(ඉන්දික අරුණ කුමාර)
නාඋල බොබැල්ල ප්‍රදේශයෙන් පමණක් හමුවන සුවිශේෂි බිනර ශාක පිහිටි ප්‍රදේශය පස් දමා විනාශකර ඇතැයි පරිසර සංවිධාන චෝදනා කරයි.
එග්සගන් පෙඩන් කිවුලාටා (Egsegan pedenculata) යන උද්භිත විද්‍යාත්මක නමින් හඳුන්වන මෙම බිනර විශේෂය 1983 වසරේ දී පේරාදෙණිය උද්භිත උද්‍යානයේ උද්භිත විද්‍යාඥ ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා විසින් සොයා ගන්නා ලදී.
වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෙම බිනර ශාකය ආරක්ෂා කර ගැනීම සඳහා පරිසර සංවිධාන මෙන්ම සිවිල් සංවීධාන රැසක් හඬ නගා ඇත.
මේ වන විටත් මෙම සුවිශේෂි බිනර ගහනය පිහිටි ප්‍රදේශය රක්ෂිත භුමියක් බවට පත්කිරිම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් යන බව මේ සම්බන්ධයෙන් කල විමසීමක දී පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම මහතා කීය.
මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ නාඋල සිට බොබැල්ල දක්වා මාර්ගය සංවර්ධනය කිරිමේ දී ඉවත් කරනු ලබන පස් මෙම බිනර ව්‍යාප්තීය පවතින භූමියට දමා ඇතැයි ඔවුහු කීහ.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධික්ෂණය යටතේ පෞද්ගලික සමාගමක් විසින් මාර්ග සංවර්ධන කටයුතු සිදුකරනු ලබයි.
බිනර මහේදී මල් හටගන්නා මෙම භුමියේ මේ වන විට මිලියන ගණනක් වූ බිනර බීජ තැම්පත්ව පවතින බවත් පස් දැමීම හේතුවෙන් ඒවා විනාශ වීමේ අවදානමක් පවතින බවත් සමරවික්‍රම මහතා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැරආරච්චි මහතා කියාසිටියේ බොබැල්ලේ දී හමුවන පෙති හතරේ බිනර විශේෂය ලංකාවේ වෙනත් කිසිදු ප්‍රදේශයකින් හමුනොවන බව නොදැනුවත්කම හෝ හිතා මතා හෝ මෙම පරිසර පද්ධතියට මේ වනවිටත් විවිධ බලපෑම් එල්ල වන බවත්ය.
මෙම බිනර විශේෂය හටගන්නා ප්‍රදේශයේ සංචාරය කල අපට දැකගැනීමට ලැබුණේ බිනර මල් හටගන්නා ප්‍රදේශයේ මේ වන විට වගාව සිදුකර ඇති බවයි.
වසරකට වරක් මුළු පළාතම සුන්දරත්වයෙන් අලංකාර වන මෙම බිනර විශේෂය ලංකාවේ බොහෝ පිරිසකගේ ආදරයට පාත්‍රව තිබේ.
එවැනි පසුබිමක මෙම ස්ථානයට පස් දැමීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත් බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී නාඋල ප්‍රාදේශීය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජයරත්න මහත්මිය සඳහන් කළාය.
කෙසේ වෙතත් පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම මහතා පැවසුවේ බිනර බීජ මතට හෙළා ඇති පස් තට්ටු ඉවත්කිරිම තුළින් ද බිනර බීජ වලට හානි සිදුවිය හැකි බවයි. ඒ සඳහා දැනුම ඇති විද්‍යාඥයකුගේ සහාය ලබාගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.
මේ වන විට පවතින අධික උෂ්ණත්වයත් සමඟ පස් තට්ටුවේ පවතින උෂ්ණත්වය ද හේතුවෙන් බිනර බීජ වලට හානි සිදුවිය හැකි ප්‍රවණතාව වැඩි බවද හෙතෙම වැඩිදුරටත් කීය.
