එක්සත් ජාතික පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක 
නවීන් දිසානායක  

  • අපි පිළිගන්න ඕනැ පොහොට්ටුවේ ඡන්ද ව්‍යාපාරය ඉතාම සාර්ථකයි කියලා. අපි පොහොට්ටුවට ලැබුණු ජනවරම පිළිගන්නවා. අපි හිස නමනවා ඒ ජනවරමට. ඒ වගේම පොහොට්ටුව ජනතාවට ලබා දුන්න පොරොන්දු ඒ විදියටම ඉටු කරන්න අපෙන් ලැබිය යුතු සහාය අපි ලබාදෙනවා.  
  • පොහොට්ටුව සාර්ථක වුණේ මහින්ද රාජපක්ෂ කියන චරිතය නිසයි. ඒ වගේ ආකර්ශනීය චරිතයක් අපේ පක්ෂයේ නෑ.

 

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමද‌ාස මහතාගේ පරාජය නොනිමි සංවාදයට නිමිත්තකි. ඒ අතරවාරයේ විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් ද එජාපය තුළ අර්බුදයකි. මේ සියල්ල ගැන විමසමින් එක්සත් ජාතික පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා සමඟ කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය:- ජනාධිපතිවරණ පරාජයේ පසු විපරම කොහොමද?  


පිළිතුර:- අපි විශාල පසුබෑමකට ලක්වෙලා තියෙනවා. ඡන්ද ප්‍රතිඵල අපි තවමත් විශ්ලේෂණය කරමින් ඉන්නේ. ඒ නිසා අංගසම්පූර්ණ විග්‍රහයකට යන්න බැ. කොහොම වුණත් අපට දැනට කියන්න පුළුවන් වෙන්නේ අපේ සිංහල බෞද්ධ පදනම වේගයෙන් පිරිහිලා කියලයි. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය කියන්නේ සුළු ජාතික ඡන්ද පදනම වගේම සිංහල බෞද්ධ ජන පදනම තිබුණ පක්ෂයක්. මේ ජනාධිපතිවරණයේදී ඒ සිංහල බෞද්ධ ජන පදනම වේගයෙන් පිරිහිලා කියලා පේනවා.  


ප්‍රශ්නය:-ඒකට හේතුව?  


පිළිතුර:- ඇත්ත වශයෙන්ම පොහොට්ටුව අරගෙන ගිය ප්‍රචාරක වැඩපිළිවෙළ සාර්ථක වුණා. ඒගොල්ලෝ බොහොම දක්ෂ විදියට දිගටම සිංහල බෞද්ධ ජන පදනමට ආමන්ත්‍රණය කළා. සිංහල බෞද්ධයා අතර හැඟීමක් තිබුණා පහුගිය අවුරුදු හතරාමාර තුළ අපේ ආණ්ඩුව ඔවුන් බලාගත්තේ නෑ කියලා. ඒක තමයි මූලික දේ. ඒ වගේම 12 වැනිදා පන්සල් හරහා ගම් මට්ටමින් විශාල ව්‍යාපාරයක් ගෙනිච්චා. ‘මේ තමයි රට ජාතිය බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව’. කියලා. ඒකට අපිට හොඳට මුහුණදෙන්න බැරි වුණා. ඒ වගේම අපේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සිංහල බෞද්ධ ජන පදනමට කතා කළේ නෑ. අපි දැන් බලන්නේ ඒ සිංහල බෞද්ධ ජන පදනම ක්‍රමානුකූලව පක්ෂයට ගන්නයි.  


ප්‍රශ්නය:-හදිසියේ පන්සල් ගිහින් ඡන්ද දිනන්න පුළුවන් කියලා ඔබ හිතනවද?  


