ජේ.ආර්ගේ පියා නැතිවුණේ අඩු වයසකින්. ඊට පස්සෙ මේ ඉඩම් බලාගෙන දරු පවුල ගොඩනැගුවෙ ජේ.ආර්.ගෙ මව. ඒ ඇග්නස් හෙලන්. ජේ.ආර්ගේ අම්මා. ඊට පස්සෙ ගත්තු තීරණයක් වුණේ මේ කුඹල්ඔලුව වත්ත තමන්ගේ දරුවන්ට බෙදාදීම. එතනදී ඉඩම් බෙදුවෙ සම ප්‍රමාණයෙන්. ඒ අනුව එක දරුවෙකුට ලැබුණා අක්කර පහළොව බැගින්. ඉඩම් බෙදන කාලෙ වෙනකොට එක දරුවෙක් නැතිවෙලයි තිබුණේ. ඒ අනුව දරුවන් දහදෙනෙකුටයි ඉඩම බෙදුවෙ.  

 

වලවිවේ සම්පූර්ණ ඉදිරි පස

 


 මේ ඉඩම කොටස් දහයකට කඩලා බෙදලා දුන්නේ හරි අපූරු ක්‍රමයකට. ඒ ඉඩම් කට්ටිවල අංක දහය කොළ කෑලි දහයක ලියලා රෝල් කරලා උඩ දැමීමෙන්. මේ තුණ්ඩු අහුලන්න දුන්නෙත් වැඩිමල් දරුවගෙ ඉඳලා බාල දරුවා වෙනකම් කියන පිළිවෙළට.  


මෙතනදී පළවෙනි තුණ්ඩුව ගැනීමේ වරම හිමිවුණේ ජේ.ආර්ට. ඒ ජේ.ආර්. වැඩිමහල් දරුවා වීම හේතුවෙන්. ඒ වෙනකොට ජේ.ආර්. හිටියේ විවාහවෙලා. ඒ අවස්ථාව එතුමා ලබාදුන්නා බිරිඳට. එතෙනදී එතුමා එලීනාට කියලා තියෙන්නේ ‘හෙමීට ගන්න’ කියන වචන දෙක. ඒ අනුව තමයි කුඹල්ඔලුව වත්තේ ගේ තියෙන ඉඩම් කොටස ජේ.ආර්.ට හිමිවෙන්නේ. ඊළඟට ජේ.ආර්. කුඹල්ඔලුව වත්තෙ ඉතුරු කොටස් ගත්තු තමන්ගෙ සහෝදර සහෝදරියන්ගේ කැමැත්ත අරගෙන ඒ අයගේ ඉඩම්වලින් කොටස් කිහිපයක් සල්ලිවලට අරගත්තා. ඒ ඉඩම් ප්‍රමාණය අක්කර පනහක්. ඒ එක්කම වටපිටාවෙන් තවත් ඉඩම් මිලයට ගත්තා.  


ඉස්සරම මේ ගමේ වැඩිපුරම වගා කරනු ලැබුවේ රබර්. ඊට අමතරව පොල්. ඒ කාලෙ මේ ඉඩමෙන් ලැබුවා හොඳ ආද‌ායමක්. පස්සේ ඒ තත්ත්වය  කිසියම් වෙනස්වීමකට ලක්වුණා. ඒ යුද්ධයෙන් පස්සේ. ඒ රබර් මිල ගොඩක් අඩුවීමෙන් ආද‌ායම් පහත වැටීම. ඊට පස්සේ වැඩි අවධානය යොමුකළේ පොල් වගාවට. පසුකාලීනව හඳුන්වලා දුන්නා ගම්මිරිස් වගාව. ඒ ආද‌ායම් වැඩිකර ගැනීමට. ඒ වගේම වගා කළා පලතුරු ගස්.  


