
මුස්ලිම් ජාතිකයන් කෝප ගැන්වෙන අයුරින් දැමූ ෆේස්බුක් සටහනක් හේතුවෙන් ඉන්දියාවේ බැංගලෝර් නගරයේ මහත් කලබලයක් ඇති වී තිබෙන අතර පොලිසිය සමඟ ඇති වූ ගැටුම් හේතුවෙන් අද (12) පස්වරු වනවිට පුද්ගලයන් තිදෙනකුට ජීවිත අහිමි වී තිබිණි.
මහම්මද්තුමා සම්න්ධයෙන් දැමූ ෆේස්බුක් සටහනක් මෙම නොසන්සුන්තාවට හේතු වී තිබෙන අතර කෝපයට පත් පිරිසක් පොලිස් ස්ථානයකට සහ දේශපාලනඥයකුගේ නිවසකට ද පහර දී ඇත. කෝපයට පත් පිරිස් වාහනවලට ද ගිනි තබා තිබූ අතර විදෙස් පුවත් සේවා ගිනිගෙන දැවුණු වාහනවල ඡායාරූප ද ප්‍රසිද්ධියට පත් කර තිබිණි.
ඉන්දියාවේ තාක්ෂණික කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන බැංගලෝරයේ මෙම සිදුවීම වූ ප්‍රදේශයේ වැඩි දෙනා මුස්ලිම් ජාතිකයන් ය. විරෝධතාකරුවන් පාලනය කරගැනීම සඳහා පොලීසිය බැටන් පොලුවලින් පහර දී ඇති අතර කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇත. එසේ වුවද විරෝධතාකරුවන් පාලනය කරගැනීමට බැරි වූ තැන පොලිසිය වෙඩි තබා ඇතැයි ද වාර්තා විය.
‘‘ප්‍රජාවේ වැඩිහිටියන් කලහකාරී තරුණ පිරිස සමාදාන කරන්න උත්සාහ කළා. එහෙත් ප්‍රචණ්ඩකාරී පිරිස් මාර්ගවල තිබූ වාහනවලට ගිනි තැබුවා. පොලිස් ස්ථානයකටත් පහර දුන්නා’’ යැයි පොලිස් කොමසාරිස් කමල් පාන්ට් පැවැසීය.
‘‘පොලිසියට වෙන විකල්පයක් තිබුණේ නැහැ. පොලිසියට වෙඩි තබන්න වුණා. වෙඩි තැබීමෙන් පුද්ගලයන් තිදෙනකු මරණයට පත්වුණා’’ යැයි පාන්ට් කීය. පොලිසියට පහර දීම සහ ප්‍රචණ්ඩකාරීව හැසිරීම යන චෝදනාවලට පුද්ගලයන් 110 දෙනකු අත්අඩංගුවට ගත් බව ද හෙතෙම කීය.
නීති විරෝධී ඒකරාශිවීම් තහනම් කරමින් හදිසි නීතියක් ක්‍රියාත්මක කළ බව ද පොලිසිය සඳහන් කළේය. බැංගලෝරයේ මිලියන 12කට ආසන්න පිරිසක් ජීවත්වන අතර, බැංගලෝරය ඉන්දියාවේ ‘සිලිකන් වැලි’ යනුවෙන් ද හැඳින්වේ.
ෆේස්බුක් සටහන දැමූ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි අදාළ ෆේස්බුක් සටහන ඉවත් කර ඇතැයි ද පොලිසිය සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම ඊයේ පස්වරු වනතුරු කිසිඳු ප්‍රකාශයක් කර නොතිබිණි.

රොයිටර් අනුග්‍රහයෙනි
055
COMMENTS
හැම ආගමක් ම නිර්මාණය වුනේ මිනිසා වෙනුවෙන්... නමුත් දැන් මිනිසා ජීවත් වෙන්නේ අගම වෙනුවෙන්.., අපි හැමෝම කිසියම් ආගමක වහල්ලු...
අපි අපේ ශාස්තෘවරුන්ට ගෞරව කරනවා වගේ අනෙක් ශාස්තෘවරුන්ටත් ගෞරව කරන්න දැනගන්න ඕනේ.. නැතිවුණාම ඔහොමප්‍රශ්න ඇතිවෙනවා.
තේරුමක් නැති නිදහසක් දුන්නාම ඔහොම දේවල් සමාජ ජාලවලට වැටෙනවා. ලියන්න පුළුවන්... හැමෝම කාඩ්බෝඩ් වීරයෝ වෙනවා. අන්තිමට සිදුවෙන්නේ වැරැදි කළ නොකළ හැමෝටම පව් සිදුවන එකයි.