මළ මිනිසුන් සමග  නොමළ කතා

 

දුලංජනී විසි අට හැවිරිදි ගැබිනි මවකි. ඇය පළමු දරුවා ප්‍රසූත කිරීමේ බලාපොරොත්තුවෙන් සිටියාය. ඒ සඳහා ඇයට තිබුණේ තවත් සති දෙකක තුනක පමණ කාලයක් පමණි. වෛද්‍යවරුන් මගින් දැනගත් ආකාරයට ඇය තව මාසයක් ඇතුළත ආදරණීය පුත්‍රයකුගේ මවක වන්නීය. විවේකයෙන් ගෙදර ඉන්න දවස්වලදී ඇය නිල් පාටින් පුංචි පුංචි ගවුම් පොඩි මැසුවේ පුංචි පුතු උපන් පසු නළවන අයුරු මනැසින් දකිමිනි.   


 එදා සෙනසුරාදාවකි. දුලංජනීට නිවාඩු දවසක් විය. ඇගේ සැමියා කුෂාන් ද එදා නිවාඩු නිසා ගෙදර සිටියේය.   
 “මොකද උඩට අදින්නේ. හෙම්බිරිස්සාව ද?” කුෂාන් වීමසීය.   
 “ඔව් අනේ. උගුරත් රිදෙනවා. නැගිට්ට වෙලාවේ ඉඳන් වතුර වගේ හොටු ගලනවා.”   
 “මම හැමදාම කියනවා වැඩ ඇරිලා ඇවිත් රෑට නාන්න එපා කියලා. ඇහුවේ නෑ නේද”   


 “අනේ නෑ කුෂාන්, මම සමහර දවස්වල කොහොමටවත් රෑ නෑවේ නැහැ. උදේ නාලානේ ගියේ. ඔයාට මොන සිහියක් ද තියෙන්නේ.”   
 “හරි බබා ඔය හැටි කේන්ති ගන්න එපා. මේ දවස්වල ඔය හෙම්බිරිස්සාවල් තියාගෙන ඉන්න හොඳ නැහැ. අපි හන්දියට ගිහින් ඩොක්ටර් සෝමරත්නගෙන් බේත් ටිකක් අරන් එමු.”   
 “ඔව් නිවාඩු දවස්වලට ඩොක්ටර් සෝමරත්න උදෙත් ඉන්නවානේ. උදේම ගත්තා නම් දවල් වෙනකොට ඇරිලා යාවි.” දෙදෙනා අතර වූ සංවාදය එසේය.   
 කතා කරගත් පරිදි දුලංජනීට ප්‍රදේශයේ දන්නා හඳුනන පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගත්ත ද එදින හවස් වනවිට ඇය බෙහෙවින් වෙහෙසකර වී සිටියාය. හවස් ​වනවිට ඇය හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළෙන්නට වූවාය. කුෂාන් කලබල විය. ඇය රජයේ රෝහලකට රැගෙන යාම වඩාත් උචිත වෙනු ඇතැයි එවර ඔහු කල්පනා කළේය. ඇය අසනීප වීම යනු දෙදෙනෙක් අසනීප වීම හා සමානය. දුලංජනී ඉක්මනින්ම බෙහෙවින් දුර්වල වූවාය. රෝහලට ගෙන යනවිටත් ඇය සිහිමඳ ස්වභාවයක් දැක්වූවාය.
වෛද්‍යවරු වහාම ඇය දැඩි පරීක්‍ෂාවකට ලක්කළහ. ඇගේ හෘද ස්පන්ද වේගය අඩු වී තිබිණ. හුස්ම ගැනීමේ වේගය ද පහත වැටී ඇත. ඇයට ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වයක් වැලඳී ඇතැයි වෛද්‍යවරුන්ට සැකයක් ඇති විය. වහා කෘත්‍රිම ස්වසනය ලබාදීමට කටයුතු කළ අතර හෘද ස්පන්දනය වැඩි කිරීමට ද වෛද්‍යවරු දැඩි පරිශ්‍රමයක යෙදුණහ. එහෙත් ඇය තව නොබෝ දිනකින් මෙලොව එළිය දැකීමට සූදානමින් සිටි සිඟිත්තා ද සමග සියලු ඥාති හිතමිතුරන්ගෙන් සදහටම සමුගෙන ගියාය.   


 ඇගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණයට යොමුකරනු ලැබිණ. අධිකරණ වෛද්‍යවරයා ඇගේ නාසයෙන් ගැලූ ස්‍රාවය සාම්පලයක් පළමුව ලබාගත්තේය. ඉන්පසු සිරුර කපා පරීක්‍ෂා කිරීම අරඹමින් රුධිර සාම්පලයක් ද ලබාගත්තේය.   
 මුලින්ම පෙණහලු පරීක්‍ෂාවට ලක්කළේය. සාමාන්‍යයෙන් වායු බැලුනයක් මෙන් සැහැල්ලුවෙන් පවතින පෙනහලුවලට වඩා දුලංජනීගේ පෙණහලු වෙනස් විය. ඒවා ඝනය. කපා පරීක්‍ෂා කිරීමේදී ජලය වැක්කෙරෙන්නා සේ ද්‍රවයක් වැක්කෙරෙන්නට විය. ඇගෙන් පෙන්නුම් කළේ ARDS (Adult Respiratory Distress Syndrome) රෝග තත්ත්වයකි. එය ඉන්ෆ්ලුවන්සා, සාස් වැනි ස්වසන රෝග ගණනාවකදී පෙන්නුම් කරන ලක්‍ෂණයකි. ඇයට වැලඳී තිබෙන්නේ කුමන ස්වසන රෝගයක් ද යන්න නිශ්චිත කිරීමට නම් ඇගේ නාසයෙන් ලබාගත් ස්‍රාවය වෛද්‍ය පර්​ෙ‌ය්ෂණ ආයතනයට යොමුකර පරීක්‍ෂා කර වාර්තාවක් ලබාගත යුතුය. ඇගේ අනෙකුත් අවයවවල වෙනසක් දක්නට නොවීය. ගර්භාෂයේ සති තිස්හයක මිය ගිය කළලයක් විය.   


 වෛද්‍යවරු මෙම රෝගී තත්ත්වය HINI යැයි සැකකරනු ලැබූහ. මෙය වෛරස් රෝගයකි.   
HINI වෛරසය ශරීරගත වූවකුට සිදුවන්නේ කුමක් ද?   
මෙය සක්‍රිය වීම ඒ ඒ පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණය මත තීරණය වේ. වෛරසය ශරීරගත වූ පසු සෙම්ප්‍රතිශ්‍යාවක් ඇති වී සුව වීමේ හැකියාවක් ද පවතී. එහෙත් එවැනි අය ඇසුරු කරන අයට ඇතැම් විට වෛරසය බෝවීමෙන් දරුණු ලෙස රෝගී වීමට ද ඉඩ තිබේ.   


ඇතැමකුට සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය ඇති වූ පසු ඇතිවන ස්‍රාවය ස්වාසනාළයේ බිත්ති මත තැන්පත්වීමෙන් කැස්ස ඇතිවිය හැකිය. එය තවදුරටත් වර්ධනය වීමෙන් ඇදුම රෝගී තත්ත්වය ඇති විය හැකිය. ස්වාසනාළවල ස්‍රාවය වෑස්සීම වැඩි වූ විට ඒවා පෙණහලු කරා ගමන් කිරීමෙන් නිව්මෝනියා තත්ත්වය ඇතිවිය හැකිය. එය ද මරණීය විය හැකිය.   
වෛරසය කෙළින්ම පෙණහලු කරා ගමන් කර වාත කුටීර හෙවත් ගර්තවලට හානි කරනු ලැබේ. එසේ ගර්ත බිත්තිවලට ආසාදනය වීමෙන් දැඩි හානි සිදුවිය හැකිය.   
ගර්ත බිත්තියේ ඝනකම එක් සෛලයක ඝනකමකි. ගර්ත බිත්ති මත හෘදය වස්තුවේ සිට පැමිණෙන අපිරිසුදු රුධිරය රැගෙන එන පුප්පුශීය ධමනියේ කේශ නාළිකා පවත‌ී. කේෂ නාළිකා බිත්තියේ ඝනකම ද එක් සෛලයක ප්‍රමාණය වේ. මේ දෙක අතර සියුම් ද්‍රවයක් ද තැන්පත්ව ඇත. හෘදය වස්තුවේ සිට පැමිණෙන කේෂ නාළිකා රුධිරය රැගෙන එන්නේ හෘදය වස්තුවෙන් ඇති කරන පීඩනය අනුවය. ඒ නිසා එහි පීඩනය ගර්තවල පවතින පීඩනයට වඩා වැඩිය. මේ නිසා සාමාන්‍ය අවස්ථාවකදී කේෂ නාළිකාවේ පවතින කාබන්ඩයොක්සයිඩ් ගර්ත කරා විසරණය කර ගර්තවල පවතින ඔක්සිජන් කේෂ නාළිකාවලට උරාගනු ලැබේ.   


