අලි-මිනිස් ගැටුම් හේතුවෙන් ලෝකයේ අලි මරණ වැඩියෙන්ම සිදුවන රට ශ්‍රී ලංකාව යැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. බොහෝ අයහපත්  ක්ෂේත්‍රවලින් ලොව අංක එක හිමිකර ගැනීමේ අනවරත අරගලයක යෙදී සිටින රටක් යැයි සැලකිය හැකි තරමට ශ්‍රී ලංකාව පෙරට පැමිණ තිබේ. මිනිසුන් අතින් අලින් වැඩියෙන්ම මරණයට පත්වන රට බවට අප රට පත්වීම හරහා ද කියැවෙන්නේ එයයි. එම වාර්තාව ධර්මද්වීපය යැයි හැඳින්වෙන, පන් දහසක් කල් සසුන සුරකින රට යැයි බුදුරජාණන් වහන්සේගේ පින්සිරිබර මුව කමලෙන්ම අනුදත් රටකට කෙතරම් වැදගත් වන්නේදැයි යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කළ යුතු භාවනා කමටහනකි.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනාවරණය කළ තවත් වැදගත් කරුණක් වූයේ අලින්ගේ පහරදීම්වලින් මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි තැනට පත්ව ඇති බවය. පාරිසරික සමබර බව නොතකන අධිවේගී සංවර්ධනයේ අස්වැන්න ඉහත වාර්තා දෙකෙන්ම පැහැදිලිය. ඒ අනුව පැහැදිලි වන්නේ අලි මිනිස් ගැටුම හුදෙකලා සිදුවීම් ලෙස සලකා පහසුවෙන් බැහැර කළ නොහැකි බවය. රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මෙහි ඇති බරපතළ තත්ත්වය මැනවින් අවබෝධ කරගෙන ඇති බව පෙනෙන්නේ අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා ලබාදී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කර එම වාර්තාව පාර්ලිමේන්තුවට මාස දෙකක් තුළ ඉදිරිපත් කරන්නැයි වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් බව අප ප්‍රවෘත්තියෙහි සඳහන් වන හෙයිනි.

අලියා අප රට සතු මහරු සම්පතකි. සංචාරක ආකර්ශනය ඇති කිරීමේ ප්‍රමුඛතම මෙවලමකි. මෙරට සංස්කෘතිය උත්කර්ෂයට නංවන පෙරහරට සාඩම්බර පෙනුමක් අගයක් එක් කරන්නකි. ‘අලි බැලිල්ලත් - බලි බැලිල්ලත්’ එපා නොවන්නක් බවට ජන වහරෙහි සඳහන් වීමෙන් අලි සම්පත අපගේ ජීවිතයට කෙතරම් සමීපදැයි යන්නට නිහඬ සාක්කියකි.

සංඛ්‍යා ලේඛනවලට අනුව 1990 දශකයේ මුල් කාර්තුව වනවිට අප රටෙහි අලි සම්පත 12,000ක් පමණ වේ. එහෙත් දශකයක් තුළ එම සංඛ්‍යාව 7500ක් දක්වා අඩු වී තිබේ. මෙරට අලි සම්පත හිඟවීම පෙරහර සංස්කෘතියට තදින්ම බලපා තිබේ. 2018 වසරේදී මිනිසුන් අතින් මියගිය අලින්ගේ සංඛ්‍යාව 360ක් ලෙස දැක්වේ. 2019 වසරේදී එය 405ක් දක්වා වර්ධනය වී තිබේ. 2018 වසරේදී අලින්ගේ පහරදීම් නිසා මියගිය මිනිසුන්ගේ සංඛ්‍යාව 96 කි. 2019 වසරේදී එය21ක් දක්වා පහළ බැස තිබුණද වන අලි ප්‍රහාරයෙන් මියගිය තම ආදරණීයන්ගේ මෘතදේහ මහ මග තබා උද්ඝෝෂණය කරන මිනිසුන්ට අදාළ පුවත් බහුලය.

මඩකළපුව රාත්‍රී දුම්රියෙහි ගැටී මියයන අලින්ගේ සංඛ්‍යාව සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතුය. එක්වරක් එබඳු දුම්රිය අනතුරකින් මියගිය අලින්ගේ සංඛ්‍යාව 6 කි. ගැබ්බර ඇතින්නියක ද ඒ අතර වූවාය. අලි රේල් පාරේ ගියාද එසේ නැතහොත් අලිමංකඩවල් හරහා දුම්රිය මාර්ගය ඉදි වූයේද යන්න විමසා බැලිය යුතුය. හම්බන්තොට ආශ්‍රිතව ඉදිවුණ මහා මාර්ගවල වන අලි සංසරණය කිරීම සුලබ දසුනකි. වන අලින්ගේ සාම්ප්‍රදායික වාසභූමි කඩිනම් සංවර්ධනය හරහා ආක්‍රමණය කිරීම නිසා මෙම තත්ත්වය පැන නැගී තිබේ. පාරිසරික සමතුලිත බව රකිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේනම් අලි-මිනිස් ගැටුම යම් පමණකට පාලනය කළ හැකිය යන්න සත්‍යයකි.

බීමට ජලය හිඟවීම, ආහාර හිඟවීම ආදිය නිසා වන අලි ගම් වදිති. බලධාරීන්ගේ අවධානය ඒ සම්බන්ධයෙන් යොමුවිය යුතුය. ඒ සඳහා විකල්ප විසඳුම් සැපයිය යුතුය. වන අලි සඳහා ආහාර නිෂ්පාදනය ඇතැම් රටවල බලවත් ව්‍යාපාරයකි. ජල ප්‍රශ්නයට හා ආහාර ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නම් වන අලින් තමන්ගේ වාසභූමිවලම රැඳී සිටිනු ඇත.

ඉවක් බවක් නැතිව කැලෑ එළි කිරීම නිසා වන අලින්ගේ වාසභූමි ඉතා වේගයෙන් කෙට්ටු වී තිබේ. අනෙක් ප්‍රශ්නය නම් වනගත ප්‍රදේශවල ගොවිතැන් කිරීමය. බොහෝවිට මිනිසුන් වනගත වන්නේ දර කැපීමටය. ටික කලක් වනවිට එම ප්‍රදේශවල ගොවිතැන අරඹති. ගොවිතැන ආරක්ෂා කර ගැනීමට පැලක් තනා ගනිති. වැඩි කාලයක් ඉක්ම යාමට මත්තෙන් එතැන ජනාවාසයක් නිර්මාණය වේ. ඒ අනුව එතැන සිදුවී තිබෙන්නේ වන අලියා ගම්වැදීම නොව ගම්වැසියා වන වැදීමය. අලි-මිනිස් ගැටුම විවිධාකාරයෙන් ප්‍රකාශයට පත්වන්නේ මෙම පරිසරය තුළය.

මෙම තත්ත්වය තවදුරටත් නොසලකා සිටිය නොහැක. වන අලි ප්‍රහාරයෙන් මිනිස් ජීවිත අහිමි වීම ඛේදවාචකයකි. එම ඛේදවාචකය නතර කළ යුතුය. අනික් අතට මිනිස් ක්‍රියාකාරම් නිසා අලි සම්පත විනාශවීම අපරාධයකි. මිනිස් ජීවිතත් රැකෙන වන අලි සම්පතත් රැකෙන දියුණු ක්‍රමවේදයකට සැලැස්මක් හැදිය යුතුය. දැනුත් එයට කල් පමා වැඩිය.


(***)