සමගි ජන බලවේග​යේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු ඇමැති 
ලක්ෂ්මන් කිරිඇල්ල 

 

  • හමුදාව පාවිච්චි කිරීමේ කිසිම වැරැද්දක් නෑ
  • කොරෝනා ලංකාවට ආවේ ආණ්ඩුවේ වැරැද්දෙන්

 

මහ මැතිවරණයට දින නියම වී තිබේ. ඒ කොරෝනා මාරාන්තික වයිරසය පැතිරෙමින් තිබියදීය. කුමක් වෙයිද? මේ ඒ ගැන විමසමින් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක, හිටපු ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග කළ සාකච්ඡාවකි.

 

 ප්‍රශ්නය:- කොරෝනා වසංගතයට එරෙහිව ආණ්ඩුව අරගෙන තියෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත්ද?


පිළිතුර:- ඇත්ත වශයෙන්ම මේක යම්තාක් දුරකට පාලනය කරලා තියෙනවා. දුරස්ථභාවය ඇති කරලා මේක පාලනය කරලා තියෙනවා. ඒක අපි පිළිගන්නවා. වෛද්‍ය ක්ෂේත්‍රය විශේෂයෙන් මතක් කළ යුතුයි. නමුත් මේ කොරෝනාව ලංකාවට ආවේ ආණ්ඩුවේ වැරැද්දෙන්. දෙසැම්බර් මාසයේ තමයි කොරෝනා වයිරසය ගැන තොරතුරු ආවේ. ජනවාරි මාසයේ එයාර්පෝට් වහපු රටවල් ඔක්කොම මේකෙන් බේරුණා. තායිවාන් කියන රට චීනයට බොහොම කිට්ටුවෙන් තියෙන රටක්. චීන ජාතිකයන් ඉන්නේ. ඒ රටේ නායිකාව දෙසැම්බර්වල වූහාන්වලට මේ වයිරසය ආවාම ජනවාරිවලදී එයාර්පෝට් එක වැහුවා. කිසි කෙනෙකුට එන්න දුන්නේ නැහැ. අද තායිවාන්වල කොරෝනා නැත්තටම නැති තරම්. නවසීලන්තයෙත් එ්ක වුණා. නවසීලන්තයෙන් ජනවාරි මාසයේ එයාර්පෝට් වැහුවා. ජනවාරිවල එයාර් පෝට් වහපු රටවල් ඔක්කොම මේකෙන් බේරුණා. අපට වුණේ මොකද්ද? ජනවාරියේ එයාර්පෝට් එක වැහුවා නම් මේ ප්‍රශ්නය එන්නේ නෑ.


 ප්‍රශ්නය:- ඒ කාලේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයකුත් තිබ්බා.


