එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 
මහජන එක්සත් පෙරමුණේ නායක 
දිනේෂ් ගුණවර්ධන

 

රටේ ඉදිරි දේශපාලන පෙළ ගැසීම් මොනවාද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය - එක ‘ගේම්’ එකක් නම් පැරදුණා. ඊළඟ ‘ගේම්’ එක මොකද්ද?   


පිළිතුර - ‘ගේම්’ එකක් පැරදුණා කියලා කියන්න බැහැ. ආණ්ඩුව හැටියට අවුරුදු තුනහමාරක් මහජන අනුමැතිය නැති ආණ්ඩුවක් ‘ජාතික ආණ්ඩු’ කියන මිථ්‍යාව මත ගොඩනගාගත් ආණ්ඩුවක් ඉවත් කිරීම තමයි මෙතැන ‘ගේම්’ එක වුණේ. ඒ ගේම් එකෙන් පළමු වටයේදී යූඑන්පී ආණ්ඩුව පැරදුණා. අපේ කඳවුර එකට එකතු වුණා. ඒ අනුව තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැති ධුරය භාරගන්න ආරාධනා කළේ. ඒ අනුව ආණ්ඩුවක් පිහිටෙව්වා. අවසානයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරියා.   


ප්‍රශ්නය  ඒක ව්‍යවස්ථා විරෝධීයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඇයි එහෙම දේවල් මෙතැන වුණේ?   


පිළිතුර - ඒක අධිකරණයේ තීන්දුවනේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ විශේෂඥයන්ගේ උපදෙස් මත. ඒ නිසා 122ක් පාර්ලිමේන්තුවේ බහුතරය රනිල් වික්‍රමසිංහ මහතාට තියෙනවා කියලා කතානායකතුමා ජනාධිපතිතුමාට කිව්වා. ශ්‍රේෂ්‍ඨාධිකරණයට ඒ විදියට දිවුරුම් ප්‍රකාශය දුන්නා. එහෙත් දැන් රනිල්ට බහුතරය නෑ කියලා ඔප්පු වෙලා ඉවරයි. එහෙම බැලුවම කවුද මේ ගේම් එකෙන් පැරදුණේ. ඇමැතිකම්, අගමැතිකම් මන්ත්‍රීකම් නැති වෙන්න පුළුවන්. ඒත් රටේ පොදු මහජනතාවගේ යහපත සඳහා වූ ගමන මං හිතන්නේ කිසිම ප්‍රශ්නයකින් තොරව යනවා.  


ප්‍රශ්නය  -  බහුතර බලය නැතිව අගමැතිකම ගන්න ගිය නිසානේ වැඩේ ඇනුණේ.   


පිළිතුර - බහුතර බලයක් තියෙන බවට විශ්වාසයක් මහින්ද රාජපක්ෂ මැතිතුමාට තිබුණා. ඒ නිසා තමයි ආණ්ඩුව පිහිටෙව්වේ. මං හිතන්නේ ඒක නැහැමයි කියලා කියන්න පුළුවන් කියලා. එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් හත් දෙනෙකු විතර මේ පැත්තට ආවා. එවැනි තත්ත්වයක් තුළත් ප්‍රශ්නය වුණේ පාර්ලිමේන්තුව වෙනදා වගේ ස්ථාවර නියෝග අනුව කටයුතු නොකිරීමයි. කතානායකවරයා අත්තනෝමතික විදියට සියලු බලතල තමන්ට පවරාගෙන ස්ථාවර නියෝග සියල්ල තමන්ගේ අතට අරගෙන කටයුතු කරමින් පාර්ලිමේන්තුව මෙහෙයැව්වා. එතැනයි ප්‍රශ්නය ඇති වුණේ.   


ප්‍රශ්නයබැසිල් රාජපක්ෂත් ‘ගේම’ අත්හැරියා.   


