IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


හමුදා වාහනයටත් රිංගන කුඩු ජාවාරම්මු


මෙරට ක්‍රියාත්මක කුඩු ජාවාරම් ජාලයේ යුද හමුදා සෙබළුන්ගේ නම ගෑවුණු අවස්ථා ඉතාම විරල ය. එවැනි විරල අවස්ථාවක් පසුගියදා අපට අසන්නට ලැබිණි. ඒ සුළුපටු කුඩු කතාවක් සම්බන්ධයෙන් නොවේ. රුපියල් කෝටි 45ක කුඩු තොගයක් සම්බන්ධයෙනි.

යුද හමුදා සෙබළකු වශයෙන් දැනට ද කටයුතු කරන එක් අයකු සහ හිටපු හමුදා සෙබළකු බව කියන අයකු මේ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේ ඔවුන් ගමන් කරමින් සිට ඇත්තේ හමුදාවට අයත් සැප වෑන් රියක බවද හෙළි විය. කටවහරට අනුව නම් ඔවුන් සිදුකර ඇත්තේ ආමි එකේ වෑන් එකකින් කුඩු ඇදීම ය. හොරණ රත්නපුර මාර්ගයේ දික්හේනපුර ප්‍රදේශයේදී මේ දෙදෙනා වලාන දූෂණ මර්දන පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ රාත්‍රී කාලයේ දී ය. ඔවුන් ප්‍රවාහනය කරමින් තිබූ කුඩු තොගය ගමන්මලු‍ දෙකක් තුළ කිලෝ එකේ පැකට් වශයෙන් අසුරා තිබූ බවද සඳහන් ය. මේ දෙදෙනා සංවිධානාත්මක කුඩු ජාලයක සාමාජිකයන් දෙදෙනකු බව හඳුනාගැනීමට එම තොරතුරු පමණක් ප්‍රමාණවත් යැයි අපි සිතමු.

යුද හමුදාවේ අභිමානයට මෙවැනි අපරාධකරුවන් දෙදෙනකුගේ අවමන් සහගත වැඩ හේතුවෙන් කිසිදු හානියක් සිදු නොවන බව සඳහන් කළ යුතු ය. එහෙත් හමුදාවෙන් පලාගිය පුද්ගලයන් හා එක්ව මෙවැනි සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධවීමෙන් සෙසු හමුදා සාමාජිකයන් මුදාගැනීමට විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය බව මේ සිද්ධියෙන් පෙන්වාදී තිබේ. කුඩු තොගයක් සමඟ හසුවූ මේ පුද්ගලයන්ට හමුදාවේ නිලඇඳුම හේතුවෙන් කිසිදු බුරුලක් ලැබිය යුතු නැත. මොවුන් දෙදෙනා සහ වෙනත් කුඩු ජාවාරම්කාර සැකකරුවන් අතර වෙනසක් තිබිය යුතු නොවේ. කුඩු ජාලය මෙහෙයවන අතරමැදි මෙවැනි පුද්ගලයන්ට එරෙහිව ඉහළම දඬුවම් ලබාදීම අප්‍රමාදව සිදුවිය යුතු ය. මේ සැකකරුවන්ට එරෙහිව අන්තරාදායක ඖෂධ පනතේ නීතියට අමතරව හමුදාවෙන් ද ඉතා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කර ඇති දැනුම්දීම ඔවුන්ට දඬුවම් ලබාදීමට හොඳ ප්‍රවේශයක් වන බව අපගේ පිළිගැනීම වෙයි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් කුඩු ප්‍රවාහනය සඳහා හමුදාවේම අංකය යෙදූ වාහනයක් යොදවාගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු ය. මෙවැනි සුඛෝපභෝගී වෑන් සහ කාර් රථ විශාල ප්‍රමාණයක් හමුදාව විසින් කුලියට ගෙන සේවා සඳහා යොදවාගෙන තිබේ. එවැනි වාහනයක් කුඩු ඇදීමට යොදාගැනීම බරපතළ අනතුරක පෙරනිමිත්තකි. එම කටයුත්ත සඳහාම වෑන් රිය හමුදා කඳවුරෙන් ඉවතට ගෙන යාම වැඩි අපහසුවකින් තොරව සිදු කර තිබෙන බව මෙතෙක් ලද තොරතුරුවලින් තහවුරු වෙයි. හමුදා කඳවුරක් තුළ මෙවැනි අතපසුවීම්වලට ඉඩක් තැබිය යුතු නැත. අද කුඩු ඇදීමට යොදාගන්නා හමුදාවේ කුලී වාහන හෙට දවසේ බෝම්බකරුවකු අතට පත්වුවහොත් සිදුවිය හැක්කේ කොපමණ ව්‍යසනයක් ද ? වහාම මේ සම්බන්ධව සියලු‍ තොරතුරු හෙළිකර ගැනීමට සියලු‍ ආරක්ෂක අංශවල ඉහළම ප්‍රමුඛතාව හිමිවිය යුතු ය.