පිළිතුර:- යන්න වෙනවා. ඡන්දය තිබුණේ 16 වැනිද‌ා. 12 වැනිද‌ා පෝය. එද‌ා අසපුව හරහා විශාල ව්‍යාපාරයක් දියත් වුණා. එ් හරහා සිංහල බෞද්ධ ජන මතයට විශාල බලපෑමක් වුණා. 13 වැනිද‌ායින් පස්සේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගෙනියන්න බෑ. ඒක අපිට අවාසියක් වුණා. අවුරුද්දක් තිස්සේම පොහොට්ටුව කළේ සිංහල බෞද්ධ ඡන්දවලට කතා කරන එක. ඒක සාර්ථක වුණා. අපිට බැරි වුණා ඒකට මුහුණ දෙන්න. අනික ඒක ජනතාවගේ හදවතේ තිබුණ හැඟීමක්. ඔබට මතක ඇති 2004 දීත් මේ වගේ තත්ත්වයක් ඇති වුණා. සෝම හාමුදුරුවන්ගේ අපවත්වීමත් සමඟ අලුත් තත්ත්වයක් ඇති වුණා. 56 ඉඳලම එක්සත් ජාතික පක්ෂයට මේ ප්‍රශ්නය තියෙනවා. සිංහල බෞද්ධ පදනම කාලයකදී එනවා. කාලයකදී නැතිවෙනවා. අපට මේ ගැන විශේෂිතව බලන්න වෙනවා. සිංහල බෞද්ධ පදනම කියන්නේ විශාල පදනමක්. ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවම ඒක පේනවා. කොළඹ ගත්තොත් සිංහල බෞද්ධයන් වැඩිපුරම ඉන්නේ කැස්බෑව, කඩුවෙල, අවිස්සාවේල්ල, මහරගම, හෝමාගම ඔය ආසනවල තමයි ප්‍රබල. මේ ආසනවල අපි බරපතළ විදියට නාය ගිහින් තියෙනවා.  


ප්‍රශ්නය:- හාමුදුරුවරු හිරේ දැම්මා. මේක සිංහල බෞද්ධ රටක් නොවෙයි කිව්වා. හාමුදුරුවරුන්ගේ ලිංගිකත්වය ගැන වීඩියෝ පට පවා හැදුවා. ඔබේ පක්ෂය මේවා පාලනය කළේ නෑ?  


පිළිතුර:- හාමුදුරුවරු හිරේ ද‌ාපු එක සමස්තයක් වශයෙන් වැරැදියි. මුල්ම කාලයේ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ගේ ප්‍රශ්නය ආවා. ඒක උසාවියෙන් දුන්න තීන්දුවක්. ඒ ගැන අපට මොකුත් කරන්න බෑ. නමුත් මම පිළිගන්නවා... මම මෙතැනදී නම් වශයෙන් කියන්න කැමැතියි. මංගල සමරවීර ඇමැතිතුමාගේ ප්‍රකාශ අපට විශාල වශයෙන් හානි වුණා. රන්ජන් රාමනායක මන්ත්‍රීතුමාගේ ප්‍රකාශ අපට බරපතළ විදියට හානි කළා. මේ දේවල් ආයුධයක් විදියට පොහොට්ටුව පාවිච්චි කළා. අනවශ්‍ය ලෙස සිංහල බෞද්ධයන්ට පණිවිඩයක් ගියා එක්සත් ජාතික පක්ෂය සිංහල බෞද්ධ ජනතාවට හිරිහැර කරනවා කියලා. ඒ නිසා තමයි මේ ප්‍රතිඵලය අපට ලැබුණේ. ඒ වගේම අපේ ජනාධිපති අපේක්ෂකතුමාට බැරි වුණා ඒකට සාර්ථකව මුහුණදෙන්න.  


ප්‍රශ්නය:-ඒක සජිත් ප්‍රේමද‌ාසගේ තනි වරදක් නොවෙයි?  


පිළිතුර:- ඔව්. ඔව්. ඒක එතුමාට විතරක් චෝදනා කරන්න බෑ. එතුමාට අපේක්ෂකත්වය ලැබුණෙත් පරක්කු වෙලා. ඒ වගේම අපේ කැම්පේන් එක ඇතුළේ ඒක කතා කළේම නෑ.  


ප්‍රශ්නය:-ඔබ හිතනව ද ඔබලා ඉදිරිපත් කළේ හොඳම අපේක්ෂකයා කියලා?  


පිළිතුර:- එක්සත් ජාතික පක්ෂය තුළ හොඳම අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ ග්‍රාමීය බේස් එක ඉල්ලපු අපේක්ෂකයා.  


ප්‍රශ්නය:-‘ගම සජිත්ට’ කිව්වට ඡන්ද ප්‍රතිඵලය තුළ ඔය කියන ගම නෑනේ?  


පිළිතුර:- එක්සත් ජාතික පක්ෂයේ ගමේ කොළ පාට ඡන්ද ටික ඇවිත් තියෙනවා. නමුත් පාවෙන ඡන්ද ටික... තරුණ ඡන්ද, මධ්‍යස්ථ ඡන්ද ඇවිත් නෑ. ඒක අපි පිළිගන්න ඕනැ.  


ප්‍රශ්නය:-මේ පරාජයේ වගකීම බාරගත යුත්තේ සජිත් ප්‍රේමද‌ාසද? එහෙම නැත්නම් මුළු පක්ෂයම ද?  