මාර්ග සංවර්ධන කටයුතුවල දී බැහැර කරනු ලබන පස් හා අනෙකුත් ද්‍රව්‍ය පිළිබඳව කටයුතු කිරිමට අදාළ සමාගමේ පරිසර නිලධාරින් සිටින බවත් බිනර ගහනය පිහිටි භුමියට පස් දැමීමෙන් සමාගමේ දැනුම පිළිබඳ ගැටලු පැන නගින බව ද සමරවික්‍රම මහතා කියා සිටියේය.
අවම වශයෙන් මෙම බිනර ගහනය පවතින භූමියට ආක්ෂික වැටක් හෝ යෙදීම සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික සමාගම කටයුතු කළ යුතු බව ඔහු කීය.
බොබැල්ලේ දී පමණක් හමුවන මේ සුවිශේෂි බිනර ශාක ආරක්ෂා කිරිම සදහා රජය කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතයුතු බව ද සමරවික්‍රම මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.







COMMENTS
ගහක් වැලක් වන සතෙක් කුරුල්ලෙක් සමනලයෙක් මොකෙක් ගැනවත් නිනව්වක් නෑ ඔහේ වැඩ කොමිස් සංවර්ධනේ. අන්තිමට කාන්තාරයක හදපු පාරවල් ටිකක් විතරක් තියෙයි මෙහෙම ගියොත්.
ඉඩමකට පස් දැම්මාම කොමිස් හම්බවෙන්නේ කොහොමද? මෙතන තිබෙන්නේ අතිශය සියුම් ප්‍රශ්නයක්. යම් හෙයකින් මෙම ඉඩම අයිති වෙලා තිබ්බේ පුද්ගලයෙකුට නම් ඔහු ඒකට අවසර දීලා තිබ්බා නම් මේ පරිසර සංවිධානය මොකක්ද කරන්නේ? ශාකයක් රැක ගැනීම ගැන ප්‍රශ්නයක් නෑ. ඒත් දැන් දාපු පස් අයින් කරන්නත් එපා නම් ඒකට මහා විද්‍යාඥයෙක් කැඳවන්නත් යනවා නම් මේ පරිසර සංවිධානය සැරසෙන්නේ නොකෙරෙන වෙද කමට කෝඳුරු තෙල් හොයන්නද?
ඉඩමකට පස් දැම්මාම කොමිස් හම්බවෙන්නේ කොහොමද? මෙතන තිබෙන්නේ අතිශය සියුම් ප්‍රශ්නයක්. යම් හෙයකින් මෙම ඉඩම අයිති වෙලා තිබ්බේ පුද්ගලයෙකුට නම් ඔහු ඒකට අවසර දීලා තිබ්බා නම් මේ පරිසර සංවිධානය මොකක්ද කරන්නේ? ශාකයක් රැකගැනීම ගැන ප්‍රශ්නයක් නෑ. ඒත් දැන් දාපු පස් අයින් කරන්නත් එපා නම් ඒකට මහා විද්‍යාඥයෙක් කැඳවන්නත් යනවා නම් මේ පරිසර සංවිධානය සැරසෙන්නේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හොයන්නද?
කෝ මේ පරිසර වේදියෝ...
ලස්සනට තිබ්බ කැලේ කපලා වායුදූෂණය වෙලා කියන අපි බාගෙට පැහුණු ගෙඩිවලට බෙහෙත් ගහලා ඉදවලා පලතුරු රස නැහැ කියන අපි... ලස්සනට, පිරිසිදුවට තිබ්බ වතුර ටිකට වහ හලලා, ප්ලාස්ටික් හලලා, කාර්මික අපද්‍රව්‍ය හලලා වතුර නිසා වකුගඩු රෝග හැදෙනවා කියන අපි...සාෆි ඕනේ නැහැ .. ආත්මාර්ථකාමී නොසැලකිල්ලට පින්සිද්ද වෙන්නම.. ඉක්මනටම වඳ වෙලා යයි…