( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රිමාන්ඩ් බාරයේ පසුව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් ඇප මත මුදා හරින්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද ( 23) විවෘත අධිකරණය හමුවේ දැනුම් දුන්නාය.
මෙම ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා අද මේනකා විජේසුන්දර මෙනවිය සහ නීල් ඉද්දවෙල යන මහතා ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අතර එහිදී එම විනිසුරුවරිය මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව දැනුම් දෙන ලදී.
ඒ අනුව නැවතත් මෙම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා වෙත යොමු කිරීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සදහා නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ මහත්වරුන් ගෙන් සමන්විත නව විනිසුරු මඩුල්ලක් නම් කරන ලදී.
ඒ අනුව ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් මාර්තු 01 වැනිදා එම නව විනිසුරු මඩුල්ල හමුවේ කැදවීමට ද අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා නියම කළේය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා එම සැකකරුවන් විසින් ගම්පහ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළේය.
එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කළ ගම්පහ මහාධිකරණය ඉකුත් දෙසැම්බර් 08 වැනිදා එම සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව ගම්පහ මහාධිකරණයේ තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනාම අභියාචනාධිකරණයට එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
COMMENTS
මේ අවංක මිනිසා නිදහස් කරපල්ලා... කොමිසමේදී දැක්කා නේද මේ මිනිසාට ඇති දේපළ...
දේශපාලන පළිගැනීම් කියලා තමන්ගේ පුත්තු, නෑදෑයින්, හිතවතුන්ට තියෙන සාධාරණ නඩු විසිකරන්න එකඑක කමිටු ගේනවා.. නමුත් ඇත්තටම ඇස් පනාපිට පලිගැනීමට ලක්වෙන අය ලෝකෙම දන්නවා.
ශානි රජයට වැඩකළත් දේශපාලකයින්ට වැඩ කළේ නැහැ.. ඒ නිසා ඔහු ඒයින් නිදහස්..
ස්වාධීන තීන්දු දීමේ හැකියාවක් නැතුවා වත්ද?
වැරැදිකරුවන් 100ක් නිවැරැදි කරුවන් කීමට වඩා බරපතල වරදක් එක නිවැරැදිකරුවෙක් හිතාමතාම වැරැදිකරුවෙකු කිරීම. බොරු සාක්කි හදපු නිසා අද කීයක් නිකරුණේ හිරේ ඉන්නවද?
නීතිපතිට කැමැති නඩු වැරැදි, නිවැරැදි නොබලා අහක දමනවා.. හරියට ගොනුකරන්නෙත් නැහැ. ශානි මහත්තයාටත් තිබුණේ ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යන්න. කොහොම වුණත් ලස්සනට ගරුකටයුතු මන්ත්‍රී වෙලා ඉන්න තිබුණනේ ඉතින්.
CID එකේ සිටි කීර්තිමත්ම, දක්ෂතම නිලධාරියා. මෙතුමා කිසිම අල්ලසකට යටනොවුණු හොඳ පිටකොන්දක් තිබෙන වටිනා මහත්මයෙක්... අපි පුදුම වෙන්නේ මෙතුමා හිරේ නොසිටියා නම් ගෝඨාභයගේ පාලනය තුළ පිට කොන්දක් සහිත කිසිම නිලධාරියෙකුටද රාජකාරිය කළ නොහැකියි. රජවෙන්න ඕන අය සිරගෙවල්වල... සිරගෙවල්වල ඉන්න ඕනෑ අය හිර ගෙවල්වල... ජඩකම් නොකර මෙතුමාව නිදහස් කරපල්ලා...