පිළිතුර:- ඔව්. ඒ ගැනත් කිව යුතුයි. ජනවාරි 24 වැනිදා ඒ විවාදයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා බොහොම පැහැදිලිව කිව්වා ‘‘එයාර්පෝට් එක වහන්න’’ කියලා. ඒකට පවිත්‍රා වන්නිආරච්චි සෞඛය ඇමැතිවරිය දීප උත්තරය තමයි ‘‘මේක ලංකාවට එන්නේ නෑ’’ කියලා. එතුමිය කියපු දේ නොවෙයි අන්තිමට වුණේ. ජනවාරියේ එයාර්පෝට් වැහුවා නම් පෙබරවාරි හා මාර්තුවල තමයි මේක ලංකාවට එන්න පටන් ගන්නේ. ඒ කාලේ එයාර්පෝට් වහලා තිබ්බා නම් එහෙම නැතිනම් එයාර්පෝට් එකේ මනා සුපරික්ෂාවක් කළා නම් මේ උවදුර ලංකාවට එන්නේ නෑ. කොරෝනා පළමු රෝගීන් සිය දෙනාම පිටරටින් ආපු අය. ඒ අයව හොඳට පරීක්ෂා කළේ නෑ. අලුත්කඩේ පැත්තේ කණ්ඩායමක් අල්ලලා තියෙනවනේ. ඒ අය ඉන්දියාවේ ඉඳලා ඇවිත් කෙළින්ම ගමට ගිහින්. එහෙම කරලා තියෙන්නේ ඉහළ නියෝගයකින් කියලා කියනවා. එයාර්පෝට් එක වැහුවේ මාර්තු 20 වැනිදා. අර මාස දෙක ප්‍රමාද වෙච්ච නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ. ඇමෙරිකාවේ සහ එංගලන්තයට වුණෙත් මේකමයි. එංගලන්තයේ අගමැතිවරයා පෙබරවාරි මාර්තුවල කොරෝනා ගැන කතා කරන්න කොමිටියක් පත් කරලා තියෙනවා. ඒ කමිටුව හය පාරක් රැස්වෙලා තියෙනවා. මේ එක රැස්වීමකටවත් එතුමා රැස්වෙලා නැහැ. එතුමා බොහොම සැහැල්ලුවට මේක අරගත්තා. අද එතුමාට එංගලන්තයේ විපක්ෂයේ දැඩි චෝදනාවට ලක්වෙලා තියෙනවා. තොරතුරු ලැබිලත් ක්‍රියාත්මක වුණේ නෑ කියලා.


 ප්‍රශ්නය:- ඒක හරියට ඔබලාගේ ආණ්ඩුව කාලේ සියලු තොරතුරු ලැබිලත් පාස්කු ප්‍රහාරය වළක්වා ගත්තේ නෑ වගේ?


පිළිතුර:- ඔව්. ඔව්. දෙකම එකයි. අපේ පාස්කු ප්‍රහාරය වගේම තමයි මේ ආණ්ඩුවේ කොරෝනා ප්‍රහාරය. දෙකම එකයි. මේ ආණ්ඩුවත් බුදියගෙන හිටියේ. පාස්කු ප්‍රහාරයේ තොරතුරු ඉන්දියාවෙන් සතියකට දෙකකට කලින් ආවනේ. ඒත් නායකයෝ උඩ බලාගෙන හිටියා. මෙතැනත් එහෙමයි. නායකයෝ අවශ්‍ය පියවර ගත්තේ නෑ. මම දැක්කා කාදිනල්තුමා කියලා තිබුණා පාස්කු ප්‍රහාරයට සේනාධිනායකයා නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි කියලා. ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා ‘‘නිහඬව බලා සිටීමත් ඒ වරදට සහාය වීමක්’’ කියලා. අන්තිමට එයාර් පෝර්ට් එක වැහුවේ පෙබරවාරි 20 වැනිදා. පෙබරවාරි 17 වැනිදාත් ජනාධිපතිතුමා කිව්වා කොරෝනා විසි තුනක් ආවා කියලා. එයාර්පෝර්ට් වහන්නේ නෑ කියලා. මූලික වැරැද්ද එතැනයි. නමුත් පස්සේ යම්කිසි උත්සාහයක් අරගෙන මේක පාලනය කරලා තියෙනවා. මම ඒක නෑ කියන්නේ නෑ.


 ප්‍රශ්නය:- සමහරු කියනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදාව ඉස්සරහට දාගෙන හමුදා පාලනයක් ගෙන යනවා කියලා.


පිළිතුර:- ඒක මම පිළිගන්නේ නෑ. මොකද නිරෝධායන මධ්‍යස්ථානවලට පිරිස් රැගෙන යන්න හමුදාවේ සාය අත්‍යවශයයි. එංගලන්තයෙත් එහෙමයි. ඇමෙරිකාවෙත් ඒ මෙහෙයුම් කරන්නේ හමුදාව. මේ වගේ අවස්ථාවක හමුදාව අවශ්‍යයි. මොකද හමුදාවට අවශ්‍ය පහසුකම් තියෙනවා. නිරෝධායන කටයුතුවලට හමුදාව තමයි මුලින්ම ඉදිරිපත් වුණේ. ඉතින් හමුදාව පාවිච්චි කිරීම ගැන කිසිම වැරැද්දක් නෑ.


