IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


තුට්ටුවකට ආත්මය පාවා දීම

 බැඳුම්කර කොමිසම   

ඉටු කොට කළ යුතු යුතුකම්   
ලැබුණත් ලෝකෙන් ගැරහුම්   
ඉවසන්නට හැකි වේ නම්   
නුඹයි මගේ පුතා උතුම්   


අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝ්දාගොඩ මහතා බැඳුම්කර කොමිසම අමතමින් ‘ලංකාවට නිදහස ලැබීමෙන් පසු අප රට ගොදුරු වූ විශාලතම මූල්‍ය වංචාව වූ භාණ්ඩාගාර බැඳුම්කර වංචාවේ තොරතුරු සොයා ගැනීමට ස්වේඡාවෙන් සහය වීම ජාතියට සිදු කරන සේවයක්’ බව පවසන අවස්ථාවේදී මගේ මතකයට නැඟුනේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් විසින් රචනය කරන ලද සර්ව කාලීන මෙම සිව් පදයයි.   


දණින් වැටී සියක් වසක් ජීවත් වනවාට වඩා, දෙපයින් සිටගෙන එක දවසක් ජීවත් වීම වඩා වටිනා එකක්. එය සිංහල රජ දවස සිට අද දක්වාම විවිධ අවස්ථාවලදී අපේම මුතුන් මිත්තන්ගේ සිට සියළුම ජාතී හිතෛෂීන් අපිට මතක් කර දෙයි. 

 
තමන්ගේ ආත්මය පාවා දී රුපියල් කෝටි ගණනින් මුදල් රැස් කරගත හැකි වුවත් නැතිවූ තම ආත්මය යළි ඇතිකර ගැනීමට ඒ වගේ දහස් ගණනින් මුදල් තිබුණත් නොහැක්කාක් මෙන්ම සල්ලිවලින් තම නින්ද කැන්දා ගැනීමට නොහැකි බව නොදන්නා අඥාානයෝද සිටින බව අහන දකින විට ඇතිවන සිතුවිල්ල හද කකියවයි.   


තුට්ටුවකට තම ආත්මයම පාවා දෙමින් රාජ්‍ය දේපළ, තම රටේ ජනතාවගේ මුදල්, කොම්පැණිකාරයන්ට කොල්ලකෑමට ඉඩ ලබාදෙන මේ රටේම සිටින රාජ්‍ය සේවකයින් අතර සියල්ල නැති වුවත් කෙළින් හිටගන්න පුළුවන්, කෙළින් කතා කරන රාජ්‍ය සේවකයින්ද සිටින බව ඇසීමට ලැබීමත් එක්තරා ආකාරයකින් භාග්‍යයකි. ‘ලංකාවට නිදහස ලැබීමෙන් පසු අප රට ගොදුරු වූ විශාලතම මුල්‍ය වංචාව වූ භාණ්ඩාගාර බැඳුම්කර වංචාවේ තොරතුරු සොයා ගැනීමට ස්වේච්ඡාවෙන් සහය වීම ජාතියට සිදුකරන සේවයක් බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සියළු දෙනාම පමණක් නොව ඇත්ත යුක්තිය විශ්වාස කරන සියලු රටවැසියෝ විශ්වාස කරති.   