 මේ ඉඩමට ගොඩක් ප්‍රියකළ කෙනෙක් ජේ.ආර්. ඉන් ප්‍රධානම හේතුව වුණේ නිදහසේ ඉන්න හැකිවීම. අනිත් කාරණය වුණේ කෘෂිකර්මයට තිබුණු කැමැත්ත, උනන්දුව. ජේ.ආර්. සීයා මේ කුඹල්ඔලුව වත්ත නිතරම පාවිච්චි කළා දේශපාලනයේ වැඩකටයුතු අධිකවීමට කලින්. එතෙන්දි එතුමාගේ බාල සහෝදරයා මොන්ටි ජයවර්ධන තමයි මේ ඉඩම වැඩිපුරම බලාගත්තේ.  


කුඹල්ඔලුව වත්තේදී එතුමා ගතකළේ නිදහස් ජීවිතයක්. හැමද‌ාම උදේ පාන්දරින්ම නැගිටීම එතුමාගේ පුරුද්දක්. ඒ ඇවිදින්න යන්න. එතුමා ද‌ාගන්නවා වෙනම සපත්තු දෙකක්. ඒ සපත්තු දෙක දාගෙන සරමයි, කමිසයයි ඇඳගෙන, කුඩේකුත් අතින් අරගෙන තමයි එතුමා වත්තෙ ඇවිදින්නෙ.  


දවසක් එහෙම ඇවිදින්න ගිය වෙලාවක මම ගත්තා පිංතූරයක් කැමරාවෙන්. ඒ වෙලාවෙ මගේ අතේ තිබුණෙ දිග කෝටුවක්. මං ඒ කෝටුව එතුමට අල්ලගන්න දීලා තමයි ඒ පිංතූරේ ගත්තේ. උදේ හයහමාරට විතර වත්තෙ ඇවිදින්න ගත්තම මුළු වත්ත වටේටම ඇවිදිලා තමයි නතරවෙන්නෙ. ඒ වගේම අහල පහළ ගම්වලටත් ඇවිදින්න යනවා. හමුවෙන හැමෝමත් එක්කම කතාබහ කිරීම එතුමා හැමද‌ාමත් ආසාවෙන් කළ දෙයක්.  


 එකපාරක් අපි එහෙම ඇවිදින කොට හමුවුණා මරපු විශාල පිඹුරෙක්. එතෙන්දී අපි ඉල්ලුවා මරපු පිඹුරව. ඒ පිඹුරු හමගන්න. අන්තිමට වද කරලා කොහොමහරි පිඹුරව ගත්තා. ඒකට සල්ලි ගෙව්වා. ඊට පස්​සේ අපි සීයට කිව්වා පිඹුරු හමෙන් අපිට බෙල්ට් හදලා දෙන්න කියලා. පිඹුරගෙ හම ගලවලා ලණුදමලා තමයි ගෙනල්ලා තිබුණේ. ඊට පස්සෙ එලීනා ආච්චි සපත්තු හදන තැනකට පිඹුරු හම දීලා අපිට බෙල්ට් හදලා දුන්නා. පිඹුරු හම හරි තුනියි. ඒ හින්දා තව හමකට තියලයි බෙල්ට් හදලා තිබුණේ. ඒවා හරි ලස්සනයි. වයිරම් තියෙනවා. අපිට හදලා දුන්නු බෙල්ට් තුන හරි ආසාවෙන් කළිසම්වලට ද‌ාගෙනයි හිටියෙ.  


 වත්තෙ ඇවිදීම සැලකුවෙ එතුමා ව්‍යායාමයක් විදිහට. කොළඹ ඉන්නකොට එතුමා කරපු ව්‍යායාමයක් තිබුණා. ඒ කැනේඩියානු ගුවන් හමුද‌ාවේ ව්‍යායාමයක්. ඒක මූලික ව්‍යායාම පහක තිබුණු එකක්. ඒ පහ දිගටම කරන්න කරන්න හරි ගැඹුරට යන එකක්. මේ ව්‍යායාම් පද්ධතියෙ තිබුණු අමාරුම ව්‍යායාමය වුණේ ‘පුෂප්’ ව්‍යායාමය. ඒ පුෂප් කරපු ගමන්ම අත්දෙක එකතු කරලා අත්පුඩියක් ගහගෙන බිම නොඅල්ලාම නැගිටින එක. සීයට මේක හරිම ලේසි ව්‍යායාමයක් වුණා. මේක විනාඩි එකොළහක ව්‍යායාමයක්. ඒක අංගසම්පූර්ණ ව්‍යායාමයක්. ජේ.ආර්. මේ ව්‍යායාමය කළේ වලව්වේ කාමරේ දොර වහගෙන. ඉවරවෙලා එළියට එන්නේ ද‌ාඩිය ද‌ාගෙන.  