 ප්‍රශ්නය:- එජාප නායක රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ මාධ්‍යයට කියලා තිබුණා, කොරෝනා වසංගතයට එරෙහිව ආණ්ඩුවේ මෙහෙයුම් සාර්ථකයි කියලා.


පිළිතුර:- මෙහෙමයි, මෙහෙම පාලනය වුණාට මැතිවරණයක් ප්‍රකාශ කිරීම හරහා මේ ලබාගත්ත ජයග්‍රහණය නැති කරගන්නනේ හදන්නේ. ඒකයි මට භය. දැන් මැතිවරණයක් තිබ්බාම ඉස්සෙල්ලාම දුරස්ථභාවය නැති වෙනවනේ. එහෙම වුණාම මේකට ඖෂධයක් සොයා ගන්නකම් ලොකු ප්‍රශ්නයක්නේ. ඖෂධයක් මාස 8කින් අවුරුද්දකින්වත් එන්නේ නෑ කියලා තමයි කවුරුත් කියන්නේ.


 ප්‍රශ්නය:- 20 වැනිදා මහ මැතිවරණය පවත්වනවා කියලා මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.


පිළිතුර:- එතුමා කියලා තියෙනවා දුරස්ථභාවය නැති වුණාම මේක පැතිරෙනවානේ. අනික මේ ගොල්ලෝ ‘‘ටෙස්ට්’’ කරන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න අය විතරයිනේ. මම මහනුවර රෝහලට දුරකතනයෙන් කතා කරලා ඇහුවා. ‘‘මට ටෙස්ට් එකක් කරගන්න පුළුවන්ද?’’ කියලා. එතකොට කිව්වා ‘‘බෑ’’ කියලා. ‘‘ටෙස්ට් කරන්න කිට් පනහයි තියෙන්නේ. එ්ක ලෙඩෙක් ආවොත් විතරයි පාවිච්චි කරන්නේ’’ කියලා කිව්වා. මෙතැන තමයි ප්‍රශ්නය තියෙන්නේ. දැන් බලන්න පළමු සිය දෙනා ආවේ රට ඉඳලා. එක්කෙනෙක් පස් දෙනෙකුට දුන්නා කියලා හිතමු. එතැන පන්සියයි. ඒ පන්සීයෙන් එක්කෙනෙක් පස් දෙනකුට දුන්නොත් විසිපන්දාහයිනේ.

නිරෝධායන මධ්‍යස්ථානවලින් පිට චෙක් වෙන්නේ නෑ. එදා අහම්බෙන් චෙක් කළාම අපේ අලුත්කඩේ අවටින් සොයාගත්තේ තව කොච්චර ඉන්න පුළුවන්ද?


 ප්‍රශ්නය:- ඔබලා මැතිවරණය තියන්න එපා කියන්නේ කොරෝනා වලට තියෙන බයට වඩා මැතිවරණයට තියෙන බව නිසා කියලයි කියන්නේ?


