(මුදිතා දයානන්ද සමග තියේෂා අවින්දි)
 
තෙවසරක් තුළ සිව්වෙනි වතාවටත් සිදුකළ කැබිනට් සංශෝධනයෙන් පළිගැනීම්, හිතවත්කම් දැඩිකර ගැනීම් හා හැරයාම් වළක්වා ගැනීම හැර රටත් ජනතාවත් වෙනුවෙන් කළ කිසිම වෙනස්කමක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙරේදා (02) පැවැසීය. 
 
හේරත් මහතා මේ බව පැවැසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වන අතර එහිදී ඔහු මෙසේ ද පැවැසීය.
 
“ආණ්ඩුව නැවතත් කැබිනට් සංශෝධනයක් කළා. ඊයේ කැබිනට් ඇමැතිවරු පත්කළා. අද නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරු පත්කළා. හෙටත් තව කීපදෙනෙක් පත්වේවි. මේ ආණ්ඩුව බලයට ආවේම ඇමැතිකම් තිහට අඩුකරනවා, විද්‍යාත්මක ක්‍රමයකට ඇමැතිකම් බෙදනවා කියලයි. ඔවුන්ට එහෙම කියන්න බල කළේ පසුගිය රජය රටට දරන්න බැරි තරම් කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන තිබුණ නිසා විශාල පිරිසකගේ විරෝධයට ලක්වීමයි. එහෙත් ආණ්ඩුව පත්වුණු ගමන්ම ඒ පොරොන්දු කඩ කළා. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුවට වසර තුනක් සම්පූර්ණ වෙන්නත් කලින් කැබිනට් සංශෝධන හතරක් සිදුකරලා. ඒකෙන්ම පේනවා ඔවුන්ගේ අසාර්ථකත්වය කෙතරම් ද කියලා.
 
මේ ඇමැතිකම් බෙදීමේ කිසිම විද්‍යාත්මක පදනමක් නැති බව හොඳින්ම පෙන්වන අමාත්‍යාංශ ගණනාවක් තිබෙනවා. වනන්තරේ ගස් අයිති වන සංරක්ෂක ඇමැතිට. ඒ වනන්තරේම සත්තු අයිති වනජීවී ඇමැතිට. වයඹ සංවර්ධන, උතුරු සංවර්ධන, දක්ෂිණ සංවර්ධන වගේ ප්‍රදේශ කීපයකට විතරක් සංවර්ධන ඇමැතිවරු වෙන්කර තිබෙනවා. ඒ අතරේ නුවර සංවර්ධන ඇමැති කියලා තව කෙනෙක් ඉන්නවා. එයාට අයිති නුවර විතරයි.
ඊළඟට මහ නගර සංවර්ධන ඇමැති කෙනකුත් ඉන්නවා. මේ එකිනෙකාට තියෙන වගකීම් මොනවා ද? මේ විදහට තවත් අච්චාරු කරපු අමාත්‍යාංශ රැසක් තිබෙනවා. මොකක් ද මේකේ තිබෙන විද්‍යාත්මක බව? ඔලුගෙඩි මාරුවක් හැර වෙනත් සිදුවුණ වෙනසක් මෙතන නැහැ. විද්‍යාත්මකව බෙදනවා නම් කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ තමයි ජලය, ඉඩම්, වාරිමාර්ග, මහවැලි, පශු සම්පත් කියන සියල්ල තිබිය යුත්තේ. එවිට තමයි කෘෂිකර්මාන්තය දියුණු කිරීමට සියල්ල එකතු කරගෙන විද්‍යාත්මක වැඩපිළිවෙළක් සකස් කළ හැක්කේ.
 
දැන් මේ අමාත්‍යාංශ බෙදිල්ලෙන් සිදුව තිබෙන්නේ ජනතාව මත තවත් බර පැටවීමක් විතරයි. ජනතාවට දුන් පොරොන්දු කඩකරන, ආර්ථිකය ගොඩ නැගීමට වැඩ පිළිවෙළක් නැති අර්බුද නිර්මාණය කරනවා හැර ඒවාට විසඳුමක් නැති මේ ආණ්ඩුව පළවා හැරීමට අපත් සමඟ පෙළ ගැසෙන්න.”
 
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා ද එක්වූ අතර මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට විජිත හේරත් මහතා මෙසේ පිළිතුරු දුන්නේය. 
 