මේ බව මට මතක් වූයේ මෙම ජාතික සේවය පිළිබඳව ජනාධිපති නීතිඥ යසන්ත කෝ්දාගොඩ මහතා බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළ අවස්ථාවේදීය. මෙම ජාතික සේවය ඉෂ්ට කර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් දක්වන ලද සහය හේතුවෙන් ප‍්‍රශ්නගත බැඳුම්කර වංචාවට අමතරව නීතියට පටහැනිව සිදුකරන ලද වෙනත් අති විශාල මූල්‍ය වංචාවන් ගණනාවක්ම හෙළිකර ගැනීමට හැකි වූ බව මෙන්ම බැඳුම්කර කොමිසමේ කටයුතුවලට සහය වන නිලධාරීන්ට අමතර මාසික දීමනාවක් චක‍්‍ර ලේඛයක් මඟින් ලබා දී ඇතැත් මෙම කොමිසමේ කටයුතුවලට සහය වන නීතිපති දෙපාර්තමේන්තුවේ එකදු නිලධාරියෙකු හෝ පසුගිය මාර්තු මාසයේ සිට එම දීමනාව ලබා නොගත් බවද අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝ්දාගොඩ මහතා කොමිසමට පෙන්වා දුන් අතරම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ගේ බදු මුදල්වලින් ශතයක් හෝ නාස්ති කරනවාද? යන්න මහජනතාව විසින්ම විනිශ්චය කරනු ලබන බවද අවධාරණය කළේය.   


මෙම කරුණු කොමිසම හමුවේ අනාවරණය කිරීමට ජනාධිපති නීතිඥ යසන්ත කෝ්දාගොඩ මහතාට සිදුවූයේ මහේන්ද්‍රන් මහතාගෙන් හරස් ප‍්‍රශ්න විමසීම සඳහා දිනයක් ඉල්ලීම තුළින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහජනතාව රජයට ගෙවන බදු මුදල් අපතේ යවන බවට මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කොමිසම හමුවේ කළ ප‍්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි.   


මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ගාස්තු හා උපදෙස් අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙවන් චෝදනා එල්ල වන බවද කෝදාගොඩ මහතාගේ වචන අතරින් රැව් පිළිරැව් දුන්නේය. 

 
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝ්දාගොඩ මහතා කොමිසම අමතමින් පෙර දිනයේදී මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කොමිසම අමතමින් නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ප‍්‍රකාශයන් කිහිපයක්ම කළේ යැයිද එම ප‍්‍රකාශයන් සඳහා පිළිතුරු දීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු එකක් වශයෙන් තමන්ට හැඟුනේ යැයිද කීය.   


මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පෙර දින මෙම කොමිසම හමුවේ සාක්කි දීමෙන් අනතුරුව ඔහුගෙන් හරස් ප‍්‍රශ්න විමසීම සඳහා දිනයක් ඉල්ලීම තුළින් මහජනතාව රජයට ගෙවන බදු මුදල් අපතේ යවන බවට හා නීතිපති දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ගේ මුදල් නාස්ති කරන බව ඇතුළු චෝදනාවන් ගණනාවක් ඉදිරිපත් කළ බව මතක් කළ ජනාධිපති නීතිඥ යසන්ත කෝ්දාගොඩ මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩ කරන්නේ උසස්වීම් අපේක්‍ෂාවෙන් බවට විවිධ පාර්ශ්වයන් අවස්ථා ගණනාවකදී චෝදනාවන් ඉදිරිපත් කොට ඇති බවද අවධාරණය කළේය.   


නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම කොමිසමේදී කටයුතු කරන්නේ රජයේ සේවකයින් ලෙස එදිනෙදා තමන් වෙත පැවරී ඇති රාජකාරිවලට සහ බදු වගකීම්වලට අමතරව බව පැවසූ කෝදාගොඩ මහතා ප‍්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සෙවීම සඳහා පත් කළ මෙම කොමිසමේ කටයුතුවලට සහය වන නිලධාරීන් අමතර මාසික දීමනාවකට හිමිකම් කියන බව චක‍්‍ර ලේඛයක් මඟින් දැනුම් දී ඇති බව පෙන්වා දුන්නේය.   


