(එම්.සුසිල් ප්‍රියන්ත)
             
මත්කුඩු ළග තබාගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා දෙකටම වරදකරුවකු වූ කාන්තාවකට වසර 21ක දීර්ඝ නඩු විභාගයකින් පසු  ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බලපිටිය මහාධිකරණ විනිසුරු කුමාරී එම්.අබේරත්න මහත්මිය අද (13) පස්වරුවේදී නියෝග කළාය.
     
ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කෙරුණේ අහුන්ගල්ල වැලිකන්ද පදිංචි ඉන්දුවාදුර අනූෂා ද සිල්වා නමැති කාන්තාවකටය.
           
2000 අගෝස්තු 23 හෝ ඊට ආසන්න දිනයකදී සැකකාරිය මත්කුඩු ග්‍රෑම් 3යි මිලි ග්‍රෑම් 210ක් ළඟ තබා ගෙන සිටියදී ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ එවකට සිටි වැඩ බලන ස්ථානාධිපති පොලිස් සැරයන් (19884) හා වත්මන් කොස්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අසේල ප්‍රේමනාත් මහතා ඇතුලු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
 
එසේ අත්අඩංගුවට ගත් සැකකාරියට එරෙහිව කොස්ගොඩ පොලීසිය විසින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හා මත් කුඩු ජාවරමේ යෙදීම යන චෝදනා දෙක ගොනු කර බලපිටිය අධිකරණයේ නඩුවක් ගොනු කරන ලදි.
           
වසර 21ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සැකකාරිය මේ චෝදනා දෙකටම වැරදිකරු කරමින් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබාදෙන ලෙසට බලපිටිය මහාධිකරණ විනිසුරු කුමාරී එම්. අබේරත්න මහත්මිය නියෝග කළාය.
      
කොස්ගොඩ පොලීසිය විසින් මේ නඩුව බලපිටිය අධිකරනයට ගොනු කරන ලදි.