 වත්තට ගියහම එතුමා ආසාවෙන් කරන දෙයක් තමයි උදේ පාන්දරම තැඹිලි, කුරුම්බා බොන එක. වීදුරුවකට ද‌ාලා බොන්න තමයි හරිම කැමති. වත්තෙදී එතුමා වැඩිපුරම කළේ පොත් කියවීම. ගමේ විදියට හදපු කොස්, දෙල්, කරවල තෙල් ද‌ාලා කොළ මැල්ලුම් කන්න ආසයි. වත්තෙදි එතුමා ගතකළේ හරිම නිදහස් ජීවිතයක්. අමුත්තන් හමුවීම, දේශපාලන කටයුතු වත්තේදී කළේ ඉතාම කලාතුරකින්.  


කුඹල්ඔලුව වත්තේදී ජේ.ආර්. සීයා තවත් දෙයක් කළා හරිම ආසාවෙන්. ඒ වත්තෙ තිබුණා ඔයක්. ඒ ඔයේ එක තැනක් තිබුණා ස්වභාවික නාන තටාකයක් විදියට හැදුන තැනක්. ජේ.ආර්. සීයා ඒ නාන තටාකයේ බැහැලා නාන්නෙ හරි ආසාවෙන්. ඒ වගේම තමයි කට මට්ටමට වතුර පිරිලා තිබුණු ළිඳෙන් වතුර නාන එක. පනිට්ටුවෙන් වතුර අරගෙන ඔලුවටම හලාගත්තෙත් හරි ආසාවෙන්. මේ කුඹල්ඔලුව වත්තෙ හැම තැනකම තිබුණා ස්වභාවික ජල උල්පත්. උල්පත් ජලය තමයි දිය පහරවල් වෙලා ගලාගෙන ගියේ හැම පැත්තකටම. ඒ වාගේම අත්තනගලු ඔය පටන් ගන්නෙත් කුඹල්ඔලුව වත්තෙන් කියලා සීයා නිතරම කියපු කතාවක්.  

 

ජේ ආර් මෙහෙය වූ දැදිගම ජන්ද සටන

 