තත්ත්වය එසේ වුවත් ප‍්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සෙවීම සඳහා පත් කළ මෙම කොමිසමේ කටයුතුවලට සහය වන නීතිපති දෙපාර්තමේන්තුවේ එකදු නිලධාරියෙකු හෝ පසුගිය මාර්තු මාසයේ සිට එම දීමනාව හෝ ලබාගැනීමෙන් වැළකී සිටින බවද පෙන්වා දුන් ජනාධිපති නීතිඥ යසන්ත කෝ්දාගොඩ මහතා ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු අප රට ගොදුරු වූ විශාලතම මූල්‍ය වංචාව මෙය බවත් එම මූල්‍ය වංචාවේ තොරතුරු සොයා ගැනීමට ස්වේච්ඡාවෙන් සහය වීම ජාතියට සිදු කරන සේවයක් බව අප සියලු දෙනාම විශ්වාස කරන්නේ යැයිද මෙම කොමිසමේ කටයුතු ඉෂ්ට කර ගැනීම සඳහා අප සියලු දෙනාම අපගේ උපරිමයෙන් සහය දක්වන්නේ යැයිද කීය.   
මෙම කොමිසමේ කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දක්වන ලද සහය හේතුවෙන් ප‍්‍රශ්නගත බැඳුම්කර වංචාවට අමතරව නීතියට පටහැනිව සිදුකරන ලද වෙනත් අති විශාල මූල්‍ය වංචාවන් ගණනාවක්ම හෙළිකර ගැනීමට හැකි වූ බවද සත්‍ය සොයා ගැනීම සඳහා අප විසින් කළ දීර්ඝ කාලීන වූ මෙම ක‍්‍රියාවලිය ජාතික වැදගත්කමකින් යුත් කටයුත්තක් බවද අවධාරණය කළේය.   


මෙම තත්ත්වයන් තුළ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙම කොමිසම හමුවේ සාක්කි දීමෙන් අනතුරුව ඔහුගෙන් හරස් ප‍්‍රශ්න විමසීම සඳහා වෙනත් දිනයක් ඉල්ලනු ලැබුවේ ඒ සඳහා සූදානම් වීමේ අරමුණින් බව පෙන්වා දුන් යසන්ත කෝ්දාගොඩ මහතා එම ඉල්ලීම තුළින් මහජනතාව රජයට ගෙවන බදු මුදල් අපතේ යවනවා වෙනුවට එම බදු මුදල් ආරක්‍ෂා වන බවද එය තමන්ගේ අරමුණ බවද පෙන්වා දුන්නේය. 

 
යසන්ත කෝ්දාගොඩ මහතාගේ මෙම පිළිතුරට මත්තෙන් එක්තරා විශේෂ සිදුවීමක් විය. 

 
සිංගප්පූරු පුරවැසියෙකු වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට හෝ කොමිසමට සහයවීමට නීතියෙන් බැඳී නැතත් කොන්දේසියක් මත කොමිසම හමුවේ සාක්කි දීමට කැමැත්ත පළ කළ බවට මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා බැඳුම්කර කොමිසම හමුවේ කළ ප‍්‍රකාශයක් දක්වමින් මාධ්‍යවල පළවූ වාර්තා පිළිබඳව කොමිසමේ අදහස දැනුම් දෙමින් බැඳුම්කර කොමිසම මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම එම විශේෂ සිදුවීම විය.   


මහේන්ද්‍රන් මහතා විදේශිකයෙකු වුවත් ඔහු ලංකාවේ නීතිය යටතට වැටෙන අයෙකු වන හෙයින් කොමිසම හමුවේ පෙනීසිට සාක්කි දෙන ලෙසට කොමිසම විසින් නිකුත් කළ සිතාසියට ඔහු අවනත විය යුතු බවත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා කොමිසම හමුවේ පෙනී සිටිමින් සාක්කි දිය යුතු අයෙකු බව කොමිසමේ මතය බවත් බැඳුම්කර කොමිසම නිවේදනය කළේය.   


බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට හැකියාව ඇති මෙම අවස්ථාව අත්හැරීමට තරම් අර්ජුන් මහේන්ද්‍රන් මහතා අඥානයෙකු බව තමන් නොසිතන බවද කොමිසම නිකුත් කළ එම නිවේදනයේ සඳහන් විය.   


