කන්ද උඩරටින් ඇරඹී රට අභ්‍යන්තරයට විහිදී ගිය දකුණු වෙරළබඩ තීරය ඔස්සේ විහාර චිත්‍ර සම්ප්‍රදාය එසේ ව්‍යාප්ත කරන ලද්දේ සිත්තර පරම්පරා කිහිපයක් විසිනි. මේ පිළිබඳ කරුණු විමර්ශනය කරන විට මුහුණපෑමට සිදුවන ගැටලු කිහිපයක් වෙයි.   


ඉන් ප්‍රධාන ගැටලුුව මේ යුගයේ චිත්‍ර ශිල්පීන් කිසිවෙකු තම නිර්මාණයන්හි සිය නාමය සඳහන් නොකිරීමයි. එබඳු සිරිතක් හෝ පුරුද්දක් එම යුගයේ ශිල්පීන් තුළ නොපැවති බව පෙනේ. බොහෝවිට ශිල්පීන් උත්සාහගෙන ඇත්තේ තම නාමය සඳහන් කොට ප්‍රසිද්ධියක් ලබා ගැනීම නොව තම නිර්මාණ ඉදිකිරීමෙහි කාර්යය ඔහුට පැවරූ තැනැත්තාගේ මනදොළ සපුරාලීමය.   


තත්කාර්යය භාරදෙන තැනැත්තා පමණක් අදාළ කාර්යය නිමකළේ කවුරුන් විසින්දැයි යන්න හොඳින් දැන සිටීම ඔවුනට ප්‍රමාණවත් විය. එහෙයින් එවැනි නිමවුමක් කළ ශිල්පීහු ඒවා දිගු කාලයක් තිස්සේ මහජන ප්‍රසාදයට ලක්වන අයුරු දැක තෘප්තිමත් වූහ. පාරම්පරික සිත්තරුන් පෞද්ගලික හේතූන් පදනම් කරගෙන සිය උපන් ගම් හැරදමා වෙනත් ප්‍රදේශවල පදිංචිවීමත්, ඉන් පසු එම ගමේ නමින් ඔවුන් හැඳින්වෙන්නට වීමත් නිසා ඔවුන්ගේ මුල් ගම් හෝ පරම්පරා පිළිබඳ තොරතුරු කාලයත් සමඟ වැළලී ගොස් තිබේ.   
මෙම පරම්පරාවලට සම්බන්ධකම් ඇත්තෝ අදත් ඒ ගම් ප්‍රදේශවල ජීවත්වුවත් තමන් සතුව පවත්නා හෝ දන්නා හෝ තොරතුරු පවා හෙළි කිරීමට තබා තමන් යට කී සිත්තරුන්ගේ ඥාතීන් බව කීමට පවා මැළිකමක් දක්වයි. වැඩි ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් හෝ වෙනත් හේතූන් නිසා තම පාරම්පරික වෘත්තිය ඉවත දමා සිටින එබඳු පිරිස් කරුණු හෙළි නොකරන්නේ වර්තමානයේ ඔවුන් ලබා සිටින සමාජ තත්ත්වයට සිය සැබෑ කුලගොත් හෙළිදරව්වීමෙන් හානි පැමිණෙතැයි බියෙන් බව මේ පිළිබඳ තොරතුරු සෙවූ විද්වතුන්ද සඳහන් කර තිබේ.   