එහෙත් වෛරසය ගර්ත බිත්ති මත ක්‍රියා කිරීමෙන් ඒවා විනාශ වේ. එවිට තුනී වන බිත්තිය හරහා කේෂ නාළිකාවේ පවතින රුධිරයේ වූ ජලය හා ප්‍රෝටීන් බොහෝ විට සුදු රුධිරානු ද ගර්ත කරා ගමන් කරනු ලැබේ. එවිට ගර්ත ජලයෙන් පිරී යාමෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇති වේ. එවිට හෘදය වස්තුවේ ක්‍රියාවලිය ද අඩපණ වේ.   


හෘදයාබාධ සහිත හෝ වෙනත් ශ්වසන රෝග පවතින හෝ දුම්පානය කර දුර්වල වූ පෙනහලු සහිත හෝ අය තුළ මෙම ක්‍රියාවලිය වඩාත් ඉක්මනින් සිදුවේ. එසේම දියවැඩියාව, අක්මාව හා වකුගඩු ආශ්‍රිත රෝග පවතින අයට ද වයස්ගත පුද්ගලයින්ට ද මෙම වෛරසයට මුහුණ දීමට ඇති හැකියාව ඉතාමත් අඩුය.   


ගර්භනී කාන්තාවන්ගේ උදරය ලොකු වෙනවිට උදර කුහරයත් උරස් කුහරයත් වෙන් කරන මහාප්‍රාචීරය නමැති පටලය ඉහළට තල්ලු වේ. එවිට පෙණහලුවලට පවතින ඉඩ අඩුවේ. එවැනි තත්ත්වයකදීත් හුස්ම ගැනීම තරමක් අපහසු වේ. මෙවැනි වෛරසයක් ඇතුළු වීමෙන් ඒ තත්ත්වය වඩාත් උග්‍ර කරනු ඇත.   


මෙවැනි රෝගවලදී සාමාන්‍යයෙන් කරනුයේ ඔක්සිජන් පිටින් සැපැයීමය. එසේම ඖෂධ ලබාදීමෙන් තත්ත්වය පාලනය කරනු ලැබේ. තවදුරටත් දුර්වල අවස්ථාවලදී යන්ත්‍රානුසාරයෙන් ඔක්සිජන් සපයනු ලැබේ. රෝගියා මුණින් අතට හරවා ඔස්සිජන් සැපැයීමෙන් වඩාත් පහසුවෙන් ඔහුගේ තත්ත්වය සමනය කළ හැකිය.   


දුලංජනීගේ නාසයෙන් ලබාගත් ස්‍රාවය සම්බන්ධයෙන් වෛද්‍ය පර්​ෙ‌ය්ෂණ ආයතනයෙන් ලබාගත් වාර්තාවට අනුව ඇයට වැලඳී තිබෙන්නේ ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වය බව තහවුරු විය.   


ඒ අනුව ඇයට ප්‍රතිකාර කළ පෞද්ගලික වෛද්‍යවරයාගේ නොසැලකිල්ල සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කළේය.   


කොරෝනා වෛරසය ද ස්වසන ආබාධ ඇති කරන ඉන්ෆ්ලුවන්සා හා සමාන රෝගී තත්ත්වයකි. ඒ නිසා එහි ක්‍රියාකාරීත්වය ද මේ හා සමාන වේ.   


(මෙහි එන නම් ගම් මනඃකල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න.)   


හලාවත මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් ලිව්වේ
මුදිතා දයානන්ද