බැඳුම්කර කොමිසම නිකුත් කළ අදාළ නිවේදනයේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විදේශිකයෙකු වීමේ හේතුව මත ඔහු අපගේ බලඅධිකාරියෙන් පිටස්තර පුද්ගලයෙකු වශයෙන් සැලකිය නොහැකි බවත් කොමිසම හමුවේ පෙනීසිට සාක්කි දෙන ලෙසට කොමිසම විසින් නිකුත් කළ සිතාසියට ඔහු අවනත විය යුතු බව සඳහන් කොට තිබිණි.   


අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිධුරය බාරගැනීමෙන් පසු ඔහු අපේ නීතියෙන් පරිබාහිර පුද්ගලයෙකු වශයෙන් සැලකීමට හැකියාවක් නැති අතර අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ස්ථාවරය හා අර්ජුන් ඇලෝසියස් මහතාගේ ස්ථාවරය බෝහෝ සෙයින් එකිනෙකට වෙනස්ය.   


අර්ජුන් ඇලෝසියස් මහතාට කොමිසම හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දෙමින් නිකුත් කළ සිතාසියට අනුව ඔහු කොමිසම හමුවේ පෙනීසිටිමින් දැනුම් දුන්නේ තමන්ට එරෙහිව මහාධිකරණයේ අපරාධ නඩුවක් පැවරිය හැකි බවත් එහි විත්තිකරුවෙක් වශයෙන් තමා නම් කළ හැකි බවත් ඒ තත්ත්වය අනුව තමන්ට මෙම කොමිසම හමුවේ සාක්කි දෙන ලෙස බලකළහොත් ඉන් තමන්ට විශාල අගතියක් සිදුවිය හැකි බවය.   


අර්ජුන් ඇලෝසියස්ගේ එම ස්ථාවරය සලකා බැලීමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුද සලකා බැලීමෙන් අනතුරුව ඇලෝසියස් මහතාට කොමිසම හමුවේ සාක්කි දීමෙන් වැළකී සිටීමට ඔහුට අවසර දුන්නේ ඔහු විසින් ඉදිරිපත් කළ සියලු කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.   


එහෙත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙම කොමිසමට ඉදිරිපත් කරන ලද්දේ එවැනි තත්ත්වයක් නොවේ.   


තමන් මහාධිකරණයේ විත්තිකරුවෙකු වීමේ අවස්ථාවක් ඇති බව හෝ ඒ අනුව තමන්ට මෙම කොමිසම හමුවේ සාක්කි දීමට බල කිරීම මඟින් තමන්ට අගතියක් සිදුවිය හැකි බව අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙම කොමිසමට කරුණු දැනුම් දී නැත. 

 
අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙම කොමිසම හමුවේ පෙනීසිටියේ කොමිෂන් සභා පනතේ 16 වැනි වගන්තිය අනුවය. ඒ අනුව තමා කොමිසම හමුවේ පෙනීසිටීමට කැමැත්තෙන් පසුවන බව ඔහු කොමිසමට දැනුම් දී තිබිණි. ඒ අනුව ඔහු කොමිසම හමුවේ පෙනීසිටිමින් සාක්කි දිය යුතු අයෙකු බව කොමිසමේ මතයයි. 

 
ඒ අනුව මෙම කොමිසම හමුවේ පෙනීසිට සාක්කි දෙමින් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට හැකියාව ඇති මෙම අවස්ථාව අත්හැරීමට තරම් අර්ජුන් මහේන්ද්‍රන් මහතා අඥානයෙකු බව තමන් නොසිතන බව දැනුම් දුන් කොමිසම මෙම කොමිසම හමුවේ සාක්කි දීමට අවශ්‍ය නොවන්නේ නම් එය ඔහුගේ අයිතියක් බවත් ඊට අවශ්‍ය උපදෙස් ඔහුගේ නීති උපදේශකවරයා දෙනු ඇතැයි තමන් සිතන බව කොමිසමේ මතය බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.   