පිළිතුර - විවිධ චෝදනා එකිනෙකා එකිනෙකාට එල්ල කරනවා. සංඛ්‍යාව මදිවීම නිසා සියලු දෙනා විවිධ ආකාරයෙන් වෙච්ච ක්‍රියාත්මකවීම් අසාර්ථක වුණා. පක්ෂ ඇතුළේ විවිධ මතවාද විවේචන තියෙනවා. ඒ අභ්‍යන්තර මතවාදවලට මම කැමති නෑ සම්බන්ධ වෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම විවිධ මත තියෙනවනේ. පොහොට්ටුව තුළත් එහෙමයි. ඒ නිසා ඒවා නොවෙයි අපි යූඑන්පී විරෝධි කඳවුරේ එකට ඉන්න වුණේ. ඒක විතරමයි රටට හා ජනතාවට තියෙන එකම ආරක්ෂාව.   


• ප්‍රශ්නය දැන් මෙතැනින් එහාට මොකද්ද මහින්ද කඳවුරේ ව්‍යාපෘතිය?   


පිළිතුර - අපි දිගටම සාකච්ඡා කරමින් ඉන්නවා. අගමැති රනිල් වික්‍රමසිංහගේ පළමු වැනි කැබිනට් රැස්වීම තිබුණේ පහුගිය බදාදා. පසුගිය දවස්වල ගත්තොත් ඇමැතිවරු හිටියට සමහර ඒවට නියෝජ්‍ය ඇමැතිවරු නෑ. විෂය මොනවද දන්නේ නෑ. ජනාධිපතිතුමත් යම් යම් ප්‍රකාශ කළා එක්සත් ජාතික පක්ෂයේ අයට. කලින් ප්‍රදර්ශනය කළ හැසිරීම් දිහා බලලා තමයි එහෙම ප්‍රකාශ කළේ. ඒ නිසා යම්කිසි වෙනසක් දේශපාලන වෙනසක් ආණ්‍ඩුව ඇතුළෙන්ම පේන්න තියෙනවා.   


ප්‍රශ්නය ඒ වෙනසෙන් වැඩක් ගන්න පුළුවන්ද?   


පිළිතුර - මෙහෙමයි. අපි හිතනවා මේ රටේ ජනතාවට මහ මැතිවරණයක් ලබාදීමෙන් තොරව මේ වළෙන් ගොඩ ඒමක් නෑ. රට විශාල සෝදාපාළුවකට ලක්වෙනවා. දෙපැත්තටම තියෙන්නේ කරට කර බලයක්.   


ප්‍රශ්නය ඔබ ඒක පිළිගන්නවා?   


පිළිතුර - යථාර්ථය ඒකනේ. දෙපැත්තම ‘කරට කරයි’ එහෙත් පහක් මෙහාට ආවොත් මෙහෙන් පහක් එහෙට යන්න පුළුවන්. ඒ නිසා ඒකට තියෙන එකම විසඳුම පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා සියලු දෙනා එකඟ වී කටයුතු කිරීමයි.   


• ප්‍රශ්නයමහ මැතිවරණයකට 2020 අගෝස්තු වෙනකම් යන්න බෑ. එහෙම නැත්නම් යෝජනාවක් තුනෙන් දෙකකින් සම්මත විය යුතුයි. එතකොට මොකද කරන්නේ?   