පිළිතුර:- සමස්තයක් හැටියට අපි හැමෝම මේක බාරගන්න ඕනැ. එක පුද්ගලයෙකුට මේක බාරගන්න බෑ. මම කියන්නේ මුළු පක්ෂ යාන්ත්‍රණයම ශාඛා සමිති, මන්ත්‍රීවරු, සංවිධායකවරු, ඒගොල්ලෝ බැහැලා වැඩ කළා. නමුත් උඩින් ජනතාවට ගිය පණිවිඩය හරියට කළමනාකරණය කළේ නෑ. කැම්පේන් එකේ පණිවිඩය හා සන්නිවේදනය හරියට කෙරුණේ නෑ.  


ප්‍රශ්නය:- ඕවා හරියට නොකෙරුණාට මුදල් පිල්ලි ගැසීම් එහෙම හරියට වෙලා තියෙනවා?  


පිළිතුර:- මෙහෙමයි. මේ යාන්ත්‍රණය කාටද බාර දුන්නේ? ආපු මුදල් ප්‍රමාණය කොච්චරක් ද? ඒවා වියදම් කළේ කවුද? කොහොමද? ඒවා මුකුත් අපි දන්නේ නෑ.  


ප්‍රශ්නය:- ඔබ පක්ෂයේ ජාතික සංවිධායක?  


පිළිතුර:- ඔව්. නමුත් මටත් අකිලටත් ඒ තොරතුරු ලැබුණේ නෑ. ඒවා අපි මුකුත්ම දන්නේ නෑ මාධ්‍ය කැම්පේන් එක කළේ කවුද කියලා. ඇත්තටම අපි දන්නේ නෑ. ඒ මුදල් ගැන අපට වගකියන්න බෑ.  


ප්‍රශ්නය:-තිස්ස අත්තනායක කියනව මුදල් පරිපාලනය කළේ මලික් සමරවික්‍රම, කබීර් හෂීම් කියලා.  


පිළිතුර:- මලික් සමරවික්‍රම මහත්මයා තමයි ‘කැම්පේන් මැනේජර්’ හැටියට හිටියේ.  


ප්‍රශ්නය:- මලික් නිවේදනයක් නිකුත් කරමින් කියනවා ‘ඔහු මුදල් පරිපාලනය කළේ නෑ’ කියලා.  


පිළිතුර:- ඔව්. ඒවා පරස්පර විරෝධි අදහස්. විශේෂයෙන්ම මලික් සමරවික්‍රම මැතිතුමයි කබීර් හෂීම් මැතිතුමයි මංගල සමරවීර ඇමැතිතුමයි තමයි මේ කැම්පේන් එකේ ප්‍රධාන කොටස්කාරයන් හැටියට වැඩ කළේ. නමුත් දැන් එතුමන්ලා නිශ්ශබ්ද වෙලා. ඒ ගොල්ලෝ අපට කියන්න ඕනෑ ආපු අරමුදල්වලට මොකද වුණේ. කැම්පේන් එක කොහොමද කළේ. සජිත් ප්‍රේමද‌ාස මැතිතුමා ජනාධිපති අපේක්ෂක හැටියට පක්ෂයට වාර්තාවක් දෙන්න ඕනෑ මොකද වුණේ කියලා.  


ප්‍රශ්නය:- නමුත් තාම නෑ?  


පිළිතුර:- ඔව් තාම නැ. මට විශේෂයෙන් වගකියන්න බෑ. මට සම්පත් මුකුත් ලැබුණේ නෑ කැම්පේන් එකෙන්. මම ඒකට කාටවත් චෝදනා කරන්නේ නෑ. මම මගේ මහන්සියෙන් අරමුදල් හොයාගෙන මම දිව්වා.  


ප්‍රශ්නය:- ඔබේ මැතිවරණ ව්‍යාපාරය අයාලේ ගියේ?  


පිළිතුර:- මෙහෙමයි. වැඩපිළිවෙළක් තිබුණා. ඒ වැඩපිළිවෙළ කොටස් වශයෙන් කඩලා තිබුණේ. ඒක එක තැනකට ගොනු කළේ නෑ. බොහෝ දුරට වුණේ අපේක්ෂකයා රැස්වීම් 150ට මහන්සි වුණා. නමුත් පුළුල් වශයෙන් සතියකට වරක්වත් ප්‍රධාන කට්ටිය එකතුවෙලා සාකච්ඡා කළේ නෑ. අපි කොහොමද කැම්පේන් එක අරගෙන යන්නේ? ගෝඨාභයගේ වේදිකාවෙන් එන ඒවට අපි කොහොමද උත්තර දෙන්නේ. ඒ විදියට ඒවා ගැන විශාල වශයෙන් සාකච්ඡා වුණේ නෑ. ඒක ලොකු අඩුපාඩුවක්.  


