(නිමන්ති රණසිංහ)

හොරොයින් සඟවා ඇති ස්ථානයක් ගැන කොළඹ අපරාධ කොට්ඨාසයට තොරතුරක් ලැබෙන්නේ එහි රදවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මදූෂ් ගෙනි. ඒ ඊයේ (19) රාත්‍රීයේදීය. 
‘සර් තව බඩු වගයක් තියෙනවා.
‘කොහොමද ගන්නේ ?‘
‘මං කතා කරන්නම්.
මධූෂ්, කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන්ට හෙරොයින් සම්බන්ධයෙන් ඔත්තුවක් ලබා දීමට සැරසුනේ ඒ අයුරිනි.
‘තැන කොතනද?
‘මාලිගාවත්ත ඇපල් වත්තේ.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලීසිය මධූෂ්ට ඇමතුම් ලබා ගැනීමට පහසුකම් සලසන්නේ හෙරොයින් වැටලිම සදහාය. මධූෂ්ගේ ඔත්තුවෙන් කුඩු ගෙනත් තබන්නට ඡාවාරම්කරුවෝ දෙවරක් නොසිතූහ. ඒ අනුව අද (20 වැනිදා) අලුයම කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමග මාකදුරේ මධූෂ් ද යන්නේ හෙරොයින් සොයා ය. ස්ථානය වූයේ මාලිගාවත්ත ඇපල්වත්තේ ලක්සෙත මහල් නිවාස සංකීර්ණයය. වේලාව පාන්දර තුන පසුවූවා පමණය.
‘තැන හරි නේද‘?
‘හරි. දහවැනි තට්ටුවේ දහ වැනි ගෙදර.
මෙහෙයුම ක්‍රියාත්මක විය. පොලිස් නිලධාරීන් වහ වහා මහල් නිවාසයේ තරප්පු පෙළ දිගේ ඉහළට යන්නට වූහ. ඔවුන් සමග මධූෂ් ද පෙරමං සලකුණු කියමින් ඇවිද ආවේය. එහෙත් හදිස්සියේ ඔවුන් දෙසට එල්ල වූවේ වෙඩි ප්‍රහාරයකි. එයින් පොලිසියේ දෙදෙනකු තරප්පුපෙළේ ඇද වැටිණ.  
තත්ත්පර ගණනක් තුළ ඇතිවූ වෙඩි හුවමාරුවත් සමඟම මහල් නිවාස සංකීර්ණයේ ආසන්න මාවතේ දී ද ගිගුරුම් හඩක් නංවන්නට විණී. පොලීසියට වෙඩි තබා ඇත්තේ ඒ වන විටත් එම ස්ථානයේ සැගව සිටි නාඳුනන පුද්ගලයන් කිහිප දෙනෙක් විසිනි.

 මහ හඬක් නංවමින් පිපිරී  ගොස් තිබුණේ කිසිවකු හෝ පොලීසියේ වෑන් රථයට එල්ල  කළ අත් බෝම්බයයි. එහිදී ඇතිවූ වෙඩි හුවමාරුවෙන් මාකදුරේ මදූෂ් සදහටම නෙත් පියා ගන්නේ මෙතෙක් පාතාල ලෝකයේ මෙන්ම සංවිධානාත්මක අපරාධ ලෝකයේ ගෝඞ් ෆාදර් වීමේ සිහිනය ද දරාගෙනය. 

අවි ගත්තෝ අවියෙන් නසිති යන දහම සනාත කරමින් මේ වන විට මදූෂ් මෙලොව හැර ගොස් ඇත. මෙම වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලදරුවන් දෙදෙනකුද කලවා ප්‍රදේශයට වෙඩි වැදීම නිසා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. මෙලෙස වෙඩි වැදී ඇත්තේ පොලස් කොස්තාපල්වරුන් වන 30017 අතපත්තු සහ 90242 කුමාර යන නිලධාරීන් ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ මෙම මෙහෙයුමේදී අදාළ මහල් නිවාසයේ නිවසක තිබී රුපියල් කෝටි 22 ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 22ක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයට හැකිවූ බවය. 

එසේම මෙම සිද්ධිය වූ ස්ථානය සම්න්ධයෙන් ස්ථානීය පරීක්ෂණය මෙන්ම මෘත ශරීරය පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා මහත්මිය විසින් අද උදෑසන පවත්වනු ලැබුවාය. 