කලා ශිල්පීන් අභිබවා අනුග්‍රාහකයන් ඉදිරියට පැමිණි ඇති බැවින් පැරණි ශිල්පීන් පිළිබඳ තොරතුරු සෙවීම අද ඉතා අසීරු කටයුත්තක් බවට පත්ව ඇත. මේ නිසා කාලය අතින් එතරම් ඈත අවධියකට අයත් නොවුණ නමුත් මහනුවර සමයෙහිදී ඉදිකළ විහාරස්ථානවල චිත්‍ර අඳින ලද ශිල්පීන් ගැන පවා තොරතුරු සොයා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. කෙසේ නමුත් විවිධ මූලාශ්‍රගත තොරතුරු ඇසුරෙන් මෙන්ම සිතුවම් ලක්ෂණ තාක්ෂණය ආදියද ඉතා සියුම්ව පරීක්ෂාවට ලක් කිරීමෙන් සිත්තර පරම්පරාවක් ගොඩනගාගත හැකි වේ.   
 උඩරට විසූ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී පරම්පරාවක් ලෙස ‘නීලවල සිත්තර පරම්පරාව’ හඳුනාගත හැකි අතර මෙම පරපුර මෙරට පදිංචි වී ඇත්තේ 14 හෝ 15 වන සියවසේ IV වන බුවනෙකබාහු රජු කෝට්ටේ රාජ්‍ය කරන කාලයේදීය. මෙම පරපුරේ ආගමනය පිළිබඳ පුළුල් විස්තරයක් ආනන්ද කුමාරස්වාමි මහතා මධ්‍යකාලීන සිංහල කලා කෘතියේදී ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මෙම රජුගේ අවධියේ දී දක්ෂ කාර්මිකයෙකු ඉන්දියාවෙන් පැමිණ මානදුව නම් ස්ථානයට ගොඩ බැස්ස බව රජුට අසන්නට ලැබී තිබේ.   
එහිදී එවැනි විශේෂඥයෙකු මෙරටට පැමිණි හෙයින් ඔහු ඇතු පිටින් රජවාසලට ගෙනවිත් ගෞරව කළයුතු බව පවසා ඇත. රජු වඩුවාවල දේවසිංහ මූලාචාරී නයිදේ ඇතෙකු පිටින් එම ශිල්පියා වෙත යවා ඔහුව කැඳවාගෙන එන ලෙස නියෝග කර තිබේ. ඒ අනුව රජ වාසලට පැමිණි එම ශිල්පියා ඉර හඳ බලන කණ්ණාඩියක් (ඉර හා හඳ දෙස බැලිය හැකි කණ්ණාඩියක්) පෑ තැටියක් ද (වෙලාව දැනගත හැකි උපකරණයක්) රජතුමාට තෑගිකර ඇත. මෙයින් සතුටට පත් වූ රජතුමා ඔහුට ජීවත්වීම සඳහා සතර කෝරලයේබද කිඳිගොඩ කෝරළේ මංගලගම නම් ගම ප්‍රදානය කර තිබෙන අතර එසේම “මණ්ඩල වල්ලී නයිදේ ” නම් ගරු නාමයද ප්‍රදානය කර තිබේ.   
 නීලවල පරම්පරාව නායක්කාර්වරුන්ගෙන් ආරම්භ වූ බවට මත ඇති අතර දේවාල හා කෝවිල්වල සිත්තර නිර්මාණය ඔවුන් අතින් සිදුවන්නට ඇති බව අනුමාන කරයි. මේ අතරම විහාර කර්මාන්තයටද ඔවුන්ගේ බලපෑම් වූ බවට සාධක ලෙස ගඩලාදෙනිය විහාරය හඳුන්වා දෙන විද්වතුන් සඳහන් කරන්නේ එය සෑදීමට ගෝවෙන් ආචාරීන් පවුල් පිටින් පැමිණි බවයි. ඒ අනුව එම විහාරස්ථානය පිහිටි ග්‍රාමය “ගෝවින්දල්” නම් විය. එම නිසා නුවර යුගයේ සිත්තම්වලට හා සිත්තර පරම්පරාවලට ඉන්දියානු ආභාසයද ලබා ඇති බවද කිව හැකිය.   


මෙම පරම්පරාවේ සිත්තරුන් චිත්‍ර නිර්මාණය කරන ලද විහාර පිළිබඳව මූලාශ්‍රගත සාධක නොමැති අතර එම හේතුවෙන් ඔවුන්ගේ සිතුවම්හි විචිත්‍රත්වය පිළිබඳව විග්‍රහ කිරීමක් කළ නොහැකිවී තිබේ.   
මණ්ඩලවල්ලී නයිදේගේ මරණයෙන් පසු වීර පරාක්‍රමබාහු රජු මෙම සිත්තර පවුල පිළිබඳව සොයා බැලීමක් කරන්නට විය. ඒ අනුව ඥාතීත්වයෙන් නැන්දා හා බෑනා වන අනාථ ළමුන් දෙදෙනෙකු සිටින බව හඳුනාගත් රජු ඔවුන් රජවාසලට කැඳවා නවාතැන් සපයා තිබේ. ආනන්ද කුමාරස්වාමි මහතා දක්වන මෙම අදහස අනුව එම සිත්තර පරපුරෙන් අනාථ ළමයින් දෙදෙනෙක් බිහිවන්නටත් ඔවුන්ට පිළිසරණක් නැති වීමටත් හේතුව වූයේ එම පරපුර කුමන හෝ ව්‍යසනයකට මුහුණපෑම නිසාද යන්න ගැටලුවක් මතු වේ.   
රාජ අනුග්‍රහය පවා ලැබූ පවුලක් වූ එම සිත්තර පවුලට මෙවන් තත්ත්වයක් අත්වූයේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලි නොමැත. මෙසේ රජවාසලේ ඇතිදැඩි වූ එම දරුවන් වැඩිවියට පැමිණි පසු ඔවුන්ට විවාහවීමට අවසර ලබා දී තිබේ. මෙහිදී එම තරුණියට “එතනා” යන ගරු නාමය ලබාදී මව් උරුමයෙන් හිමි වූ මංගලගමද ප්‍රදානය කර තිබේ. ඉන් පසුව ඇගේ දියණියටද මෙම ගම පාරම්පරිකව හිමිවී තිබේ.   

