(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
ව්‍යාපෘති ආරම්භ කිරීමට අනුමැතිය ගෙන, ඉඩම් වෙන්කරගෙන, ඒවා ආරම්භ නොකළ ආයෝජකයන්ගේ බලපත්‍ර අහෝසි කර, එම ඉඩම් ඵලදායී ව්‍යාපෘතියක් සඳහා යෙදවීම පිණිස, අදාළ ව්‍යාපෘතිවල වාර්තාවක් කඩිනමින් ලබාදෙන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අයෝජන මණ්ඩල අධ්‍යක්ෂක ජෙනරාල් චම්පිකා මලල්ගොඩ මහත්මියට දැනුම් දී තිබේ.
 
ඇමතිවරයා මේ නියෝගය ක‍රනු ලැබුයේ ආයෝජන මණ්ඩලයන්හි අධ්‍යක්ෂකවරුන්ගේ හමුවකදීය.
 
මෙරට ආයෝජන සඳහා පැමිණෙන ආයෝජකයන්ට ප්‍රමාදයකින් තොරව සිය කටයුතු කරගැනීමට අවකාශය සැලසිය යුතු වුවත් ආයෝජකයන්ට ඉඩ පහසුකම් නොසැපයීම සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉදිරියේදී සිදු කිරීමටද ඇමතිවරයා පියවර ගෙන ඇත.
 
එමෙන්ම නිදහස් වෙළඳ කලාප ආශිත පොදු පහසුකම් නංවාදීමේ අවශ්‍යතාවයද  අවධාරණය කළ ඇමතිවරයා ආයෝජන මණ්ඩලය  ඒ පිළිබඳව සොයා බැලීමේ වගකීමක් ඇති බවද පැවසීය.  නිදහස් වෙළද කළාප වල   හා අයෝජන මණ්ඩලය යටතේ දිවයින පුරා ඇති කර්මාන්ත ශාලාවල සේවය කරන   ලක්ෂ 5කට අධික   සේවක සේවිකාවන්ගේ   සුභසාධනය, ආරක්ෂාව, යටිතල පහසුකම් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් එම අඩුපාඩු සොයා බලා ඒවා විසදන ක්‍රමවේදයන් සකසන ලෙසත් ඇමතිවරයා ආයෝජන මණ්ඩල බලධාරීන්ට උපදෙස් දුන්නේය.