ප්‍රශ්නය:-තැපැල් ඡන්දයට කලින් දවසේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවලා ‘සජිත් දිනුවම මමයි අගමැති’ කියලා කිව්වා. ඒකත් පරාජයට හේතුවක් බව කියැවෙනවා?  


පිළිතුර:- මම හිතන්නේ නෑ. කොහොමත් රට දැනගෙන හිටියා යූඑන්පිය දිනුවොත් එතුමා දිගටම ඉන්නවා කියලා. ඒ වගේම සජිත් ප්‍රේමද‌ාස මහත්මයා අපේක්ෂකයා ලෙස නම් කරපු සම්මේලනයේදී විශේෂිත වූ ප්‍රකාශයක් කළා ‘රනිල් වික්‍රමසිංහ තමයි අගමැති’ කියලා. ඒක ලොකුවට බලපෑවා කියලා මම හිතන්නේ නෑ.  


ප්‍රශ්නය:-නමුත් සජිත් පාර්ශ්වයෙන් පුළුවන් තරම් බැලුවා රනිල් වික්‍රමසිංහ නොවෙයි අගමැති කියලා කියන්න?  


පිළිතුර:- ඒක ඉතින් ඒගොල්ලන්ගේ දෙයක්. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති හැටියට ප්‍රකාශයට පත් කරලයි තිබුණේ. ඒ නිසා එතුමව හංගන්න හදපු එක ප්‍රායෝගිකයි කියලා මම හිතන්නේ නෑ. සජිත් ප්‍රේමද‌‌ාස මැතිතුමා අපේක්ෂකත්වය බාරගන්න කොට ප්‍රකාශ කළා රනිල් වික්‍රමසිංහ මහත්මයට අගමැතිකම දෙනවා කියලා. එහෙම කියලා කැම්පේන් එක මැද ‘යූ ටර්න්’ එකක් ගහන එක ඇත්ත වශයෙන්ම බෙල්ල කපා ගැනීමක්. යන විදියට අපිට යන්න තිබුණා.  


ප්‍රශ්නය:-විපක්ෂනායකකම කාටද?  


පිළිතුර:- විපක්ෂනායකකම කාටද කියලා අපි පක්ෂය ඇතුළේ සාකච්ඡා කරනවා.  


ප්‍රශ්නය:- ඔබේ තේරීම කවුද? රනිල් ද? සජිත් ද?  


පිළිතුර:- මම නම් හිතන්නේ විපක්ෂනායකකම සජිත්ට දෙනවා නම් හොඳයි. ඒකේ කිසිම ගැටලුවක් නෑ.  


ප්‍රශ්නය:-පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ?  


පිළිතුර:- පක්ෂ සම්මේලනයේදී එද‌ා තීරණය කළේ තව අවුරුදු හයකට පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. ඒක වෙනස් කරන්න නම් පක්ෂ සම්මේලනයට යෝජනාවක් ගෙනල්ලා ඡන්දයකට යන්න ඕනැ. පක්ෂය තීරණය කරන්න ඕනැ කවුද පක්ෂ නායකයා කියලා. එක පුද්ගලයෙක් නොවෙයි එක කණ්ඩායමක් නොවෙයි පක්ෂ නායකයා කවුද කියලා තීරණය කරන්නේ. සමස්ත පක්ෂ නායකත්වයම තීරණය කරන්න ඕනෑ අලුත් නායකයා කවුද කියලා.  


ප්‍රශ්නය:- විපක්ෂනායක ධුරය රනිල් වික්‍රමසිංහට දිය යුතුයි කියලා පක්ෂයේ සමහරු කියනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අනික් පක්ෂ ඔහුට සහාය දුන්නොත්?  


පිළිතුර:- ඇත්ත වශයෙන්ම ඒක අපේ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. අනික් පක්ෂ ඒවට සම්බන්ධ වෙන්න අවශ්‍ය නෑ. මම නම් හිතන්නේ අපට ඉතාම ලෙහෙසියෙන් සජිත් ප්‍රේමද‌ාස මැතිතුමාව නම් කරන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නෑ.  


ප්‍රශ්නය:- ඔබ හිතන්නේ නැද්ද මේ ප්‍රශ්න නිසා පක්ෂය දෙකඩ වෙයි කියලා?

  
පිළිතුර:- ඒ වගේ ලකුණු තියෙනවා. බොරු කියන්න ඕනැ නෑ. මම නම් එදත් කිව්වේ අදත් කියන්නේ පොහොට්ටුව කඩාගෙන ගිහිල්ලා කළා වගේ වෙනම ගිහිල්ලා අලුත් පක්ෂයක් හදලා ඒකට රටේ මිනිස්සු එකතු කරන්න පුළුවන් කියලා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් හිතනවා නම් ඒක විහිළුවක්.  