සීයා කුඹල්ඔලුව වත්තෙ ඉඳගෙන කළා ලොකු මෙහෙයුමක්. ඒ දැදිගම අතුරු මැතිවරණය මෙහෙයවීම. අත්තනගල්ල බලකොටුව මැදට වෙන්න තමයි පිහිටා තිබුණෙ කුඹල්ඔලුව වතුයාය. සීයා මෙතනදි කරලා තියෙන්නේ දේශපාලන උපායක් අනුගමනය කරන එක. ඒ ඉඩම සීයට තිබුණු හින්දා තමයි කලින්ම කුඹල්ඔලුව වත්තට ගිහින් නැවතුණේ.  
අත්තනගල්ල කියන්නෙ ශ්‍රීලනිපයෙ දේශපාලන බලකොටුව. දේශපාලනයේ ගැහෙන හදවත. ඒකයි අත්තනගල්ලට වැඩිපුරම බලය රඳවගත්තෙ. දැදිගම අතුරු මැතිවරණය දිනන්නම තමයි එද‌ා වැඩ කළේ. ඒකට ප්‍රධාන මෙහෙයුම් මූලස්ථානය වුණේ අත්තනගල්ල දේශපාලන බලකොටුව. එතන ඉඳන් තමයි හැමදෙයක්ම සැලසුම් කරලා තිබුණෙ. ඒ අතුරු මැතිවරණය එජාපයටත් ඉතාම වැදගත්. ඒ ඩඩ්ලිගෙ ඡන්ද බලාකොටුව. ඒ හින්දම ජේ.ආර්. සීයා පෞද්ගලිකවම ඒකට මැදිහත් වුණා. පෞද්ගලිකවම ඡන්ද සටන මෙහෙයවූවා. ඒ වුණාට ශ්‍රීලනිපය වෙනස්ම ආකාරයේ ක්‍රියාවක් පටන් අරගෙනයි තිබුණේ. පිට පළාත්වල චණ්ඩි බස් පිටින් ගෙනල්ලා මුළු අත්තනගල්ලම වළල්ලක් වගේ වටකරලයි තිබුණේ. ඒ සීමාව ඇතුළට පිට පක්ෂවල ඡන්ද කටයුතු කරගෙන යන්න බැරි විදියට. ඒක ඇත්තටම හරි භයානක තත්ත්වයක්. තනිකරම මැර තත්ත්වයක්.  
 මේ කුඹල්ඔලුව වත්තට ආවා එක වතාවක් ජපානයේ අධිරජු අකිහිතෝ කුමාරයා සහ කුමරිය ඒ ජේ.ආර්. සීයා පවත්වපු තේ පැන් සංග්‍රහයකට සහභාගිවෙන්න. ජපන් රජුයි, රැජිණයි ගමන් කළේ විවෘත ජීප් රථයක. ඒ ගමන ඔවුන් යොදාගෙන තිබුණෙ කුඹල්ඔලුව වත්ත අවට ගම්මානවල ගම්වැසියන් පවත්වපු ප්‍රදර්ශන හෙළ කලා උත්සවයක ආරාධිතයන් විදිහට සහභාගිවීම වෙනුවෙන්.  


 යුද්ධ කාලෙ ලංකාවට බෝම්බ දැමීමේ තර්ජනයක් ඇවිත් තිබුණා. ඒ වෙලාවෙ සීයා කොළඹින් ඈත්වෙලා මේ කුඹල්ඔලුව වත්තෙ තමයි රහසිගතව නැවතිලා හිටියෙ. ඒ වෙලාවෙ ජේ.ආර්. සීයත් කොළඹ එනවා. එලීනා ආච්චියි, ආච්චිගෙ අම්මයි, මගේ තාත්තා රවි ජයවර්ධනයි, එතකොට තාත්තා පුංචි දරුවෙක්. මේ වත්තේ තමයි ආරක්ෂාවට නැවතිලා හිටියෙ. ඒ කාලෙ පොළවෙ බංකරයකුත් හදලා තිබුණා හදිසි අවස්ථාවක ආරක්ෂා වෙන්න. අද ඒ බංකරය යටවෙලා. මගේ තාත්තා නම් ඔය වත්තෙ ජීවත්වෙන්න අකමැති වෙලා තියෙන්නෙ ඒ කාලෙ තිබුණු අඩු පහසුකම් හින්ද,  


මේ පරණ වලව්වක්. ගේ වටේටම තියෙනවා ස්තෝප්පුවක්. මැද මිදුලක් නැහැ. හතර පැත්තටම කාමර හතරක් තිබුණා. ගේ මැද තමයි කෑම කාමරේ තියෙන්නේ. ඊට මෙහායින් තියෙන්නේ තේ බොන්න පාවිච්චි කරන මේසය. එක කාමරයක් තිබුණා ලොන්ඩරි කටයුතුවලට. පිටිපස්සෙ මිදුලක් තිබුණා. අර ලොන්ඩ්‍රි කාමරය සීයා වෙනස් කරලා පුංචි පුස්තකාලයක් දැම්මා. ඊට පස්සෙ ඒක පාවිච්චි කළේ ආරක්ෂක නිලධාරීන්. වත්ත බලාගත්තෙ හේරත් කියන මුරකරු. එයාට වෙනම ගෙයක් තිබුණා වත්තෙම.  


