(විනීතා එම් ගමගේ)

විගණන පනතට දේශපාලන වුවමනාවන් අනුව සංශෝධන ඇතුළත් කිරීමට ගොස් ආණ්ඩුව හත් පොලේ ගාගෙන ඇතැයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල්  හඳුන්නෙත්ති මහතා  ප‍්‍රකාශ කළේය. 

එම පනතට සිදු වූයේ සේනක බිබිලේ ප‍්‍රතිපත්තියට වුණ දේම යැයි ද සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය ගෙනා ආවත් ඒ තුළ සේනක බිබිලේ ප‍්‍රතිපත්තියේ කරුණු අඩංගු වුණේ නැතැයි ද හඳුන්නෙත්ති මහතා  කීය. 

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ අද (08)  පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි. 


එහි දී හඳුන්නෙත්ති  මහතා මෙසේ ද කියා සිටියේය.  

‘‘මෙම පනත සම්මත වීමෙන් පස්සේ විගණන කොමිසමට තිබෙන ඇතැම් බලතල අමාත්‍යාංශ ලේකම්ට යනවා. ඒක හරියට බල්ලගේ වැඬේ බූරුවා කිරීමක්. අවුරුදු 3ක් කෙකර ගාලා දාපු බිත්තරය විගණන කොමිසමටවත් විගණකාධිපතිවරයාටවත් සාධාරණයක් වෙලා නැහැ. එනිසා විගණන පනත තමන්ගේ දේශපාලන වුවමනාවන්ට අනුව වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වග කියන්න  ඕනෑ. 

ජාතික විගණන පනත වර්තමාන ආණ්ඩුවේ දින 100 ප‍්‍රතිපත්තියට අනුව දින 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මේ ආණ්ඩුව ජාතික විගණන කොමිසම ස්ථාපිත කළත් එම කොමිසම සකි‍්‍රය කරගත නොහැකි වුණේ, ජාතික විගණන පතන සම්මත වීම ප‍්‍රමාද වීම නිසයි. 

ආණ්ඩුව ගෙන ආ විගණන පනත ජාතික විගණන කොමිසම ස්වාධීන කරලා, විගණකාධිපතිවරයාට හෝ කොමිසමට බලය පැවරීම සඳහා ගෙන ආ එකක් නොවෙයි. විගණකාධිපති දෙපාර්තම්න්තුවේ නිලධාරීන් මැදිහත් වෙලා සකස් කරන ලද මුල් විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුවත් කැබිනට් මණ්ඩලයේ වුවමනාවට කිහිප අවස්ථාවකදී සංශෝධනයට ලක් කළා. 

ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ඔවුන්ට  ඕන විදිහට සකස් කරපු පනතක් තමයි සම්මත වුණේ. ජාතික විගණන කොමිසම සකී‍්‍රය කරගත නොහැකිව විගණන නිලධාරීන්ගේ කාර්යභාරය අඩපණ වෙලා ඔවුන්ගේ වැටුප් පවා තීරණය කරගන්න බැරිව තිබුණු නිසා විගණන පනත කෙසේ හෝ සම්මතකර ගැනීමේ වුවමනාවක් තිබුණත් මේ ආකාරයේ පනතක් සම්මත වීම කණගාටුවට කරුණක්. 

මෙම විගණන පනතේ මුල් අඩංගුවේ සහ සම්මත වූ පනතේ විශාල පරස්පරයක් තිබෙනවා. මුල් පනත විගණන කොමිසමට ජාතික වැදගත්කමක් ලෙස සලකා  ඕනෑම ආයතනයක් විගණනයට ලක්කිරීමේ බලය සහිතව සකස් කරනු ලැබුවා. අවශ්‍ය නම් රජය සමඟ කටයුතු කරන කුමන හෝ ආකාරයක බැඳීමක් තිබෙන පෞද්ගලික ආයතන පවා විගණනයට ලක්කිරීමට මුලින් ඉදිරිපත් කළ පනතෙන් ප‍්‍රතිපාදන තිබුණා. නමුත් සම්මත වූ පනතෙන් එම බලය ඉවත් කරලා තිබෙනවා. සංස්ථා, මණ්ඩලවලට විගණන කමිටුවක් එපා කියලා සංශෝධන ආවා. 

රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර විගණනයන් පිළිබඳව විගණකාධිපතිවරයාට සොයා බැලීමේ හැකියාව කැබිනට් මණ්ඩලය විසින් මුල් පනතින් ඉවත් කොට තිබෙනවා. එම ආයතනවල අභ්‍යන්තර විගණනයන්වලදී යම් බලපෑමක් කරන්න විගණකාධිපතිවරයාට තිබෙන හැකියාව අහිමිවෙලා තිබෙනවා. 

රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර විගණනයන් පිළිබඳව සොයා බලන්න විගණකාධිපතිවරයාට බැරි ඇයි? ඒවා සොයා බලන එක වැරදිද? මේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුවක් නම් ආයතනවල අභ්‍යන්තර විගණනයන් පරීක්‍ෂා කිරීමේ බලය විගණකාධිපතිවරයාට අහිමි කරන්නේ ඇයි? 

රාජ්‍ය නිලධාරීන් යම් විගණන කි‍්‍රයාවලියකදී වැරදි තොරතුරු ඉදිරිපත් කළොත් විගණනය නොමග යවන අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළොත් එසේ ඉදිරිපත් කළා යැයි ඔප්පු වුණොත් එවැනි රාජ්‍ය නිලධාරියෙකුට රුපියල් ලක්‍ෂයක දඩයක් නියම කිරීමේ හැකියාව මුල් විගණන පනතින් යෝජනා කොට තිබුණා. නමුත් ආණ්ඩුව මැදිහත් වෙලා එම දඩය රුපියල් පන්දාහ දක්වා අඩු කරන්න සංශෝධනයක් ගෙනාවා. 

අපි එයට විරෝධය පළකළා. බොහොම අමාරුවෙන් තමයි එම දඩය රු. 25,000ක් දක්වා වැඩිකරගත්තේ. ජවිපෙ යෝජනාවක් ගෙනාවා, අවම දඩය 5,000ක් කළ යුතුයි කියලා. ජාතික විගණන පනත අවශ්‍ය හොරකම් අඩු කරන්න නම් හොරකම පාලනය කරන්න නම් ඇයි අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නන්ට පනවන දඩය ලක්‍ෂයේ සිට පන්දාහට අඩු කරන්නේ? 

පනතට අනුව යම් මූල්‍ය අක‍්‍රමිකතාවයක් සිදුවී එම අලාභය අයකරගැනීමට නොහැකි වුවහොත් ඊට වගකිව යුතු නිලධාරීන්ට අධිභාරයක් පැනවිය හැකියි. එම අධිභාරය පැනවීමේ බලය විගණන කොමිසමේ සිට අමාත්‍යාංශ ලේකම්ට පවරන්න ආණ්ඩුව සංශෝධනයක් ගෙනාවා. රාජ්‍ය මූල්‍ය අපහරණයක් සිදුවුවහොත් ඊට වගකිවයුතු වන්නේ අමාත්‍යාංශයේ ගණන් දීමේ නිලධාරියා වන අමාත්‍යාංශ ලේකම්වරයායි. 

මෙහි තිබෙන අපූර්වත්වය තමයි විගණන කොමිසමෙන් අධිභාරයක් පැනවීමට තීරණය කළොත් එම අධිභාරය පැනවීමට පෙර අමාත්‍යාංශ ලේකම්වරයා තවත් විනය කි‍්‍රයාමාර්ගයකට යටත් කිරීමයි. විගණන කොමිසම අධිභාරයක් පැනවීමට තීරණය කළත් නැවත විනය කි‍්‍රයාමාර්ගයක් හෝ අධිකරණ කි‍්‍රයාමාර්ගයක් මගින් එම අධිභාරය පැනවීමට අනවශ්‍යයි කියා නියෝගයක් දුනහොත් ඇති වැඬේ මොකක්ද? ආණ්ඩුව සම්පූර්ණයෙන්ම විගණන කොමිසම සැක කරලා තමයි මේ සංශෝධනය ගෙනත් තිබෙන්නේ. 

අපි යෝජනා කළේ අධිභාර පැනවීමේ සම්පූර්ණ බලය විගණන කොමිසමට හිමිවිය යුතුයි කියලා. නමුත් දැන් සිදුවී තිබෙන්නේ විගණන කොමිසමට වඩා අමාත්‍යාංශයේ විනය නිලධාරියා බලවත් වීමයි. යම් රාජ්‍ය නිලධාරියෙකුට අධිභාර පැනවීමෙන් පසුව එය අසාධාරණ නම් අධිභාර අභියාචනා කමිටුවකට යන්න හැකියාව තිබෙනවා. එසේ තිබියදී එය අමාත්‍යාංශයේ විනය බලධාරියාට යොමුකරන්නේ ඇයි? 

එසේ සිදුකොට තිබෙන්නේ විගණන කොමිසමේ කි‍්‍රයාවලිය අකී‍්‍රය කරන්නයි. එයින් විගණන කොමිසමේ බලය හෑල්ලූකර තිබෙනවා. ඒ විතරක් නොවෙයි, අමාත්‍යාංශ ලේකම් විගණන කොමිසම නියම කරන අධිභාරය සංශෝධනය කරන්නේ නම් හෝ අධිභාරය පනවන්නේ නැත්නම් එම තීරණය විගණන කොමිසමට දැනුම් නොදී ඉන්නත් පුළුවන්. 