ප්‍රශ්නය:-නමුත් සමහරු කියනවා ‘අපි අලුත් පක්ෂයක් හදනවා’ කියලා  


පිළිතුර:- පොහොට්ටුව සාර්ථක වුණේ මහින්ද රාජපක්ෂ කියන චරිතය නිසයි. ඒ වගේ ආකර්ශනීය චරිතයක් අපේ පක්ෂයේ නෑ. ඒ වගේම අපේ පක්ෂය දැඩි විනයක් තියෙන පක්ෂයක්. ලලිත් ඇතුලත්මුදලිත් මගේ පියත් වෙනම ගිහිල්ලා වෙනම පක්ෂයක් හැදුවත් සාර්ථක වුණේ නෑ. කවුරුහරි හිතනවා නම් කඩාගෙන ගිහින් පක්ෂයක් හදලා වෙනම බලවේගයක් හදන්න පුළුවන් කියලා. එහෙම නම් ඒ අය ඉන්නේ ඉතාම කනගාටුද‌ායක තැනක. මම හිතන්නේ බොහෝ දුරට ඔය කතා කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාව බය කරලා එතුමාගේ බෙල්ලෙන් අල්ලලා තල්ලු කරලා බිත්තියට හේත්තු කරලා තමන්ගේ ඉල්ලීම් දිනා ගන්නයි.  


ප්‍රශ්නය:- ඔබ ඔය චෝදනාව කරන්නේ මන්ත්‍රී සජිත්ට ද?  


පිළිතුර:- එතුමා නොවෙයි එහෙම කරන්නේ. එතුමා වටේ ඉන්නවා පිරිසක්. හැබැයි ඒකට මේ පාර නම් අපි යට වෙන්නේ නෑ.  


ප්‍රශ්නය:-ආවේගශීලි තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් කලබලයෙන් වැඩ කරනවා කියලත් චෝදනාවක් තියෙනවා?  


පිළිතුර:- සජිත් මහත්තයාගේ ටීම් එකේ ඉන්නේ ඒ වගේ පිරිසක්. ඉතාමත් ලාබාල, අපරිණත ඉතාම ඉහළ තක්සේරුවක ඉන්න යථාර්ථවාදී දේශපාලනයක් කරන්නේ නැති පිරිසක් තමයි එතුමාට උපදෙස් දෙන්නේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා එතුමා ඒ අයගෙන් මිදිලා ඉතාමත් යථාර්ථවාදී ප්‍රායෝගික දේශපාලන ගමනක් එතුමට යන්න පුළුවන්. තාමත් පුළුවන්. අපි එතුමට ගරු කරනවා. හැබැයි මේ තුන් හතර දෙනාගෙන් නම් එතුමා මිදෙන්න ඕනෑ.  


ප්‍රශ්නය:- ඔබ පක්ෂයේ ජාතික සංවිධායක. පක්ෂය හැසිරවීමේ බලයක් ඔබටත් තියෙනවා.  


පිළිතුර:- මමත් පුළුවන් විදියට පක්ෂය එකතු කරනවා. පාක්ෂිකයන්ට පණිවිඩයක් දීලා පක්ෂයට අනාගතයක් තියෙනවා කියන එක පෙන්වන්න ඕනෑ. ඒ වගේම අපි කෙළින් ඉඳලා වැඩ කළ යුතුයි. ජනාධිපතිවරණය ඉවරවෙලා සතියයි දවස් ගානක් ගෙවිලා තියෙනවා. 56දීත් මේ වගේ පරාජයක් වුණා. 70දීත් මේ වගේ පරාජයක් වුණා. ඉතින් අපි කෙළින් ඉඳලා ආණ්ඩුවේ හොඳ දේවල්වලට හොඳයි කියලා අපි යා යුතුයි. ශක්තිමත් විපක්ෂයක් හදන එක තමයි අපේ කාර්යභාරය. මේ රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි. මම දකිනවා පොහොට්ටුවේ පෝස්ට් යනවා ‘ගෝඨාභයට තුනෙන් දෙකේ බලයක් දෙන්න ඕනැ’. කියලා. එහෙම තුනෙන් දෙකේ බලයක් පොහොට්ටුවට ගියොත් ඉතාමත් බිහිසුණු තත්ත්වයක් මේ රටේ ඇතිවෙනවා. විශේෂයෙන්ම ව්‍යවස්ථාව වෙනස් කරලා එක පවුලකට අවශ්‍ය විදියට කටයුතු කරන්න ඉඩ දුන්නොත් මේ රටේ ඉතාමත් බිහිසුණු තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. 2010දීත් එහෙම බලයක් ලැබිලා දෙපාරකට වඩා ඉල්ලන්න බැහැ කියන වගන්ති ඉවත් කරලා ඒකාධිපතිත්වයක් කරා රට ඇදගෙන යන්න හැදුවා. මේ පාරත් එහෙම දෙයක් කරන්න උත්සාහ කරයි. ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙන්නේ රටේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදියි. ඕක 77දීත් වුණා. 78දී ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ව්‍යවස්ථාව වෙනස් කළා. එතැනදී හයෙන් පහක බලයක් තිබුණා. ඒ නිසා මීට වඩා බුද්ධිමත්ව රටේ අනාගතය දිහා බැලිය යුතුයි.  