මෙහිදී මාකදුරේ මධූෂ් ගේ විවාහක බිරිද මෘත ශරීරය හඳුනාගෙන  ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය. සිද්ධිය වූ ස්ථානයේ තිබූ බ්‍රවුනින් වර්ගයේ පිස්තෝල දෙක සහ යතුරු පැදිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මාකදුරේ මධූෂ් විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට ලබා දෙනු ලැබූ ඔත්තුවට අනුව හොරොයින් සහිත නිවස පිළිබදව ඉකුත් ජුනි මස 10 වැනිදා ද පුවත්  මවන්නට වූ ස්ථානයක් විය. එනම් මාලිගාවත්ත ලක්සෙත සෙවන  මහල් නිවාස සංකීර්ණයේ දස වැනි මහලේ පිහිටි දස වැනි නිවසේ සිදුවූ වෙඩි තැබීමය. 

එම වෙඩි තැබීමෙන් මිය යන්නෙන් මොහොමඞ් රහීම් අබ්දුල් රවුෆ් නැමැති 38 හැවිරිදි පුද්ගලයෙකි. රවුෆ්ට වෙඩි වදින්නේ මොහොමඞ් සාෆි හුසේන් මොහොමඞ් හස්මි නොහොත් ෆවුමි නැමැත්තාගේ මෙම නිවස තුළදීය. මාස තුනකට අධික කාලයක්  මරුවා සමග සටන් කළ රවුෆ් අවසන් ගමන් ගියේය. 

රවුෆ් යනු කංජිපානි ඉම්රාන්ගේ එදිරිවාදියකුව සිටි අයෙකි. ෆවුමි නැමැත්තා රවුෆ් යන අයව ලක්සෙත සෙවන නිවසට කැදවා ගෙන අවුත් සාදයක් පවත්වන්නේ කංජිපානි සහ රවුෆ් මිතුරු කිරීමේ අරමුණෙනි. සාදය අවසන් වන්නේ  රවුෆ් වෙඩි කෑමෙන් අනතුරුවය. මේ ලක්සෙත සෙවන දෙසින් මීට මාස හතරකට පමණ පෙර ඇසුණු කතාවයි. 

කංජිපානි ඉම්රාන් යනු මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම හෙරොයින් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙකි. කොටින්ම කියතොත් කංජිපානි යනු මධූෂ්ගේ අතිජාත මිත්‍රයාය. 

මාකදුරේ මදූෂ් ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගන්නේ කංජිය. කංජිත් මධූෂුත් ඩුබායි රාජ්‍යයේ පොලීසියට කොටු වන්නේ මදූෂ්ගේ දියණීයගේ සුපිරි උපන්දින උත්සවයේදීය. ඒ 2019 පෙබරවාරි මස 05 වැනිදාය. මෙහිදී එරට පොලීසිය මධුෂ් ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගත් අතර වරින් වර සැකකරුවන් මෙරටට පිටුවහල් කරන්නට විය. කංජිපානි ද එසේ මෙරටට පිටුවහල් කළ අයෙකි.

පසුව මෙරටින් කරන ලද ඉල්ලීමකට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවීමෙන් පසු මධූෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වන්නේ ඉකුත් 2019 මැයි මස 5 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදීය. වසර එකහමාරකට වැඩි  කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මධූෂ්, එහි සිටියදී පවා ඔහුගේ මත්කුඩු ඡාලය බස්නාහිර පළාත මෙන්ම දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් විහිදීගොස් ඇති බව නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කර සිටියේය.

එසේ, මාකදුරේ මධූෂ්ගේ පාපොච්චාරණයෙන් රුපියල් කෝටි 33 ක අධික හොරොයින් කිලෝ 33ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.

පාතාලයේ මෙන්ම සංවිධානාත්මක අපරාධ ඡාලයේ ‘ගෝඞ් ෆාදර්‘ ලෙසින් කිරුළ පලදින්නට පෙරුම්පුරමින් සිටි මාකදුරේ මධූෂ් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත එම නිලධාරීන් විසින් රැගෙන එනු ලබන්නේ ඉකුත් 16 වැනිදාය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් නියෝග මත වසර එකහාමාරකට වැඩි කාලයක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවය. 

මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් මාකදුරෙ මධූෂ් මුලින්ම කට අරින්නේ ඉකුත් 17 වැනිදා උදෑසන. ඒ කොටිකාවත්ත වැලිවල ප්‍රදේශයේ ගරාජයක් තුළ සගවා තිබියදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 11කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයට හැකි වීමත් සමගමය.

දකුණු පළාත් සභා මන්ත්‍රී ඩැනී හිත්තැටිය මහතා ඝාතනයත් සමග පාතාල ලෝකයේ කරලියට එන මධුෂ් අද වන විට අවසන් ගමන් ගොස් ඇත්තේ පාතාලයේ බොහෝ දෙනෙකු භීතියට පත් කරමිනි. නැවත වරක් සිහිපත් කළ යුතු වවන්නේ අවිගත්තෝ නසින්නේ අවියෙන් ම බවය

( ඡායාරූප ළහිරු හර්ෂණ)