මේ අතර වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් අර්ජුන් මහේන්ද්‍රන් මහතා හරස් ප‍්‍රශ්නවලට ලක් කරමින් මහේන්ද්‍රන් මහතා සිනාසෙමින් සාහසික බොරු කියන, බොරුකාරයෙකු බවට යෝජනා කළත් ඔහු එය ප‍්‍රති​ෙක්‍ෂ්ප කළේය.   


රජයට මුදල් අවශ්‍යතාවක් නොමැති අවස්ථාවක රුපියල් බිලියන 75ක හදිසි මුදල් අවශ්‍යතාවක් ඇති බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් දින රහිත ලිපියක් මඟින් දැනුම් දුන් බව සඳහන් කරමින් ඉදිරිපත් කළ ලිපිය මෙම කොමිසමට ඉදිරිපත් කිරීමේ අරමුණින් සකස් කළ ව්‍යාජ ලිපියක් බවට ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඇසූ ප‍්‍රශ්නයක් ප‍්‍රති​ෙක්‍ෂ්ප කළ අවස්ථාවේදී ඔබ සිනාසෙමින් සාහසික බොරු කියන, බොරුකාරයෙකු බවටද කළ යෝජනාවත් එලෙස ප‍්‍රති​ෙක්‍ෂ්ප කළේය.   


රජයේ හදිසි මුදල් අවශ්‍යතාවක් සඳහා රුපියල් බිලියන 75ක් අවශ්‍ය බව සඳහන් කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මහ බැංකුවට ඉදිරිපත් කළ බව කියන දින රහිත ලිපිය කෙරෙහි මහේන්ද්‍රන් මහතාගේ අවධානය යොමු කළ අවස්ථාවේදී එහි දිනයක් හෝ ගොනු අංකයක් (file no.) නැති බව මහේන්ද්‍රන් මහතා පිළිගත්තේය.   


අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ ලිපියේ රජයේ මුදල් අවශ්‍යතාව රුපියල් බිලියන 75ක් බව සඳහන් වුවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසූ බවට හැන්සාඩ් වාර්තාවේ සඳහන් වෙන්නේ රජයේ මුදල් අවශ්‍යතාවය රුපියල් බිලියන 15ක් බව නේද? මේ අනුව ලිපියේ හා හැන්සාඩ් වාර්තාවේ සඳහන් වී ඇති රජයේ මුදල් අවශ්‍යතාවයේ ප‍්‍රමාණය පරස්පරයි නේද? යනුවෙන් දප්පුල ද ලිවේරා මහතාගේ හරස් ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හැන්සාඩ් වාර්තාවේ සඳහන් වෙන්නේ රජයේ කඩිනම් මුදල් අවශ්‍යතාවයක් ගැන යැයි සඳහන් කළේය.   


රජයේ මුදල් අවශ්‍යතාව රුපියල් බිලියන 75ක් බව සඳහන් කරමින් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ ලිපිය නිල වශයෙන් ලබාදුන් ලිපියක් බවත් මෙම ලිපියේ දිනය, ලිපිගොනු අංකය, යොමු අංකය ආදී කිසිම තොරතුරුක් නැති නිසා මෙය විශ්වාස කිරීමට නොහැකි ලිපියක් ලෙස මෙන්ම මෙම ලිපිය නිර්මාණය කළ බවට කරන යෝජනා මහේන්ද්‍රන් මහතා පිළිනොගන්නා බව පැවසීය.   


2015 පෙබරවාරි 27 වැනිදා බැඳුම්කර වෙන්දේසියට පෙර දිනයේදී හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් යුතුව මහ බැංකුව තුළ පවත්වන ලද රැස්වීමේදී රජයේ හදිසි මුදල් අවශ්‍යතාවයක් ගැන කතා නොකළ බවත් එම රජයේ හදිසි මුදල් අවශ්‍යතාවක් සඳහා රුපියල් බිලියන 75ක් අවශ්‍ය බව සඳහන් කරමින් ලිපියක් ඉදිරිපත් නොකළ බවත් එම රැස්වීමට සහභාගී වූ භාණ්ඩාගාර ලේකම් සමරතුංග, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් වන අාචාර්ය වීරසිංහ, ආනන්ද සිල්වා, පී. සමරසිරි මහත්වරුන් මෙම කොමිසමේදී පැවසූ බව මා දන්නේ නැහැ.   