ප්‍රශ්නය:-මැතිවරණ ව්‍යාපාරය අයාලේ අරගෙන ගිහින් පරාජය වෙලා දැන් එක එක කතා කියනවා?  


පිළිතුර:- අපි පිළිගන්න ඕනැ පොහොට්ටුවේ ඡන්ද ව්‍යාපාරය ඉතාම සාර්ථකයි කියලා. අපි පොහොට්ටුවට ලැබුණු ජනවරම පිළිගන්නවා. අපි හිස නමනවා ඒ ජනවරමට. ඒ වගේම පොහොට්ටුව ජනතාවට ලබා දුන්න පොරොන්දු ඒ විදියටම ඉටු කරන්න අපෙන් ලැබිය යුතු සහාය අපි ලබාදෙනවා.  


ප්‍රශ්නය:- ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරය නෑ. බහුතරය තියෙන්නේ ඔබේ පක්ෂයට. කකුලෙන් අදින්නේ නෑ?  


පිළිතුර:- අනිවාර්යයෙන්ම නෑ. අපිටත් හුස්ම ගන්න වෙලාවක් අවශ්‍යයි. අපිටත් අපේ පක්ෂය හද‌ාගන්න අවශ්‍යයි. පක්ෂ අභ්‍යන්තරයේ තියෙන ගැටලු හද‌ාගන්න අවශ්‍යයි. අපි පිළිගන්නවා සජිත් ප්‍රේමද‌ාස මැතිතුමා පක්ෂයට කරපු කැපවීම. තව තර්කයක් තියෙනවා එතුමා ඉදිරිපත් නොවුණා නම් මේ ඡන්ද ටිකවත් ලැබෙන්නේ නැහැ කියලා.  


ප්‍රශ්නය:-ඔබත් එහෙම හිතනවද?  


පිළිතුර:- ඒකෙත් ඇත්තක් තියෙන්න පුළුවන්. නමුත් ජනාධිපතිවරණයක් කියන්නේ සාමාන්‍යයෙන් කරට කර යන ඡන්දයක්. මම වගකීමෙන් කියනවා හම්බන්තොට දිස්ත්‍රික්කය ගත්තොත් 1994දී මගේ මවට මීට වඩා ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. සජිත් ප්‍රේමද‌ාස මැතිතුමා හම්බන්තොටට මේ තරම් වැඩ කොටසක් කරලත් විශාල නිවාස ප්‍රමාණයක් හදලත් අවුරුදු විසි ගානක දේශපාලන ඉතිහාසයක් තිබියදීත් සියයට 25කට අඩුවෙන්න යම්කිසි හේතුවක් තියෙන්න ඕනෑ. මේ සේරම හේතු අපි බැලිය යුතුයි.  


එක එක පුද්ගලයාට ඇඟිලි දික් කරන්නේ නැතිව සමස්තයක් විදියට මේ පරාජය කොහොමද වුණේ කියලා බලන්න ඕනැ. නොයෙකුත් දේවල් අපිට කියන්න පුළුවන්. 2015දී බලය ගත්තට පස්සේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර තිබුණ අර්බුදය... ඒ අර්බුදය නිසාම ජනතාවට දැනෙන යමක් නොකිරීම. ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නය, පාස්කු ප්‍රහාරය අපිට සෑහෙන්න බලපෑවා. ඒ ප්‍රහාරය නිසාම සෑහෙන පිරිසක් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙන්න තීරණය කළා. ඒ වගේ සාධක ගොඩක් තියෙනවා. මේ ගැන ස්වයං විවේචනයක් පක්ෂය තුළ කළ යුතුයි.  


ප්‍රශ්නය:-එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් පක්ෂය තුළ තියෙනවද?  