පිළිතුර:- මැතිවරණයට ඉදිරිපත් වෙන්න කිසිම බයක් නෑ. මොකද මේ ආණ්ඩුව දැන් හත් පොළේ ගාගෙන තියෙන්නේ. රුපියල් පන්දාහ දීමේ වැඩේ සම්පූර්ණයෙන්ම අනාගෙන. ඉස්සෙල්ලාම මේකට පත් කළා බැසිල් රාජපක්ෂ මහත්තයා. ඔහු දේශපාලනඥයෙක්. ඔහු පොහොට්ටුවේ නිර්මාතෘවරයා. මේ වගේ දෙයකට සිවිල් සේවකයෙක් පත් කරන්න එපැයි. දෙවැනි ලෝක යුද්ධය කාලේ ආහාර අහේනිය ආවම ඒක බාර දුන්නේ ඔලිවර් ගුණතිලක මහත්තයාට. එතුමා දක්ෂ පරිපාලන නිලධාරියෙක්. ඒ වගේ නිර්පාක්ෂික කෙනෙක් පත් කළා නම් අපට යම් විශ්වාසයක් තියාගන්න පුළුවන්. ග්‍රාම සේවක නිලධාරීන් එක්තරා මට්ටමකට සාධාරණව මේ වැඩේ කළා. ඊට පස්සේ මිනිස්සු ග්‍රාම නිලධාරීන්ට විරුද්ධව ගිහින් පැමිණිලි කළා. පොහොට්ටුකාරයෝ. ඒ ගොල්ලො ගිහින් කිව්වා, ග්‍රාම නිලධාරීන්ගෙන් මේක අයින් කරලා සමෘද්ධි නිලධාරීන්ට දෙන්න කියලා. සමෘද්ධි නිලධාරීන්ලා දැන් මොකද කරන්නේ? ග්‍රාම නිලධාරීන් සකස් කරපු ලැයිස්තුව කපලා තමන්ගේ අයට දෙනවා. ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අනාගෙන. මිනිස්සු එක්ක කතා කරලා බලන්න. මේ වෙලාවේ මැතිවරණයක් තියනවාට මිනිස්සු සියයට දෙසීයක් විරුද්ධයි.


 ප්‍රශ්නය:- ආණ්ඩුව කියනවා ‘‘අපට මැතිවරණයකට යාමේ තදියමක් නෑ. මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කිරීමේ බලය තියෙන්නේ මැකෝට කියලා.’’


පිළිතුර:- නමුත් මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට බලපෑම් ආවනේ. ජනාධිපතිතුමා ලියුම් ලියලා තිබුණනේ.


 ප්‍රශ්නය:- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැකෝ දිනයක් නියම කළ යුතුයිනේ.


පිළිතුර:- ඔහුට ප්‍රශ්නයක් තිබුණ නිසානේ ඔහු ජනාධිපති තුමාට කිව්වේ ‘‘ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න’’ කියලා. නමුත් ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇහුවේ නෑ.


 ප්‍රශ්නය:- එහෙම අවශ්‍ය නෑ කියලා ජනාධිපතිවරයා කිව්වා.


පිළිතුර:- නෑ ඒක අවශ්‍යයි. නෛතික වශයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තමයි විමසන්න වෙන්නේ විසුරුවා හැරීමේ ගැසට් එකේ තියෙනවා අප්‍රේල් 25 මහ මැතිවරණය ජූනි අලුත් පාර්ලිමේන්තුව රැස්වෙන්න බෑ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඡන්දය දාලා තියෙන්නේ ජූනි 20. හරිනම් පරණ පාර්ලිමේන්තුව 2 වැනිදා කැඳවන්න ඕනෑ.


 ප්‍රශ්නය:- ජනාධිපති ගෝඨාභය කියනවා ‘කීයටවත් පැරණි පාර්ලිමේන්තුව කැඳවන්නේ නෑ කියලා.


පිළිතුර:- එහෙම වුණොත් ප්‍රශ්නයක් ඇති වෙයි. ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ තියෙන්නේ ජූනි 2 වැනිදා පාර්ලිමේන්තුව කැඳවනවා කියලනේ. දැන් ඔහුට පාර්ලිමේන්තුව කැඳවීමක් වෙන්නේ නෑ. එතකොට ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට වලංගුභාවයක් නෑ. ඒකට නෛතික බලයක් නෑ. ඒ නිසා ඒ ප්‍රකාශය බල රහිතයි. මේ අනුව මේ වෙලාවේ පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ බලය කතානායකතුමාට පැවරෙනවා. මම හිටපු සභානායක. ඒ නිසා මම යෝජනා කරනවා කතානායකතුමාට පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. ඔබට මතකද 2018 ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් පස්සේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසිරෙව්වා. නමුත් ඒක නීති විරෝධියි. ඒ නිසා නැවත පාර්ලිමේන්තුව කැඳවන්න වුණා. දැනුත් තියෙන්නේ එහෙම තත්ත්වයක්.