පිළිතුර - මම හිතන්නේ නෑ පාර්ලිමේන්තුව මේ ප්‍රශ්නය ගැන ගැඹුරින් හිතලා කියලා තම තමන්ගේ පක්ෂවලට බාහිරව කල්පනා කරන බවක් පේන්නේ නෑ. එහෙම කල්පනා කරනවා නම් මේ අර්බුදය තේරුම් ගන්න පුළුවන්. මේක මේ මතුපිටින් පේන දේශපාලන අර්බුදයක් විතරක් නොවෙයි. දැවැන්ත ආර්ථික අර්බුදයක අපි ජීවත් වෙන්නේ. විශාල සමාජමය පිරිහීමක් තියෙනවා. ආගමික නායකයන් කරන ප්‍රකාශ කිසිවක් ගණන් නොගෙන දේශපාලන නායකයෝ දඟලනවා. ඒ නිසා කාගෙත් යුතුකම යථාර්ථවාදීව මහජන ඡන්දයෙන් නම් අපේ ප්‍රජාතන්ත්‍රවාදය පවතින්න ඕනෑ. මහජන ඡන්දයෙන් පවතින ප්‍රජාතන්ත්‍රවාදයකට මහ මැතිවරණයක් පවත්වලා මහජනයාට අලුත් පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගැනීමට අවස්ථාව ලබාදීම සඳහා තමන්ගේ අත් දෙක උස්සලා ඡන්දය පාවිච්චි කිරීම තමයි පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගේ වගකීම වන්නේ.   


• ප්‍රශ්නය ඔබ කියන්නේ ඔළුගෙඩි එහෙට - මෙහෙට කරලා අතරමග දී ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩපිළිවෙළක් නැහැ කියල ද?   


පිළිතුර - මම හිතන්නේ නෑ ඒක යථාර්ථයක් කියලා. මොකද මම මුලින් කිව්ව වගේම එහෙන් මෙහෙට ගන්නත් පුළුවන්. මෙහෙන් එහෙට ගන්නත් පුළුවන්. එවැනි දේශපාලන පිරිහීමකට අපි ලක්වෙලා තියෙනවා. කලින් කිව්වා වගේ ප්‍රතිපත්ති නොවෙයි ඇත්තටම තමන්ට පෞද්ගලිකව ලැබෙන වාසිය මොකද්ද කියලා බලන දේශපාලනයක් රටේ මතුවෙලා තියෙනවා. ඒකනේ අද තත්ත්වය. එහෙම නැත්නම් මන්ත්‍රීවරුන් 16 දෙනකු ඉඳලා විපක්ෂ නායකකම දරපු කෙනා දැන් අපිට සීයක් පැනලා තියෙද්දීත් එයා කියනවා විපක්ෂ නායකකම එයාට ඕනෑ කියලා. මේවා දේශපාලන විහිළු. මේවා දේශපාලන හිස්භාවය අපේ රට බුද්ධිමතුන් උගතුන් වෘත්තීයවේදීන්ගෙන් පිරුණු රටක් වෙනත් ලෝකයේ රටවල්වලට ගිහිල්ලා විශ්වීය දැනුම අරගෙන ආපු උගතුන්ගෙන් පිරීගත් රටක්. එහෙත් මේ අය දේශපාලනයට ඇතුළුවීමට අකමැතියි. එයින් කියැවෙන්නේ මොකද්ද? මේ රටේ දේශපාලනයේ යථා ස්වභාවයයි.   


• ප්‍රශ්නය ඔබ යම් සැකයකින් ඉන්නේ ශ්‍රී ලංකා එකේ ඉන්න චන්ද්‍රිකා හිතවාදී මන්ත්‍රීවරුන් තීරණාත්මක මොහොතක දී එළියට පනී කියලා?   


පිළිතුර - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නෙත් මේ කඳවුරේනේ. වෙන කඳවුරු නැහැනේ. යූඑන්පී විරෝධි කඳවුර මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙරට මහජනයා ඡන්දය දීලා නැහැ. ඒකයි තේරුම් ගත යුත්තේ. මහජනයාගේ ඡන්දයට ගරු කරනවද? නැත්නම් තමන්ගේ වාසියට ගරු කරනවද? කියන ප්‍රශ්නයයි මෙතැන තියෙන්නේ.   


ප්‍රශ්නය ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා තොග පිටින් සහන දෙන්න. අනික් පැත්තෙන් යූඑන්පීය පක්ෂයක් හැටියට පිබිදුණා. මැතිවරණයකදී මේවා අභියෝග නොවෙයිද?   


