මුළු ලොවම එක මිටට ගෙන පරසක්වල ගැසූ කොරෝනා වයිරසයේ බලපෑමෙන් මිදීම සඳහා සමස්ත ලෝකයටම ඇත්තේ එකම විකල්පයක් පමණි. ඒ තම තමන්ගේ නිවෙස් වලට වී, සෙසු ලෝකයාගෙන් වෙන්වී, තමන්ව අගුළු ලා ගෙන සිටීමයි. එහෙත් තමන්ටම කියා නිවෙසක් නැති කී දෙනෙක් අප අවට ලෝකයේ සිටිත්ද ?

දිගින් දිගටම පැවැති ඇඳිරි නීතිය නිසා එදිනෙදා කුලියක් මලියක් කරගෙන, නැත්නම් කව්රුන් හෝ දෙන දෙයක් කමින් බොමින් ජීවිතය ගැටගසාගත් මහ පාරේ ජීවත්වන පිරිස කුමක් කරත්ද ? කොතැන ලැගුම් ගනිත්ද ? තමන් එදිනෙදා හම්බ‍කරගන්නා අත්කරත්තය මත දිගෑදී නොහොත් රෝද පුටුව මත ජීවිතය ගෙන යා යුතුමය....

නිවෙස් ඇත්තෝ එක දුරකතන ඇමතුමකින් ගෑස් සිලින්ඩරයේ සිට අනෙක් සියලු දේ සපයා ගනිද්දී තවත් පිරිසක් කරකියාගත හැකි දෙයක් නොමැතිව, කෑමට යමක් ඉල්ලාගැනීමට විවෘත කළ ආපාන ශාලාවක් හෝ නොමැතිව විපිළිසරව සිටිති. රත්මලාන , ගල්කිස්ස, පිටකොටුව, දෙහිවල, බම්බලපිටිය ආදී ප්‍රදේශවල සිටින අසරණවු පිරිස අතර නගරය  පිරිසිදු කිරීමේ රාජකාරියේ නියැලී සිටින අයද නැතුවා නොවේ. ඔවුන් වෙනුවෙන් ඇතැම් පිරිස් ආහාර පාන ගෙනැවිත් දෙන ආකාරයත් දැකගත හැකිවිය.

(ඡායාරූප - ඉෂාන් සංජීව සහ ශාන්ත රත්නායක)