 ප්‍රශ්නය:- නමුත් දැන් තියෙන්නේ අලුත්ම තත්ත්වයක්. පාර්ලිමේන්තුව විසුරුවලා නාමයෝජනා කැඳවලා තියෙන්නේ?


පිළිතුර:- මම කියන්නේ ඒ නියෝගය දැන් වලංගු නෑ කියලයි. අනිත් එක ඔබ කියනවා වගේ මේක අලුත් තත්ත්වයක් නම් මේ තත්ත්වය ගැන තීරණයක් දෙන්න පුළුවන්කම තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට විතරයි. ජනාධිපතිතුමාට ඒ ගැන තීරණයක් දෙන්න බෑ. ඒ නිසා තමයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයත් කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න කියලා.


 ප්‍රශ්නය:- ජූනි 20 වැනිදා මැතිවරණයට දින නියම වෙලා තියෙන්නේ?


පිළිතුර:- ඒ තීරණයට එරෙහිව කණ්ඩායම් කිහිපයක්ම අධිකරණයට යන්න ඉන්නේ. ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගයට වලංගු භාවයක් නෑ. පරණ පාර්ලිමේන්තුව යළි රැස් කරන්න කියලයි ඉල්ලන්නේ.


 ප්‍රශ්නය:- මේ ඔක්කොම කරන්නේ මැතිවරණයට තියෙන බයට?


පිළිතුර:- මම මුලිනුත් කිව්වේ, මැතිවරණවලට අපි බය නෑ. මේ තත්ත්වය තුළ මැතිවරණයක් තියන්නේ කොහොමද? දැන් මමත් ඡන්දෙ ඉල්ලනවා. පස් දෙනකුට වැඩිය රැස් වෙන්න බෑ. කොහොමද කැම්පේන් එකක් කරන්නේ? ඡන්දේ කියන එක ආණ්ඩුවට විතරක් නොවෙයි අපිටත් අවස්ථාව තියෙන්න ඕනෑ. අපේ වැඩපිළිවෙළ, ප්‍රතිපත්ති ජනතාව අතරට අරගෙන යන්න. දැන් අපට අවස්ථාවක් නෑනේ. ආණ්ඩුව සියලුම මාධ්‍ය තමන්ගේ ග්‍රහණයට අරගෙන තියෙන්නේ. ඒ වගේ අපට අවස්ථාවක් නෑනේ. පෞද්ගලික නාළිකා සියයට 90ක්ම ඉන්නේ ආණ්ඩුවත් එක්ක. ඒ නිසා මැතිවරණ කොමිසමට මේ වෙලාවේ කරන්න තියෙන්නේ මේ නාළිකා ටික තාවකාලිකව හරි පවරා ගන්න. එහෙම පවරා ගෙන ඒ ඒ පක්ෂවලට කාලය බෙදලා දෙන්න.


 ප්‍රශ්නය:- කොහොම වුණත් යූඑන්පිය දෙකට කැඩුණා.


පිළිතුර:- ඔව්. ඒත් අසමගියක් නෑ. බැලූ බැල්මට අසමගියක් වගේ පේනවා. නමුත් ගම්වල මිනිස්සු හිතන විදිහ මම දන්නවා. මහනුවර දිස්ත්‍රිකය ගත්තොත් සියලුම මහජන නියෝජිතයන් කැඳවලා විමසුවාම සියයට සියයක්ම කිව්වේ සමගි ජනබලවේගය තෝරා ගන්න කියලා.