 පිළිතුර:- අනිවාර්යයෙන්ම තියෙනවා. අපි දුර්වල ආසන සංවිධායකවරුන් හඳුනා ගත යුතුයි. ඒ අය රනිල්ගේ ද සජිත්ගේ ද කියලා බලන්න බෑ. සියයට 30ට අඩු සංවිධායකවරුන්ට අපි ඇක්ෂන් එකක් ගන්න ඕනැ. හැමද‌ාම කොළේ වහලා මේවා කරන්න බැහැ. අපි අවශ්‍ය සම්පත් ලබා දුන්නා. ඒ සංවිධායකවරුන්ට යුතුකමක් තිබුණා පක්ෂයේ මූලික ඡන්ද ටිකවත් රැක ගන්න. එහෙම නොකරන සංවිධායකවරුන් මොකටද අපි තියාගන්නේ?  


ප්‍රශ්නය:-ඔබේ ද‌ායකත්වය ගැන ඔබ තෘප්තිමත්ද?  


පිළිතුර:- මං ගැන මං කතා කරනවා නොවෙයි. දැන් නුවරඑළිය දිස්ත්‍රික්කය ගත්තොත් මස්කෙළිය තමයි බහුතරයක් දෙමළ ජනතාව ඉන්නේ. නමුත් මගේ ගම වන කොත්මලේ හා වළපනේ ගත්තොත් බහුතර සිංහල ආසන. ඒ ආසන දෙකම ජයග්‍රහණය කරන්න අපිට පුළුවන් වුණා. එහෙම වුණේ අපි ඒ ආසන දෙකේ දැවැන්ත ලෙස වැඩ කළ නිසා. වලපනේ ගත්තොත් රේණුකා හේරත්ගේ දුව පුංචි කෙල්ල හිරණ්‍යා හේරත් සංවිධායකවරිය හැටියට පත් වුණේ ගිය අවුරුද්දේ. මන්ත්‍රීවරියකුත් නොවෙයි. නමුත් ඇය සමත්වෙනවා ඒ ආසනය දිනාගන්න. අපි එතුමියට ස්තූතිවන්ත වෙනවා. එහෙම කැප කිරීම් කරපු වැඩ කරපු අයව අපි බලාගන්න ඕනැ. ඔවුන්ටත් මේ පක්ෂය ඇතුළේ අවකාශයක් දෙන්න ඕනැ ඉදිරියට එන්න. ඒ වගේම දුර්වල ආසන සංවිධායකවරුන් ගැන අපිට තීරණයක් ගන්න වෙනවා. නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ. ආසන සංවිධායකවරුන්ගේ දුර්වලකම් නිසා ගොඩක් දෙනෙක් අපිට ඡන්දය දුන්නෙත් නෑ. මේවා අපි විවෘතව කතා කළ යුතුයි. සමහර ආසනවල බල මණ්ඩල පිහිටුවලා නෑ. ශාඛා සමිති පිහිටුවලා නෑ. අවුරුදු 10ක් තිස්සේ බල මණ්ඩල පිහිටුවලා නැති ආසන තියෙනවා. පක්ෂ යාන්ත්‍රණය බිම් මට්ටමේ ක්‍රියාත්මක වෙලා නෑ. ඒවට පක්ෂයෙ නායකත්වයත් පැහැදිලිවම වග කියන්න අවශ්‍යයි. පහුගිය අවුරුදු හතරාමාර තුළ පාක්ෂිකයන් බලා ගැනීමට ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්න අපි අවශ්‍ය උත්සාහය ගත්තේ නෑ. බලය ගත්ත දවසේ ඉඳලා මම කිව්වා එක ආසනයකට රැකියා සීයක්වත් දෙන්න කියලා. ඒක වුණේ නෑ. අන්තිමට මේ අවුරුද්දේ මාස තුනකට කලින් 43ක් සංවර්ධන නිලධාරීන් වශයෙන් පත් කරන්න ඉන්ටවිව් තිබ්බා. අන්තිමට ඒකත් වුණේ නෑ. පත්වීම් ලිපි ටික ගහගන්න බැරිවුණා. ඒ වගේ දේවල් නිසා පාක්ෂිකයන් අතර විශාල කලකිරීමක් ඇතිවුණා. ඒක සජිත් ප්‍රේමද‌ාස මැතිතුමාගේ පරාජයට බලපෑවා.  


ප්‍රශ්නය:-රනිල් - සජිත් දෙන්නම දැන් පරාදයි. ඔබ හිතනවද මේ නායකයන් දෙන්නගෙන් එක්කෙනෙක් ද‌ාගෙන පක්ෂය ගොඩගන්න පුළුවන් කියලා?  