ප්‍රශ්නය - - විජයදාස රාජපක්ෂ මහතා කලින් කිව්වේ මේ ආණ්ඩුවෙන් දෙන ඇමැතිකම් නැවත ගන්නේ නැහැ කියලයි. නමුත් දැන් අලුත් ඇමැතිකමක් අරන්. මොකක් ද මේ වෙනස ගැන හිතන්නේ?
 
පිළිතුර - - මේ ආණ්ඩුවේ නායකයන් හැසිරෙන විදිහට තමයි පහළ ඉන්න සාමාජිකයන් හැසිරෙන්නෙත්. ආණ්ඩුවෙන් ඉවත් කෙරෙනකොට තනතුරුවලින් පහළට දානකොට තමයි හැමෝටම ආණ්ඩුවට දොස් කියන්න මතක් වෙන්නේ. ඇමැතිකම් කරනතුරු කිසිම දෙයක් ගැන කියන්නේ නැහැ. හෙට දවසේ රවී කරුණානායක මහතාට ඇමැතිකමක් දුන්නොත් ඒකත් පුදුමයක් නෙවෙයි. 
 
ප්‍රශ්නය - ජනිපෙ කියනවා පුස් කකා තිබුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නැවත ගෙන ආවේ අගමැතිට බලය හදලා දෙන්නයි කියලා?
 
පිළිතුර - එතුමාට මේ ව්‍යවස්ථා ගැන එතරම් අවබෝධයක් නැහැ. මෙයින් එවැනි දෙයක් සිදුවන්නේ බලය බෙදී යන්නේ අගමැති, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, අධිකරණය ස්වාධීන කොමිෂන් සභා ආදී ආයතන ගණනාවකටයි. 
 
ප්‍රශ්නය - මේ කෙටුම්පත පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කරගන්න හැකි වෙයි ද?
 
පිළිතුර - - අපි විශ්වාස කරනවා ඒක කරන්න හැකි වෙයි කියලා. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා විධායකය අහෝසි කරන්න කියලා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ කරන බවට පොරොන්දු දී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ සිටින කොටස වගේම මහින්ද රාජපක්ෂ මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ටත් මේකට විරෝධයක් නැහැ. ඒ නිසා මේක සම්මත කරගැනීම ගැන ගැටලුවක් නැහැ. 
 
ප්‍රශ්නය - ජනිපෙ ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා කියනවා මේ පනත සම්මත කරන්න දෙන්නේ නැහැ, දිවි පරදුවට තබා එයට එරෙහිව සටන් කරනවා කියලා? 
 
පිළිතුර- - බලමු. ලෙමන් පෆ් කකා, තැඹිලි වතුර බිබී නැතිව ඇත්ත උපවාසය කරන්නේ නැතිව අවංකව රටේ ජනතාව වෙනුවෙන් අවංකව කැපවෙන්නේ කොහොම ද කියලා මේ වතාවෙවත් පෙන්වන්නේ කෙසේ ද කියලා.
 
ප්‍රශ්නය - සිංගප්පූරුව සමඟ වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. මේ ගැන පාර්ලිමේන්තුව දැනුවත් කර තිබුණා ද?
 
පිළිතුර - - නැහැ. ඒක හංගලා තමයි කරන්නේ. මෙයින් ආර්ථික ක්ෂේත්‍රයට විශාල බලපෑමක් සිදුවෙනවා. මේ ගැන අපි කලින් මලික් සමරවික්‍රමගෙන් විමසූ විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මිසක් කිසිම විදේශීය ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ කිව්වා. නමුත් එසේ නොකර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. 
 
ප්‍රශ්නය - එට්කා වෙනුවට ආපු වෙනත් ගිවිසුමක් ද මේක?
 
පිළිතුර - අපි ඒ ගැන සොයා බැලිය යුතුයි. සප්තා ගිවිසුම අත්සන් කළ අවස්ථාවේදීත් ඉන්දියාව තමන්ගේ සමාගම් වෙනත් රටවල ස්ථාපිත කර අප වෙත එව්වා. මෙතනදිත් එවැනි දේ සිදුවෙනවා ද කියලා දැන් කියන්න අමාරුයි. නමුත් ඒ ගැන සෙවිය යුතුයි.