එවිට විගණන කොමිසමෙන් ඇති පලක් නැහැ. විගණන කොමිසමට අල්ලගත්තට හපන්න බැරි තත්වයක් ඇතිකොට තිබෙනවා. ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරයා වරදක් කළොත් අධිභාර පැනවීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. අමාත්‍යාංශ ලේකම් පත්කරන්නේ ජනාධිපතිවරයාම නිසා ලේකම්ට අධිභාර පනවයි කියලා හිතන්න පුළුවන්කමක් නැහැ. එක පැත්තකින් ජනාධිපතිවරයා දඩ අයකරන්නෙක් බවට පත්කරලා තිබෙනවා. ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරයෙකුට අධිභාර පැනෙව්වොත් ඔහුට අධිභාර අභියාචනා කමිටුවකට යන්නත් හැකියාව නැහැ. 


අපි මැදිහත් වෙලා සංශෝධනයක් ගෙනාවා ලේකම්වරුන්ට අධිභාර පැනවීම විගණන කොමිසමට පවරන්න කියලා.නමුත් ආණ්ඩුව අමාත්‍යාංශ ලේකම්වරුන්ට අධිභාර පැනවීමේ බලය ජනාධිපතිවරයාගේ සිට මුදල් අමාත්‍යාංශ ලේකම්ට පවරන්න සංශෝධනයක් ගෙනත් තිබුණා. එවිට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා යම් මූල්‍ය අපහරණයක් සිදුකළහොත් ඔහුට එරෙහිව අධිභාර පනවන්නේ කවුද කියලා පනතේ සඳහන් වෙන්නේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණේ අපි මෙම විගණන පනත යම් තරමකට හෝ බලවත් කිරීමේ අරමුණින් සංශෝධන 16ක් ගෙනාවා. ඉන් සංශෝධන කිහිපයක් ආණ්ඩුව පිළිගත්තා. තවත් සංශෝධන කිහිපයක් ජවිපෙ ඉදිරිපත් කරපු නිසා ප‍්‍රතික්‍ෂෙප කරලා එම සංශෝධන ආණ්ඩුවේ සංශෝධන විදිහට ගෙනාවා. ඒක හරියට ’මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා’ කියන ගමේ කතාව වගෙයි. විගණන පනතින් යෝජනා කරලා තිබුණේ ඒකාබද්ධ අරමුදලේ මුදල් පමණක් විගණනයට ලක් කිරීමට හැකිවන පරිදියි. නමුත් අපි සංශෝධනයක් ගෙනාවා, 

ලංකාවේ පනතට අනුව විගණකාධිපතිවරයාට බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව දැනුවත් කිරීම පමණයි. ඒ වගේම සම්මත වූ පනත මගින් තොරතුරු දැනගැනීමේ පනත උල්ලංඝනය වන අවස්ථා තිබෙනවා. විගණකාධිපතිවරයා විසින් යම් විගණන පරීක්‍ෂණයක් සිදුකිරීමෙන් පසුව ලැබෙන වාර්තා එම පරීක්‍ෂණය පිළිබඳව යම් අධිකරණ කි‍්‍රයාවලියක් සිදුවන්නේ නම් හෝ සිදුවීමට ඉඩ ඇත්නම් වාර්තා ප‍්‍රසිද්ධ කිරීමට හැකියාවක් නැහැ. එවිට එම විගණන කටයුතු පිළිබඳව ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය උල්ලංඝණය වෙනවා. 

ඒ පිළිබඳව අපි සංශෝධනයක් ඉදිරිපත් කළත් ආණ්ඩුව බාරගත්තේ නැහැ. 


ඒ නිසා ආණ්ඩුව ජාතික විගණන පනත සම්මත කරගැනීමේදී කටයුතු කළේ විගණන කොමිසමට විගණකාධිපතිවරයාට විගණන නිලධාරීන්ට, ජනතාවට සාධාරණයක් වන ආකාරයෙන් නොවෙයි. රටේ රාජ්‍ය මූල්‍ය පාලනයට සාධාරණයක් වන ආකාරයෙන් පනත සම්මත වුණේ නැහැ. ඒ නිසා අපි ජනතාවටත් මේ රටේ මාධ්‍යවලටත් කියනවා, මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට බලපෑමක් කළ යුතුයි කියලා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ලෙස අප ඉදිරියේදී මෙම පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේදැයි අවධානයෙන් ඉන්නවා. 


ආණ්ඩු පාර්ශ්වයේ මන්තී‍්‍රවරුන් පවා අප විසින් ඉදිරිපත් කළ සංශෝධන සාධාරණ බව පිළිගත්තා. නමුත් ඔවුන්ටත් අන්තිමේදී ආණ්ඩුව නියෝජනය කරමින් එම සංශෝධනවලට විරුද්ධ වෙන්න සිදුවුණා.’’ යැයි ද හඳුන්නෙත්ති මහත