 සීයා ගස්වලට හරි කැමැතියි. සීයා දූරියන් ගස්වලට හරි කැමැතියි. ඒවා වැඩිපුරම පැළකරා. තව ඉන්දුවා කළුවර ගහක්. සීයාම කොස්ගස්, දෙල් ගස් මේවත් හිටෙව්වා. අද ඒ ගස් ලොකුයි. සීයට වැඩ අධික කාලයක මහා භාරකාර දෙපාර්තමේන්තුව බලාගත්තා. මේ වත්ත මට අයිති වෙන්නේ මගේ තාත්තගෙන්. එක වෙලාවක මේ වත්ත තාත්තා විකුණන්න හැදුවා. මිල ගණන් නම් ඉහළයි. ඒ වෙලාවෙ ඒක ගන්න මට පුළුවන්කමක් තිබුණේ නෑ. නමුත් ඕනෑකම තිබුණා. පස්සට ඇදි ඇදී ගියේ මුදල් ප්‍රශ්න හේතුවෙන්. එක වෙලාවකදී මට නිමිත්තක් පෙන්නුවා. ඒ කිසිම හේතුවක් නැතුව මගේ කාර් එක පාරේ යද්දීම එකපාරටම නතර වුණා. ඒ වෙලාවෙ එකපාරටම හිතට ආවෙ ඉඩම. ඒ බය හින්දම මගේ තිබුණු ඉඩමක් විකුණලා මේ වත්ත ගත්තා. මගෙන් පස්සෙ මේ වත්ත මගේ දරුවන් තුන්දෙනාටයි පැවරෙන්නේ.  


 මේ වත්ත ඉතිහාසයක් තියෙන වත්තක්. ඒ ඉතිහාසය මිශ්‍ර ඉතිහාසයක්. ඒ වගේම යුගයක් නියෝජනය කළ වත්තක්. ලොකුවට දේශපාලන කටයුතුවලට වත්ත සම්බන්ධ නොවුණට තීරණාත්මක කටයුතුවලට සම්බන්ධ වුණා. මේ වත්තට ගැටලුකාරී අවස්ථාවල විවේකය, නිදහස් පතාගෙන එන සීයා මෙතනින් ආපහු යන්නේ වෙනස්ම සාර්ථක සැලසුම් හදාගෙන. එතුමා කිව්වේ කුඹල්ඔලුව වත්ත මනස සන්සුන් කරන තැනක් කියලයි. විශේෂම දේ හැත්තෑ ගණන්වල එජාපය පල්ලෙහාටම වැටිච්ච වෙලාවෙ පක්ෂය නැවත ගොඩනගන්න ඉස්සෙල්ලා වත්තට ගිහිල්ලා විවේකයෙන් ඉඳගෙන සැලසුමක් හදලා මෙහෙයුමක් කළේ මේ වත්තෙ ඉඳගෙන. නමුත් එතුමා වත්තට ගියේ විවේක ගන්නමයි. විවේකය ඉවරවෙලා ආපහු එන්නේ අලුත් සැලසුම් එක්ක අලුත් නැගිටීමකින්. පියවරකින්.  


ජේ.ආර්. ජයවර්ධනයන්ගේ රථය ආරක්ෂිතව පදවමින් අතුරු මැතිවරණ සටනට මුහුණ දුන් ලක්ෂ්මන් සේනාතිලක මහතා අතුරු මැතිවරණ සටනේ අගමුල මනාව දත් අයෙකි. මේ ඔහු එම කතාව පැවසූ ආකාරයයි.  


 බෝතලේ වලව්වේ ලොකු රැස්වීමක් තිබුණා. මට ජේ.ආර්. මහත්තයාව හමුවෙන්නෙ එතනදී. ඒ තීරණය අනුව තමයි දැදිගම අතුරු මැතිවරණය මෙහෙයව්වේ. ඒ සටනේ සාකච්ඡාවට ගාමිණී දිසානායක, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, කරුණාසේන කොඩිතුවක්කු, ඔසී අබේගුණසේකර වගේ කට්ටිය සම්බන්ධ වෙලා හිටියා. වරින්වර ප්‍රේමදාසත් ආවා.  
 ඊට පස්සේ ජේ.ආර්. මහත්තය හමුවුණේ කුඹල්ඔලුව වත්තේදි. එද‌ා තමයි එතුමා මට කිව්වේ වාහනය පැදවීමෙන් උදව් කරන්න කියලා.  

