මිශ්‍ර සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කර නව මැතිවරණ ක්‍රමයක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත. එම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා මෙරට සියලු‍ම දේශපාලන පක්ෂ, මහජන නියෝජිතයන්, සිවිල් සමාජ සංවිධාන, රජයේ නිලධාරීන් සහ මහජනතාවගෙන් යෝජනා ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරමින් එම අමාත්‍යාංශය මගින් දැන්වීමක්ද පළ කර තිබිණි. පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනතට 2017 අංක 16 දරන සංශෝධනය මගින් හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්නේ ශ්‍රී ලංකාව තුළ ස්ථාවර හා ශක්තිමත් පළාත් පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා බවද එම දැන්වීමේ සඳහන්ය.

පළාත් පාලනයට පමණක් නොව පළාත් සභා හෝ පාර්ලිමේන්තු හෝ මැතිවරණවලදී මන්ත්‍රීවරුන් පත් කරගත යුත්තේ සරල, පැහැදිලි ක්‍රමයකට බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එහෙත් 2018 පෙබරවාරි 10 වැනිදා මෙරට පැවැති එකී මිශ්‍ර සමානුපාතික නියෝජන මැතිවරණයේ ප්‍රතිඵලය එකම අපභ්‍රංසයක් බවට පත් විය. එතෙක් එක් එක් පළාත් පාලන ආයතනයක සිටි මන්ත්‍රීන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් ඒ හරහා පත් කරගනු ලැබුවත් පත්වූ ඇතැම් මන්ත්‍රීන්ට තමන් සේවය කළ යුත්තේ කුමන කොට්ඨාසයකටද යන්න පවා තේරුම් ගැනීම අසීරු වී තිබිණි. ඇතැම් ආයතනවල බලය හිමිව තිබූ පක්ෂයට සභාපති පත්කර ගැනීමේදී පවා ගැටලු‍ මතුවිය. මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් බව පිළිගනු ලැබුවත් එය ක්‍රියාත්මක කළ ආකාරය බොහෝ දෝෂ සහිත වීම ඊට හේතු වී තිබිණි. එහි තවත් අහිතකර ප්‍රතිඵලයක් වූයේ පළාත් පාලන ආයතනවල ස්ථාවරභාවයටද එයින් බලපෑම් ඇතිවීමය.

මෙවැනි අවුල්සහගත ප්‍රතිඵලයක් ලැබුණේ එවකට පැවැති යහපාලන රජයේ නායකයන්ට තමන් දේශපාලන වශයෙන් මුහුණදීමට සිදුව තිබූ අවාසිසහගත තත්ත්වයෙන් ගැලවීම පිණිස පළාත් පාලන පනතට සිදු කළ වෙනස්කම් හේතුවෙනි. රටේ සුබසිද්ධියට වඩා පෞද්ගලික දේශපාලන අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීමට උත්සාහ දැරීමේ ප්‍රතිඵල අමිහිරි වීම පිළිබඳ පුදුම විය යුතු නොවේ. එසේ නොවන්නට මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ඊට වසර එකහමාරකට පමණ ඉහතදීය. රටේ අවශ්‍යතාවලට පිටුපා යමින් ඇතිකරන වෙනස්කම්වලින් යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු වීම මුළාවකි.

වත්මන් රජය පවතින මිශ්‍ර සමානුපාතික ක්‍රමය ඇතුළත් සංශෝධිත පළාත් පාලන පනතේ වැරදි හදාගැනීමට පියවර ගැනීම හොඳ පියවරක් වශයෙන් අපි දකිමු. ඒ සඳහා වගකිවයුතු සියලු‍ පාර්ශ්වවලින් අදහස් ලබාගැනීමට ක්‍රියා කිරීමද යහපත් ප්‍රවේශයකි. ශක්තිමත් සහ ස්ථාවර පළාත් පාලන ක්‍රමයක් සකස් කර ගැනීමට ඒ මගින් මග පෑදෙනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැක. එසේ වීමට නම් පක්ෂ දේශපාලන අවශ්‍යතාවලට මුල්තැනක් නොදී පවතින ක්‍රමයේ අඩුපාඩුකම් හදාගැනීමට පොදු අරමුණකින් ක්‍රියා කිරීම අවශ්‍ය වෙයි. නැතහොත් මේ මුළු මැතිවරණ ක්‍රමය ශුද්ධ වෙනවා වෙනුවට එය එකම අල හොද්දක් වීමටද ඉඩ තිබේ.