පිළිතුර - පෙබරවාරි පරාජයෙන් පස්සේ නින්දට ගිය යූඑන්පී එකේ බොහෝ අය නැඟිට්ටා. හැබැයි ඒ පාක්ෂිකයෝ හැටියට. එහෙම නැතිව ඒක ජනතා නැඟිටීමක් නොවෙයි. පක්ෂයක් විදියට ඔය වගේ වෙලාවක පිබිදීම සාමාන්‍ය දෙයක්.   

 

මෙහෙ දෙගොල්ලෝ බැණ ගන්නවා. විවේචනය කර ගන්නවා. රට ඉස්සරහට යනවා තියා හිතන්නවත් බෑ. හොඳ වෙලාවටනේ මේ දෙක ගැලවුණේ. ඉතින් ජනාධිපතිතුමාට මේ මන්ත්‍රී කණ්ඩායම් දෙකම හමුවීම ලොකු හයියක්.


 

ප්‍රශ්නය - සහන යන්නේ පොදුවේ මහ ජනතාවට?   


පිළිතුර - හරි අපි හිතමු එහෙම සහන දෙනවා කියලා. එක පැත්තකින් මේ ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා උග්‍රවෙලා තියෙන ආර්ථික අර්බුදය හැටියට එහෙම සහන දෙන එක පහසු දෙයක් නොවෙයි. හැබැයි කෙටි කාලයකට ඕනෑම දෙයක් කරන්න පුළුවන් තමයි ආණ්ඩුවකට. ඉතිහාසයෙන් උදාහරණ ගත්තොත් එක්සත් ජාතික පක්ෂය ඩඩ්ලි සේනානායක මැතිතුමා 1960 මාර්තුවලදී ඡන්දය තිබ්බේ හාල් සේරුව පවා අඩු කරලා. පුළුවන් තරම් සහන දුන්නා. එහෙත් මහජනතාව ඩඩ්ලි සේනානායක ගෙදර යැව්වා. ඒ නිසා රනිල්ගේ ආණ්‍ඩුවටත් අපි කියනවා ඔව් සහන දෙන්න කියලා. දැන් බලන්න මේ රටේ ජනතාවට තියෙන ප්‍රධාන ප්‍රශ්න මොනවද කියලා. ආහාර, වස්ත්‍ර හා නිවාස මේ අවශ්‍යතා මේ රටේ බහුතර ජනතාවට නෑ. ජීවනෝපය මාර්ග නෑ. මම මේ යූඑන්පී විරෝධි නිසාම නොවෙයි කියන්නේ. මේ තමයි යථා තත්ත්වය. අද විදේශ විනිමය ඉපැයීම හොඳටම පහළ බැහැලා. ජනතාවට දවස ගෙවාගන්න බැරිව ඉන්නේ. අපි ඉන්නේ ඉගෙන ගත්ත සමාජයක, තරුණ ළමයි රස්සා නැතිව ගෙවල්වලට වෙලා හිටියට ඔවුන් ඉගෙන ගෙන ඉන්නේ. ඉතින් යූඑන්පීය හිතනවා නම් ඔහොම සහන බෙදලා ඡන්දයකට යන්න. යමු එහෙම හරි ඡන්දයකට අපිට කොහොමහරි ඕනෑ ඡන්දයක්. අපි ඡන්දයට මුහුණ දෙමු. ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් පාර්ලිමේන්තුවක් පත් කර ගමු. ජය පරාජය රටට තීරණය කරන්න පුළුවන්. කාගෙවත් සාක්කුවල ජය හෝ පරාජය කොටලා නෑ. ඒක පෙනුණේ පෙබරවාරි මාසේ 10 වැනිදා. මුළු ආණ්ඩුවම අන්ත පරාජයකට ලක් වුණා. ඇමැතිවරුන් බුරුතු පිටින් පැරදුණා. මහජනයනේ ඡන්දය දුන්නේ. ඉතින් මෙවරත් බලමු ඡන්දයකට ගිහින්.   