 ප්‍රශ්නය:- එකම පක්ෂය දෙකඩ වෙලා වේදිකා දෙකක ඉඳගෙන එකිනෙකාගේ රෙදි ගලවයි.


පිළිතුර:- නෑ එහෙම දෙයක් වෙන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපේ අමනාපයක් නෑ. අපි වෙනම ඡන්දෙ ඉල්ලනවා. අනික සමගි ජනබලවේගය කියන එක එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයයි තේරුවේ. ඒකේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මැතිතුමාව පිළිගත්තෙත් කෘත්‍යාධිකාරි මණ්ඩලයයි. අගමැති අපේක්ෂකත්වය දුන්නෙත් කෘත්‍යාධිකාරි මණ්ඩලයයි.

 

මැතිවරණවලට අපි බය නෑ. මේ තත්ත්වය තුළ මැතිවරණයක් තියන්නේ කොහොමද? දැන් මමත් ඡන්දෙ ඉල්ලනවා. පස් දෙනකුට වැඩිය රැස් වෙන්න බෑ. කොහොමද කැම්පේන් එකක් කරන්නේ? ඡන්දේ කියන එක ආණ්ඩුවට විතරක් නොවෙයි අපිටත් අවස්ථාව තියෙන්න ඕනෑ. අපේ වැඩපිළිවෙළ, ප්‍රතිපත්ති ජනතාව අතරට අරගෙන යන්න. දැන් අපට අවස්ථාවක් නෑනේ. ආණ්ඩුව සියලුම මාධ්‍ය තමන්ගේ ග්‍රහණයට අරගෙන තියෙන්නේ. ඒ වගේ අපට අවස්ථාවක් නෑනේ.


 ප්‍රශ්නය:- පක්ෂය දෙකට කැඩුවේ කවුද රනිල්ද? සජිත්ද?


පිළිතුර:- මට පැහැදිලිවම පෙනුණා මෙතන කකුලෙන් ඇදීමක්. සමගි ජනබලවේගය හදනවට විරුද්ධ වුණේ නෑ. සජිත්ට නායකත්වය දෙනවට විරුද්ධ වුණේ නෑ. අගමැති අපේක්ෂකත්වය දෙනවට විරුද්ධ වුණේ නෑ. නමුත් අන්තිම මොහොතේ ලකුණක් බෙදාගෙන අලියා පාවිච්චි කරන්නත් බෑ කිව්වා. එතකොට අලියා දෙන්න බැරිනම් වෙන ලකුණක් හරි දෙන්න එපැයි. ඒකනේ සාධාරණත්වය. ඒ නිසානේ මේ ප්‍රශ්නය ඇතිවුණේ.


 ප්‍රශ්නය:- ඔබ හිටියේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂකයෙක් හැටියට. හැබැයි එක පාරටම සජිත්ව තෝරා ගත්තා.


