කඳුකරයේ මදු ගසා මරා දත්, නිය, හම් ඇතුළු කොටස් අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනෙන බව පරිසරවේදීන් ප්‍රකාශ කළ බවට සඳහන් පුවතක් අප පුවත්පත් ඉකුත් ද‌ා වාර්තා කළේය. මෑත භාගයේ මෙම ජාවාරම වැඩිවෙමින් පවතින බවත් මදු ගසා කොටි මැරීමේ සිදුවීම් ගණනාවක් ඉකුත් සමයේ වාර්තා වූ බවත් පරිසරවේදියකු හා සත්ව සංරක්ෂකයකු වන රුක්ෂාන් ජයවර්ධන මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණ. ඒ අතර ඔහු වැඩිදුරටත් පවසන්නේ වාර්තා නොවී හොර රහසේ සිදුවන දඩයම් ද ඉහළ ගොස් ඇති බවය.

 ගහකොළ, සතා සීපාවා පිරිවැරූ පරිසර පද්ධතියට ආදරය කිරීම එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම මනුෂ්‍යත්වයේ මූලික පදනමට අයත්ය. එහෙත් රුපියල් ශතවලින් දෑස් නිලංකාර කරගත් අමනයන්ට පරිසර පද්ධතිය ද තවත් එක් වෙළඳ භාණ්ඩයක් පමණි. එහෙයින් රට සතු මහරු සම්පත් ඔවුහු ඉවක් බවක් නැතිව විනාශ කර දමති. මදු ගසා කඳුකරයේ කොටි මරා, දත්, නිය, හම් ඇතුළු කොටස් අලෙවි කරන්නෝ එසේ හිත් පිත් නැති නරුමයෝ වෙති.

 වනජීවී දෙපාර්තමේන්තුව ශ්‍රීපාද රක්ෂිතයේ රහස් කැමරාවක් අටවා තිබූ අතර එහි රූපගත වූ කොටියෙක් රටම මවිතයට පත් කළේය. කැමරාවේ සටහන්ව තිබුණේ ලොවෙන්ම වඳවී ඇතැයි සැලකුණු දුර්ලභ කළු කොටියෙකි. ලොවෙන්ම වඳ වී ගොස් ඇතැයි සැලකෙන මෙම කළු කොටි විශේෂය ලංකාවේ සිටින බළල් පවුලේ සුවිශේෂම සත්ව කොටසක් ලෙස සැලකුණි. සම මත ඇතිකරන මෙලනින් නම් වර්ණකාරකයේ බලපෑමෙන් මෙම කොටි විශේෂයේ සමේ සහ රෝම කූපයන්ගේ අධික හෝ ලා කළු වර්ණයක් පිහිටනු ලබයි. මෙම දුර්ලභ කළු කොටියා ලෝකයෙන්ම වඳ වී ගියැයි පැවසුණ ද වන ජීවීයේ රහස් කැමරාවේ මෙම කළු කොටියා සටහන් වීමත් සමග මෙම කළු කොටි විශේෂයට විශේෂ ප්‍රසිද්ධියක් ලැබිණි. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ශ්‍රීපාද රක්ෂිතයේ අටවා තිබූ මද්දකට මෙම දුර්ලභ කළු කොටියා හසුවීමය. වනජීවී දෙපාර්තමේන්තුව මෙම දුර්ලභ කළු කොටියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා විශාල ප්‍රයත්නයක් දැරුව ද මිනිසුන්ගේ කුරිරුකම්වලට ශාප කරමින් කළු කොටියා මිය ගියේය. රට සැරසූ මහරු සම්පතක් රටට අහිමි වී ගියේ එසේය.

කොත්මලේ හෙල්බොට වතුයායේ පුදුකාඩ් ප්‍රදේශයේ අටවා තිබූ මදු දෙකකට හසු වී සිටි කොටි දෙදෙනකු සොයා ගැනුණු අතර එක් කොටියෙක් මිය ගොස් තිබිණි. අනෙක් කොටියාට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී නිලධාරින් රැගෙන ගිය බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

මදුවලට කොටි හසුවීම අහම්බයක් නොවේ. එය සිදුවන්නේ ජාවාරම්කාර නොමිනිසුන්ගේ ක්‍රියා හේතුවෙනි. කොටි දත්, කොටි නිය, කොටි සම පැළඳ සිටීමෙන් වාසනාව උද‌ාවන්නේ යැයි ඇතැමුන් තුළ ඇති මිථ්‍යා විශ්වාස රටට හිමි දුර්ලභ සම්පත් අහිමි කරමින් තිබේ. කොත්මලේ ප්‍රදේශයේ මදු දෙකකට හසු වී සිටියේ පැන්තරා පාදුස් වර්ගයට අයත් කොටි විශේෂයකි. සංචාරක ආකර්ෂණය ඉහළින්ම ඇති කිරීමට සමත් මෙම දුර්ලභ සම්පත් ආරක්ෂා කිරීම වෙනුවට විනාශ කිරීම ජාතික අපරාධයකි.
 වන සංහාරය ඉහළ යාමත් සමග වනසතුන්ගේ වාස භූමි ඉතා කුඩා වී තිබේ. එහෙයින් ජනාවාසවල ආසන්නයටම   ඒමට වනසතුන්ට සිදු වී තිබේ. එය ජන ජීවිතයට තර්ජනයකි. බොහෝ විට මිනිසුන් ගොවිබිම් ලෙස තෝරා ගන්නේ ද වනසතුන්ට අයත් වාස භූමි වේ. අලි මිනිස් ගැටුම් මෙන්ම කොටි - මිනිස් ගැටුමට ද එය හේතුවකි.

අලි මිනිස් ගැටුමට මෙන්ම කොටි මිනිස් ගැටුමට ද පිළිතුර අලින් මරා දැමීම නොවේ. කොටින් මරා දැමීම ද නොවේ. මෙම ප්‍රශ්නයට කල්පවත්නා විසඳුම් සෙවිය යුතුය. මෙම ප්‍රශ්නයට ඇත්තේ ශිෂ්ටාචාරගත පිළිතුරකි. එම ශිෂ්ටාචාර පිළිතුර සොයා ගැනීමට මිනිසා ශිෂ්ට විය යුතුය. අශිෂ්ට අවිචාර මිනිසුන්ට කළ හැකි වන්නේ රට සරසන සම්පත් විනාශ කිරීමට පමණි.

 මිනිසා හා දඩයම අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. ප්‍රාග් ඓතිහාසික මිනිසා ජීවත් වූයේ දඩයමෙනි. ප්‍රාග් ඓතිහාසික මිනිසාගේ සියලු ක්‍රියාකාරකම් මෙන්ම ජීවන රිද්මය ද දඩයම හා සම්බන්ධ විය. එහෙත් මිනිසා ශිෂ්ටත්වයට පත්වීමත් සමග දඩයම අත හැරියේය. එහෙත් විවිධ මිථ්‍යා මතවල එල්බගත් නරුමයෝ ද විකෘති ආශාවලින් පිරීගත් අමනයෝ ද රුපියල් ශතවලින් දෑස් නිලංකාර කරගත් දුර්ජනයෝ ද තවමත් දඩයමේ යති. මේ දඩබල්ලන් අල්ලා ගස් බැඳිය යුතුය. එයට දැනුත් කල්යල් හරිය.