ප්‍රශ්නය - ජනවාරි 8 වැනිදායින් පස්සේ ඕනෑම මොහොතක ජනාධිපතිවරණයකට යා හැකියි. ඔබ හිතන විදියට මොකක් වෙයිද?   


පිළිතුර - ඔව්. ජනවාරි 8 වැනිදායින් පස්සේ ජනාධිපතිතුමාට ජනාධිපතිවරණය කැඳවිය හැකියි. එහෙම නම් එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුයි. එහෙම නැත්නම් නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණය කැඳවනවා. එතුමට අවශ්‍ය නම් ඒකට ඉදිරිපත් වෙන්න නීතියෙන් බාධාවක් නෑ. අනික් එක මාර්තු මාසය අන්තිම වෙනකොට පළාත් සභා සියල්ලම විසිරී යනවා. ඒ පළාත් සභා ඡන්දය අවශ්‍යයි. ඒ ඡන්දයත් එන්න තියෙනවා. නැත්නම් ආණ්ඩුකාර තනි පාලනයෙන් යන්න ඕනෑ.   


ප්‍රශ්නය - දැන් ආණ්ඩුකාරවරු ඔක්කොම ඉල්ලා අස්වෙලා.   


පිළිතුර - කාලය ඉකුත් වෙලා ඇති. ජනාධිපතිතුමාටනේ පත් කිරීමේ බලය තියෙන්නේ. සමහරු දේශපාලනයට එයි. ඒ නිසා අස්වුණා වෙන්නැති .ඒ වගේම මහ මැතිවරණයකටත් යන්න පුළුවන්. මේ ඡන්ද මේ වසර තුළ ආ හැකියි.   


• ප්‍රශ්නය - මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පොහොට්ටුවේ සහයෝගය ගැනීමේ උපක්‍රමයක් හැටියට. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද අගමැතිකම දුන්නා විය හැකියි?   


පිළිතුර - නෑ මම හිතන්නේ ප්‍රධාන කාරණාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්‍ඩුවෙන් ඉවත්වීම. අලුත් ආණ්ඩුවක් හදන්න ගත්ත තීරණය අනුව තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ පියවර ගත්තේ. ඒක ව්‍යවස්ථානුකූලද? නැද්ද? කියන එක වෙනමම වාදයක්. ඒ වාදය ශ්‍රී ලංකාවේ අයට වැඩිය ඕනෑ වුණේ පිටරට අයට. පිටරට අයට තමයි ලංකා පාර්ලිමේන්තුවෙයි ලංකාවේ මැතිවරණයක් එපා කියන අදහස දුන්නේ. වඩා බහුතරය යූඑන්පීයත් එක්කනම් ඡන්දයක් තිබ්බනම් හරිනේ. එතකොට පිටරට අයට පුළුවන්නේ ඡන්දය දෙන හැටි අපිට කියා දෙන්න. එ්කෙන් ජනාධිපතිතුමාට ආණ්ඩුවක් හැදීමෙන් තමන් සමග මෙතෙක් නොසිටි ඒකාබද්ධ විපක්ෂයේ කඳවුර සමග අලුත් සම්බන්ධයක් හදා ගන්න පුළුවන් වුණා. ඒක ජනාධිපතිතුමාටත් ශක්තියක් වෙලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාට දෝෂාරෝපණය කරන්න බෑ. මොකද, එදා යූඑන්පීයේ හැසිරීම බලන්න. ඔවුන් කොයිතරම් ජනාධිපතිවරයට බැන්නද? එහෙම ආණ්ඩු රටක පවතී ද? අපේ රටේ විතරයි එහෙම ආණ්ඩු තියෙන්නේ. වෙනත් රටවලනම් අගමැතිවරුන්ව ඇමැතිවරුන් අස්කරලා දානවා. ඉන්දියාවෙත් එහෙමයි. මෙහෙ දෙගොල්ලෝ බැන ගන්නවා. විවේචනය කර ගන්නවා. රට ඉස්සරහට යනවා තියා හිතන්නවත් බෑ. හොඳ වෙලාවටනේ මේ දෙක ගැලවුණේ. ඉතින් ජනාධිපතිතුමාට මේ මන්ත්‍රී කණ්ඩායම් දෙකම හමුවීම ලොකු හයියක්.   


ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ ජනාධිපති මෛත්‍රී ගත් පියවර ඊළඟ ජනාධිපතිවරණයත් එක්ක ගැට ගැහිලා නේද කියලයි?   


පිළිතුර - ජනාධිපතිවරණය ගැන සාකච්ඡාවක් වුණේ නැහැ ඇත්තටම. මැතිවරණ ගැන සාකච්ඡාවක් වත් වුණේ නැහැ. අපි දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධුරයෙන් ඉවත් වෙලා විපක්ෂයේ වාඩි වුණාට පස්සේ ඒ සාකච්ඡා ආරම්භ කළ යුතුයි කියලා සාකච්ඡාවක් ආරම්භ වෙලා තියෙනවා.   


ප්‍රශ්නය - මේ කලබැගැනිය අස්සේ ගෝඨාභය රාජපක්ෂ අතුරුදන්. ජනාධිපතිවරණයට ඔහුගේ නම කියැවෙමින් තිබුණා?   


පිළිතුර - එතුමා මේ දවස්වල නම් නැහැ. මම හිතන්නේ මුලදි නම් හිටියා. එතුමා ඕනෑ කියලා මාතෘකාවක් නෑනේ.   


ප්‍රශ්නය - දෙමළ සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා කියනවා ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වෙලා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනවා කියලා.   


පිළිතුර - ඇත්ත කතා කරන්න ගියොත් මේ ව්‍යවස්ථා කෙටුම්පත් කියන හැම කෙටුම්පතක්ම ලිව්වේ සුමන්තිරන් මන්ත්‍රීතුමා. ඒක නැවතුණේ අපි එරෙහි වුණ නිසයි. ඒ කොමිටියේ ඉන්නේ මමයි, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල, ඩිලාන් පෙරේරා හා ප්‍රසන්න රණතුංග කියන මන්ත්‍රීවරු. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට අපි තදින් විරුද්ධ වුණා. ඔය ඔක්කොම එක්ක ඕක ලියපු උපදේශකවරු කියන අය ඔක්කොම සුමන්තිරන් සමග උසාවියට ගිහින් හිටියා. අපේ ආණ්ඩුවට විරුද්ධව. එතකොට කොහොමද මෙයාලා ස්වාධීන උපදේශකවරු වෙන්නේ. ඒගොල්ලන්ගේ ලේබල් ගැලවිලා ඉවරයි. මෙහෙම ව්‍යවස්ථාවක් ගෙනඒම ගැන අගමැති වගකිව යුතුයි.   


ප්‍රශ්නය - ජවිපෙ කියනවා විධායකය අහෝසි කිරීමේ 20 ගේනවා කියලා.   


පිළිතුර - ඒක ඉතින් ශ්‍රේ‍ෂ්‍ඨාධිකරණයට ගිහිල්ලා ජනමත විචාරණයකට යන්න එපැයි. තියෙන වගන්තිවලට ඒ ක්‍රමවේදය අනුගමනය කළ යුතුයිනේ.   


