(සුජිත් හේවාජුලිගේ)

පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙයවූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඉකුත් ජනාධිපතිවරණයේදී උදව්කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටයැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා එම ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ  සාක්‍ෂි දෙමින්  පැවැසීය.

තමා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට උදව් කරද්දී සහරාන් මෛත්‍රීපාල සිරිසේන මහතාට උදව් කළ බවද ඔහු කියා සිටියේය.

මැතිවරණයේදී තමා සහරාන් සමග ගිවිසුම් ගැසුවද පසුකාලීනව ඔහු තමාට විරුද්ධව වැඩ කළ බව කී හිස්බුල්ලා මහතා තමා ඡන්දයෙන් පැරදුණේ සහරාන්ගේ වැඩ නිසා යැයි ප්‍රකාශ කළේය.

සහරාන් තමා දැනගෙන හිටියේ හොඳ විවාදකයකු හැටියට විනා ත්‍රස්තවාදියකු හැටියට නොවේයැයිද හිස්බුල්ලා මහතා පැවැසීය.

සහරාන්ගේ කල්ලියේ සමහරුන් යුද හමුදාව සමග ද සබඳතා පැවැත් වූ බව කී හිස්බුල්ලා මහතා වෛරී ප්‍රකාශ නිකුත් කරන ඔහුගේ රැස්වීම්වලට පොලිසියෙන් ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර ලැබුණු බවද ප්‍රකාශ කළේය.

මේ රටේ අරාබි භාෂාව භාවිතා කිරීම නීති විරෝධි නැතැයි ද අරාබි භාෂාවෙන් යම් යම් පුවරු ප්‍රදර්ශනය කළේ අරාබියෙන් එන සංචාරකයන්ගේ පහසුව සඳහා යැයිද ඔහු පැවැසීය.

මුස්ලිම් ජනතාව ලංකාවේ කුඩා පිරිසක් වුවත් ලෝකයේ මහ ජාතිය යැයි ප්‍රකාශ කළේ බියට පත්ව සිටින මුස්ලිම් ජනතාව ධෛර්යමත් කිරීමට යැයිද එසේ නැතිව වෙනත් අරමුණකින් නොවේ යැයි ද හිටපු ආණ්ඩුකාරවරයා කීය.

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළහොත් රටේ ලේ ගංගාවක් ඇතිවිය හැකි බවත් ඊට මුස්ලිම්වරුන් විරුද්ධ බවත් පැවැසූ හිස්බුල්ලා මහතා එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම දේශපාලනඥයන් වන අපගේ යුතුකමක් යැයිද සඳහන් කළේය.           

පාස්කු ඉරුදින ප්‍රහාර ගැන කරුණු සොයා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (13) පස්වරුවේ රැස්වූහ.