 

 


එක පාරක් අපි ගියා ජීප් එකක මැතිවරණ වැඩවලට. ජේ.ආර්. මහත්තයා හිටියේ ජීප් රථයෙ ඉස්සරහා වාඩිවෙලා. රුක්මන් සේනානායක මහත්මයා හිටියේ පිටුපස. අපි ගිය පාරේ රැස්වීමක් තිබුණා. වේදිකාවෙ හෙන බජව්වක්. කොල්ලො කෙල්ලො සෙට් එකක් නටනවා. ජීප් එක ළංවෙන කොටම එකපාරටම කට්ටියක් ජීප් එක වට කළා. දැන් අපිව වටකරලා ගහන්න තමයි සූදානම. හොඳ වෙලාවට එතන නන්ද එල්ලාවල හිටියා. මගේ කෑගැගිල්ලට නන්ද එල්ලාවල දුවලා ඇවිත් අපිව බේරාගත්තා. මම බැලුවා ජේ.ආර්. දිහා. කිසි කලබලයක් නෑ. සීට් එකේ වාඩිවෙලා හිනාවෙවී ඉන්නවා.  


 තව පාරක් අපිට ගැහුවා, පාර වැදුණෙ ජීප් එකේ ඉස්සරහා වීදුරුවට. මගේ පැත්තෙ වීදුරුව බිඳුණා. ඒක දැක්ක වාසුදේව නානායක්කාර දුවලා ආවා. ඇවිත් බේරාගත්තා. ජේ.ආර්. ට ගානක්වත් නෑ. හිනාවෙවී ඉන්නවා.  


 එක තැනකදී ජේ.ආර්. මහත්තයා ජීප් එකෙන් බැහැලා කුඹුරක් මැදින් ගියා පන්සලකට යන්න. ජේ.ආර්. යන මාර්ගයෙ හිටියා රතු ෂර්ට් කාරයො ටිකක්, පොලු අතේ තියාගෙන. ජේ.ආර්. ගිහිල්ලා කතා කළා. පොලු ටික ඉබේම බිමට වැටුණා. අන්තිමට ජීප් එක පාරෙන් පිට පැන්නම ඒ කොල්ලො ටික එකතුවෙලා ජීප් එක උස්සලා ආපහු පාරෙන් තිබ්බා.  
 එක පාරක් පොලුවලින් ගුටිකන එකෙන් බේරුණා. හූ කියන ඒවා ඉවරයක් නෑ. හූ තිබ්බ ගමන් වාහනයෙන් බැහැලා හිනාවෙලා අත වනනවා.  


ජේ.ආර්. ජයවර්ධන මහත්තයා අතුරු මැතිවරණයට මුහුණ දීලා දිනුවෙ යුද්දෙකින් දිනලා එන සෙන්පතියෙක් වගේ. පොඩ්ඩක්වත් බය වුණේ නෑ. භීෂණය අස්සේ හැම ගමකම පාරකම ගියා. මිනිස්සු අතරට ගියා.  


 මේ හැම දෙයක්ම කළේ වේයන්ගොඩ කුඹල්ඔලුව වලව්වේ ඉඳගෙන. මගේ විශ්වාසය වෙන්නේ මේ වලව්ව ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ විශේෂ සන්ධිස්ථානයක්. ඒ වගේම සංස්කෘතික වටිනාකමක් එක්වුණු තැනක්. ඉතිහාසයේ එක්තරා කාලයක් නියෝජනය කළ තැනක්.   

 


අරුණඩේල් විජේරත්න  
ඡායාරූප - ප්‍රදීප් ජයවර්ධන