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක එක්කෙනාට ඕනෑ විදියට කෑලි කෑලි සංශෝධනය කරලා තියෙන්නේ. ජනාධිපති උපදේශකයන්ගේ උපදෙස් අනුව වෙනස් කළාම ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා ඒක වැරදියි කියලා. හිටපු අගවිනිසුරුතුමා ඒ කියන්නේ මේ ආණ්ඩුවම පත් කරපු ඩෙප් මහත්මයා කතානායකයි පාර්ලිමේන්තුව වැරදියි කියලා නඩු තීන්දුවක් දුන්නා. ඒ අර හොර රහසේ පළාත් සභා නීතිය වෙනස් කරපු දවසේ. ඒ තුන් කට්ටුවේ හිටපු අනික් දෙන්නා කිව්වා. නෑ ඒක හරි කියලා. එතකොට දෙකයි එකයි නිසා අගවිනිසුරුවරයගේ නඩු තීන්දුව වැරදියි. මේ වගේ උදාහරණ කොච්චර දෙන්න පුළුවන්ද? මෙහෙම වෙලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෑලි කෑලි එක එක්කෙනාට ඕනෑ විදියට ගලවන්න වෙනස් කරන්න ගිහිල්ලා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඉන්න ස්ථානයක සිට හිනා වෙනවා ඇති.   


ප්‍රශ්නය - මේ විදියට රටට ඉදිරියට යන්න පුළුවන් ද?   


පිළිතුර - අපි ඉතාම අභියෝගාත්මක අවස්ථාවක ඉන්නේ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාමට මේ රටේ ජනතාව දිගටම සහයෝගය දුන්නා. කුමන ආණඩුවක් පත් වුණත් ඒ බලය ආරක්ෂා කළා වගේම ආර්ථික වශයෙන් හා රටේ පැවැත්මට අවශ්‍ය කරණ ඒකීය භාවය රැකීමට සියලුම දේශපාලනඥයන් පොරොන්දු වෙලා තියෙනවා. එල්ටීටීඊ සංවිධානය හැර එල්ටීටීඊ සංවිධානයට උදව් කරපු ටීඑන්ඒ සංවිධානය අතර අනික් සියලුම දෙනා ඒ පොරොන්දුව දීලා තියෙනවා. කවුරුවත් ප්‍රසිද්ධියේ ෆෙඩරල් කියලා කියන්නේ නැහැනේ. නමුත් අපේ දේශපාලන යාන්ත්‍රණය ප්‍රතිසංස්කරණය කරගන්න බැරිව දඟලනවා. මොකද දේශපාලනඥයන් හා විවිධ ජාත්‍යන්තර බලපෑම් නිසා ඇත්ත ප්‍රශ්න පසෙකට දාලා අනවශ්‍ය දේවල් කරනවා. ආර්ථික අර්බුදය උග්‍ර වෙලා. ඒ නිසා අනාගත ලංකාවට ශක්තිමත් ආර්ථිකයක් ලෙස ගොඩනැගෙන්න අවශ්‍ය සාධක එකතු කර ගත යුතුයි. ඒකට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. ඒ වගේම එවැනි අනාගත දැක්මක් ඇති වැඩ පිළිවෙළක් අපේ රටේ පාලන තන්ත්‍රය හරහා ක්‍රියාත්මක විය යුතුයි. නව දැනුම, ජනතා සිතුම් පැතුම් හා අපේ රටේ පැවැත්ම කියන ප්‍රධාන කරුණුවලට අනුව අපි වැඩ කළොත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව සමග යන සංවර්ධන ගමනක් මගින් රට දියුණු කළ හැකියි. ඔව්, අපි තවම එතැනට ඇවිත් නෑ. නාස්තිය වැඩියි. විදේශයට අපේ ධනය අසීමිත ලෙස ගලා යනවා. ඒවා රටේ අනාගතය වෙනුවෙන් යෙදවෙන ආකාරයක් ගැනයි අපි හිතන්න ඕනෑ. ඒ වෙනුවෙන් උගත් නව පරම්පරාවකට රට භාර දිය යුතුයි. එයයි එකම උත්තරය.

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්