පිළිතුර:- ඔව්. මම එක්සත් ජාතික පක්ෂයේ හිටියේ. මම නම් රනිල් වික්‍රමසිංහට ණය නෑ. ඒක මම බය නැතිව ආඩම්බරයෙන් කියනවා. මම රනිල් වික්‍රමසිංහට පොඩ්ඩක්වත් ණය නෑ. අපි දෙවතාවක්ම එයාට ආණ්ඩුවක් අරන් දුන්නා. ඒ දෙවතාවෙම එයාට කරගන්න බැරිවුණානේ. මම 2002දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇවිත් 2002දී රනිල්ට ආණ්ඩුවක් අරන් දුන්නා. පළමු අවුරුද්දෙම මොකද්ද කළේ. එයා දැන ගන්න ඕන එයා අගමැති කියලා. ජනාධිපතිනියගේ බලතල ගැනත් හිතන්න ඕනෑ. කැබිනට් රැස්වීමට එනකොට චන්ද්‍රිකා ජනාධිපතිනියගේ බෑග් එකේ කැමරාවක් තියෙනවා කියලා ඇමැතිවරයකුත් අල්ලාගෙන මහා නාටකයක් නැටුවා. ඒකෙන් චන්ද්‍රිකා තරහ වුණානේ. මම චන්ද්‍රිකාට කිව්වා ‘‘රනිල් වික්‍රමසිංහ අත්සන් කරපු සාම ගිවිසුම හරිම ෂෝක්. ලක්ෂ්මන් මම අවුරුදු හතරකට පස්සේ අත්තනගල්ලට ගියේ කියලා. චන්ද්‍රිකාත් එක්ක හොඳට ගනුදෙනු කරන්න තිබුණා. අන්තිමට මොකද වුණේ? අමාත්‍යාංශ හතරක් පවරා ගත්තා. අපිට කිව්වා අමාත්‍යාංශ තුන හමාරක් දෙන්නම්, ඉතුරු කෑල්ල මාස දෙක තුනකින් දෙන්නම් කියලා. රනිල් කිව්වා ‘‘ දෙනවා නම් ඔක්කොම දෙන්න, නැතිනම් එපා’’ කියලා. එයා දැන ගන්න ඕනෑ ‘‘මම අගමැති’’ කියලා. 2019දී මොකද වුණේ. ආණ්ඩුවක් අරන් දුන්නා. එහෙම අරන් දුන්නේ අවුරුදු 10ක් විපක්ෂයේ ඉඳලා මට ඕනෑ නම් සන්ධානයට යන්න තිබුණා. මොකද මම මහින්දත් එක්ක එක කැබිනට් එකේ හිටියේ. ඒ විදිහට විපක්ෂයෙ ඉඳලා 2015දී ආණ්ඩුවක් අරන් දුන්නා. රනිල් අගමැති කළා. වැඩිම දායකත්වය මහනුවර දිස්ත්‍රික්කයෙන්. ජනාධිපතිවරණය අසූ එක් දාහකින් දිනුවා. පාර්ලිමේන්තු මැතිවරණය එක්ලක්ෂ තිස් පන්දාහකින් දිනුවා. අපි මහනුවර දිනුවාම තමයි ජයග්‍රහණය ඉස්සරහට ගියේ. ඇත්ත වශයෙන්ම මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අපේ නෝනට කතා කරලා කියලා තියෙනවා ‘‘මහනුවර දිනුවම තමයි අපි හුස්ම ගත්තේ’’ කියලා. 2015දී අගමැති වෙලා දෙවැනි මාසෙම බැඳුම්කරේ දාගත්තා. ඒකට අර චන්ද්‍රිකාගේ කැමරා බෑග් එකට සම්බන්ධ ඇමැතිවරයත් සම්බන්ධයි. ඒ නිසා අපි එයාට ණය නෑ. එයා අපිට ණයයි. ඒ නිසා මගේ හිතට බරක් නෑ. අපි රට ගැනත් පාක්ෂිකයා ගැනත් හිතන්න ඕනෑ.


 ප්‍රශ්නය:- ඔබේ මැතිවරණ ව්‍යාපාරයේ තේමාව ‘‘ජනපති ගෝඨාභය - අගමැති සජිත්’’ කියලයි.


පිළිතුර:- අපේ එහෙම තේමා පාඨයක් නෑ. ඒක ජනතාවගේ කැමැත්තක්. ජනාධිපතිධුරයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත්වුණා. අගමැති ධුරයට කවුද සුදුස්සා කියලා ජනතාව තීරණය කරයි.


 ප්‍රශ්නය:- ඔබ හිතනවද ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් වෙයි කියලා.


පිළිතුර:- අපි යන්නේ ඒ අරමුණෙන්. අපේ සටන ඒකයි. මම හිතනවා ඒකාන්ත වශයෙන්ම ඒ අරමුණ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා.

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්