(පැතුම් දර්ශන සහ අමදෝරු අමරජීව)

හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ චෛත්‍යක් මත සිටගෙන ගත් ඡායාරූප සමාජ ජාලා වෙබ් අඩවිවලට මුදා හැරි සැකකරුවන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.
 
අනුරාධපුර පුරාවිද්‍යා කලාපයේ කිරලාගල කලාප බාර පුරාවිද්‍යා නිලධාරිවරයා විසින් හොරොව්පොතාන පොලිසියට අද (22) සවස  කළ පැමිණිල්ලකට අනුව හොරොව්පොතාන පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
 
2018 වසරේ ජනවාරි 5 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී කිරලාගල පුරාවිද්‍යා රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී ඉපැරණි චෛත්‍යක් මත නැගී ඡායාරූප ගෙන සමාජ ජාලා වෙබ් අඩවි වෙත මුදාහැර ඇති මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සොයා බැලූ නමුත් ඒ සම්බන්ධයෙන් කිසිවක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පුරාවිද්‍යා නිලධාරීන් පොලිසියට  කළ පැමිණිල්ලේ සඳහන්ය.
 
තවදුරටත් ඒ පිළිබඳව සමාජ ජාලා වෙබ් අඩවි හරහා ප්‍රචාරය වීමත් සමඟ එම ස්ථානය හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමිය බවට හඳුනාගත් බවත් පුරාවිද්‍යා නිලධාරීන් පොලීසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
 
ඒ අනුව හොරොව්පොතාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සැකකරුවන් ත්‍රිකුණාමලය අම්පාර ප්‍රදේශයේ අය බවට හඳුනාගෙන තිබේ. ඔවුන් එම ප්‍රදේශයෙ ක්‍රියාත්මක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන් බවටද පොලිසිය විසින් වැඩිදුරටත් හඳුනාගෙන ඇත.
 
ඒ අනුව ඉදිරි පරීක්ෂණ සිදුකරන අතර හොරොව්පොතාන සහකාර  පොලිස් අධිකාරී සේනක බී ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතාගේ උපදෙස් අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදු කරයි.