 

 


මේ සිත්තර පරම්පරාවට අයත් සිත්තරුන්ගෙන් කොළඹ නයිදේ දෙවෙනි රාජසිංහ රජුටත් මද්දුම නයිදේ දෙවෙනි විමලධර්මසූරිය රජුටත් සේවය කර ඇත. එසේම නීලවල ලොකු නයිදේ සහ මංගලගම හදු නයිදේද මේ පෙළපතින් පැවතෙන්නෝ වූහ. මංගලගම හදු නයිදේ රජුට රත්තරන් මිටක් සහිත කඩුවක් පරිත්‍යාග කළ හෙයින් ඔහුට ක්‍රි.ව. 1644 දී සන්නසක් ප්‍රදානය කර ඇත. එහි සඳහන් විස්තරය මෙසේය.   
 “ශ්‍රී ශක වර්ෂ එක්වා දහස් පන්සිය සැටසයක් වූ (ක්‍රි.ව. 1644) වප් (සැප්තැම්බර්- ඔක්තෝබර්) මස අව සතවක ලත් සෙනසුරාදා දෙවා වදාළා වූ පනත නම් මංගල ගම බඩාල් හදු නයිදා කොකු රන් කඩුවක් රත්රන් ගාලා දක්වාලා මහ වාසලට ඇදහිලිවන්ත ලෙස සේවය කළ හෙයින් සතර කෝරළයේ බද මහ ගොඩින් මුල් බීජ සාමුනක වපසරියක් මීට අඩුත්තු ගේවතු ගහකොළ ගොඩවල්පිට ඇතුළු වූ දේත් මෙකුන්ගෙන් දරු මුනුපුරු පරම්පරාව පවතිනා තුරු මෙහි සැලැස්මට පවතින සැටියට මේ සන්නස දෙවා වදාළ පනතක් මෙසේම පණිවුඩ පනතයි”   


 මෙම පරම්පරාවේ තවත් දක්ෂතමයෙකු වූ (රාජ සම්මානයට පාත්‍රව සිටි) “නීලවල රත්තවල්ලී නවරත්න ආභරණ” නමැති ශිල්පාචාරිවරයා මංගලගම හඩු නයිදේගේ පරපුරේ “රූබර හාමි” නම් තැනැත්තිය සමග විවාහ වී ඇති බව ජයදේව තිලකසිරි මහතා සඳහන් කර ඇත. ඒ අනුව ඔහු මංගලගම බින්න විවාහ ක්‍රමයට පදිංචි වී ඇති අතර එම පරම්පරා දෙකේත් මංගලගම ග්‍රාමයේත් අවට පළාත්වලත් අභිවෘද්ධියට එය හේතු වී තිබේ.   
එසේම මාතලේ මාරුකොන සහ නීලවල පවුලක් අතර මේ ආකාරයට විවාහයක් සිදුවී තිබේ.   


මේ ගම්වල ගැළපෙන පවුල් අතර තිබූ ඥාති සම්බන්ධකම් නිසා උඩරට පළාත්වල ශිල්පී පවුල් තමන්ට හිමි වූ කෙත්වතු ඇතුළු ගම් බිම් දියුණු කරමින් කලා ශිල්ප නගා සිටුවීමට උත්සාහ කළ බව පෙනී යයි. මෙම පරපුරට අයත් ශිල්පීන් 15-16 වැනි සියවස්වල සිට ස්වකීය කාර්යභාර්ය අවශ්‍ය වූ පරිදි ඉටු කරමින් පැවති අතර චිත්‍ර ඇඳීමේ අවශ්‍යතාව යටපත්ව පැවති අවධිවල ආභරණ තැනීම, කැටයම් කිරීම ආදී සෙසු කර්මාන්තවල ඔවුන් නිරත වී ඇත.   
 උඩරට සිත්තර පරපුරේ ජනප්‍රිය පරම්පරා නාමයක් වන නීලවල පරපුරේ සිත්තරුන්ගේ විහාර සිතුවම් පිළිබඳව කිසිදු මූලාශ්‍රයකින් සාධක ලැබී නොමැත. එම තත්ත්වය හා එම පරපුරේ හදිසි ව්‍යසනය (අනාථ දරුවන් බිහිවීමට බලපෑ හේතු) අතර යම් සබඳතාවක් තිබිය හැකි බවටද අනුමාන කළ හැකිය.   

 


කේ. උදේනි අරුණසිරි   
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව   
රත්නපුර