රට තුළ ක්‍රියාත්මක සංවිධානාත්මක කුඩු ජාලය මර්දනයට රජය විශාල වෙහෙසක් ගෙන ක්‍රියා කරන බව සත්‍යයකි. එහෙත් එවැනි කටයුතු කෙරෙහි දිගින් දිගටම අවධානය යොමුකිරීම ආණ්ඩුවේ නායකයන්ට පමණක් කළ නොහැක්කකි. සිදුවිය යුත්තේ ආණ්ඩුව කුඩු ජාලයේ කොන්ද කැඩීමට ලබාදෙන නියෝග එලෙසම ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ මගින් ක්‍රමවේදයක් සකසා ගැනීම ය. එය පොලීසියට පමණක් තනිව කළ නොහැකි බව නාකොටික් පොලිස් නිලධාරීන් විසින් ද කුඩු විකිණීම කරගෙන ගිය බව හෙළිවීමත් සමඟ අවබෝධ විය යුතු ය. සියලු‍ ආරක්ෂක අංශ එකතුව ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළක් මේ සඳහා අවශ්‍ය ය.

හමුදාවේ සිටින සහ හිටපු සෙබළුන් දෙදෙනා ප්‍රවාහනය කර ඇත්තේ දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන දැනට ඩුබායි හි සැඟවී සිටින බවට සැක කෙරෙන මිදිගම නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ගේ කුඩු තොගයක් බවට හෙළි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියකු ප්‍රකාශ කර තිබිණි. එහෙත් ගැටලු‍ව ඇත්තේ තමන්ගේ වටිනා රැකියාවද පරදුවට තබා මෙවැනි ජාවාරම්කරුවන්ගේ ඔඩොක්කුවට වැටීමට තරම් හමුදා සෙබළකු දුර්වලයකු වූයේ කෙසේද යන්න ය. ඔහු 43 හැවිරිදි අයකු බව කියති. එසේ නම් ඔහු යුද්ධය පැවැති කාලයේ රටට අගනා සේවයක් කළ සෙබළකු විය යුතුය. හමුදාවෙන් මාස දෙකකට පෙර පලා ගොස් මේ ජාවාරමට හවුල් වූ අනෙක් සැකකරු 30 හැවිරිදි අයෙකි. ඔහුට එම අත්දැකීම් තිබිය නොහැක. මෙවැනි දෙදෙනකු කුඩු කල්ලියකට වහ වැටීම පිළිබඳ වෙනම අධ්‍යයනයක් කළ යුතු යැයි අපි සිතමු.

මෙරට මත්කුඩු ජාලයේ මහමොළකරුවන් 14 දෙනකු පසුගිය කාලය තුළදී අත්අඩංගුවට ගෙන සිරගත කළත් අලු‍තින් තවත් එවැනි ජාවාරම්කාරයන් බිහිවන බවත් ඔවුන් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර තිබිණි. එය ලෝකයේ සංවිධානාත්මක කුඩු ජාවාරම්වල ස්වභාවයයි. එම ජාවාරම්කරුවන් සම්පූර්ණයෙන් ශුද්ධ කළ නොහැක්කේ ද එම හේතුව නිසා ය. ‘හරක් කටා’ වැනි ජාවාරමුන්ට ඩුබායි රටේ සිටිමින් මේ රටේ කුඩු ජාලය මෙහෙයවීමට හැකියාව තිබෙන තුරු කුඩු පාතාලය මර්දනය පහසු නොවන්නේ එබැවිනි. හමුදාවේ නිලඇඳුමින් සැරසී හමුදා වාහනයකින් කුඩු ඇදීම මේ ඛේදවාචකයේ එක් ජවනිකාවක් පමණි.

(***)



අදහස් (2)

හමුදා වාහනයටත් රිංගන කුඩු ජාවාරම්මු

SL Monday, 01 March 2021 07:49 AM

මහනුවර හීරස්සගල ඉන්නවා හොර දොස්තර කෙනෙක්.., දරුවන්ට දෙන්න තියෙන සියලුම නරක බෙහෙත් පෙති ටික දෙනවා. කවුරුවත් අල්ලන්න හිතන්නේ වත් නැහැ. මේවා සහගහන අපරාධ දරුවෝ කීදෙනෙක්ගේ ජීවිත මේ වෙනකොටත් විනාශ වෙලා ඉවරයිද? ආණ්ඩු මේවාට තීරණ ගන්න පරක්කු ඇයි? මේ ජාවාරම රටේ ජනතාව ආරක්ෂා කරන්න ඉන්න පද්ධති වලට රිංගලා ඒවත් විනාශ වෙනකල් ද ඉන්නේ? පාකිස්තානේ, බ්‍රසිලේ, මෙක්සිකෝව හොඳ උදාහරණ වෙලා තියෙද්දී... කෙලින් වැඩකරන නායකයෙකුට අපි ඡන්දෙ දුන්නේ මේවාට ඉක්මන් පිළිතුරු ලැබෙයි කියලා මට පොලිසිය දුන්නා නම් ඔක්කෝමලා අල්ලලා මුහුදට දානවා.

:       0       11

gamunuMonday, 01 March 2021 02:38 PM

මුදලට සියල්ල යටපත් වූ යුගයක්...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1616 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1391 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 494 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site