(ටී.කේ.ජී.කපිල)
ලොව පුරා හදිසියේ පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැඳී සිට, මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන්ට තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී පැවති බවත් , එහෙත් ඔවුන්ට එම අවස්ථාව යළි උදා කර දෙන බවත් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය.
මේ ආකාරයට මේ වනවිට විවිධ රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 13,000 ක තරම් ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කර ඇති බවත් , ඒ වනවිට පැවති තත්වයන් යටතේ ඔවුන්ට තීරු බදු රහිතව භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබූ බවත් සභාපතිවරයා පැවසීය.
දිනකට 100 බැගින් මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් කැදවා ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංසංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ඔවුන්ට උදා කර දෙන බව ද සභාපතිවරයා කීය.
මෙම වැඩසටහන ගුවන් තොටුපළ බලධාරීන් , ශ්‍රී ලංකා රේගුව , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව සංවිධානය කරන වැඩසටහනක් බවත් , එසේ මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් මේ සදහා තම නීරෝධායන කටයුතු නිමා කළ බවට සෞඛ්‍ය බලධාරීන් නිකුත් කරන සහතිකය , ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු තවත් ලිපි ලේඛන කීපයක් ගුවන් තොටුපළ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ගුවන් තොටුපළ සභාපති ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය.
කෙසේ වෙතත් මේ පිළිබඳව සවිස්තරාත්මක මාධ්‍ය නිවේදනයක් ඉදිරි දින කීපය ඇතුළත ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ නිකුත් කරන බවත් චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
ගාණ ටිකක් වැඩිවුණාට කමක් නැහැ. ගන්න තියෙන දෙයක් වගකීමක් තියෙන තැනකින් පිටින් ගන්න. ඔය සාප්පුවලින් පෙන්නන දේ නෙමෙයි අපිට දෙන්නේ.. ඒ වගේම ඒ සාප්පුවල භාණ්ඩ විකුණුවට යම් දෝෂයක් තිබුණොත් අලුත්වැඩියා කරන්න යන්න වෙන්නේ වෙනත් ආයතනවලට.. ඊට පස්සේ නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. මම අත්දැකීමෙන් කියන්නේ.
ඔය තීරුබදු නැහැයි කිව්වට පිටින් ගන්න බඩු හොඳයි... අනික විකුණන මිනිස්සු සුහදයි.
රුහුණුගේ අදහස මමත් අනුමත කරමි.
ඒක ඇත්ත. තීරු බදු රහිත වුණාට.., ඔතන තියෙන කඩ 90%ක් ම පුද්ගලික තනි ව්‍යාපාර... හොඳම දේ නම්, තමන්ට අවශ්‍ය බදු ඒ ඒ අදාළ ආයතනයේ නිල වශයෙන් සිටින සාප්පුවෙන්ම බදු ගන්න එක...
දැන් ගෙදර ගිය මිනිස්සු බඩුගන්න ආපහු ගම්වල ඉඳන් කටුනායක එන්න ඕනෙද ඩියුටි ෆ්‍රී බඩු ගන්න. ඒ වියදම එක්ක බැලුවාම ඕක ප්‍රායෝගික වැඩක්ද?
මිනිස්සු ඔතෙන්ට ගෙන්වනවාට වඩා හොඳයි, ඔන්ලයින් ඇප් එකක් හඳුන්වලා දීලා කැමැති කෙනෙකුට පාස්පෝර්ට් විස්තර පුරවලා.. කාර්ඩ් එකෙන් පේ කරලා ඕඩර් කරන්න අවස්ථාව දුන්නා නම්... ඩිලිවරි චාර්ජ් එකක් ගහලා අදාළ තැනට ඩිලිවරි කරන්න පුළුවන්නේ...
පත්වන සෑම ආණ්ඩුවක්ම විදේශ ශ්‍රමිකයින්ගේ ගුණ කියයි. අද මේ ශ්‍රමිකයින් ගෙනෙන මුදල් නොමැති නම් රටේ ණය පවා ආපසු ගෙවිය නොහැකි තත්වයක් ඇත. අප මේ අයට මීට වඩා හොඳින් සැලකිය යුතුයි. ගුවන් තොටුපොළේ ඇති තීරුබදු රහිත සාප්පුවල මිනිසුන් රස්තියාදු කරන්නේ නැතිව, මිනිසුන්ට තමන් ජීවත්වන ප්‍රදේශයෙන් තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවකාශය දිය යුතුයි. එයින් ඔවුන්ට කාලය සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු අවම කර ගත හැක.
තීරුබදු රහිත කිව්වට තියෙන බඩු ගිනි ගණන්. ආපු ගමන් ගිලගන්න බලාගෙන කට්ටිය නම් ඉන්නවා.
ඩියුටි ෆ්‍රී වේලිලා හින්දා ඒ අයගේ ඉල්ලීමට කරන වැඩක් ද කොහෙද?