(විනීතා එම් ගමගේ)

පොදු දේපල පෞද්ගලිකරණය නොකරන බව ජනතාවට තහවුරු කරන්නට නම් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිරි මැතිවරණයට පෙර මෙහෙයුම් අරඹා ජනසතු ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යාම ආරම්භ කරන්නැයි වරාය ස්වාධින සේවක සංගමයේ සභාපති ලාල් බංගමුවගේ මහතා වරාය අධිකාරියට අද (30) අභියෝග කළේය.

වරායේ වෘත්තිය සමිති එක්ව රැකගන්නට හදන අතර බලධාරීන් ආපස්සට අදින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රන් බිජුලන කිකිළියක බවත් එය ඩොලර් උල්පතක් බවත් අමතක කළ යුතු නැතැයි ද හෙතෙම කියා සිටියේය.

වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව කොළඹ 1, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ අද (30) පැවැත්වූ මාධ්‍ය හමුවක දී මෙම අදහස් පළ කළේය.

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා සවිකිරීමට ගෙන්වා තිබූ ගැන්ටි දොඹකර තුන නැවෙන් ගොඩ බාන්නේ නැතිව තබාගෙන සිටීම හේතුවෙන් ඇතිවූ නොසන්සුන්තාව අවම කරමින් අද (30) පෙරවරුවේ ඒවා ගොඩබෑම ආරම්භ කළ බව මාධ්‍ය හමුවේ දී බංගමුව ගේ මහතා පැවසූ අතර මාධ්‍ය හමුව අතරතුර එහි  සිටි  වෘත්තිය සමිති නායකයින් කියා සිටියේ හදිසියේම දොඹකර ගොඩබෑම නවත්වා ඇතැයි වාර්තා වන බවය.

කෙසේ වෙතත් දොඹකර ගොඩබෑම නවත්වා දැමුවහොත් වරාය සියලු වෘත්තිය සමිති එක්ව පැය 24 ක් තුළ වෘත්තිය ක්‍රියාමාර්ගයකට යන බව ද හෙතෙම කියා සිටියේය.

පටවා ඇති නැවට දිනකට ඩොලර් පනස්පන්දහක් බැගින් දිනකට ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවනු ලබන බව පැවසූ බංගමගේ මහතා මේ වනවිට දින 11 ක් මෙසේ දොඹකර තබා ගැනීම පිළිබඳ ප්‍රමාද ගාස්තු නැව් සමාගමට ගෙවීමට වරාය අධිකාරියට සිදුව ඇති බව ද පැවසීය.

මාධ්‍ය හමුව ඇමතු වරාය වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති ශමේල් සුමනරත්න මහතා කියා සිටියේ මෙම නැගෙනහිර පර්යන්තය ලබාගැනීමට ඉන්දියාව හා ජපානය ඒ පිටුපස ඇතැයි මෙතෙක් සැක කළ නමුත් ඒ පිටුපස සිටින්නේ මෙරට ක්‍රියාත්මක බහුජාතික සමාගමක් සහ ඉන්දීය සමාගමක් බව මේ වනවිට තහවුරු කරගත හැකි වූ  බවය.

නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය මගින් ඉදිකරන බවට වත්මන් රජය බලයට ඒමට පෙර පොරොන්දු වූ නමුත් චීනයෙන් ග්‍රැන්ටි දොඹකර ගෙන්වූ පසු ඒවා සවිකර මෙහෙයුම් ආරම්භ කිරීම සිදු නොවන  විට වෘත්තිය සමිති සැක පහල කළ බවත් හෙතෙම කියා සිටියේය.

යහපාලන රජය සමයේ ජේසීටී පර්යන්තයට අලුත් පර්යන්තයක් ජේසීටී 5 නමින් ආරම්භ කරන බවට වෘත්තිය සමිතිවලට පොරොන්දු වූ බව කී සුමනරත්න මහතා ඉදිකරන තැනක් වත් සඳහන් නොවන ජැටියක් වෙනුවෙන් ඩොලර් මිලියන 25.7 ක් වැය කර දොඹකර ගෙන්වන්නටත් පාලකයන් කටයුතු කළ බව ද කීය.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති ප්‍රසන්න කලුතරගේ මහතා කියා සිටියේ දොඹකර ගෙන ආ නැවෙන් එම දොඹකර ගොඩබෑම පමා වීම නිසා දිනකට රුපියල් ලක්ෂ 94 බැගින් ගෙවන්නේ වරාය සේවකයන් දුක්විඳ උපයන මුදල් බවය.

නැගෙනහිර පර්යන්තයේ මෙතෙක් ඉදිවූ ප්‍රමාණය ඉදිවී ඇත්තේ සේවකයන් ගේ ශ්‍රමයෙන් ඉපැයූ මුදලින් බවත් එය අවසන් කර මෙහෙයුම් ආරම්භ කරනවා මිස කිසිවෙකුටත් දෙන්නට වරාය සේවකයන් දිවි හිමියෙන් ඉඩ නොදෙන බවත් ඔහු සඳහන් කළේය.

ඉන්දියාවට හෝ වෙනත් රටකට දෙන්නට අවශ්‍ය නම් බටහිර පර්යන්තයක් ඉදිකර ගන්නට අවස්ථාව දීම සළකා බැලිය හැකි යැයි ද හෙතෙම පැවැසීය.