මෙම ලිපිය කොමිසමට ඉදිරිපත් කිරීමේ අරමුණින් සකස් කළ ව්‍යාජ ලිපියක් කියා කරන යෝජනාව මා පිළිගන්නේ නැති වුවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා රජයේ හදිසි මුදල් අවශ්‍යතාවය රුපියල් බිලියන 15ක් බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැන්සාඩ් වාර්තාවේ සඳහන් වෙනවා. එමෙන්ම 2015 පෙබරවාරි 27 වැනිදා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ කසුන් පළිසේන හරියටම රුපියල් බිලියන 15ක ලංසු ඉදිරිපත් කර තියෙනවා.   


ප‍්‍ර. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා රජයේ හදිසි මුදල් අවශ්‍යතාවය රුපියල් බිලියන 15ක් බව කියද්දී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම හරියටම රුපියල් බිලියන 15ක ලංසු ඉදිරිපත් කිරීම මැජික් එකක් වගේ විජ්ජාවක් නේද?   
පිළි. ඔව්.   


බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වෙන අවස්ථාවකදී මහ බැංකුවේ හිටපු කිසිම අධිපතිවරයෙකු රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගොස් නැතත් 2015 පෙබරවාරි 27 වැනිදා බැඳුම්කර වෙන්දේසිය පැවැත්වෙන අවස්ථාවේදී මහ බැංකු අධිපතිවරයා වශයෙන් තමා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට යෑම ඓතිහාසික නව පිටුවක් නිර්මාණය කිරීමක් බව මහේන්ද්‍රන් මහතා පිළිගත්තේය.   


මහ බැංකුවේ ණය අධිකාරී දීපා සෙනෙවිරත්න මහත්මිය මෙන්ම මහ බැංකුවේ තවත් නිලධාරීන් මෙම කොමිසමේ සාක්කි දුන් බව මෙන්ම බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වෙන අවස්ථාවකදී මහ බැංකුවේ හිටපු කිසිම අධිපතිවරයෙකු රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පැමිණ නැති බව එම සාක්කිවලින් අනාවරණය වූ බව මා දන්නවා.   


ප‍්‍ර. බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වෙන අවස්ථාවකදී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පැමිණි එකම අධිපතිවරයා ඔබ බව පිළිගන්වාද?

පිළි. ඔව්.   

ප‍්‍ර. එය ඓතිහාසික නව පිටුවක් නිර්මාණය කිරීමක් නේද?   

පිළි. ඔව්.   

මේ අතර ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධියට අදාළ කාලසීමාවේ මාස 11ක කාලය තුළ වූ දත්ත මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පරිහරණය කළ ජංගම දුරකතන දෙකෙන් සොයා ගැනීමට හැකියාවක් නැතැයි දැනුම් දෙමින් යසන්ත කෝ්දාගොඩ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් කොමිසම අදාළ මාස 11ක කාලය තුළ වූ දත්ත පිළිබඳව කොමිසමට දැනුම් දෙන ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතාට නියම කළේය.   


බැඳුම්කර කොමිසමේදී අර්ජුන් මහේන්ද්‍රන් මහතා හෙට (02) දිනයේදී යළි වැඩිදුර ප‍්‍රශ්න කිරීම්වලට ලක් කිරීමට නියමිතය. ඒ වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසිනි. මහේන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසමේදී මෙම ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ කොහොමද? අපි බලා සිටිමු.  

 

 

 

 

 

මනෝප්‍රිය ගුණසේකර

 



අදහස් (0)

තුට්ටුවකට ආත්මය පාවා දීම

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 225 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16159 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7905 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2790 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3943 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site