පිළිතුර:- නායකයෝ පක්ෂයක් තුළ බිහිවෙනවා. ඒකට අපිට ටිකක් කල්දෙන්න ඕනැ. අපේ පක්ෂය එහෙම ඔළුව උස්සපු පක්ෂයක්. නැති කරන්න බෑ මේ පක්ෂය. සිංහල ඡන්ද විතරක් ලක්ෂ 44ක් අපිට ලැබිලා තියෙනවා. සිංහල ඡන්දවල පරතරය තියෙන්නේ ලක්ෂ 10ක් විතර. මගේ පොහොට්ටුවේ යාළුවන්ට මම මේ කියන්නේ. උඹලා ලක්ෂ 10ක් කිව්වට අපිට හරවන්න තියෙන්නේ ලක්ෂ 5යි. ලක්ෂ 5ක් හැරෙව්වොත් කරට කර. මම හිතන්නේ නෑ අදහස් ක්ෂණිකව වෙනස්වන රටක පැය 24න් දේශපාලන නායකයන් වෙනස් කරන රටක ලක්ෂ 5ක් කියන්නේ විශාල සංඛ්‍යාවක් කියලා. අපිට මේක වෙනස් කරන්න පුළුවන්.  


ප්‍රශ්නය:- කතානායක කරු ජයසූරියගේ තත්ත්වය කොහොමද? ඔහු දිගටම ඉන්නවා කියලා ආරංචියි?  


පිළිතුර:- කතානායකතුමා අනිවාර්යයෙන්ම ඉන්නවා. ඒකට ජනාධිපතිතුමත් අගමැතිතුමත් එකඟවෙලා තියෙනවා. පාර්ලිමේන්තුව නීත්‍යනුකූලව විසුරුවන්න පුළුවන් වෙන්නේ මාර්තු 1 වැනිද‌ායින් පස්සේ. ඊට පෙර වෙනසක් කරන්න ඔවුන්ට 113ක් අවශ්‍යයි. ඒකට ඔළුගෙඩි මාරු කරන්න වෙනවා. ඒක එච්චර හොඳ දෙයක් නොවෙයි. එහෙම වෙනස් කරන්න වෙන්නේ මුදල් ගෙවලා. එහෙම අල්ලසට යන එක ගෝඨාභය මහත්තයාට හොඳ නෑ. 

 
ප්‍රශ්නය:-ජනාධිපතිවරයා පත්වෙලා සති දෙකයි. කොහොමද වැඩ?  


පිළිතුර:- එතුමා වෙනස්කම් කරනවා. පොහොට්ටුවේ මිත්‍රයන් කියන විදියට සිස්ටම් චේන්ජ් එකක් නොවෙයි. රටක සිස්ටම් එක වෙනස් කරන්න කාලයක් යනවා. කොහොම වුණත් එතුමගෙ ටාර්ගට් එක හොඳයි. එතුමා බලාපොරොත්තු වෙනවා වෙනසක් කරන්න. අපි බලාගෙන ඉමු. කොහොම වුණත් මම ප්‍රශංසා කරනවා පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය ගැන. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ක්‍රියාවලිය. කවද‌ාවත් අලුතෙන් දේශපාලන පක්ෂයක් පිහිටුවලා මේ තරම් ශක්තිමත් කරලා ආණ්ඩු බලයක් ගන්න පුළුවන් විදියට පක්ෂයක් ගොඩනැගිච්ච ඉතිහාසයක් මේ රටේ නෑ. ඇත්තටම මේක අලුත් දෙයක්. අපටත් මේකෙන් ඉගෙනගන්න දේවල් තියෙනවා. රාජපක්ෂ පවුල මේ රටේ ශක්තිමත්ම දේශපාලන පවුල බවට පත්වෙලා තියෙනවා. අපි ඒක පිළිගන්න ඕනැ. අපි එක පැත්තකින් පවුල්වාදය ගැන කතා කරනවා. පුත්තු ගැන කතා කරනවා. සහෝදර සමාගම් ගැන කතා කරනවා. ඒත් ජනතාව ඒක අනුමත කරලා තියෙනවා. ඒක ජනතාවගේ කැමැත්ත.  


ප්‍රශ්නය:-තව මාස හතරකින් මහ මැතිවරණය එනවා. කොහොමද අපේක්ෂාව?  


පිළිතුර:- අපිට තාම හරි තක්සේරුවකට එන්න බෑ. අපේ පක්ෂයට ඉතාම පීඩාකාරී මැතිවරණයක් වෙනවා. ඒ පීඩනයට අපි කොහොම හරි මුහුණදෙන්න ඕනෑ. ජයග්‍රහණය කරන්න අපිට අමාරුයි. නමුත් අපි හිතන තරම්ම වැටෙන්නේ නෑ කියලා මම හිතනවා.  
 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්