සමානුපාතික ඡන්ද ක්‍රමය මේ රටේ එතෙක් පැවති කේවල ඡන්ද ක්‍රමයට වඩා ඉතාම දූෂිත සහ ප්‍රචණ්ඩකාරී වූ බවත් ජාවාරම්කරුවන් හා මාෆියාකරුවන්ගේ සහාය ලබන පිරිස් අතින් අවංක, උගත් සහ පරාර්ථකාමී දේශපාලනඥයන් තරග බිමේදී පහසුවෙන් පරාජය කෙරෙන බවත් ප්‍රකට කරුණකි. එසේ වුවද සුළු ජාතිකයන්ට ප්‍රමාණවත් නියෝජනයක් සඳහා මේ ක්‍රමය හරහා අවස්ථාව පෑදීමත් ජවිපෙ වැනි විකල්ප බලවේගවලටද එම අවස්ථාවම ලැබීමත් සමානුපාතික ක්‍රමයේ යහපත් ලක්ෂණ සේ සඳහන් කළ හැකිය. එහෙත් එක් එක් පක්ෂය ඡන්දයකදී සළුවීමට ලබාගත යුතු වූ සියයට 12 ප්‍රතිශතය පටු දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් සියයට 5 දක්වා පහත දැමීමෙන් අන්තවාදී දේශපාලන බලවේගවලටද බලය ලබාගැනීමට අවස්ථාව පෑදිණි. එය රට තුළ නැති ප්‍රශ්න ඇති කළ බවටද සමහරු චෝදනා කරති.

1978 විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හඳුන්වා දීමත් සමඟ පැමිණි සමානුපාතික ඡන්ද නියෝජන ක්‍රමය සමඟ මේ රටේ දේශපාලනය මේ වන විට වසර 42ක කාලයක් ගත කර තිබේ. එහි අඩුලු‍හුඬුකම් පිළිබඳ සෑහෙන අවබෝධයක්ද දැන් ලැබී තිබේ. එම ක්‍රමය රටට ගැළපෙන පරිදි සංශෝධනය කර ගැනීමට දැන් එළඹ ඇත්තේ හොඳ අවස්ථාවකි. එහෙත් එම සංශෝධන සිදුවිය යුත්තේ 2017 දී සිදුවූවාක් මෙන් පාලක පක්ෂයේ අවශ්‍යතාවලට අනුකූල වන සේ ක්‍රමය වෙනස් කිරීම නොවේ. රටට වඩාත් සුදුසු ගැළපෙන ක්‍රමයක් සකසා ගැනීම සඳහා කටයුතු කිරීමය.

මිශ්‍ර සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය ඊට හොඳ ආදේශකයක් බව සැබෑය. එහෙත් එහි අඩුපාඩු බොහෝ බව අවසන් වරට පැවති පළාත් පාලන ඡන්දයෙන් පැහැදිලි විය. සැබෑ ජනතා නියෝජිතයන් පළාත් පාලන ආයතනවලට පමණක් නොව පළාත් සභා සහ පාර්ලිමේන්තුවටද තෝරා පත්කර යැවීමට හැකි වන පරිදි මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය. එසේම සුළු ජාතික සහ විකල්ප බලවේගවලද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකෙන පරිදි ඔවුන්ටද නියෝජනයක් මේ ක්‍රමය තුළ තිබීම අවශ්‍යය. ඒ අනුව යමින් ශ්‍රී ලංකාවට ගැළපෙන සුදුසුම මැතිවරණ ක්‍රමයක් සකසා ගැනීමට අදාළ සියලු‍ පාර්ශ්ව විසින් හරවත් යෝජනා සමාලෝචන කමිටුවට යොමු කෙරෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.


(***)